‘සයුරු තෙර සහන් බිම’ විප්ලවවාදීන්ගේ අවධානයට ලක් විය යුතු කෘතියක්

96

රෝහණ වෙත්තසිංහයන් අතින්  සිංහලට නැඟුණු ඉසබෙල් අයියන්දේගේ ‘සයුරු තෙර සහන් බිම’ සියලු විප්ලවවාදීන්ගේ මතු නොව සමාජ පරිවර්තනයක් පතනවුන්ගේ අවධානයට ලක් විය යුතු  කෘතියක් බවට මම යෝජනා කරමි.
මූලික වශයෙන් ගත් කල  ඉසබෙල් අයියන්දේ මේ නවකතාව මඟින් හුවාදක්වනු ලබන සමාජ ධර්මතාව මානවයාගේ අප්‍රතිහත ධෛර්යය හා ආත්ම විශ්වාසය කෙරෙහි ඉමහත් භක්තිපූර්වක හැඟීම් දනවන්නකි. ලේඛිකාවක වශයෙන් ඉසබෙල් අයියන්දේ සතු පු`ඵල් සමාජ, දේශපාලන හා සංස්කෘතික දැක්ම කෘතිය පුරා මහාර්ඝ සුගන්ධයක් මෙන් පැතිර යන ආකාරය පාඨක සිත්සතන් නව ජීවිතාපේක්ෂාවකින් මුසපත් කරවනසුලුය. ඓතිහාසික වශයෙන් වැදගත් වන මානව පුවත් ඒවායේ ජීවමාන යථාර්ථය මතම ස්ථානගත කරමින් සාහිත්‍යකාරිය සතු පරිකල්පනීය ගුණයෙන් ඔපවත් කරන ආකාරය මඟින් අයියන්දේ නම් ලේඛිකාව සතු නිම්හිම් නැති ලේඛන කුසලතාව නැවත නැවතත් තහවුරු කර දක්වයි.

‘සයුරු තෙර සහන් බිම’ නවකතාවේ එක්තරා හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස ‘විනිපෙග්’ නෞකා ගමන සැලැකිය හැකි ය. කෘතියේ ඊ ළඟ දිශානතිය සනිටුහන් කරන චරිත සමූහයක් ලේඛිකාව විසින් කරළියට සම්ප්‍රාප්ත කරනු ලබනුයේ මෙහි දී ය.

මනා භාෂා කෞශල්‍යයකින් හා ගැඹුරු ජීවන දෘෂ්ටියකින් හෙබි ඉසබෙල්ගේ ප්‍රබන්ධ විලාසය එහි සාරය නොසිඳා අන් බසකට නැඟීම එතරම් පහසු කාර්යයක් නොවේ. ඇයගේ වැකිවල අන්තර්ගත සංකේතීය අරුත් සේම ජනවහර ආශ්‍රිත බස්වහර ද මනා ලෙස වටහා ගැනීම අභියෝගාත්මක ය. අප ප්‍රවීණ පරිවර්තක රෝහණ වෙත්තසිංහ එකී කඩඉම් ඉතා සූර ලෙස තරණය කර ඇති බව පෙනේ. ඉසබෙල්ට මතු නොව සිංහල පාඨක පර්ෂදයන්ට ද ඔහු විසින් සාධාරණයක් ඉටු කරනු ලැබ ඇති බව රෝහණයන්ගේ වෙහෙසකර ප්‍රයාමයට ප්‍රණාමයක් වශයෙන් වෙසෙසින් සටහන් කරනු කැමැත්තෙමි.
නවකතාව දිගහැරෙනුයේ ස්පාඤ්ඤයේ 1930 දශකයේ පැනනැඟුණු ස්පාඤ්ඤ සිවිල් යුදසමය පසුබිමේ ය. එනමුත්, මෙය කිසිසේත් ස්පාඤ්ඤයේ දේශසීමාව තුළ කොටු කිරීමට ලේඛිකාවට අවශ්‍ය නොවේ. කතාව ඇරඹී වැඩි දුර යාමට පෙරාතුවම නවකතාව වෙනත් පීඨිකාවකට පිවිසෙයි. සිවිල් නැඟිටීම ඉතා ක්‍රෑර ලෙස මර්දනය කරන ෆ්‍රැන්කෝගේ මිලිටරි ජුන්ටාවෙන් මිදී ප්‍රංශය වෙත පලා යන ලක්ෂ සංඛ්‍යාත  සරණාගතයන්ගෙන් අතිබහුතරය වාමවාදීන් වෙති.

