සැබෑ විපක්ෂයක් ඉල්ලන අනූ ලක්ෂය

‘නීතිගරුක රටක්’ හැදීම දැන් ආරම්භ වී තිබේ. රටේ ජාතික ආරක්‍ෂාවට මුල් තැන දී පිහිටුවා ගත් මේ ආණ්ඩුවට රාජ්‍ය ආරක්‍ෂක ඇමතිවරයකු ද නැත. අමාත්‍යාංශ විෂයයන් පැවරීමේ ගැසට් නිවේදනය අනුව ආරක්‍ෂක අමාත්‍යාංශයට අයත් ආයතන සංඛ්‍යාව 31කි. ක්‍රියාත්මක කළ යුතු අණපනත් සංඛ්‍යාව 37කි. අදාළ අමාත්‍යාංශයට ඇමතිවරයෙක් නැති වුණාට රාජ්‍ය ඇමතිවරයකු ලෙස චමල් රාජපක්‍ෂ පත් කර සිටී. ලේකම් ලෙස විශ්‍රාමික හමුදා නිලධාරියකු වන කමල් ගුණරත්න පත් කර ඇත. විෂයයන් හා බලතල රාජ්‍ය ඇමතිවරයාට ද නීත්‍යනුකූලව පවරා නොමැත. දැනට ස්වයංක්‍රීයව ක්‍රියාත්මක මෙම අමාත්‍යාංශයේ පළපුරුද්දක් නැති පරිපාලන සේවයේ නොසිටි පුද්ගලයකු වන කමල් ගුණරත්න ක්‍රියාත්මක කරන්නේ කාගේ උපදෙස් දැයි අපැහැදිලි ය. රාජ්‍ය ආරක්‍ෂාවට බලපාන කිසියම් ප්‍රශ්නයක් ඇති වුවහොත්, ඊට වග කියන, අඩු ම වශයෙන් පාර්ලිමේන්තුවේ දී උත්තර දෙන්නේ කවුරුන් දැයි පැහැදිලි නැත. අද මේ ආරක්‍ෂක අමාත්‍යාංශය මැදිහත්ව කරන කියන දෑ නීත්‍යනුකූල නොවේ.

මේ ‘නීතිගරුක’ රටේ පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාගේ බලයෙන් ක්‍රියාත්මක නොවන තත්ත්වයක් පවතී. කිසිදු වැදගත් කරුණක් පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට, විවාදයකට ලක් නොවේ. සැසිවාරය කල් දැමීම නිසා මේ සියල්ල වැළැකී තිබේ. මී ළඟට පාර්ලිමේන්තුව රැස් වන 3 වැනි දින රාජාසන  කතාව කර යළි එය කල් දැමීමට සූදානම් වන බවට තොරතුරු ලැබෙමින් පවතී. යම් කිසි හෙයකින්, යළි පාර්ලිමේන්තුවේ වාර අවසාන කළොත්, ඒ කරන්නේ යටි අරමුණක් ඇතිව ය.

