ලොව මවිත කරන කියුබානු වෛද්‍ය සේවය – 02

38
ප්‍රතිඵල හා ජාත්‍යන්තර පිළිගැනීම
කියුබානු ජාතික අයවැයෙන් 27%ක් වෙන් කරන්නේ සෞඛ්‍යය සඳහාය. (ප්‍රංශය 11.3%, ඇමෙරිකාව 17%). මෙම ආයෝජනය කියුබාවට යහපත් ප්‍රතිඵල ගෙනදී තිබේ. ආයු අපේක්ෂාව අවුරුදු 79කි; මෙය බොහෝ දියුණු රටවලට සමානය. වැඩි වශයෙන් අවුරුදු 100 පසුකර ජීවත් වන පිරිසක් ඇති රටවලින් එකකි කියුබාව. දරු උපත් 99.9% ක්ම සෞඛ්‍ය ආයතන තුළම සිදුවේ. ළදරු මරණ සංඛ්‍යාව උපත් 1000 කට 4ක් පමණි. මෙය ඇමෙරිකානු මහාද්වීපයේ අඩුම අගය වන අතර එය කැනඩාවේ තත්ත්වයට සමාන වෙමින් එක්සත් ජනපදය අභිබවා තිබේ. (ලතින් ඇමෙරිකානු අනෙක් රටවල ළදරු මරණ උපත් දහසකට 14කි).

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව “2015දී ඒඩ්ස් රෝගය හෝ සිෆිලිස් මවගෙන් ළදරුවාට සම්ප්‍රේෂණය වීම වැළැක්වූ පළමු රට කියුබාවයි. ජීවිත අපේක්ෂාව, අධ්‍යාපනය, හා ජීවන තත්ත්වය අතින් කියුබාව ලෝකයේ පළමු පෙළේ පසුවෙයි”. ලෝකයේ බොහෝ රටවලට තවමත් කරදර කරන වැළැක්විය හැකි බෝවෙන රෝග (මැලේරියාව, ඩෙංගු, පෝලියෝ ආදී) බොහොමයක් කියුබාව මර්දනය කර ගත්තේ බොහෝ කලකට පෙර ය.

විප්ලවිය වෙනසක් යනු කෙබඳු එකක් දැයි  වටහා ගැනීමට වුවමනා නම්, කියුබාවේ සෞඛ්‍ය සේවය ඒ සඳහා පෙන්විය හැකි හොඳම උදාහරණයකි. ජනතාව උදෙසා වන ජනතාව විසින් ගොඩනගන පාලනයකට කෙතරම් දෙයක් කළ හැකි ද! මෙම ලිපියේ මුල් කොටස පසුගිය කලාපයේ පළ විය.

යුනිසෙෆ් ආයතනයට අනුව කියුබාව ළදරු ආරක්ෂාව පිළිබඳව ආදර්ශයකි;“කියුබාවේ පාරවල්වල ජීවිත ගත කරන වීථි දරුවන් නැත. ළදරු මන්දපෝෂණය තුරන් කළ තුන්වෙනි ලෝකයේ එකම රට කියුබාවයි. හැමවිටම දරුවන්ට ප්‍රමුඛතාව ලැබෙන අතර මිලියන ගණන් ලතින් ඇමෙරිකානු දරුවන්ට තිබෙන අගහිඟතා ඔවුන්ට නොමැත”. ‘සේව් ද චිල්ඩ්රන් ආයතනයට අනුව කියුබාව මාතෘත්වය සම්බන්ධ තත්ත්වයන්ගෙන් ඊශ්‍රායලය හා දකුණු කොරියාවද අභිබවා සිටියි.

