ගස් වැල් පවා කම්පාවෙන් බලා සිටිනවා

වැස්සට බනින්න එපා ! මොකක් හරි දේකට හරි ම ලේසියෙන් හොයා ගන්න වගඋත්තරකාරයෙක් අපට ඉන්නවා. වැස්ස කියන්නේ, ඒ වාගේ ලේසියෙන් ම හොයා ගන්න වගඋත්තරකාරයෙක් ! මේ කතා කරන දේට අදාළව ඒක කොහොම ද කියලා පස්සේ වැටහේවි.

මම දැන් ඉන්නේ ඌව, කරඳගොල්ල ගමේ මුදුනේ තැනක. තවත් ටිකක් උඩට කන්ද තියෙනවා. ඒ අතරමඟ වෙල ඉස්මත්තේ, වෙලට සමාන්තර වූ කොන්ක්‍රීට් පාර පළුවලට කැඩිලා. තවත් තැනක කොන්ක්‍රීට් උඩින් තියෙද්දී, ගුහාවක් වාගේ හිටින විදියට පොළොව ගිලා බැහැලා. ගේ දොර, කුඹුරු, වතුපිටිත් අතර පොළොව සීමාවක් වෙන් කරගෙන. බෙදුම් රේඛාවකින්. ඇත්තටම කිව්වොත්, පැළුම් රේඛාවක්. මේක මේ මහ පොළොවේ කැමැත්ත නොවෙයි. බල කළ තත්ත්වයක් යටතේ සිදු වූ දෙයක්. අක්කර දහයක්, පහළොවක් විතර කුඹුරු ඉඩමක් නාය යන්න පටන්ගෙන. මේ ගැන විස්තර කියන්න මුලින් ම ඉදිරිපත් වුණේ, ජේ.පී. ජයසුන්දර ගොවි තාත්තා.

ජයසුන්දර

“මගේ වයස අවුරුදු හැටහතක් වෙනවා. අපි දෙකන්නේ කුඹුරු වැඩ කරගෙන අනෙක් බවභෝග කටයුතු කරගෙන හිටියා. මේ වගේ විනාශයක් දැක්කේ නැහැ. දැන් මේ බලන්නකෝ පොළොව පැළිලා තියෙන හැටි. මේක කොහෙන් නතර වෙයි ද දන්නේ නෑ. මෙදා නායවල් ගියාට ඉස්සර තරම් වැස්සක් නෑ. අනෝරා වැහි ඇවිල්ලා, අගල්වල ඉඩ මඳිකමට කුඹුරු උඩින් වතුර දාන්නේ. මේක මේ වැස්ස වැඩිකමට වෙච්ච දෙයක් කියලා අපිට තියෙන දැනුම් තේරුම් අනුව නම් හිතන්න බෑ.” උපන්නාට අනුව ඔහේ ඉන්නවා නොව වයස එක්ක මුහුකුරා ගිය අත්දැකීම් සහිත ජීවිත අවබෝධයෙන් යුතු මිනිසුන් බොහෝ දේ තර්කානුකූලව තේරුම් ගන්නා බව මේ තාත්තාගෙන් පැහැදිලි වුණා.

ඔබට නිරවුල් නොකළ දෙයක් තියෙනවා. ඒ, කරඳගොල්ල කියන්නේ කොහේ තියෙන ගමක් ද කියලා. බණ්ඩාරවෙල, ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා තිබෙන ගමක්. බණ්ඩාරවෙල ඉඳලා රාවණා ඇල්ල පසු කර කිලෝමීටර් දෙකක් විතර යන කොට හමු වන ගමක්. ගහකොළ, කුඹුරු, වතුපිටි දිහා බැලුවාම මේ මිනිසුන්ගේ ජීවිත ගැන හිතා ගන්න පුළුවන්. කිසි ම ආණ්ඩුවකට බරක් නොවී තමන්ගේ දහදිය මහන්සියෙන් අභිමානයෙන් ජීවත් වන මිනිස්සු. තාමත් හරක් බානක් බැඳගෙන කුඹුරු හාන හැබැයි, නවීන රොකට් ක්‍රමය කියන ක්‍රමයට ගොයම් පැළ හිටවන මිනිස්සු. ගැහැනු, පිරිමි භේදයක් නැතිව හරි හරියට සරුසාර මහ පොළොව එක්ක ඔට්ටු වෙන මිනිස්සු. කොස්, දෙල්, පොල්, පුවක්, අඹ, ගම්මිරිස්, වී, එළවළු තව මොනවා ද අඩු?  කාපට් පාරට ලොකු අඹ ගෙඩියක් වැටිලා හල් හතරට පැළිලා තිබුණා.

