ආයිබොවන්ඩ ගෝඨා..,

48

හොඳටම කොළේ මායි කියල කිව්වට සෑර් මේ තරම්ම හොඳට කොරයි කියල අපිනං හීනෙකින්වත් හිතුවෙ නැහැ, සිංහාසනේ වාඩි වුණ දා ඉඳල මේ ටික දොහට මුන්නැහැ අල්ලපු කස්තිරන් සංකියාව ඉහේ කෙස් ගානටත් වැඩි ඇති අපෙ හිතේ. රටේ පුරස්න විසඳන්නෙ කොහොමද කියල ජනාදිපතිවරණෙට කලින් මාද්දියවේදියො පුරස්න කොරපු වෙලාවෙ සෑර් අයියන්ඩි දිහා බලපු අහිංසක බැල්මෙන්ම අපි දැනගත්ත ඔහෙලට ඇලඩින්ගෙ පුදුම පහන සැට් වෙලා තියෙන විත්තිය. මලයන්ඩියෙ බිය නොවෙන් රට කොරන හැටි මං පෙන්නන්නම් කියලනෙ අයියන්ඩි ඇට්ටි හැලෙන්ඩම දුන්නෙ.
වැඩ කොරන අපේ විරුවා කියන සිංදුවට වෙල්ලස්සෙ ඉඩං.. යුගදනව් ගිවිසුං.. පාස්කු කොමිසං වගෙ අලුත් වචන සැට් එකක් දාලා දෙරන- හිරු ඔස්තාර්ල ප්‍රොචාරෙ කොරන්ඩ දෙමු සෑර්. හැට නව ලක්සෙන් රාජපක්ස රාජධානියට එල්ල වෙන ගල් මුල් ප්‍රොහාර නතර වෙනවා ෂුවරෙකටම. ඒ වගේම නොමග ගිය ජනතාව දියවන්නා පච පැක්ටෙරියයි මිරිහාන මන්දිරෙයි දෙකම වටකොරන එක අතෑරලා නාගරාජයා වඳින්ඩ කැලණි යයි. එතකොට තංගල්ලෙ මහරජ්ජුරුවන්ගෙ මාලිගාව වටලාගෙන ඉන්න මහ සෙනග එක හඬින් කියා හිටීවි ‘පස්වාන් දහසකට අවසර මහරජුනි, රටවැස්සා මෙසේ රැස්කකා සිටිනුයේ කට පුරා ටැන්කියු කියල යන්ඩ විත්තිය.
කියල වැඩක් නැහැ සෑර්.. මේ දවස්වල ජනතාවට හාල්, පිටි, සීනි, කිරිපිටි, පාන්පිටි, ගෑස්, ලාම්පුතෙල්වලින් කිසිම අඩුවක් නැහැ. හිංගල, දෙමළ, මුස්ලිම් ඇතුඵ සිරිලක් ජනතාව ජාති, ආගම්, කුලමල, පංති බේද ඔක්කොම අමතක කොරලා බක්මහ උදාවත් එක්ක ටොපටම පිබිදිලයි ඉන්නෙ. කාටද ආඩම්බර.. මෙහෙම  සවුබාග්ගියමත් යුගයක් රටට පහළ කොරල දුන්නට මහජනතාව අපේ බුදු සෑර්ලට පින් දෙන්නේ තමුන්නැහැලෑ දෙමාපියන් ඇතුඵ හත්මුතු පම්පරාවම සිහි කොර කොර.
ඉතිං එහෙව් එකේ මක්කැයි දෙයියනේ  අපෙ සෑර් අපිට මූණ නොදී හැංගි හැංගි ඉන්නෙ. තමුන්නැහැ සිංහාසනේට නග්ගුවා මදිවට අපි කිරිබත් උයල, බිත්ති පුරා චිත්තර ඇඳල රට දෙවනත් කොරන්ඩ රතිඥ්ඥා පත්තු කොරපු එකේ මොකක් හරි වරදක් තියේද? එහෙම නැත්නං ඔහේ ජනාදිපති මුට්ටියද මක්කද කියන එකේ පිහිටෙන් සකල නඩු විබාගවලින් ෂේප් වෙනකොට අපි කරබාගෙන උන්නු එකේ වරදක්වත්ද?
සමහර වෙලාවට අපිට හිතෙනවා විස්ස සංසෝදනේ පාස් කොරපු නැකතෙවත් මොකක් හරි මිස්ටේක්කෙක්ද කියලත්. බැසිල් මලයගෙ ඩුවෙල් සිටිසොම හරිගස්සපු එකේ පාප කරුමෙට වෙන්ඩත් බැරිනැහැ නේද සෑර්? බලාගෙන ගියහම හැම මළ පෙරේතයගෙ දෝසයක්ම අපේ සෑර්ගෙ පිටින්නෙ ගිහින් තියෙන්නෙ. මක්කටෙයි සර් ඉතිං ඔය මහබලගතු ඥානක්කා මැඩම්ය කියන ඉස්තිරි රත්නෙ ඉඳල?
මතකනෙ ඥානක්ක මැඩම් ලව්ව චීනුන්ගෙ අසූචි පෝර නැව ආපහු හරවල යවපු හැටි. අන්තිමට චීනා කෝටි ගාණක වන්දියකුත් ඩැහැ ගත්තනෙ. පහුණු දා හිරුණිකා කෙල්ලත් ගියානෙ එතන ජවුසමක් නටන්ඩ. හිරුණිකාලට රෙදි පිටින් ආපහු යන්ඩ ඇහැක් උනේ ඩොලර් නැතුව ඥානක්ක මැඩම්ට දුම්මල ආනයනය කොරගන්ඩ බැරුව තිබුණ හින්දය කියන්නෙ හැබැද අපෙ සෑර්?
සෝසල් මීඩියාස්වල ඉන්න නොසන්ඩාලයො නං කියන්නෙ සෑර් උන්දැට කියල අඳුනක් හදවගෙන අපෙන් වහන්වෙලා ඉන්නව කියලයි. එහෙමනං මේ දවස්වල රට පුරා පැවැත්වෙන ජන කෙළි ටික බල බලා මාර ආතලයක් ගන්නව ඇති නේද ඔහෙත්. ඇත්තටම සෑර් මක්කද හිතෙන්නෙ සෑර් ඒවා දකිනකොට. අර උන්නු හැටියටම ෂෙඩ්ඩෙකක තෙල් ටිකක් ගහගෙන යූඇස්ඒවලම හිටියනං දාහෙන් සම්පතයි කියල හිතෙනවද?
අපිට තියෙන තවත් පුරස්නයක් තමා සෑර් පාරට බහින මොන්ටිසෝරි පැටියෙක් පවා ඨදඒ ඨද ්‍යදපැ කිය කියා කෑගහන්නෙ මක්කැයි කියන එක. තමුන්නැහැ බය නැතුව කොරන එකම රාජකාරිනෙ ගැසට් ගහන එක. එහෙම කොරල හරි රටට කියන්ඩකො සෑර් මං විතරක් නෙවේ යකුනෙ අනිත් උනුත් රට උළා කෑවා.. ඒක හංදා උනුත් එක්කම තොලොංචි වෙනකං ටිකක් ඉවසපල්ල කියල●
 
 

Previous articleඅරගලය දිනිය යුතුමය !
Next articleඋදය ගමාච්චි – කාටූන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here