දැන් ‘නීතිගරුක රටේ’ දේශපාලන පළිගැනීම් දකින්නට නැත. හිටපු අමාත්‍ය චම්පික රණවකගෙන් පසු පසුගිය දා රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනිණි. ඒ සුදු වෑන් සම්බන්ධව මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීම නිසා ය. මේ ආකාරයට පසුගිය කාලයට අදාළ ‘සාවද්‍ය මාධ්‍ය සාකච්ඡා හෙළිදරවු කිරීම්වලට නීතියෙන් දඬුවම් දෙනවා නම්, රාජපක්‍ෂලා හා ඔවුන්ගේ ඇමති මණ්ඩලයේ බොහෝ දෙනකු අදත් සිටිය යුත්තේ, සිරගෙදර ය. එජාපයෙන් මහින්ද ළඟට ගිය තිස්ස අත්තනායකගේ බොරු ගිවිසුම් රටට හෙළිදරවු කළේ කවුරුන් ද? සිරිසේන හිටපු ජනපතිගේ පුතා ද සම්බන්ධ සිදුවීමක් හා විවිධ සම්මුති ගැන කළ බොරු මාධ්‍ය සංදර්ශන මේ රටේ ජනතාවට අමතක නැත. අනෙක් අතට නාමල් කුමාරලාගේ ජනපති සිරිසේන හා ගෝඨාභය ඝාතන සම්බන්ධ ප්‍රචාරයට කී දෙනකුට නඩු පැවරිය යුතු ද? රාජිත සේනාරත්නට විරුද්ධව චෝදනා රාශියක් තිබේ. මහින්ද රාජපක්‍ෂගේ යුගයේ ධීවර අමාත්‍යවරයා ලෙස සිටිය දී සිදුව ඇති දූෂණ, වංචා පිළිබඳව කිසිවකු කතා කළේ නැත. ඔහු යටතේ තිබූ ‘සීනෝර් ලංකා පදනමේ’ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්‍ෂට එරෙහිව ගොනු කර ඇති පැමිණිල්ල අදත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ විභාග වෙමින් පවතී. මේවාට ද රාජිත වගකිව යුතු ය. යහපාලන ආණ්ඩුව ආ අලුත ම බෙහෙත් නිෂ්පාදකයකුගේ බෙහෙත් අනුමත කර දීමට ලබා ගත් කෝටි එකහමාරක අල්ලසක් ගැන චෝදනා තිබේ. එහෙත්, අද පරීක්‍ෂණ පවත්වන්නේ වැදගත් පැමිණිල්ලකට නොවේ. අන්තිමේ විසි වන නඩු නිමිත්තක් ඇති කරුණක් සඳහා ය. රටේ කාගේත් අවධානය යොමු වූ නිශ්චිතව ම ඔප්පු වන බැඳුම්කර වංචාව පිළිබඳව කිසිවකුට චෝදනා එල්ල වන්නේ ද නැත. අත්අඩංගුවට ගත්තේ ද නැත. ‘කාගෙ කාගේ කිල්ලෝටවලත් ටික ටික හුණු ඇති’ නිසා ඒවා යට ගසනවා ද විය හැකි ය. එදා 2015දී තමන්ට එරෙහි වූ අය සොයා දඬුවම් දීම, මර්දනය කිරීම මේ පළිගැනීම්වල අරමුණ ද විය හැකි ය.

ජනාධිපතිවරයා සැලැසුම් ක්‍රියාත්මක කරන්නේ, ඔහු බලයට පත් කළ බලවේගවල හා පුද්ගලයන්ගේ ඕනෑ-එපාකම් අනුව බව පෙනේ. අද රටේ සහල් මිල අධික ය. මේ මිල වැඩි කිරීම හා සහල් පාලනය බලගතු මාෆියාවක් විසින් මෙහෙයවන බව නොරහසකි. මේ මාෆියාවේ ‘ගෝඞ් ෆාදර්’ පසුගිය දා පොළොන්නරුවට ගිය ජනාධිපති පිළිගැනීමට පැමිණීමෙන් හැඟෙන්නේ, සහල් මාෆියාව හා ජනාධිපති අතර ද සම්බන්ධතාවක් ඇති බවයි.

වහෙන් ඔරෝ නැතිව කෙළින් ම කීවොත්, ඩඞ්ලි සිරිසේන මේ මෆියාවේ නායකයා ය. කවුරුන් කෙසේ කීවත්, මේ රහසේ සඟවාගෙන සිටින සහල් තොග වෙළෙඳපොළට නොදා සිටින්නේ මේ ආණ්ඩුව ගෙන ඒමට ඩඞ්ලි සිරිසේන ප්‍රමුඛ මෙහෙයක් කළ පුද්ගලයකු හෙයිනි. ඒ නිසා මේ ‘නීතිගරුක රටේ’ සහල් මිල අඩු කළ නොහැකි බව ජනතාව වටහා ගත යුතු ය.

පසුගිය යුගයේ උද්ඝෝෂණ කරමින්, පෙළපාළි යමින්, මාධ්‍ය  සාකච්ඡා තබමින්, ඇප-කැප වූ අයට දැන් දැන් තනතුරු ලැබෙමින් පවතී. චරිත හේරත්ලා, ජටිල වැල්ලබඩලා වැනි අය කටයුතු කළේ රටේ ආරක්‍ෂාවට හෝ ජනතා සුබසිද්ධියට හෝ නොව තමන්ගේ වාසියට බව දැන් පැහැදිලි ය. මේ අතර වංචා, දූෂණවලට සම්බන්ධ යැයි චෝදනා එල්ල වූ අය සිටීම නම්, නීතිගරුක රටකට නොහොබී. ස්වාධීන රූපවාහිනියේ සුධර්මන් රදලියගොඩ වැනි පුද්ගලයන් නැවත යකඩ නොකාවි යැයි කිව හැක්කේ කාට ද?