ඇල්ල වැල්ලවාය පාරේ ඉඳලා අංශක 70කට 80කට තියෙන ඉනිමඟක් දිගේ උඩට නඟිනවා වාගේ උඩට නැඟලා භූ පැළුමේ මුදුන ම බලන්න අපි ආවේ. මේ ටික නාය ගියොත් සිදු වන විනාශය කොයි තරම් ද කියලා හිතා ගන්න නම් බෑ. භූ පැළුම කෙළින්ම බලපා තියෙන ගෙවල් එකොළහක නිවැසියන් අයින් කරලා. ඒ අය දැන් ඉන්නේ ශ්‍රී බෝධිරුක්ඛාරාමයේ.

අපි ඉන්න තැනට ඈතින් පෙනෙන්නේ නමුණුකුල කන්දේ එක් අන්තයක්. සැවානා තෘණ බිම්වලින් වැසී ගිය මහ විසල් කන්දක්. සිරිසේන මාමා හිස්බැල්මෙන් බලාගෙන හිටියේ ඒ කන්ද දිහා නම් නොවෙයි. කොයි මොහොතක හරි මහා විනාශයක් වෙමින් පහළට ඇදී යාමට වෙර දරන කුඹුර දිහා. අහිමි වී යන ගේ දොර, වතුපිටි දිහා බලමින් හිටියේ. ඒ හිත ඇතුළේ මොන විදිහේ හැඟීම් තෙරපෙනවා ඇති ද?

සිරිසේන

“භූ විද්‍යා එකේ මහත්වරු ඇවිත් බැලුවා. මොකුත් උපකරණ ගෙනැවිත් තිබුණේ නැහැ. ඒ ගොල්ලන් හිත්හෝදිසියට බලලා කිව්වේ, බෝ කොළයේ හැඬේට නාය යනවා කියලා. මේ කුඹුරු ඉස්මත්තේ ගෙවල්වල අයයි, පහළින් ඉන්න අයයි අයින් කළා.” භූමිය පැළී තිබෙන විදිය දැක්කාම මේ ඉන්න ටිකට අපිත් එක්ක ම ඇදගෙන යයි ද කියන භය දැනුණේ වරක් දෙවරක් නොවේ. සිරිසේන මාමා විතරක් නොවෙයි, අඩි දෙසීයකටත් වැඩි උසට වැවී තිබෙන රූස්ස අඹ, කොස් වාගේ ගහකොළ පවා තම තමන්ගේ අවුරුදු දෙතුන් සීයක ඉතිහාසයට දැක නැති මහා අනතුරක් ගැන බියෙන් හිස්බැල්මෙන් බලාගෙන ඉන්න ගාණයි.

“දැන් මේ විදියට නාය යන්න හේතුව හැටියට ඔයගොල්ලෝ කල්පනා කරන්නේ මොකක් කියලා ද? ඔවුන්ගේ විස්තර අහගෙන ඉඳීමෙන් අනතුරු මම ප්‍රශ්නයක් නැඟීමි. “එදා තිබුණු තරම් අනෝරා වැසි වැටෙන්නේත් නැත්නම්, වෙන යම් හේතුවක් දැනකියා ගන්නත් නැත් නම්, එක දෙයයි තියෙන්නේ. මෙතැන ඉඳලා හරි කෙළින් බැලුවා ම උමා ඔය බිම්ගෙයට කිලෝමීටරයක් විතර තියෙන්නේ. ඔය ගල් පරුවත විදගෙන යන කොට සුළුපටු කම්පනයක් ද මේ මහා පොළොවට ඇති වෙන්නේ. මේ මහ පොළොවට වුණත් දරාගෙන ඉන්න බැරි දේවල් තියෙනවා නේ.” ජයසුන්දර තාත්තා කීවේ වාවා ගන්න බැරි හැඟීමෙන්. ඒ කතාව ගම්වැසි හැමෝම එකහෙළා පිළිගන්න දෙයක්.

