අරගලය දිනිය යුතුමය !

39
සටන මහපාරට පැමිණ තිබේ. නගරද, ගම්මානද, වැඩබිම්ද, ගොවිබිම්ද, ආයතනද සිසාරා අරගලය පැතිර යමින් තිබේ. මේ සටන පොළාපැන්නේ තෙල් පෝලිමෙන්, ගෑස් පෝලිමෙන්, විදුලි කප්පාදුවෙන් බව සැබෑය. එහෙත් එය වසර 74ක දීර්ඝතම ආර්ථික, සමාජයීය අර්බුදයක ඵලයකි. සමාජය මෙතෙක් මුහුණ දුන් ආර්ථික අර්බුදය අද වන විට දේශපාලන අර්බුදයක්ව මෙසේ පැනනැඟ තිබේ. මිනිසා තම ජීවත්වීමේ අයිතිය පතා සටන් වැදීම වැදගත්ය. මානව වර්ගයාට යහපත් අනාගතයක් උදාකර ගැනීම උදෙසා ඔවුන්ගේ සටන් වැදීම ඊටත් වඩා වැදගත්ය. පළමුවැන්න පෞද්ගලිකය. දෙවැන්න සාමුහිකය.

“රාපක්ෂලා එළවා දමා බලය දෙන්නේ කාට ද යන්න පසුව බලමු යැ”යි පැවසෙන අවස්ථාවාදී ප්‍රකාශනයේ බරපතළ අනතුර වන්නේ යම් කෛරාටිකයකුට නැවත බලයට පැමිණ මහජන දේපළ සොරා ගැනීමේ අවස්ථාව උදා කර ගත හැකිවීමයි. ගෝඨාභය ගෙන්වා ගත්තා මෙන් තව කෛරාටිකයකුට, තක්කඩියකුට ඉඩ නොතබා සටන අවසන් කළ යුතුව ඇත