කොවිඩ් 19

කියුබාව කොවිඩ් වසංගතයට මුහුණ දෙන අවස්ථාවේ දී ශ්වසන උපකරණ ආදිය ලබාගැනීමට පවා නොහැකි වන ලෙසට බරපතළ ඇමෙරිකානු සම්බාධක පැනවිණ. එයට පිළිතුරු ලෙස කියුබාව තමන්ගේම කොවිඩ් විරෝධී එන්නත් වර්ග 5ක් සොයා ගත්තේ ය. 2021 වන විට මුළු රටටම එන්නත්කරණය පටන් ගැනිණ. මාත්‍රා 3කට පසු එම එන්නත්වල ආරක්ෂාව 92.2%කි. එම එන්නත් පිටරටවලට ද අපනයනය කෙරිණ. කොවිඩ් මර්දන කටයුතුවලදී කියුබානු වෛද්‍ය සිසුන් 28,000ක් ස්වේච්ඡාවෙන් සහභාගී වූ අතර ජන අනුපාතයට අනුව කොවිඩ් මරණ සංඛ්‍යාව අවම රටක් සේ කියුබාව සැලකේ.

ජාත්‍යන්තර සහයෝගිතාවය

1959 විප්ලවයෙන් පසු කියුබාව ජාත්‍යන්තර සහයෝගීතාවට මුල් තැනක් දුන්නේය. කියුබාවේ සෞඛ්‍ය සේවය දියුණු වීමටත් ප්‍රථම 1960දී චිලි රටේ භූමිකම්පාව නිසා ආපදාවට පත්වූවන්ට කියුබානු සහාය ලැබිණ. කියුබාව ඔවුන්ගේ පළමු සෞඛ්‍ය බළකාය පිහිටුවන්නේ 1963 ඇල්ජීරියානු නව ස්වාධීන ජනරජයේ සෞඛ්‍ය ගැටලු නිරාකරණයට අත දීමටය.