කරුණාරත්න

භූ පැළුමෙන් හානි වූ නිවසක සිටින කරුණාරත්න එක්දරු පියා අපට අදහස් දක්වන්න එක් වුණේ, කාට හරි ප්‍රශ්නය කියන්න ලැබීමත් සැනසීමක් යන හැඟීමෙන් වගේ. “නිමල් සිරිපාල ඇමතිතුමා අපිට කිව්වා, මේ පස් වැනිදාට කලින් මොකක් හරි තීරණයක් දෙනවා කියලා. කවුරුත් දැන් බලාගෙන ඉන්නේ ඒ දිහා.” දේශපාලකයන්ගේ මේ පොරොන්දු මිනිසුන්ගේ ජීවිත එක්ක බැඳී තිබෙන බව ඔවුන්ට මතක නැති බවත් අමතක නොකර සිටීම වැදගත්. මේ ගමේ මිනිසුන්ගේ ජීවිත ගත කරන ආකාරය කදිමට දැක ගන්න පුළුවන්කමත් ලැබුණා. ඒ දැනට ඔවුන් නවාතැන්ගෙන සිටින ශ්‍රී බෝධිරුක්ඛාරාම පන්සලේ ලේඛනයෙන්. හේතු හැටියට සටහන් කර තිබුණේ, “කුඹුරට ගියා, කිරි ගන්න ගියා, කුලී වැඩකට ගියා, රස්සාවට ගියා” වගේ දේවල්. මේ අයගේ ජීවිත ගැන අදහසක් ගන්න පන්සලේ විහාරාධිපති හිමියන් වැඩසිටියේ නෑ.

තවත් විශේෂම කරුණක් සඳහන් කරන්න ඕනෑ. මෙතැන පවුල් එකොළහක අවතැන් කඳවුරක් තිබුණත්, ආණ්ඩුවට බරක් නෑ. ගමේ අනෙක් අය හැමෝ ම මේ අයට කෑම-බීම සපයන බව දැනගත්තා. ගමේ උදවිය බෙදිලා කීප දෙනා එකතු වෙලා ආහාර වේල් තුන මේ අයට ලබා දෙනවා. මිල මුදලට යට නොවූ මිනිස්කමක් තියෙනවා.

“ලක්ෂ 16ක් අපට දෙනවා කිව්වා. ලක්ෂ හතරකින් ඉඩමක් අරගෙන ලක්ෂ දහයකින් ගේ හදා ගන්න ඕනෑ. සින්නක්කර ඔප්පු තියෙන්නත් ඕනෑ. එහෙම ඉඩම් ගන්න නෑ මෙහෙ. වනරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයිති ඉඩම් තියෙන්නේ. සින්නක්කර තියෙන ඉඩම් විකුණන්නේ නෑ.” මේ තොරතුරු අපට හෙළි කළේ කේ.ජී. විමලසේන ගොවි මහතා.

විමලසේන

නාය යාමේ ලක්‍ෂණ මුලින් ම ඇති වූ සමයේ මඩුගස්තලාව නම් යාබද ගමේ ඉඩම් බෙදා දී ඇත. ඒත්, නීත්‍යනුකූල හිමිකමක් ලබා දී නැත. බලයේ ඉන්න ආණ්ඩු කටයුතු කරන්නේ ඒ ලෙස ය. මෙසේ බෙදා දුන් ඉඩම්වල නිවාස ඉදි කරන්න ගෙපල කපා තිබිය දී, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඒ ඉඩම් යළි අත්පත් කර ගන්නා බව හෙළි විය. මේ මිනිසුන් අන්ත අසරණ තත්ත්වයට ඇද දමන්නේ ස්වභාවධර්මය හෝ වෙනත් ස්වාභාවික සංසිද්ධි හෝ නොවේ. රට පාලනය කරන පාලකයන් සහ ඊටම හරියන තක්කඩි නිලධාරීන් පිරිස ය. “වැස්සට බනින්න එපා !” කියලා ආරම්භයේදීම කීවේ ඒ නිසයි.

