වැඩේද? හැඩේද…?

49

කැවුම් හදනවා. කොකිස් බදිනවා.. බ්‍රේකින් නිවුස් යනවා. සීනි, පිටි, හාල්වල ගණං කියනවා. දූව වටා පිකට් බැනර් පෙන්නනවා. “ඨද” කියනවා. “යන්න” කියනවා. “පල” කියනවා. ආයෙ ඔංචිලි පදිනවා. විකාර පෙට්ටිය දිහා බලං උන්නු කේසි අත්දෙකින් ම ඔළුව බදාගත්තෙ විනාඩි ගාණක් ඇතුළෙ සිද්ධ වෙන මේ රූප පෙරහැර මොළේ තියෙන ගැඹුරු ම තැන හිල් කළා වගේ දැනුණු හින්දයි.
“නැන්දි අපිට බොන්න දෙයක් ගේන්නෝ” කියලා කෑ ගැහැව්වෙ ගේ මැද්දෙ වැටිලා පෝස්ටර් ඇඳ ඇඳ උන්නු සුබාගෙ යාළුවෙක්. ඒ එක්ක ම කේසිගෙ ජංගමේට කතා කළ උදුම්බරා කිව්වෙ,
“සෙට් එක ක්‍රිෂ්ණගෙ සඳලුතලේට සෙට් වෙන්නයි යන්නෙ. හවස දෙකට විතර එහෙට එන්න.” කියලයි.
“සුබාගෙ යාළුවො මෙහෙ ඉඳන් පෝස්ටර් අඳිනවනෙ.” කියල කේසි කියද්දි උදුම්බරා කිව්වෙ, ඒගොල්ලොත් අරං එන්න. පෝස්ටර් ඇඳිල්ල හොඳටම කරන්න පුළුවන් එහෙ ඉඳන්.” කියලයි.
සියලු අඩුම කුඩුම වාහනවල පටවගත්ත දහ දොළොස්දෙනා එක්ක කේසියි, පොඩිඑකයි දෙන්නත් ක්‍රිෂ්ණගෙ සඳලුතලේට ගොඩවෙන කොට සේනක, මඝ ඇතුළු සෙට් එක ම ඇවිල්ලයි හිටියෙ. අදහගන්න බැරි වුණේ රාධත් හිටි එක. පුදුම වෙලා රාධාගෙ මූණ බලාපු කේසිගෙ කනට කිට්ටු වුණු රාධා කිව්වෙ “පොදු ප්‍රශ්නවලදී පෞද්ගලික ප්‍රශ්න පැත්තකින් තියන්න වෙනවා” කියලයි.
සඳලුතලේට ගොඩවුණු සෙට් එකට වැඩේට සුදුසු තැනක් පිළියෙළ කරල දුන්නෙත් රාධමයි. ඉරා ගත්තු ඩෙනිම් ඇඳගෙන රාධා එක්ක යන සෙට් එක දිහා මඝ බලං උන්නෙ තුෂ්ණීම්භූත වෙලා.
“තාමත්  මේ වාහෙලා කතා කරන්නෙ තමන්ගෙ බලේ රැකගන්න විදිය ගැන නෙ. චුල්ලචෝරට ඕන බලේ ගන්න. අවුරුදු ගාණක් මිනිස්සුන්ගෙ සල්ලිවලින් හිඟන්නො වගේ කාලා බීලා, ලයිට් බිල් වතුර බිල් ගෙවල් කුලී ගෙවල ඒ මඳිවට හොරත් කාලා තවත් විලිලැජ්ජ නැතුව බලේ පරිස්සං කර ගන්න විදිය ගැන විවාද කරනවා.” නන්ද කිව්වෙ දත්මිටි කකා.
“ඔය නඩේ ම දැන් අවුට්. මට බය තාප්ප රැල්ල වගේ මේක අතරමඟ ඉවර වෙයි ද කියලයි” කියල රාමා කියන කොට ම මඝ කිව්වෙ, “නියමුවො නැතුව යාත්‍රා කරල කෙළවෙනවා. විපත් වෙනවා” කියලයි.
“මෙච්චර කල් නියමුවො එක්ක ගිහින් කෙළව  ගත්තෙ නැද්ද? යන ගමනෙ දි සුදුසු නියමුවො මතු වෙයි.” කියල උච්ච ස්වරෙන් කිව්වෙ උදුම්බරා.
“සුබාගෙ සෙට් එකත් එක්ක අපිත් අද පාරට බහිමු” කියල කිව්වෙ සේනක.
“මේ ඇච්චො බැච්චො එක්ක අපි බහින්න. සන්ග්ලාස් දාලා, හිල් කරගත්තු ඩෙනිම් ඇඳගෙන පිකට් කරනවුන් එක්ක කොහොම ද බං සෙට් වෙන්නෙ ඇඳුමක් ඇඳගෙන. ඊටත් මොනවද අර ලියන සටන් පාඨ. මල් පත්තරකාරයො වගේනෙ. ඉස්සෙල්ලා පිකට් කරන විදිය මුංට උගන්නන්න  වෙයි.” මඝ කියාගෙන ගියෙ හුස්ම නාල්ලා.
“පිකට් කරන්න විශේෂ ක්‍රමයක් තියෙනව ද? පිකට් කරන්න කෙල්ලන්ට කොල්ලන්ට පන්ති පවත්තන්න ඕන කියල ද කියන්නෙ?” රාධා ඇහැව්වෙ සියල්ලන්ගෙම මූණු දිහා බලාගෙන.
“මාමා, අවුරුදු හැත්තෑගාණක් ම මේ රටට වෙලා තියෙන්නෙ ඕක ම තමයි. අවුරුදු ගාණක් ඔයාලා ඔය කියන විදියට කරල තියෙනව නෙ. වෙච්ච f ද්කුත් නෑ නෙ. කළා කියන ආතල් එක විතරක් තිබුණට ම මඳි නෙ. කොයි දේටත් නිශ්චිත හැඩ හදන්න එපා. හරියට ම හරියි කියල හැඩයක් නෑ. ඒ ඒ හැඩවලට ඒ ඒ විදියට පැවතුණදෙන්. එකම තැනකට යන විවිධ පාරවල් තියෙන්න පුළුවන්. හැමෝම යන්නෙ එක ම තැනට නං පාරවල් ගැන වද වෙන්න එපා. තමන්ට පහසු පාරෙන් ඒ ඒ අය එතැනට එයි. කැමති විදියෙ වචන ටිකක් දාලා බෝඩ් එකක් හදාගන්න. මෙන්න පේන්ටුයි කඩදාසියි.” සුබා කිව්වෙ මඝ දිහාට හැරිලා.
“ඊගෝ එක බිමින් තියල වැඩේට සෙට් වෙයන්.” කියල කිව්වෙ ක්‍රිෂ්ණා●
 
 

Previous articleජන විරෝධතාවලට සහාය දුන් අන්තරේ විරෝධතාවයට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර
Next articleහිරු පවා නිරුත්තර – අරගලයෙ ගිනි පුපුර – බලන් දිලි දිලි අයුර.. ගාලුමුවදොර පිටිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here