ඉන්පසු සිය සහයෝගය අප්‍රිකානු, ආසියානු හා ලතින් ඇමෙරිකානු දියුණු වන්නාවූ රටවලට ලබා දීමට පියවර ගත්තේ ය. ස්ාවභාවික ආපදාවල දී පළමුවෙන්ම පැමිණ අවසානයටම පිටත්වන්නේ කියුබාව බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
ආපදා නොවන අවස්ථාවලදීත් රට රටවල සෞඛ්‍ය සේවාවන්හි අඩුපාඩු තැන් පිරිමසාලීමට කියුබාව පිහිට වෙයි. දුප්පත් රටවලට කියුබානු සහාය නොමිලේම ලැබෙන අතර පොහොසත් රටවලට යැවෙන වෛද්‍ය සේවය සඳහා අය කිරීමක් සිදුකරයි. එනයින් ජාත්‍යන්තර සෞඛ්‍ය සහයෝගිතාවය රටේ ප්‍රධාන ආදායම් මාර්ගයකි.
1959 සිට 2020 දක්වා කියුබාව විසින් රටවල් 158ක හය ලක්ෂ (6,00,000) වතාවක් සහන සේවා පවත්වා තිබේ. මේ සඳහා විටින් විට සේවකයන් 3,26,000ක් සේවා සපයා තිබේ. ඹභෘඡයට (එක්සත් ජාතීන්ගේ සංවර්ධන සැලැස්ම) අනුව කියුබානුවන් තනිව දෙන  සහයෝගිතාවය ලෝකයේ ධනවත්ම රටවල් 18ක් එක්ව සපයන සහායට වඩා වැඩි ය. කියුබානු සහාය ලබන දුප්පත් රාජ්‍යයන්හි පවා ළදරු මරණ ආදී සංඛ්‍යා ලේඛනවල ප්‍රගතියක් දක්නා ලැබේ.
කියුබානු වෛද්‍යවරුන් සාමාන්‍යයෙන් එක පළාතක අවුරුදු 2ක් රැඳී සිටින අතර, පසුව වෙනත් කණ්ඩායමක් විසින් එම කර්තව්‍යය භාර ගනු ලැබේ. ඔවුන්ගේ සේවය සපයන්නේ රටවල වෛද්‍යවරුන් හිඟ පළාත්වල හෝ ගැටුම් සහිත පළාත්වල බැවින් ස්වදේශීය වෛද්‍යවරුන් සමඟ ගැටුම් ඇති නොවේ. ලංකාවේ ද යුද්ධය උත්සන්න අවස්ථාවල එවකට වෛද්‍ය හිඟයක් පැවැති පොළොන්නරුව, අම්පාර හා හම්බන්තොට ඔවුහු සේවය කළහ.
අපගේ හමුදාවලට පවා ලැබුණේ කියුබානු වෛද්‍ය සහායයි. 1990 ගණන්වල පොළොන්නරුවේ කියුබානු ශල්‍ය වෛද්‍යවරුන් දෙදෙනෙක් හා නිර්වින්දන වේදිනියක් රාජකාරි කළහ. ඒ වැලිකන්ද ප්‍රදේශයේ දරුණු යුද ගැටුම් තිබූ සමයයි. ඒ කාලයේම එල්.ටී.ටී.ඊ. සංවිධානය අලංචිපතාන හා පල්ලියගොඩැල්ල යන ගම්වලටත් පහර දුන්නේ ය. ඒ මොහොතේ කොළඹ මහ රෝහලෙන් කණ්ඩායම් එනතුරු දිවා, රාත්‍රී ඔවුහු සේවය කළහ. (ලියුම්කරු එවකට පොළොන්නරුවේ සීමාවාසික වෛද්‍යවරයෙකි).
කියුබාවේ සහයෝගය පුහුණු කිරීම්වලදීත් කැපීපෙනෙයි. බොහෝ රටවල් ඉංජිනේරුවන් හා වෛද්‍යවරුන් පුහුණුකිරීම ද බොහෝ කල් සිට කරගෙන යනු ලැබේ. කියුබාවේ උපාධි ලැබූ වෛද්‍යවරු 60-70ක් පමණ ද, ඉංජිනේරු හා ක්‍රීඩා උපාධිධරයෝ 40-50ක් පමණ ද ලංකාවේ සේවය කරති. 1999දී දුප්පත් රටවල සෞඛ්‍ය ගැටලුවලට පිළියමක් ලෙසින් හවානාහි ලතින් ඇමෙරිකානු වෛද්‍ය විද්‍යාලය පිහිටුවනු ලැබිය.
දැනට රටවල් 141ක සෞඛ්‍ය වෘත්තිකයන් 40,000ක් පමණ උපාධි ලබා ඇති අතර, ඉන් 96%ක් ම වෛද්‍යවරුන් වෙති. උපාධිධාරීන් 75%3ක්ම වෛද්‍ය හිඟයක් පවතින රටවලිනි. එක්සත් ජාතීන්ට අනුව මෙය ලෝකයේ දියුණුම වෛද්‍ය විද්‍යාලයයි. මෙහි අධ්‍යාපනය ලබන්නහු කියුබානු ශිෂ්‍යත්වලාභීන් වෙති. කාන්තාවනට හා දුප්පත් ප්‍රදේශවලින් පැමිණෙන අයට ප්‍රමුඛත්වයක් දෙන මෙම වෛද්‍ය විද්‍යාලය ලතින් ඇමෙරිකානු ශිෂ්‍යයන් අතර ඉහළ ජනප්‍රියත්වයක් උසුලයි.

චෙර්නොර්බිල් දරුවන්

1986 චෙර්නොර්බිල් න්‍යෂ්ටික බලාගාර අනතුරින් 40,000ක් මිය ගිය අතර, මිලියන ගණනක් විකිරණවලට අසුවුණහ. කාලයාගේ ඇවෑමෙන් සෞඛ්‍ය ප්‍රශ්න පැනනඟින විට යුක්රේනයට උදව්වට සිටියේ කියුබාවයි.  දරුවෝ පිළිකා, ලියුකේමියා, උපත් ආබාධවලට පත්ව සිටියහ. වයස 5ත් 15ත් අතර දරුවන් 26,000කට කියුබාවේ විශේෂිත ආයතනවලදී නොමිලේ ප්‍රතිකාර කෙරිණ. එයින් කියුබානුවෝ ද න්‍යෂ්ටික ආපදවක දී ඇති වන රෝග තත්ත්වයන් හා කළ යුතු පිළියම් ගැන අවබෝධයක් ලබා ගත්හ.