සිංහල බෞද්ධ ආණ්ඩුව හැදීමට සංඝයා වහන්සේ ද ආධාර උපකාර කළ බව සැබෑ ය. ඒ උදවු කළ පමණින් ආණ්ඩුව ගෙන යාමට ඔවුන් කටයුතු කිරීම භයානක ය. දැන් සියලු ම ප්‍රශ්නවල දී ඉදිරියට එන්නේ විවිධ සංවිධාන නියෝජනය කරන හාමුදුරුවරුන් ය. මේ රටේ දරුවන්ට ලබා දිය යුතු ලිංගික අධ්‍යාපනයේ අත්‍යවශ්‍ය ම අංග ඇතුළත් කර ඒ පිළිබඳව දීර්ඝ කාලයක් සාකච්ඡා කර හත්වැනි වසරේ දරු දැරියන්ට ලබා දීමට සකස් කළ පොත දැන් තහනම් කර තිබේ. කවුරු කුමන ආකාරයට විග්‍රහ කළ ද, මේ රටේ ලිංගික අපචාර වසරින් වසර වැඩි වෙමින් පවතී. මෙම මූලික ලිංගික අධ්‍යාපනය පාසල් දරු දැරියන්ට ලබා දීම අත්‍යවශ්‍ය දෙයක් බව මනෝවිද්‍යාව පිළිබඳ විශේෂඥයන්ගේ ද අදහස වේ.

අද මේ පිළිබඳව අගමැති මහින්ද කියන්නේ ද, “අපේ හාමුදුරුවනේ, මේ රටේ සිසු සිසුවියන්ට ලබා දෙන පත පොත පිළිබඳව අවදියෙන් සිටිය යුතුයි” කියා ය. ඒ දරුවන් දහම් පාසල්වලට යොමු කර නිවැරැදි කිරීම ඔහුගේ අරමුණ වෙයි. මහින්ද රාජපක්‍ෂට කළ හැකි නම්, ඒක හොඳ වැඩකි. එහෙත්, ඒ දහම් පාසල්වල දී ද දරුවන් ලිංගික අපයෝජනවලට ගොදුරු නොවේ යැයි ඔහුට සහතික විය හැකි ද?

පසුගිය රාජපක්‍ෂ යුගයේ රුසියාවේ සහ තායිලන්තයේ ගණිකාවන් ගෙන්වා ඔවුන් ලවා අනඟ නැටුම් නැටෙව්වේ නාමල් බේබිලා නොවේ ද? මේවා වැරැදි යැයි එදා මහින්දට නොපෙනුණා ද? දළදා මාලිගාව ඉදිරිපිට නොසණ්ඩාල නැටුම් නැටවූ අය අද සුචරිතවාදීන් ලෙස රඟති. සංඝයා වහන්සේ මේ ලිංගික අධ්‍යාපනය ගැන දන්නේ මොනවා දැයි අප දන්නේ නැත.

අද මේ රටේ හඬක් නැති අනූලක්‍ෂයක් පමණ වූ ජනතාවට විපක්‍ෂයක අඩුව තදින් දැනේ. මේ යන ආකාරයට ඉදිරියේ දී එජාපය ලංකා දේශපාලන භූමියෙන් අතුගෑවී යන්නේ රනිල්ගේ ක්‍රියාදාමය නිසා ය. ‘වැල යන අතට මැස්ස ගැසීම’ රනිල්ගේ කාර්යයයි. අද මේ ආණ්ඩුව ගන්නා සහ ඉදිරියේ දී ගනු ලබන නීති විරෝධී, ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ග පරාජය කිරීමට ප්‍රබල විපක්‍ෂයක අවශ්‍යතාව පැනනැඟී ඇත. ආණ්ඩුව අද පොරොන්දු දේශපාලනයේ අතරමංව සිටී. ජාතිවාදය, ආගම්වාදය, බොරුව, මිථ්‍යාව තුළ හැදූ මේ ආණ්ඩුවට ඉදිරි ගමනක් නැත. අඩු තරමින්, 2005දී මහින්ද රාජපක්‍ෂ ගිය ගමනවත් යා නොහැකි බව පෙනේ. ඉදිරි මහා මැතිවරණයේ දී මේ පිරිසට තුනෙන් දෙකක බලයක් ලැබෙන්නේ ද නැත. ඔවුන් සූදානම් වන ගමන යාමට ඉඩ නොදෙනුවස් මහා මැතිවරණයේ දී ශක්තිමත් විපක්‍ෂයක් පත් කර ගත යුතු ය. අපේක්‍ෂක ලැයිස්තුවලට, මන්ත්‍රීකම්වලට, වරදාන වරප්‍රසාදවලට කුළල් කා ගන්නා පක්‍ෂයකට එය කළ නොහැකි ය. මේ රටට ආදරය කරන ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන ජාතික සමඟියට ඇලුම් කරන බලවේගයක් ශක්තිමත් විපක්‍ෂය බවට පත් කර ගත යුතු ය.

ඩී.බී. ඇල්කඩුව

Leave A Reply

Your email address will not be published.

five × 3 =