ඔවුන්ට කීමට බොහෝ දේ ඇත. චමින්ද කුමාර ඉදිරිපත් වී කරුණු කීවේ, අත සිටි දරුවාගේ බාධා කිරීම් රැසක් මැදය. ඒ නොදරුවන්ගේ හැටි ය. “අවතැන් වෙලා ඉන්න පවුල්වලට කරඳගොල්ල ග්‍රාමසේවා කොට්ඨාසයටම අයිති මඩු ගස්තලාව ප්‍රදේශයෙන් ඉඩම් බෙදා දුන්නා. වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ඉඩම් අක්කර තිහක ප්‍රමාණයක්. කරඳගොල්ල ප්‍රදේශයේ අවතැන් වූ අයට විතරක් නොවෙයි. ඇල්ල ප්‍රදේශයේ නාය යාමේ අනතුරට ලක්ව ඉන්න සියලු දෙනාටම බෙදා දෙන්න කටයුතු කර තිබුණා. ඒවා නිසි ලෙස කෙරෙන්නේ නෑ.”

චමින්ද

සංචාරක නිවහනක් පවත්වාගෙන යන අතර මේ නාය යාමේ අනතුරෙන් සියල්ල ම අහිමි වී සිටින චමින්ද කුමාර තරුණ මහතා අප වෙත අදහස් දැක්වීමේ දී තවත් බොහෝ කරුණු හෙළි වුණා. “ගොවිතැන් කටයුතු විතරක් නොවෙයි, මේ ප්‍රදේශයේ අනෙකුත් ව්‍යාපාරික කටයුතු හැම දේමත් බිඳවැටෙන තත්ත්වයක් මතු වෙලා තියෙන්නේ. ජන ජීවිතය එහෙ ම පිටින් ම බිඳවැටිලා. අලුත් අවුරුද්දේ ඉස්කෝල පටන් ගන්නවා. දරුවන්ට පොත් පත් ටික අරන් දෙන්නවත් බැරිව අසරණ වූ අයත් ඉන්නවා. අපේ ගමේ මිනිසුන් ආණ්ඩුවලින් පිනට යමක් ඉල්ලපු අය නොවෙයි. හැමෝ ම කිව්වා වාගේ උමා ඔය උමඟ හෑරීම නිසා මේ විනාශය ආරම්භ වුණා කියලයි හිතන්නේ. අඩු ම ගාණේ හරියට විද්‍යාත්මකව කරුණු හොයා බලලා පිළියම් යොදන්නවත් ආණ්ඩු මැදිහත් වුණේ නෑ. මිනිසුන්ට ගෙවල්වලින් අයින් වෙන්න කීවා. ඒ අයට ස්ථාවර විසැඳුම මොකක් ද කියලා කිසි ම කෙනෙක් මෙතෙක් කියලා නෑ. මෙහෙම ජීවත් වෙන්න බෑ. අපිට ඉක්මනින් සාධාරණ, පිළිගන්න පුළුවන් උත්තරයක් දුන්නේ නැත් නම්, අපේ ජීවිත සුරක්ෂිත කර ගන්න, ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් ලොකු සටනක් කරන්න සිද්ධ වෙනවා. අපිට එහෙ ම අරගල කරන්න ඕනෑ නෑ කා එක්කවත්. හැබැයි, වෙන කරන්න දෙයක් නැත් නම්, මේ ගම්බිම්වල මිනිසුන් පාරට බැහැලා, උද්ඝෝෂණය කරන්න ලෑස්තියි. වෙන කරන්න දෙයක් නෑ.”

නිමල්

මිනිසුන් කිසි කෙනෙක් විනෝදාංශයක් හැටියට උද්ඝෝෂණ කරන්නේ නැහැ. අන්තිමට කරන්න දෙයක් නැති තැන පාරට බහිනවා. එතකොට ආණ්ඩුවල උත්තරය ජල ප්‍රහාර, කඳුළු ගෑස්, වෙඩි උණ්ඩ බව ඔවුන් දන්නවා. අවිචාරී පාලකයන් ඇති කළ විනාශයට කවර ආකාරයෙන් හෝ උත්තර දෙන්නෙත් මිනිස් ජීවිත අනතුරට හෙළීමෙන් නම්, අපේ කතිරයේ බලය මොකක් ද කියලා යළි යළිත් කල්පනා කිරීමට සිදු වී නැති ද?

■ සටහන

  ප්‍රියදර්ශන දයාරත්න

■ සේයා රූ

  සමන් රණවක ආරච්චි

 

Leave A Reply

Your email address will not be published.

twelve − nine =