විනාශයෙන් යැපෙන්නන් වෙතටයි !

“අවුරුද්දකට සැරයක් රට පුරා තැනින් තැන ගැටුම් ඇතිවන්නේ ඇයි?”

ප්‍රශ්නයක් විදිහට ඇසිය යුතු, එහෙත් පිළිතුරක් ලැබී නැති මේ වගේ ප්‍රශ්නයක් තිබේ.

“අවුරුද්දකට සැරයක් කොහෙන්ද?”

කවුරු හරි එහෙම ඇහුවොත් එහි පුදුම වන්නට දෙයකුත් නැත. ඒකට හේතුව අපටත් ඔය හැම එකම ටක් ගාන පරක්කුවට අමතක වීමය. නැත්නම් අමතක කරලා දැමීමය. එසේත් නැත්නම් අමතක කර දමන්නට බල කිරීමය.

“කවුද එහෙම බල කරන්නේ?”

ඒකත් ඇත්තය. මනුස්ස පරාණයක් ඇවිත් මෙන්න මේක අමතක කරපන් කියන්නේ නැත. ඒත් ඒ වෙනුවට ඇතිපදම් ප්‍රශ්න තිබේ. ජීවත් වීමම ප්‍රශ්නයකි. එදා වේල හොයාගැනීමේ ගැටුම ඔක්කොටම වඩා බරපතළය.

කොහොම කිව්වත් ගැටුම් තිබේ. කොහොම අමතක කරන්නට හැදුවත් ගැටුම් මතු වේ. ගිය අවුරුද්දේ, 2019 අප්‍රේල් මාසයේ 21 වැනිදා ප්‍රහාරයෙන් පසු මැයි මාසයේ කුලියාපිටිය, හෙට්ටිපොල, නිකවැරටිය, නාත්තන්ඩිය යන ප්‍රදේශවල ගැටුම් ඇති විය. ඊට කලින් අවුරුද්දේ, 2018 මාර්තු මාසයේ අම්පාර සහ මහනුවර ගැටුම් ඇති විය. ගැටුම් කියන වචනයත් වැරදිය. ගැටුමකට පාර්ශ්ව දෙකක් හරි හරියට සම්බන්ධ විය යුතුය. ඒත් මේ තැන්වලදී සිද්ධ වී ඇත්තේ එක් පාර්ශ්වයක් තවත් පාර්ශ්වයකට පහරදීමය.

ඊටත් පෙර, එනම් 2017 අවුරුද්දේ අප්‍රේල් 16 වැනිදා සිට මැයි 22 වැනිදා දක්වා මෙවැනි සිදුවීම් 16 ක් සිදු විය. අප්‍රේල් 16 වැනිදා ගොඩපිටියේ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්, අප්‍රේල් 20 වැනිදා මායක්කාලි ප්‍රදේශයේ ඉඩම් අත්පත් කරගැනීමක් පිළිබඳ ගැටුමක්, අප්‍රේල් 25 වැනිදා ඉරක්කමාම් ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් තර්ජනය කිරීමක්, මැයි 08 වැනිදා මියන්මාර් සරණාගතයන් රඳවාගැනීම පිළිබඳ තර්ජනය කිරීම් සහ පහරදීම්, මැයි 14 වැනිදා පොළොන්නරුවේ, ඕනෑගමදී ආගමික ස්ථානයකට තර්ජනය කිරීමක්, මැයි 15 වැනිදා ත්‍රිකුණාමලයේ සෙල්වනගර් ප්‍රදේශයේ ආගමික කණ්ඩායමකට තර්ජනය කිරීම් සහ නිවසකට පහරදීමක්, මැයි 15 වැනිදා පානදුර ප්‍රදේශයේ ආගමික ස්ථානයකට ගිනිතැබීමක්, මැයි 15 වැනිදා කොහිලවත්තේ ආගමික ස්ථානයකට පහරදීමක්, මැයි 16 වැනිදා ආගමික සංවිධානයක් විසින් තවත් ආගමික කණ්ඩායමක විශ්වාසයන් සහ ඇදහිලිවලට ගැරහීමක් සහ තර්ජනය කිරීමක්, මැයි 16 වැනිදා තෝපූර් ප්‍රදේශයේ ආගමික ස්ථානයකට පහරදීමක්, මැයි 17 වැනිදා පානදුර ප්‍රදේශයේ වෙළෙඳසැල් දෙකකට පහරදීමක්, මැයි 18 වැනිදා වෙන්නප්පුවේ රෙදිපිළි වෙළෙඳසැලක් ගිනිතැබීමක්, මැයි 21 වැනිදා කුරුණෑගල, මල්ලවපිටිය ප්‍රදේශයේ ආගමික ස්ථානයකට පහරදීමක්, මැයි 21 වැනිදා ඇල්පිටියේ සුවඳ විලවුන් වෙළෙඳසැලක් ගිනිතැබීමක්, මහරගම, විජේරාම ප්‍රදේශයේ සපත්තු වෙළෙඳසැලකට ගිනිතැබීමක් මේ සිදුවීම් අතර වේ. පොලිස් පොත්වල මේවා ගැන මේ ආකාරයේ වාර්තා තැබීමක් පමණක් සිදු වී තිබේ.