ශල්‍යකර්ම ආශ්චර්යය

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව දෘශ්‍ය ආබාධිතයන් මිලියන 285කි. මිලියන 39ක් අන්ධ භාවයෙන් පෙළෙති, 90%ක් ම ජීවත්වන්නේ තුන්වන ලෝකයේ රටවලය. මෙයින් 80%ක් සු වකළ හැකි අයවලුන්ය. ළමයි මිලියන 19ක් අන්ධභාවයෙන් පෙළෙති.
2004දී කියුබාව හා වෙනිසියුලාව එක්ව ‘ආශ්චර්යයේ ශල්‍යකර්ම’ නමැති ක්‍රියාවලිය පටන්ගති. එහි අරමුණ වූයේ දෘශ්‍යාබාධිතයන් සුව කිරීමයි. ඩොලර් 5,000ත් 10,000ත් අතර වැය වෙන ශල්‍යකර්ම තමතමන්ගේ රටවල දීම කියුබානු වෛද්‍යවරුන් විසින් නොමිලයේ කරදෙනු ලැබීම එහි අභිප්‍රාය විය. කියුබානු වෛද්‍යවරු අවුරුදු 15ක් ඇතුළත රටවල් 35ක මිලියන 4ක් දෘශ්‍යාබාධිතයන් සුව කළහ. මෙමඟින් එම පුද්ගලයන්ට මෙලොව එළිය දකින්නට අවස්ථාව ලැබුණා මෙන්ම මුළු ලෝකයටම  ත්‍යාගශීලීභාවය පිළිබඳවත්, සහෝදරත්වය පිළිබඳවත් නව දෘෂ්ටියක් ලබා දිණි.

