ලිංගික අධ්‍යාපනය නැවැත්වීමෙන් දරුවන් සුරැකෙයි ද

ලිංගික අධ්‍යාපනය අරුමයක් බවටත්, අවශ්‍ය නැති දෙයක් බවටත් ඊනියා සුචරිතවාදීන් පත් කර ඇත්තේ, එය මිනිස් ජීවිතවලට අදාළ නැති, ප්‍රසිද්ධියේ කතා කළ යුතු නැති අශෝභන, අසභ්‍ය දෙයක් බවට මතයක් නිර්මාණය කරමිනි. එහෙත්, මෙහි ඇති අරුමයක් නැත. ප්‍රජනක පද්ධතිය මිනිස් සිරුරේ ඇති ආහාර ජීර්ණ පද්ධතිය, බහිස්‍රාවී පද්ධතිය, අස්ථි පද්ධතිය, ස්නායු පද්ධතිය මෙන්ම තවත් එක් පද්ධතියකි. ලංකාවේ අධ්‍යාපන ක්‍රමවේදය තුළ ප්‍රජනක පද්ධතිය හැර අනෙකුත් පද්ධතීන් පිළිබඳ විධිමත් අධ්‍යාපනයක් ලබා දීම පාසල් අධ්‍යාපනයේ හය වන ශ්‍රේණියේ සිට ආරම්භ කරනු ලබයි. එහෙත්, ප්‍රජනක පද්ධතිය පිළිබඳ කෙටි සටහනක් අන්තර්ගත වන්නේ පාසල් අධ්‍යාපනයේ එකොළොස් වන ශ්‍රේණියේ පෙළ පොතේ අවසානයේය.

මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් පසුගිය දා මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින්, අධ්‍යාපන අමාත්‍යාංශය විසින් හත් වන ශ්‍රේණියේ සිසුන් සඳහා ප්‍රකාශයට පත් කර තිබූ ‘හතේ අපේ පොත’ නම් කෘතිය සම්බන්ධයෙන් කළ ප්‍රකාශත් සමඟ ලංකාවේ පාසල් තුළ ලිංගික අධ්‍යාපනය ලබා දීම සම්බන්ධයෙන් විවිධ අදහස් පළ වෙමින් තිබේ. අභයතිස්ස හිමියන් ප්‍රමුඛ කණ්ඩායමේ මතය වී ඇත්තේ, සිසු සිසුවියන්ට ලිංගික අධ්‍යාපනය ලබා දීමත්, ඒ වෙනුවෙන් නිකුත් කළ ඉහත කී කෘතියත් විසින් දරුවන් කාමුකයන් බවට පත් කරන බවයි.

පොතේ කතාවට මුල

මේ කෘතිය ප්‍රකාශයට පත් වීම කාගේ හෝ අහඹු සංකල්පයක් අනුව සිද්ධ වූවක් නොවන බව 2019 මාර්තු 27 වන දින ප්‍රකාශයට පත් කරන ලද පාසල් සිසුන් සඳහා ප්‍රජනන සෞඛ්‍යය ඉගැන්වීම සම්බන්ධයෙන් කාන්තා හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව මඟින් පැහැදිලි වේ. එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසි දෙනකුගෙන් යුක්ත වූවකි. ඉන් තිදෙනෙක් වෛද්‍යවරුය. ඒ එහි සභාපතිත්වය දැරූ තුසිතා විජේමාන්න, අනෝමා ගමගේ සහ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේය. ඊට අමතරව වර්තමාන සෞඛ්‍ය ඇමතිවරිය වන පවිත්‍රා වන්නිආරච්චි ද එහි සාමාජිකාවකි. එසේම මෙම කමිටුව විසින් අදාළ වාර්තාව සකසා ඇත්තේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්, ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, ජාතික ළමාරක්ෂණ අධිකාරියේ නිලධාරීන් මෙන්ම විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් පිරිසක් ද සම්බන්ධ කර ගනිමිනි. 2016 ඔක්තෝබර් මස 07 වන දින පළමුවරට රැස් වී ඇති මෙම කමිටුව ඉහත කී වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන්නේ වසර දෙකහමාරකට ආසන්න කාලයක් කරන ලද විමර්ශනයක ප්‍රතිඵලයක් වශයෙනි.