සැල්වදෝර් අයන්ඩේ


වර්තමානයේ ලාංකික රසික ප්‍රජාව අතර මහත් කතාබහකට ලක් වන පැබ්ලෝ නෙරූදාගේ චරිතය යෝධ ප්‍රතිමාවක් සේ නැඟීසිටිනුයේ මේ මහා සමාජ ව්‍යසනය මැද ය. චිලී දේශයේ සමාජ විප්ලවය ජය කණුව වෙත ළඟා වෙමින් පැවැති එම වකවානුවේ ප්‍රංශයේ චිලී තානාපති ධුරය හොබවනුයේ නෙරූදා ය. ‘විනිපෙග්’
නම් අබලි ද්‍රව්‍ය ප්‍රවාහනය කරන නැවක් යොදාගෙන නෙරූදා සරණාගතයන් 2,000ක් සිය මවුබිම වන චිලියට පිටත් කරවයි.
‘සයුරු තෙර සහන් බිම’ නවකතාවේ එක්තරා හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස  ‘විනිපෙග්’
නෞකා ගමන සැලැකිය හැකි ය. කෘතියේ  ඊ ළඟ දිශානතිය සනිටුහන් කරන චරිත සමූහයක් ලේඛිකාව විසින් කරළියට සම්ප්‍රාප්ත කරනු ලබනුයේ මෙහි දී ය. එතෙක් වික්ටර්, රෝසර්, අයිතෝර් හා කාර්මේ වැනි චරිත කිහිපයක් ඔස්සේ දිගඇදෙන වෘත්තාන්තය අතිපු`ඵල් වේදිකාවක් කරා ප්‍රවේශ වන්නේ මෙහි දී ය.
වික්ටර් හාරා

පැබ්ලෝ නෙරූදා, සැල්වදෝර් අයියන්දේ, වික්ටර් හාරා වැනි ඓතිහාසික පෞරුෂයන් පාඨකයා හමුවට ගෙන ඒම මඟින් ඉසබෙල්  නිශ්චිත සමාජ, දේශපාලන සන්දර්භයක් තුළ තම ප්‍රබන්ධය ඉතා සූක්ෂ්මව ස්ථානගත කරන අයුරු විශිෂ්ට ය. ඇයගේ හුරුපුරුදු මායා යථාර්ථවාදී ආඛ්‍යානය වෙනුවට මෙහි දී වඩාත් නිදහස් ආඛ්‍යාන මූලෝපායයක් භාවිත කිරීමට ඉසබෙල් නිර්භීත වී ඇති සැටි ද කදිම ය. බැලූබැල්මට වාර්තාකාරී ලේඛන ආරක ලක්ෂණ මතුපිටින් දිස් වුව ද, ප්‍රබන්ධයේ ස්වරූපයට උචිත වියමන් රටාවක් ගොඩනඟා ගැනීමට ඉසබෙල් ඇයගේ පන්හිඳට අවකාශ සලසයි.
පැබ්ලෝ නෙරූඩා

නෙරූදා, සැල්වදෝර් හා වික්ටර් දල්මව් වැනි ජීවමාන වරිත ඇසුරේ ඇය ලබන ජීවගුණය හා මානවදයාව වැනි මහාර්ඝ ගුණාංග පාඨකයා සමඟ නිර්ලෝභීව බෙදාහදා ගැනීමට ඉසබෙල් කිසි විටෙකත් පසුබට නොවන්නී ය.
කෘතියේ එන සෑම පරිච්ඡේදයක් ආරම්භයේ දීම නෙරූදාගේ කවියක් උපුටා දැක්වීමට ඇය පෙළැඹී සිටිම මඟින් පෙන්නුම් කරනුයේ, පැබ්ලෝ නෙරූදා නම් විප්ලවීය කවියා කෙරෙහි ඇයගේ හදගැබෙහි දිදුලමින් පැවැති භක්ති ප්‍රබෝධයයි. තවද, ඉසබෙල්  A LONG PETAL OF THE SEA යන ග්‍රන්ථ නාමය මේ නවකතාවට යොදා ගන්නේ ද නෙරූදාගේ කවියකින් උපුටා ගත් වැකියකිනි. එමතු ද නොව එකල විරෝධාකල්ප සමාජ කණ්ඩායම් නෙරූදාගේ කවිවලට පෙම්බැඳ සිටි අයුරු ඇය මහත් අභිරුචියෙන් පෙන්වා දෙයි.
ස්පාඤ්ඤයේ බලය ඩැහැගත් ෆ්‍රැන්කෝ සෙනෙවියා විසින් අමු අමුවේ මරා දැමුණු ගාෂියා ලෝකා හා ඇන්ටෝනියෝ මචාඩෝ වැනි විප්ලවවාදී කලාකරුවන්ට උපහාර පිණිස නෙරූදා විසින්Spain In the Heart නමින් කවියක් පබැඳ තිබිණ. එය අප පරිවර්තක රෝහණ විසින් සිංහලට නැඟුණු අයුරු ද කදිම ය.

