අරගලයට ගන්නේ නොගන්නේ කවුද?

8

රාජපක්ෂලා පත්කිරීමට ‘කඩේ ගිය’ කලාකරුවන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයින් අරගලයට එන විට ඔවුන්ට සැලකිය යුත්තේ කෙසේද කියලා යම් විවාදයක් තියෙනවා කියලා පේනවා. අපි එතන පැහැදිලි කරගමු.
රාජපක්ෂලා යනු තනියම පත් වුණු පිරිසක් නෙමෙයි හැට නවලක්ෂයක් විසින් තෝරා ගත්ත පිරිසක් වන අතර කලාකරුවන් නම් වූ ප්‍රසිද්ධ පිරිස ඉන් කීප දෙනෙක් විතරයි. ඒ වගේම මේ කලාකරුවන් සේම දැනට මේ අරගලයට එකතු වී සිටින ඒ හැටනම ලක්ෂය තුළ රාජපක්ෂලා පත්කිරීමට දැවැන්ත ලෙස මුදල් ආයෝජනය කරපු කෝටිපති ව්‍යාපාරිකයින් ඇතුළු විවිධ මට්ටමෙන් රාජපක්ෂලාට සහයෝගය දී ප්‍රතිලාභ හොයාගත්ත සහ දූෂිත ලෙස ජාවාරම් පවා කරපු අති විශාල පිරිසක් ඉන්නවා. ඒ සන්දර්භය තුළ මෙම කලාකරුවන් තුළ මම දකින එකම විශේෂත්වය ඔවුන් වඩා ප්‍රසිද්ධ පුද්ගලයින් වීම පමණයි. ඒ සඳහා ඔවුන් අන් අයට වඩා විශේෂ වන්දියක් ගෙවිය යුතුද? අවම වශයෙන් ඔවුන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලලා තියෙනවා. කලාකරුවන් යනු ශුද්ධ වූ පූජනීය මිනිසුන් කොටසක් ලෙස ජීවත් විය යුතුයි කියා සමාජය ඔවුන්ව වැරදියට තේරුම් අරගෙන තිබීමට ද ඔවුන් වන්දි ගෙවිය යුතු නැහැ. රාජපක්ෂලාට මුල සිටම විරෝධය පළ කරපු මම ද ඇතුලු අනිත් කඳවුරේ සිටින කලාකරුවෝ ද එවැනි පූජනීය ශුද්ධ වූ පිරිසක් නෙමෙයි. කොටින්ම කලාකරුවා කියන්නෙම එහෙම කෙනෙක් නෙමෙයි. ඒක වෙනම කතාවක්.
ඊළගට ඇතිවන ප්‍රශ්නය නම් මෙම කලාකරුවන් රාජපක්ෂ යටතේ මුදල් දූෂණ වංචා වලට සම්බන්ධ නම් කුමක් කරන්නේ ද කියන එකයි. පවතින ක්‍රමය තුළ එක් හෝ තවත් අයුරකින් අඩු වැඩි වශයෙන් දූෂිත නොවන ලෙස ජීවත් වූ කිසිවෙක් ඉතුරු වෙලා ඇති කියල මම විශ්වාස කරන්නේ නෑ. මෙම අරගලය කරන්නන් ද එහෙම දූෂිත නොවූ හොඳ මිනිසුන් කොටසක් ලෙස හදුන ගන්නවාට වඩා එසේ තමන්ට දූෂිතව සහ අසාධාරණව ජීවත් වීමට සිදුවීමට යම් අකමැති කොටසක් ලෙස හඳුනා ගැනීම ඔවුන් දිහා බැලිය හැකි, විවාදාත්මක විය හැකි නමුත්, වඩාම ඇගයුම්ශීලී දුෂ්ටියයි. විවිධ අවස්ථාවලදී මෙම අරගලයට එකතු වෙන සෑම කෙනෙක් දිහා බලන්න සිදු වන්නේත් එසේයි. එබැවින්,මෙම සන්දර්භය තුළ වඩා ගැඹුරින් කල්පනා කළොත්, අරගලයට එකතුවන කිසිවකුගෙන් සමාව ඉල්ලීමට තවකෙකුට කෙතරම් දුරට සදාචාරමය සුදුසු කමක් තියෙනවද?