2018 මාර්තුවේ මහනුවර, දිගන, තෙල්දෙණිය, අකුරණ ප්‍රදේශවල ඇවිදින්නට ගිය දේශපාලනඥයන්ට මෙවැනි ඉරණමකට මුහුණ දෙන්නට සිදු විය.

“අපිට ප්‍රශ්නයක් නෑ. ඇයි ආවෙ?”

ඇතැමෙක් එසේ ඇසූහ.

“කරුණාකර අපි අතර ප්‍රශ්න හදන්න එන්න එපා.”

ඇතැමෙක් එසේ තර්ජනය කළහ.

ආණ්ඩුවේ වගේම විපක්ෂයේ දේශපාලනඥයෝත් තක්බීර් වූහ.

“මේවා කළේ පිටින් ඇවිත්. අපි සාමයෙන් ජීවත් වුණු මිනිස්සු. පිටින් ආපු හුඟදෙනෙක් ගමට ගහලා ආපහු ගියා. ඒගොල්ලො විනාශ කළේ අපේ බලාපොරොත්තු. අපේ ජීවිත.”

මාධ්‍ය මේවා කිව්වේ නැත. මාධ්‍ය ආපහු සැරයක් පුරුදු විදිහටම ගණන්-හිලව් හැදුවේය. 2009 මැයි 18 වැනිදාට කලින් වගේම ගණන් තිබ්බේය. ඒ ගණන් අතර පවා අහසට-පොළොව තරමේ පරස්පරතා තිබිණි.

එක්තරා ජාතික පුවත්පතක කතුවැකියේ ලියා තිබුණේ අම්පාරෙන් ආගමික කණ්ඩායමක තරුණයන් පිරිසක් මහනුවරට පැමිණ ඇති බවත්, ඔවුන් ආගමික ස්ථානවල රැකවල්ලා සිටින බවත්ය. තවත් තැනක ලියා තිබුණේ ඉදිරිය අවදානම් බවය. නිලාවේලි, පෙරියකුලම් වැවේ ඔරුවක් පෙරළී පස්දෙනෙක් මිය ගියහ. ප්‍රවෘත්ති වෙබ්අඩවියක් මේ පුවත වාර්තා කර තිබුණේ “නිලාවේලි උණුසුම් – පහක් මිය යයි” යනුවෙනි. මාධ්‍ය සහ දේශපාලනඥයන් ඔවුන්ගේ බලාපොරොත්තුවලට ගිනි තිබ්බේත්, තව-තවත් ගිනි තියන්නට උත්සාහ දරමින් සිටින්නේත් ඒ ආකාරයටය.

මහනුවර, අකුරණ යනු ඉස්ලාම් ආගමට අයත් අති බහුතරයක් ජීවත් වන ප්‍රදේශයකි. කටුගස්තොට, පූජාපිටිය, අඹතැන්න යන ප්‍රදේශවල ජනතාව අකුරණ ප්‍රදේශයේ රැකියා කරති. ඔවුන් අතර පැවැති සුහදතාව පළුදු වී ගොස්, එකිනෙකා පේන්නට බැරි තත්ත්වයක් ඇති වෙතැයි ගිනි තැබූවෝ බලා සිටියහ. ඒත් වැඬේ සිද්ධ වෙලා තියෙන්නේ එසේ නොවේ. අකුරණ ඉස්ලාම් ජනතාව අනෙකුත් ප්‍රදේශවල වෙසෙන බෞද්ධ ජනතාවට පැවසුවේ “ආපහු එන්න, අපි වැඩ කරමු” කියාය.

බෞද්ධ ජනතාවගේ පැත්තෙන්ද ඉස්ලාම් ආගම අදහන ජනතාවට කිව්වේ මෙවැන්නකි.

“අපිට මොනවා ගන්නද මේ මරාගන්නෙ. අහලා බලන්න, ඔය ගෙවල් ගිනි තිබ්බා නේද. කඩ ගිනි තිබ්බා නේද. ඒවා අයිති එක්කෙනෙක් අපි බඩගින්නෙ තිබ්බෙ නෑ.”