“වීදි දිගේ දරුවන්ගේ රුධිරය
නිසලව ගලා ඇදිණි
දරුවන්ගේ රුධිරය දැකීමට මනාප ද…
ඇවිත් බලන්න වීදි පුරා ඇති රුධිරය දිහා
ඇවිත් බලන්න වීදි පුරා ඇති රුධිරය දිහා…”

ප්‍රංශයට පලා එන ස්පාඤ්ඤ ජනතාව කෙරෙහි නෙරූදාගේ චිත්ත සන්තානය කම්පා වන අයුරු මේ කවි පද මොනවට දෙස්දෙයි. එවකට චිලියේ පාලනය හෙබැවූ ප්‍රතිසංස්කරණවාදී ජනපතිවරයා වූ පේස්රෝ ඇගියුරේට කරුණු ඒත්තුගන්වා පලා එන්නන් අතුරින් තෝරා ගත් පිරිසකට චිලියේ පුරවැසිකම් ලබා දීමට නෙරූදා සමත් වන්නේ දක්ෂිණාංශිකයන්ගේ පමණක් නොව කතෝලික පල්ලියේ ද දැඩි විරෝධතා මැද ය. නව සමාජ ක්‍රමයක් බිහි කිරීමේ විළිරුදාවෙන් පෙළෙමින් සිටි චිලියේ අනාගත සුබසිද්ධියට වැඩදායක විය හැකි වෛද්‍යවරුන්, කාර්මිකයන්, කලාකරුවන් හා බුද්ධිමතුන් තෝරා ගැනෙනුයේ නෙරූදා විසින් පෞද්ගලිකව පවත්වනු ලැබූ සම්මුඛ පරීක්ෂණ මාලාවකින් ඉක්බිතිව ය. ඔහුගේ දුරදක්නා නුවණ හා මානව දයාවේ අසීමාන්තික බව අප ලේඛිකාවගේ මහත් ගෞරවාදරයට පාත්‍ර වන්නේ මෙවන් තතු යටතේ ය.
ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකින් බලයට එන සැල්වදෝර් අයියන්දේගේ වාමාංශික ආණ්ඩුව පෙරළා දැමීමට ඇමෙරිකානු අධිරාජ්‍යවාදීන්ගේ පූර්ණ සහාය ද ඇතිව දක්ෂිණාංශික බලවේග පෙළගැසෙන  සැටි මේ නවකතාවේ නිරූපණය වන ආකාරය ලාංකීය පාඨක ප්‍රජාවට සේම වාම දේශපාලනයේ නිරත විප්ලවවාදීන්ට ද ඉතා වැදගත් වනු ඇතැයි මම සිතමි. සැල්වදෝර් අයියන්දේ චිලියේ ජනපතිවරණයෙන් ජය ගන්නේ 1970දී ය. ඔහු සිය මැතිවරණ ව්‍යාපාරයේ දී  ජයග්‍රහණයෙන් පසුව කරන වෙනස්කම් පිළිබඳව ප්‍රසිද්ධියේම කතා කරයි. තඹ කර්මාන්තය ජනසතු කිරීම, සමාගම්, බැංකු රජයට පවරා ගැනීම හා ඉඩම් ජනසතුව ඒවා අතුරින් කිහිපයකි. බලය ලබාගෙන මේ කටයුතු මැනැවින් ඉටු කරමින් සිටිය දී, ධනේශ්වර, ප්‍රතිගාමී කඳවුර ප්‍රතිවිප්ලවය දියත් කරන ආකාරය ඉසබෙල් විස්තර කරනුයේ, ඇයගේ තියුණු සමාජ දේශපාලන දෘෂ්ටිය කදිමට ගෙනහැරපාමිනි.