දැනට රාජපක්ෂලට සහයෝගය දී අරගලයට එකතු වෙන කෙනෙකුට ඔබට ලබා දිය හැක්කේ මානුෂික සමාවයි, නීතියෙන් සමාව නෙවෙයි. එබැවින් මෙම ක්‍රමය පෙරළා අප බලාපොරොත්තු වෙන පරිදි මීට වඩා දියුණු සාධාරණ ක්‍රමය පැමිණිය පසු රාජපක්ෂ යටතේ සිදු වූ දූෂණ වංචා පිළිබඳව පරීක්ෂණයක් පවත්වන විට අරගලයට සහාය දුන් කවුරු හෝ ඒ අතර සිටී නම් කිසිම සමාවකින් තොරව ඔවුන්ද එම නීතියට යටත්. අන්න එතකොට අපි කියනවා ඔවුන්ට, අරගලයට සහයෝගය දුන්නාට ස්තුතියි, සමාව ඉල්ලීම අගයනවා, නමුත් අලුත් රටේ නීතිය ඉදිරියේ අප සියලුම දෙනා සමානයි,දැන් ඔයා හිරේ ගිහින් එන්න, ඔයා හිර ගෙදර ඉන්න අතර තවත් හොද වැඩක් කළොත් සම්මානය මල් කලඹක් සමග හිර ගෙදරටම ගෙනත් දෙනවා. ඒ තමයි ඔබ අරගල කර ලබාගත්ත අලුත් ක්‍රමය. ඒ සඳහා ඔබ කළ කැපකිරීම ද අනර්ඝයි. නමුත් ‘කලාකරුවන්’ ලෙස රාජපක්ෂලා යටතේ දූෂිණ කලා යයි අප සිතන නිසා ඔවුන් අරගලයට එන විට කොන් කිරීම අපහසුතාවයට පත් කිරීම ආදී සමාජ දඬුවම් දීම සාධාරණ හෝ ශිෂ්ට සම්පන්න නෑ.නමුත් එයින් අදහස් කරන්නේ නෑ ඔවුන් විවේචනයට නොසුදුසුයි කියන එක.
ඊළඟට අප තේරුම් ගත යුත්තේ අරගලයක් කියන්නේ අවශ්‍යයෙන්ම එක් පාර්ශවයක් විනාශ කරන්න යන යුද්ධයක් නොවන බව. මෙයාකාරයේ නිරායුධ සමාජ අරගලයක් කියන්නේ සියලු සමාජ කොටස් හැකි තරම් එකතු කරගෙන වඩා යහපත් සමාජයක් උදෙසා පවතින ක්‍රමය පෙරළන්නට කරන එක්තරා සටනක්- එය මානුෂික අරගලයක්. පවතින දූෂිත ක්‍රමය තුළ අපට අත්පත් කර ගන්නට බැරි වූ යුක්තිය සාධාරණත්වය පමණක් නොව මානුෂික හරයන් පවා අත්පත්කර ගැනීමට වඩා පහසු පරිසරයක් ගැන දැඩි අපේක්ෂාවෙන් වෙනස්ව හිතන්න කැමති මිනිසුන් විසින් කරන මානුෂික අරගලයක්. එය පවතින මජර රාජපක්ෂ ක්‍රමය තුළින් අපට ඉගැන්වූ ‘අපට කෙලවපු සහ වැරදුන උන්ට ගේම දෙන වැඩක්’ නෙමෙයි. එසේ සිතුවොත් මේ අරගලයේ මූලික පදනමම අහෝසි වෙනවා.
එබැවින් රාජපක්ෂලාව පත්කිරීමට වඩාම දර දිය ඇද්ද උන් අරගලයට පැමිණ රාජපක්ෂලාට විරුද්ධව හඬ නැගීම අරගලයේම සාර්ථකත්වයක් වන අතර එය සටන් උපන් ක්‍රමයක් ලෙසට ද අතිශයින්ම වැදගත්. එබැවින් මෙම අරගලයට විවිධ අදියර වල දී එකතුවන රාජපක්ෂවාදින් ඇතුළු වෙනත් දේශපාලන කඳවුරු වල හිටිය සියලුම දෙනාම, පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව, සිරකරුවන් ඇතුළු ප්‍රධාන ධාරාවෙන් බැහැර කළ සියලුම ආන්තික ජන කොටස් මේ සියලුම දෙනා ඔවුන් සමාව ඉල්ලීම හෝ නො ඉල්ලීම නොසලකා කිසිදු සදාචාරමය විනිශ්චයකට හෝ සමාජ දඬුවමකට යටත් නොකර පිළිගත යුතුයි. ඔවුන් අරගලය පිළිගැනීම පමණක් හොඳටම ප්‍රමාණවත්.
අරගලය වැරදුණු සියල්ල නිවැරදි කර ගැනීමටයි!
– ධනංජය කරුණාරත්න

Previous articleඅගමැතිගෙන් පාස්කු දින පණිවුඩයක්, තහනම් වචනය පාස්කු ප්‍රහාරය
Next articleඉල්ලා අස්වීම් අවුරුදු නැකතින් ලිට්‍රෝ ගෑස් සභාපති මුල පුරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here