ගිනි තියන්නට හැදූ පිරිස් සම්පූර්ණයෙන් අසමත්ය. සැලසුම් ගැසූ පිරිස් විනාශයක් කළහ. එහෙත් ඔවුන්ට හිත් ගිනි තියන්නට බැරි විය.

ඒ අතරවාරයේ අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු, යළිත් ගැටුම් ඇති විය. සමස්ත ප්‍රජාවක් ත්‍රස්තවාදීන් කිරීමේ මෙහෙයුමක් දියත් විය. ත්‍රස්තවාදයට සහාය දුන් ලොක්කන් සඟවන මෙහෙයුමක් ද ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක විය. මාධ්‍ය ඔස්සේ ආරම්භ කෙරුණු මේ මෙහෙයුමේ එක් කොමාවක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය, හෙට්ටිපොල, කොබෙයිගනේ, නිකවැරටිය, රස්නායකපුර, බිංගිරිය ප්‍රදේශවලින් වාර්තා විය. පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත නගරයත්, ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ, දිවුලපිටිය ප්‍රදේශත් එහි ගොදුරු විය.

“ගහන්න දවස් දෙකකට කලින් බිංගිරියේ කිනියම වැව කිමිදුම්කරුවො දාලා හමුදාවෙන් සම්පූර්ණයෙන් පරීක්ෂා කළා. මොකුත් හම්බුණේ නෑ. මං හිතන්නේ මුළු වරුවක්ම ඒකට ගියා. ඒක කළේ ඔය වැවේ ආයුධ හංගලා ඇති කියලා අපේම කට්ටිය කරපු පැමිණිල්ලක් නිසා. ඊට පස්සෙ හමුදාවෙ කට්ටිය කියලමයි ගියෙ, සැකයක් තියාගන්න එපා, අපි සම්පූර්ණයෙන් වගකීම ගන්නවා කියලා.”

එහෙත් කෲර මෙහෙයුම් එසේ අවසන් වන්නේ නැත.

“ගහපු දවසෙ හවස ඒ වැවේ තිබිලා හොඳට ඔතපු පතුරම් පනහක්-හැටක් විතර තියෙන පාර්සලයක් හොයාගෙන තිබුණා. ඒකට හමුදාවෙ හරි පොලිසියෙ හරි කවුරුත් ඇවිත් තිබුණෙ නෑ. ගමේ කීපදෙනෙක් තමයි ඒක හොයාගෙන තිබුණෙ. එදාම තමයි ගැහුවෙ.”

හමුදාවේ කිමිඳුම්කරුවන්ට සොයාගත නොහැකි වූ, තරමක් ලොකු පාර්සලයක් හදිසියේ වැවෙන් මතු වී ඇත.

“මිනිස්සු අවුස්සන්න ඕවා පිටින් ගෙනැවිත් දැම්මද කියලා හැමෝටම දැන් සැකයි.”

ඒ කියන වැව ආසන්නයේය, පුවක්ගහකඩවල, කිනියම ගම්මාන පිහිටා ඇත්තේ. එහි ඉස්ලාම් ආගමික ස්ථාන තුනකට පහර දී ඇත. යතුරු පැදි විස්සකට වඩා පුළුස්සා ඇත.

බලය පවත්වාගැනීම වෙනුවෙන් කරන කෲර මෙහෙයුම්වලදී ඔබේ – මගේ ජීවිත, දේපොළ, සමාජ සම්බන්ධකම් නැති වීම අදාළ ම නැත. ඔවුන්ට ඇත්තේ ඉලක්කයකි. ඒ වෙනුවෙන් භීතිය, සැකය, අවිශ්වාසය වැපිරිය යුතුය.

මේ තවත් සිද්ධියකි. හෙට්ටිපොල, විල්බාගෙදර පාසල ආසන්නයේ සැකකටයුතු ලෙස පුද්ගලයෙක් ගැවසී ඇත. ප්‍රදේශවාසීන් කිහිපදෙනකු ඔහු පස්සේ එළවා තිබේ. යතුරුපැදියකින් වේගයෙන් පළායෑමට උත්සාහ කළද, ඔහු අල්ලාගන්නට ප්‍රදේශවාසීන්ට හැකි විය. ඊට හේතුව ඔහු ඒ ප්‍රදේශයේ පාරවල් පිළිබඳව කිසිවක් දැන නොසිටීමයි. වළවල් සහිත වෑකන්දක පාරකට ඔහු හරවා ඇත. එහි කොහොමත් යතුරු පැදියකට ගමන් කළ හැක්කේ ඉතා අසීරුවෙන් බව ප්‍රදේශවාසීහු කියති. තමන්ගේ වේගය පාලනය කරගත නොහැකි වූ මේ පුද්ගලයා වැවට පෙරළී ඇත.