සමාජවාදයට සතුරු ප්‍රතිගාමී ව්‍යාපාරිකයෝ ආහාර ද්‍රව්‍ය හිඟයක් මවාපාති. ප්‍රතිගාමි මාධ්‍ය ද ජනතාව නොමඟ යවන හා කුපිත කරවන පුවත් වපුරයි. ඒ අතර රහසිගත සන්නද්ධ කණ්ඩායම් අහිංසක පුරවැසියන්ට ප්‍රහාර එල්ල කරති. එවන් දුෂ්කරතා මැද පවා පොදු ජනතාව අයියන්දේ කෙරෙහි බලාපොරොත්තු තබති. තම පන්තිය නියෝජනය කරන රජයක් බිහි වී ඇති බව ඔවුන්ට තේරුම් ගොස් ඇති බැවිනි. රට පාලනය කරන්නේ ජනාධිපති සහෝදරයෙකි. පක්ෂයේ සහෝදරවරු ජනතාවගේ දුක-සැප සොයා බලති. වික්ටර් හාරා වැනි විප්ලවීය කලාකරුවන්ගේ ගී ගායනා සිව්දෙසින් ගලා එයි. පොදු චතුරශ්‍රයේ නාට්‍ය රඟදැක්වේ. එසේ වුව ද, මේ සියලු අපේක්ෂා මැද ප්‍රතිවිප්ලවය පාතාල ලෝකයෙන් මතු වන නපුරු සර්පයකු සේ කෙමෙන් හිස ඔසවයි.
ප්‍රජාතන්ත්‍රවාදී බලහුවමාරුවක් පිළිබඳව සැල්වදෝර් අයියන්දේ තුළ පැවැති තදබල කැමැත්ත මෙන්ම මහජන සහයෝගයක් කෙරෙහි තිබු අසිමිත විශ්වාසය චිලියේ ප්‍රතිවිප්ලවයට පාර කැපූ සැටි ඉසබෙලා ඉතා විචක්ෂණ අයුරින් සයුරු තෙර සහන් බිම’ නවකතාව ඔස්සේ රූපණය කරයි. එසේම මෙහි දී ඇය දැඩි අවධාරණයකින් යුතුව හුවාදක්වන තවත් බරපතළ දේශපාලන නියාමයක් කෙරෙහි ද අව්‍යාජ විප්ලවවාදීන්ගේ සැලැකිල්ල යොමු කිරීම අත්‍යවශ්‍ය ය. එනම්, ප්‍රතිවිප්ලවය හමුවේ අන්තවාදී වාමාංශය හා පැසිස්ට්වාදය එකට පෙළගැසෙන ආකාරයයි.
අයියන්දේගේ සුමට, නම්‍යශීලි ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමය නොඉවසන අන්තවාදී වාමාංශය සන්නද්ධ අරගලයක් මඟින් බලය තහවුරු කර ගැනීමේ උද්ඝෝෂණයක් අරඹයි. ඊට සමගාමීව “සටන් කරන්න අවශ්‍ය නම් අපි සටනට බහිමු” යන සටන් පාඨය පෙරට දමනු ලබන්නේ පැසිස්ට්වාදී කල්ලි විසිනි. නෙරූදා මේ තීරණාත්මක මොහොත එක වැකියකට ගොනු කරන්නේ මෙසේය. “දක්ෂිණාංශිකයන් තරමටම මේ කුලප්පු වෙච්ච ඉක්මන්කාරයො රජයට හානියක් කරනවා.”
1973 සැප්තැම්බර් 11 වැනිදා චිලියේ බියකරු හමුදා කුමන්ත්‍රණයක් දියත් වේ. සැල්වදෝර් අයියෙන්දේගේ මැඳුර ඇතු`ඵ වාම නායකයන්ගේ නිවෙස්වලට ප්‍රහාර එල්ල වෙයි.
චිලිය උඩු-යටිකුරු  වීමට ගත වන්නේ පැය කිහිපයකි. ඉසබෙල් මේ දුෂ්කර  මොහොත පාඨකයා හමුවට ගෙන එන්නේ මෙම නවකතාව රචනා කිරීමට අවැසි වස්තු බීජය ඇයට ප්‍රදානය කළ, එසේම ඇයගේ මහත් අභිරුචිය දිනාගත් චරිතයක් ලෙස නවකතාවේ හමු වන වික්ටර් දල්මව්ගේ දෘෂ්ටිය ඔස්සේ ය.
“වික්ටර් උදෑසනින්ම රෝහල බලා පිටත් විය. යුද ටැංකිවලින් හා හමුදා සෙබඵන් ප්‍රවාහනය කෙරෙන කොළපාට ට්‍රක් රථවලින් වීදි ඇහිරී ඇති බැව් ඔහු දිටී ය. ගුමු ගුමු හඬ නංවමින් කුරුල්ලන් සේ අහසේ පහළින් පියාසර කළ හෙලිකොප්ටර් ගෙන ආවේ නරක පෙරනිමිත්තකි. සටන් ඇඳුමින් සැරැසී කමන්වේ (ඇමෙරිකා-ඉන්දියා සම්භවයක් ඇති) ගෝත්‍රික භටයන් මෙන් මුහුණු පාට කර ගත් සෙබඵ, උදෑසන පාරේ ගමන් ගත් සිවිල් වැසියන් කිහිප දෙනා තුවක්කු බඳෙන් පසෙකට තල්ලු කර දැමූහ.”