මෙම ක්ෂණික අරගලයට පෙර සිටම සංවිධානාත්මක දේශපාලන නායකත්වය සහිත අරගලයක් ද දීර්ඝ කාලයක් තිස්සේ පැවතුණි. එම අරගලයේ දී අසීරුවෙන් තහවුරු කරමින් පැමිණි සටන් පාඨ අද ජනතාව හඬ නගා කියමින් සිටිති. ඒ අනුව මෙම ක්ෂණික අරගලය පෙර අරගලවල දිගුවකි. එහෙත් අරගලයක් ජයග්‍රහණයෙන් කෙළවර වන්නේ පීඩනයෙන් නැඟෙන ආවේගයෙන්ම නොවේ. ආවේගය යනු අරගලයක උත්තේජනය විය හැකි ය. එය අරගලයේ දිශානතිය නොපෙන්වයි. අරගලයේ සියලු ශක්තීන් ගොනු නොකරයි. ජන බලය ගුණාත්මකව වර්ධනය නොකරයි.
බඩගෝස්තර දේශපාලනය මෙම ජනතා අරගලය හමුවේ තුෂ්නීම්භූත වී සිටී. ඇතැමුන් රටින් පලා යමින් සිටී. සමාජය පක්ෂ, පාට අනුව බෙදීමෙන් තොරව, දේශපාලනයෙන්, ජාතිවාදයෙන් තොරව එක පෙළකට පෙළගැසීම ශක්තියකි. එම බැම්ම ශක්තිමත්ව බැඳෙන්නේ පීඩාවට පත් වූවන් පීඩකයාට එරෙහිව දැනුම්වත්ව සංවිධානය වන පමණට ය. කඹය ශක්තිමත් වන්නේ කෙඳි ප්‍රමාණයෙන් පමණක් නොවේ. එහි ගෙතීම ද තුළින්ය.
රාජපක්ෂලා හොරකම් කළේ මහජන බලය දේශපාලන තක්කඩිකම්වලින් වසන් කරගෙන ය. ඔවුනගේ ගජමිතුරු පාලනය රැකුණේ දේශපාලනය තුළ ය. ඔවුන් ජනතාව මුළා කළේ දේශපාලනයෙනි; රටේ සම්පත් වික්කේ දේශපාලනය යොදා ගනිමිනි; විරුද්ධවාදීන් මර්දනය කළේ දේශපාලන බලයෙනි. එසේ නම්, රාජපක්ෂලාගේ දේශපාලන බලය පරදවන ජන අරගලය අදේශපාලනික හෝ ස්වාධීන හෝ වන්නේ කෙසේ ද? පීඩකයන් අයත් ප්‍රභූ පන්තියක් තිබේ. පීඩිතයාට ද තමන් අයත් පන්තියක් තිබේ. සමාජ විෂමතාව රජයන සමාජයක එය එසේ ය. ජනතාව පෝලිම්වල දුක්විඳිද්දී, පාලකයන් සැණකෙළි පැවැත්වීමෙන් පෙනෙන්නේ මෙම විෂමතාවයි. හොරු පන්නන, හොරුන්ට දඬුවම් දෙන සටනේ අවසන මෙම විෂමතාව හා සමාජ බෙදීම් අවසන් කරන ජනතා බලයක් කරා යා යුතු නැති ද? හොරකම් කළ පාලකයා එළවීමෙන් හා දඬුවම් කිරීමෙන් පමණක්ම රට යහපත් නොවේ. යහපත් ප්‍රතිපත්ති මත අරගල කරන ජනබලයම යොදා ගනිමින් එම යහපත් රට ගොඩනැඟීමේ දැවැන්ත කාර්යයක් තිබේ.
“රාපක්ෂලා එළවා දමා බලය දෙන්නේ කාට ද යන්න පසුව බලමු යැ”යි පැවසෙන අවස්ථාවාදී ප්‍රකාශනයේ බරපතළ අනතුර වන්නේ යම් කෛරාටිකයකුට නැවත බලයට පැමිණ මහජන දේපළ සොරා ගැනීමේ අවස්ථාව උදා කර ගත හැකිවීමයි. ගෝඨාභය ගෙන්වා ගත්තා මෙන් තව කෛරාටිකයකුට, තක්කඩියකුට ඉඩ නොතබා සටන අවසන් කළ යුතුව ඇත. ඒ සඳහා දූෂිත විනාශකාරී දේශපාලනයට එරෙහි ජන බලය තව තවත් ශක්තිමත් කළ යුතුය. පොදු ජන සටන තුළ වෘත්තීය සමිති, ගොවි ජන ව්‍යාපාරය, ශිෂ්‍ය ව්‍යාපාරය, තරුණ කාන්තා භික්ෂු ආදී සියලු ව්‍යාපාරයන් අත්වැල් බැඳගෙන පෙළ ගැසිය යුතුය. සංවිධානාත්මක බලයකින් ජන බලය කූළුගැන්වීමත්, දේශපාලනික අරමුණකින් සටන මෙහෙයවීමත්, අවංක පරිණත නායකත්වයක් සමග ජනබලය රට දිනවන දිසාවට යොමු කිරීමත් වෙනුවෙන් වෙහෙසිය යුතුව ඇත.

ජන පීඩක ආණ්ඩුව ගෙදර යවමු!
74 වසරක සාපය නිමා කරමු!!
සැබෑ ජනතාවාදී පාලනයක් ගොඩනගමු!!!
ඒ වෙනුවෙන් කැපවී සිටින
සියලු සටන්කාමී ප්‍රගතිශීලීන්ට ධෛර්යය!
නැවත නැවතත් ධෛර්යය!!●

 
.

Previous articleජනතා විරෝධය අයාලේ නොයවා විසඳුම දිශාවට…
Next articleආයිබොවන්ඩ ගෝඨා..,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here