හෙන්රි රිව්ස් වෛද්‍ය බළකාය

කියුබාවේ මෙම වෛද්‍ය කණ්ඩායම ලොව කොතැනක හෝ ස්වාභාවික ආපදාවක් හෝ වසංගත තත්ත්වයක දී සිද්ධිය සිදු වූ ස්ථානයටම ගොස් උපකාර සිදු කරයි. 2005දී සිදු වූ පකිස්ථාන භුමිකම්පාවේ දී පැය 48ක් ඇතුළත 2,564ක කියුබානු වෛද්‍ය කණ්ඩායමක් එහි ගිය අතර තාවකාලික රෝහල් 32ක් ඉදික රමින්, සේවය සපයමින් ඔවුහු දුෂ්කරතා මධ්‍යයේ මාස 8ක් එහි රැඳීසිටියහ. පසුව එම රෝහල් පකිස්ථානයටම පවරා දිණි. පකිස්ථානයේ දී එම බළකාය ලෙඩුන් මිලියන 1.8ක් පරීක්ෂා කළ අතර ජීවිත 2,086ක් මරුමුවින් බේරාගති. එවකට පකිස්ථානයේ ප්‍රධාන සගයකු වූ ඇමෙරිකාව තැනුවේ තාවකාලික රෝහල් 2ක් පමණක් වන අතර, ඔවුන් එහි රැඳී සිටියේ මාසයක් පමණි.
එංගලන්තයේ ‘ගාර්ඩියන්’ පුවත් පතට අනුව කියුබානු සහයෝගය “කිසිදා නොවූවිරු සහෝදරත්වයේ සංකේතයකි”. 2004 ශ්‍රී ලංකාවේ සුනාමි උවදුරේදීත් කියුබානුවන් පැමිණ වැලිගම ප්‍රදේශයේ ජනතාවට වෛද්‍ය පහසුකම් ලබා දුන් අතර, ස්වාභාවික ආපදාවකින් පසුව ඇති විය හැකි වසංගත පැතිරීම නිවාරණය ගැන ද ප්‍රදේශය පුරා ඔවුන්ගේ අවධානය යෙදවීය.
හයිටි රටේ භුමි කම්පාවේ දී ද කියුබානු වෛද්‍යවරුන් නිසා ජීවිත 76,000ක් බේරුණු බව හයිටිය කියයි. 2006 අප්‍රිකානු මොළයේ උණ වසංගතයේ දී මුළු ලෝකයෙන්ම ඔවුන්ට අවශ්‍ය එන්නත් ලබා දීමට ඉදිරිපත් වූයේ කියුබාව හා බ්‍රසීලය පමණි. ඔවුහු ඩොලර් 20ක් පමණ වන එන්නතෙන් මිලියන 19ක් ඩොලරයකටත් අඩු මුදලකට ලබා දෙමින්, තත්ත්වය සමනය කිරීමට දායක වූ්හ. මෑතක දී එබෝලා වසංගතයේ දී ද අප්‍රිකාවට නොමසුරු කියුබානු සහයෝගය ලැබිණි. ලොව පිළිගත් ‘සයන්ස්’ සඟරාවට අනුව එම පළාත්වල වෛද්‍යවරුන් සිටියේ 170 දෙනකු පමණි. එවිට කියුබාවෙන් තවත් 170 දෙනකු එවීමෙන් තත්ත්වය පාලනය කර ගැනුමට හැකි විය. එබෝලා මර්දනයට කියුබාව ලබා දුන් සහාය ඇමෙරිකාවේ බැරක් ඔබාමා ද පැසසුමට ලක් කළේය.
කොවිඩ් 19 වසංගතයේ දී ලෝකයේ ධනවත්ම රටක් වූ ඉතාලියේ ලොම්බර්දියා හා සිසිලියටත් කියුබානුවන්ගේ සහාය ලැබිණි. ප්‍රංශය යටතේ පවතින මර්තිනිකා, ගුඅදාලුපේ, ගුයානාවලටත්, ඇන්ඩෝරා, නිකරගුවා, ජැමෙයිකා, සුරිනාම්, ග්‍රෙනාඩා ආදී රටවල් 24කට වෛද්‍ය සේවකයන් 2,579කගේ ක්ෂණික සහාය ලැබිණි. ඒ වන විටත් විවිධ රටවල සේවයේ යෙදී සිටි සෞඛ්‍ය සේවකයන් 28,000ට අමතරවය. කොවිඩ් මර්දනයට විශාල සහායක් වූ කියුබාවේ නිෂ්පාදිත ‘ඉන්ටර්ෆෙරෝන්  ඇල්ෆා ඊ’ ඖෂධය චීනය විශාල වශයෙන් භාවිත කළ අතර යුරෝපය ඇතුළු තවත් රටවල් 50ක් එම ඖෂධය මිලදී ගති.