මිලිටරි ජුන්ටාව මෙහෙයැ වූ ජනරාල් ඔගස්ටෝ පිනොෂේ වහාම ඒකාධිපති බලතල සියතට ගනී. කොමියුනිස්ට්වාදය නමැති පිළිකාව පීතෘභූමියෙන් මුලිනුපුටා දමන බවට නිවේදනය කරයි. ‘සහෝදරයා’ යන වචනය පවා භාවිතයෙන් මකා දැමෙයි. පැබ්ලෝ නෙරූදා මිය යන්නේ ද මේ සමයේ ය. හදිසියේ අසනීප  වී රෝහල්ගත කරන නෙරූදා මිය යන්නේ සමස්ත චිලිය තුළම දැඩි සැකයක් ඉතිරි කරමිනි. ඔහුට වස දී ඝාතනය කළ බව ප්‍රසිද්ධ රහසකි. එසේම පිනොෂේගේ ජුන්ටා මැරයන් විසින් කලාගාරයක් බඳු නෙරූදාගේ නිවස පොඩිපට්ටම් කර දැමිණ. ‘විප්ලවයේ රණහඬ’ ලෙස නම් දරා සිටි වික්ටර් හාරා නම් ජනතා ගායකයා ම්ලේච්ඡ ලෙස මරා දමන සැටි දුටු ලෝහ කම්කරුවෙක් පැවසූ වදන් කිහිපයක් ද ඉසබෙල් මෙසේ උපුටා දක්වයි:
“මං දැක්කා මේ මැරයො වික්ටර් හාරාගෙ අත් දෙක බිඳලා දාපු හැටි ‘දැන් ඉතින්, සින්දු කියපන් මෝඩ තකතිරුවා’ උන් හාරාට ඒ විදිහට කෑගැහුවා. ඉන් පස්සෙ උන් ඔහුට පහර දීලා ඇඟ පසාරු කරගෙන යන්න වෙඩි තියල දැම්මා”
අවසානයේ වික්ටර් දල්මව් ද කොමියුනිස්ට්වාදියකු ලෙස සලකා අත්අඩංගුවට ගැනෙයි. ඔහු නෙරූදාගේ හා අයියන්දේගේ සමීප මිතුරකු වීම මෙයට ආසන්න හේතුවයි. චෙස් ශූරයකු ද වූ වික්ටර්, අයියන්දේගේ චෙස් සගයා ලෙස ද ප්‍රසිද්ධව සිටීම සිරගත වීමට බලපෑ තවත් කරුණකි.
චිලියේ ප්‍රතිවිප්ලවය එක් පැත්තකින් සිතුවමට නඟන ලේඛිකාව නවකතාවේ තවත් පු`ඵල් ඉඩකඩක් වෙන් කරනුයේ, ඇයගේ ප්‍රබන්ධකරණයේ වෙසෙස් අංගයක් වන මානව සබඳතා විවරණය කිරීම පිණිස ය. මෙහි දී ඔෆේලියා නම් ඉතා ධනවත් චිලි තරුණියක හා වික්ටර් අතර ඇති වන කායික සබඳතාවේ අවසානය වන්නේ වික්ටර් විසින් ගැබිනියක වූ ඔෆේලියා අතැර දමනු ලැබීමයි. චිලියානු සමාජ – සංස්කාතික කාර්යයන් කෙරෙහි කතෝලික සභාවේ මැදිහත් වීම උර්බිනා නම් කතෝලික පියතුමාගේ ක්‍රියාකාරකම් මඟින් මනා ලෙස සංකේතවත් වේ. රෝසර්, අයිතෝර්. කාර්මේ, ෆෙලිෆේ, ලෝරා, ක්වානා හා මතියාස් වැනි ප්‍රබල චරිත ඇසුරෙන් ඉසබෙල් ගොඩනඟන ප්‍රබන්ධය මානව වංශ කතාවේ එක්තරා පැතිකඩක් නිරූපණය කිරීම තරමටම විචිත්‍ර ය. මිනිසාගේ සහජ ගතිලක්ෂණ වන ආදරය, අනුරාගය, ඊර්ෂ්‍යාව හා වෛරය බඳු මානව ධර්මතා කෙරෙහි ඉසබෙල්  තබන බර නවකතාකාරියකගේ භූමිකාව විෂයයෙහි ඇය සතු ඉමහත් විභවය පිළිබඳව දෙස් දෙයි.