ප්‍රදේශවාසීන් ඔහු අල්ලාගෙන පරීක්ෂා කිරීමේදී බැටරි කෑලි කිහිපයක් සහ පරණ වූ වයර් කෑලි කිහිපයක් ඔහු ළඟ තිබී ඇත. අවිශ්වාසය සහ සැකය එල්ල වී ඇති ප්‍රජාව නියෝජනය නොකළ ඔහු, මහා ප්‍රජාවේ සාමාජිකයෙකි. ඔහු පවසා ඇත්තේ පාසල තුළට යෑමේ අපේක්ෂාවෙන් පැමිණි බවයි. ප්‍රදේශවාසීන් විසින් මේ පුද්ගලයා හෙට්ටිපොල පොලිසියට භාර දී ඇත.

දුම්මලසූරිය, ඇතුන්ගහකොටුව කුඩා නගරයේ කඩ කිහිපයක් වසා දමන ලෙස ත්‍රීරෝද රථ රියැදුරන් පිරිසක් පැමිණ තර්ජනය කර ඇත. කඩ හිමියන් ඒ සම්බන්ධයෙන් දුම්මලසූරිය පොලිසියට පැමිණිලි කර තිබේ. ඉන්පසු පොලිසියෙන් අදාළ තර්ජනය කිරීමට පැමිණි කිහිපදෙනකු අත්අඩංගුවට ගෙන ඇත. උඩුබද්දාව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙක් සමග පැමිණි පිරිසක් ඔවුන් නිදහස් කරන ලෙස බලපෑම් කර තිබේ. එහෙත් පොලිසිය ඔවුන් නිදහස් කර නැත. ඉන්පසුව කිසියම් පිරිසක් කඩවලට පහර දී තිබේ.

කල්මුනේ වැටලීමකදී ත්‍රස්තවාදීන් සහ ආරක්ෂක අංශ අතර වෙඩි හුවමාරුවක් සිදු වූ බව ඔබට මතක තිබිය යුතුය. ඊට හේතුව ඇතැම් මාධ්‍ය “බ්‍රේකින් නිව්ස්” ලෙස ඒ පිළිබඳව යළි-යළිත් ජනතාවට කීමය. එහිදී ආරක්ෂක අංශයේ පිරිසක් මිය ගිය බවට පියල් නිශාන්ත මන්ත්‍රීවරයා රූපවාහිනියේ සජීවී වැඩසටහනකදී ප්‍රකාශ කළේය. එහෙත් එය සම්පූර්ණ අසත්‍යයකි. ජනතාව අතර ගැටුමක් ඇවිළවීම ඔහුගේ අරමුණ විය. එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදු වූයේ ඔහුගෙන් ප්‍රකාශයක් ගෙන ගෙදර එවන්නට ය. ඔහු අත්අඩංගුවට ගැනීමට ඕනෑවටත් වඩා සාක්ෂි තිබියදී, ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් ඔහුව අත්අඩංගුවට නොගන්නා ලෙස නියෝගයක් නිකුත් කර තිබේ.  එසේ සිදු වූයේ ඇයි?

ඉන්පසුව එක දිගට කඩු ඇතුළු ආයුධ අත්අඩංගුවට ගත් බවත්, සැකකටයුතු පුද්ගලයන් සිය ගණනක් අත්අඩංගුවට ගත් බවත් මාධ්‍ය මගින් වාර්තා කෙරිණි. එහෙත් යුද හමුදාපතිවරයා විසින්ම පැවසුවේ ඒවායින් ජනතාව භීතියට පත් වූ බවත්, ඒවායින් බහුතරය අසත්‍ය බවත්ය. කඩු ඇතුළු ආයුධ සීමිත ප්‍රමාණයක් පමණක් අත්අඩංගුවට ගත් බවත්, ඒ අතරිනුත් සමහර ඒවා මළකඩ කෑ ඒවා බවත් කිව්වේද යුද හමුදාපතිවරයාමය. සැකකටයුතු පුද්ගලයන් ලෙස හඳුන්වමින් අත්අඩංගුවට ගත් පිරිස් අතරින්, අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති සුළුතරයක් හැර අනෙක් පිරිස් ප්‍රකාශයක් ලබාගැනීමෙන් පසු නිදහස් කර ඇත.