‘හතේ අපේ පොත’ යනු මෙම කමිටු නිර්දේශයන්ගෙන් එකක් පමණි. ඊට අමතරව ප්‍රජනන සෞඛ්‍යය පිළිබඳ දැනට පාසල්වල සිටින උපදේශකවරුන්ට විධිමත් පුහුණුවක් ලබා දීම, පාසල් දරුවන්ට ලිංගික සහ ප්‍රජනන සෞඛ්‍යය පිළිබඳ දැනුම ලබා දීමේ දී විභාග කේන්ද්‍රීය නොවන ක්‍රමවේදයක් හරහා එය සිදු කිරීම, මීට අදාළව දෙමවුපියන්ගේ භූමිකාව සම්බන්ධයෙන් ඔවුන් දැනුම්වත් කිරීම වැනි කරුණු රැසක් පිළිබඳව අවධානය යොමු කර ඇත. එසේම මේ සඳහා දැනට අවශ්‍ය ගුරුවරුන්ගේ සංඛ්‍යාව 5,400ක් පමණ වන බවත්, දැනට වාර්ෂිකව පුහුණුව ලබන්නේ ගුරුවරුන් 150ක පමණ ප්‍රමාණයක් බවත් කමිටුව විසින් කළ විමර්ශනවල දී අනාවරණය වී තිබේ.

දරුවන් ආරක්ෂිතද?

මේ ආකාරයෙන් දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දීම මඟින් ලංකාවේ සංස්කෘතිය සහ දරුවන් විනාශ වන බවට ඉහත කී භික්ෂුන් වහන්සේ මෙන්ම තවත් පිරිස් ද දැන් අදහස් පළ කරමින් සිටිති. එහෙත්, ඊට පෙර විමසා බැලිය යුත්තේ එවැනි අධ්‍යාපනයක් නොමැති වටාපිටාවක් තුළ දරුවන් ආරක්ෂිත ද යන්නයි. සාමාන්‍ය දරුවන් පමණක් නොව සාමණේර හිමිවරුන්, සෙමනේරිවල අධ්‍යාපනය ලබන දරුවන්, මද්‍රසා පාසල්වල ඉගෙන ගන්නා දරුවන්, පාසල් ක්‍රීඩා කණ්ඩායම්වල දරුවන් ඇතුළු දරු දැරියන් අපයෝජනයට ලක් වීම මේ වන විට දිනපතා අසන්නට ලැබෙයි. ඒ නිසා දැනටත් දිනපතා සමාජය තුළ සිදු වන අපයෝජන තව දුරටත් රහසක් නොවේ. ජාතික ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ ම වාර්තා අනුව වසරකට 10,000ක පමණ ළමා අපයෝජන සහ හිංසන වාර්තා වේ. ඒ වාර්තා වන සිදුවීම් පමණකි. මෙම වාර්තා වන අපයෝජන අතුරින් සියයට 90ක් පමණ සිදු වන්නේ දරුවා දන්නා සමීපතම වැඩිහිටියකු අතිනි. පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ වාර්තා අනුව අවුරුදු 20ට අඩු ගැහැනු දරුවන් 20,000කට පමණ ගැබ් ගැනීම් සිදු වන බව පැහැදිලි වේ. මෙම ගැබ් ගැනීමේ ප්‍රමාණය වාර්ෂිකව ඉහළ යමින් තිබෙන අතර, ඊට සාපේක්ෂව ගබ්සා කිරීමේ ප්‍රමාණය ද ඉහළ යමින් තිබේ. 2010 වසරේ සිට 2016 දක්වා පොලිස් කාන්තා හා ළමා කාර්යාංශයට ලැබී ඇති කාන්තාවන්ට සිදු වූ ලිංගික හිංසන සම්බන්ධ අපරාධ පැමිණිලි සංඛ්‍යාව 55,000කට වඩා වැඩිය. එම වසර කිහිපය තුළ දරුවන්ට සිදු වූ ලිංගික හිංසන සම්බන්ධ පැමිණිලි ගණන 40,000 ඉක්මවයි. ඒ අනුව පැහැදිලි වන්නේ වාර්ෂිකව දරුවන් 6,000කට ආසන්න සංඛ්‍යාවක් ලිංගික හිංසනවලට ලක් වන බවයි. 2010 වසරේ දී සිදු වූ මෙවැනි අපයෝජන සංඛ්‍යාව 1,388ක් වන අතර, එය 2011දී 1,353ක් ද, 2012දී 1,706ක් ද, 2013දී 1,704ක් ද, 2014දී 1,487ක් ද වන අතර, 2015 වසරේ දී එම ගණන 1,554කි. මේ සියලු දරුවන් වයස අවුරුදු 16ට අඩු දරුවන් ය.