කියුබාවට උපකරණ  අවශ්‍ය වු විට ඇමෙරිකාව තම අමානුෂික සම්බාධක තවත් තර කරද්දීත් කියුබාව හැසිරුණේ ලොවටම ආදර්ශයක් ලෙසිනි. මහා බි්‍රතාන්‍යය හා අනෙක් යුරෝපා රජයන් ද, ‘නිව්යෝක් ටයිම්ස්’ වැනි පුවත් පත් ද කොවිඩ් මර්දනයට කියුබාව ලබා දුන් සහායට ස්තුතිය පළ කළේය. කියුබාව පිළිතුරු ලෙස කිවේ “අපි වඩාත් සන්තෝෂයට පත්වන්නේ අපට වැඩිපුර තියෙන දේ දීමෙන් නොව, අපට තියෙන සියලුම දේ බෙදා-හදා ගැනීමෙනි” යනුවෙනි. ලෝකයේ ඕනෑම තැනක ඇතිවන ඕනෑම තරාතිරමක ස්වාභාවික ආපදාවක දී හෝ වසංගත තත්ත්වයක දී ඕනෑම ජන කොට්ඨාසයකට නොමිලේම සහාය වීමට ඉතා කෙටි දැනුම් දීමකින් පිටත්ව යාම සඳහා කියුබානු වෛද්‍ය කණ්ඩායම් සූදානම්ව සිටිති.
1959 සිට ක්‍රියාත්මකවූ ‘පළමුව රෝග නිවාරණය’ යන සංකල්පය යටතේ නොනවත්වාම ක්‍රියාත්මක වන කියුබානු සෞඛ්‍ය සේවය දියුණු වන්නාවූ රටවලට ආදර්ශයකි. සෞඛ්‍ය සේවය මුදල් පිළිබඳ අභිලාෂයකින් තොරව රජයෙන්ම ලබා දීමත්, නිවාරණයට මුල් තැන දීමත් තුළින් අලුතින් ඇති වන වසංගතවලට පවා කාර්යක්ෂමව මුහුණ දී රෝගීන් සංඛ්‍යාව හා මරණ සංඛ්‍යාව අවම මට්ටමකින් පවත්වා ගැනීමට ඇමෙරිකානු දුෂ්කර සම්බාධක හමුවේ පවා කියුබවට හැකිව තිබේ.
‘නිව් ඉංග්ලන්ඩ් ජර්නල් ඔෆ් මෙඩිසින්’ සඟරාව පවසන්නේ “කියුබානු සෞඛ්‍ය ක්‍රමය මෙලොව ඇත්තටම සිදු විය හැකි දෙයක් යැයි පැවසීමට අපහසු තරම් ඉස්තරම්” යනුවෙනුයි. “වෛද්‍යවරුන් ඕනෑ තරම්, සැමටම පවුලේ වෛද්‍යවරයෙක් සිටී, සියලුම පහසුකම් නොමිලේ, සම්පූර්ණයෙන්ම නොමිලේ. ඇමෙරිකා එක්සත් ජනපදයටවත් බැරි වූ දේ කියුබාව අත්පත් කරගෙන තිබේ. සමාජය හා ජනතාව මුල්කර ගත් වැඩපිළිවෙළක් වසර 50කට වැඩි කාලයක් නොකඩවා පවත්වාගෙන ඒමෙන් ලෝකයේ සම්භාවනාවට ඔවුන් පත්ව සිටී”. කියුබානු සෞඛ්‍ය ක්‍රමය පැසසීමට ලෝක සෞඛ්‍ය සංවිධානය, එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක බැංකුව ආදී ආයතන ද එක්වෙයි.
රෝගියා සෞඛ්‍ය අංශයේ ප්‍රධානතම අරමුණ කරගනිමින් ඉතාමත් උසස් තත්ත්වයේ සෞඛ්‍ය සේවාවක් නොමිලේම ජනතාවට ලබාදී කියුබාව ලෝක සෞඛ්‍ය සේවාවේ හිනිපෙත්තේ සිටින්නේ වෙනස්ව සිතන සමාජ ක්‍රමයක අරුමය ලොවටම විදහා පාමිනි.
(පසුගිය සතියේ මෙම සටහනේ රචකයා ලෙස වෙනත් ලේඛකයකුගේ නමකි. ඒ පිළිබඳ අපගේ කණගාටුව)
 
 

Previous article“දැන් ඇති රට කෑවා.. යන්න කියමු – රටට විශාල වෙනසක් සමග නව ආරම්භයක් අවශ්‍යයි”
Next articleසෙබළුන් එළවූ පොලිස් නිලධාරීන් හමුදාවට ගෙන්වයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here