මේ ජාතියේ උදාහරණ රැසකි. මාතර, දික්වැල්ලේදී ජංගම දුරකථනවලට යොදන සිම් කාඞ්පත් තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවකු පොලිසියෙන් ප්‍රකාශයක් ලබාගැනීමෙන් පසු නිදහස් කර තිබේ. ඔහු තමන් ඒවා අලෙවි කරන්නකු බව තහවුරු කර ඇත. එම ප්‍රදේශයේදීම රෙදි තොගයක් සමග අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුගේ තත්ත්වයද මීට සමානය. ව්‍යාපාරිකයකු බව තහවුරු කිරීමෙන් පසු ප්‍රකාශයක් ලබාගෙන ඔහු නිදහස් කර ඇත. හක්මන, කිරින්ද ප්‍රදේශයේදී වල්ලපට්ටා තොගයක් සමග අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුට ඇප දීමට, හම්බන්තොටින් පැමිණි අයෙකු අත්අඩංගුවට ගෙන, පසුව මුදා හැර තිබේ. හක්මන, මීඇල්ලේදී පාස්පෝට් තොගයක් සමග අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු, තමන් පුද්ගලයන් විදේශ රටවලට යැවීමේ ව්‍යාපාරයක් කරන බව සඳහන් කොට, එම පාස්පෝට් වල අනන්‍යතා තහවුරු කිරීමෙන් පසු නිදහස් කර ඇත.

දෙනියාය ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් සිව්දෙනෙකු ප්‍රකාශයක් සටහන් කරගැනීමෙන් පසු මුදාහැර තිබේ. කොටපොළ මහා විද්‍යාලයේ පැවැති ජනතාව දැනුවත් කිරීමේ රැස්වීමකදී දෙනියාය පොලිස් ස්ථානාධිපතිවරයා විසින්ම පවසා ඇත්තේ මෙම ප්‍රවෘත්ති සම්බන්ධයෙන් බියට පත් නොවන ලෙසයි. එසේම ඇතැම් පොලිස් ස්ථානාධිපතිවරුන් තමන්ගේ පොලිසියේ නම මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරවා ගන්නටද මේ ජාතියේ උපක්‍රම යොදා ඇත. එහෙත් මාධ්‍ය කිසිවක් ඒ නිදහස් කිරීම් ගැන කිව්වේ නැත. ඒ නිසා ජනතාව භීතියට පත්වීම සාධාරණය.

සිදුවීම්, ගැටුම් යන නමින් පෙළගැසුණේ මෙසේය. ඒ අතරවාරයේ රත්නපුරය නගරයට ප්‍රහාරයක් එල්ල කරන්නට පැමිණි බව කියමින් තරුණයන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනීම, ලේඛක ශක්තික සත්කුමාරට ආගමකට අපහාස කළ බව කියමින් සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ පනත යටතේ ඇප ලබා ගැනීමට අසීරු වන පරිදි නඩු පැවරීම වැනි සිදුවීම් ද විය. ඒ සිදුවීම් දෙකෙන්ම පැහැදිලි වූයේ නීතිය ක්‍රියාත්මක කිරීමට ආගමේ ඇති බලපෑමේ තරමයි. ප්‍රකාශනයේ නිදහසට ආගමේ ඇති බලපෑමේ තරමයි.

දැන් ඇත්තේ අලුත් ආණ්ඩුවකි. ඉහත කී බහුතරයක් සිදුවීම් වලට සෘජුව මැදිහත් වූ පුද්ගලයන්, මේ ආණ්ඩුවේ ප්‍රධානීන් සමග ළඟින් ගනුදෙනු කරන ආකාරයත්, ඔවුන්ගේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට සහාය දක්වන ආකාරයත් ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු අතරතුරදී අපි දුටුවෙමු. ඒ කියන්නේ තියරිය හරි නම්, දැන් ප්‍රායෝගිකව ඉහත ආකාරයේ සිදුවීම් විය නොහැකිය. ඔක්කොම ඉන්නේ එක ගොඩේය.

කෙසේ හෝ ජනතාව අතර අවිශ්වාසය ඇති කරන සිදුවීම් නැති කරන්නට සියල්ලන් පියවර ගත යුතුය. බලය ලබා ගැනීමට ඔවුහු එය කළහ. බලය පවත්වා ගැනීමට ද ඔවුන් එය කරන්නට සූදානම් බව පෙනෙන්නට තිබේ. ගෝඨාභය රාජපක්ෂලා බලයට ආවේ ජනතා කැමැත්තෙන්ය. එහෙත් ඔවුන්ට විනාශයෙන් යැපෙන්නට අයිතියක් නැත. මේ අවුරුද්දවත් වෙනස් කරමු!

ශාලික විමලසේන

Leave A Reply

Your email address will not be published.

12 + 7 =