‘සයුරු තෙර සහන් බිම’ නිමාවේ කිසියම් ප්‍රාතිහාර්යමය සිදුවීම් පෙළක් දිස් වුව ද, එය ලේඛිකාවගේ ප්‍රබන්ධ සූක්ෂ්මතාවේ මහිමයක් මිස අභව්‍ය ස්වභාවයක ලක්ෂණ පෙන්නුම් නොකරයි. සිදුවීම් පෙළෙහි ඓතිහාසික වර්ණයක් තැවරී තිබුණ ද, ඉසබෙල් කිසිසේත්ම ඇයගේ ප්‍රබන්ධය ඓතිහාසික ශානරය තුළ ගාල් නොකිරීමට වග බලා ගනී. පාඨකයාට හැඟෙනුයේ තමන් අතීතයත්, වර්තමානයත් අතර සැරිසරන බවකි. එසේම නෙරූදා, අයියන්දේ හා වික්ටර් හාරා බඳු ජීවමාන මිනිස් ඇසුර විඳින අතරවාරයේම  ඉසබෙල් විසින් ප්‍රතිනිර්මිත පරිකල්පනීය අඩවියක් මැදින් ගමන් කරමින් සිටින අයුරකි. සත්‍ය ලෝකයේ සීමා මායිම් සේම පරිකල්පනයේ කඩඉම් ද මැනැවින් පසක් කර ගනිමින් නවකතාව අවසානයේ මානව ජීවිතය දෙස ඉසබෙල් අයියන්දේ හෙළන ඉදිරිගාමී මෙන්ම ජීවන ලාලසාව දල්වන සමාජ දෘෂ්ටියකි. ඇයගේ ඒ දෘෂ්ටිමය ආස්ථානය, කලාවේ නිදහස හා කාව්‍යමය වරපතේ :ඡදැඑසජ ඛසජැබිැ* නාමයෙන් මානව වර්ගයා කායිකව හා මානසිකව හිරිවට්ටන  ඇතැම් කලාකරුවන්ට කියා දෙන අපූරු පාඩමක් සේ ද සැලැකිය හැකි ය.
වර්තමානයේ අප රට මුහුණ පා තිබෙන ආර්ථික, සමාජ හා දේශපාලන යථාර්ථය චිලී දේශයේ එදා පැවැති අර්බුදකාරී සමය සිහියට නංවයි. අධිරාජ්‍යවාදය කිසිසේත් වාම ජන බලවේගයන්ට රුචි නොකරන ආකාරයත්, ප්‍රතිගාමී ජනපීඩක පාලකයන්ට අනුග්‍රහය සලසන අයුරුත් ‘සයුරු තෙර සහන් බිම’ නවකතාව කදිමට පෙන්වා දෙයි. ඉසබෙල් අයියන්දේගේ එම දැවැන්ත සාහිත ප්‍රයත්නයේ අර්ථසම්පන්න බව හා කලාත්මක වියමන සුරකිමින් පාඨක විචාරක ප්‍රජාවගේ මෙන්ම වාම දේශපාලනයේ නිරත බලවේගයන්ගේ සංවාදයට ලක් විය යුතු ප්‍රබල නවකතාවක් ලාංකික පරිවර්තන සාහිත්‍යයට දායාද කිරීම පිළිබඳව ප්‍රවීණ ග්‍රන්ථ පරිවර්තක රෝහණ වෙත්තසිංහයන්ට සියලු සාහිත්‍යකාමීන්ගේ ප්‍රශංසාව හිමි විය යුතු ය.

Previous articleප්‍රේමණියම මිනිසුන් අවදි වුන රාත්‍රියක්
Next article“ඉක්මනින් නැගිටපන් හොර නන්දේ – පව් නොදී බැහැලා පලයන් නන්දේ” – බදුල්ලට ගැලූ ජනබලය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here