එසේ ම ලිංගික අධ්‍යාපනය නොමැතිකම නිසා සිදු වන අපයෝජන හෝ පවත්වන ලිංගික සම්බන්ධතා නිසා හෝ සමාජ රෝග බෝ වීමේ අවදානම ද වසරින් වසර ඉහළ යමින් තිබේ. 2015 වසරේ වාර්තා වූ එච්.අයි.වී ආසාදිතයන්ගෙන් 75 දෙනකුම වයස අවුරුදු 15ට අඩු දරුවන් වීම ඊට හොඳම උදාහරණය සපයයි.

ලිංගික දැනුම

ලංකාවේ තරුණ ජනගහනය මිලියන 4.4ක් පමණ වේ. ඉන් 50%කට පමණ නිසි ලිංගික අධ්‍යාපනයක් නොමැති බව කරන ලද අධ්‍යයනවලින් හෙළි වී ඇත. 2018දී ඹභෂක්‍ෑත්‍ සංවිධානය නිකුත් කළ වාර්තාවක සඳහන් වන්නේ ගැහැනු දරුවන්ගෙන් සියයට හැට හය (66%)ක් තමන් වැඩිවියට පත් වන තුරුම අදාළ ක්‍රියාවලිය පිළිබඳව කිසිවක් නොදන්නා බව ය. ඒ නිසා නවයොවුන් වියේ සිදු වන වෙනස්කම් පිළිබඳ ඔවුන්ට පූර්ව අවබෝධයක් නොමැත. ඒ ගැන අවබෝධයක් ලබා  ගැනීමට දරුවන්ට නිසි ක්‍රමවේදයක් නොමැති වීම නිසා අන්තර්ජාලය හෝ වෙනත් අවිධිමත් ක්‍රමවලින් ඒ පිළිබඳ තොරතුරු සොයා යාම විසින් ව්‍යාජ තොරතුරු මත තම ලිංගික ආකල්ප ගොඩනඟා ගැනීම සිදු වේ.

එසේ ම ඉහත කී වාර්තාවට ම අනුව උපත් පාලන සහ කොණ්ඩම් භාවිත සම්බන්ධයෙන් ද ලංකාවේ කරුණ ප්‍රජාවට ඇත්තේ සාපේක්ෂව අඩු දැනුමකි. කොණ්ඩම් භාවිතයෙන් බොහෝ ලිංගික රෝග වළක්වා ගත හැකි බවට අවබෝධයක් ඇත්තේ තරුණ පරම්පරාවෙන් 48%ක පිරිසකට පමණි.

ලිංගික අධ්‍යාපනයක් අවශ්‍ය ඇයි ?

ලිංගික අධ්‍යාපනය අරුමයක් බවටත්, අවශ්‍ය නැති දෙයක් බවටත් ඊනියා සුචරිතවාදීන් පත් කර ඇත්තේ, එය මිනිස් ජීවිතවලට අදාළ නැති, ප්‍රසිද්ධියේ කතා කළ යුතු නැති අශෝභන, අසභ්‍ය දෙයක් බවට මතයක් නිර්මාණය කරමිනි. එහෙත්, මෙහි ඇති අරුමයක් නැත. ප්‍රජනක පද්ධතිය මිනිස් සිරුරේ ඇති ආහාර ජීර්ණ පද්ධතිය, බහිස්‍රාවී පද්ධතිය, අස්ථි පද්ධතිය, ස්නායු පද්ධතිය මෙන්ම තවත් එක් පද්ධතියකි. ලංකාවේ අධ්‍යාපන ක්‍රමවේදය තුළ ප්‍රජනක පද්ධතිය හැර අනෙකුත් පද්ධතීන් පිළිබඳ විධිමත් අධ්‍යාපනයක් ලබා දීම පාසල් අධ්‍යාපනයේ හය වන ශ්‍රේණියේ සිට ආරම්භ කරනු ලබයි. එහෙත්, ප්‍රජනක පද්ධතිය පිළිබඳ කෙටි සටහනක් අන්තර්ගත වන්නේ පාසල් අධ්‍යාපනයේ එකොළොස් වන ශ්‍රේණියේ පෙළ පොතේ අවසානයේය.

සාමාන්‍යයෙන් උපතේ සිට අවුරුදු දොළහ දක්වා කාලය ළමා කාලය වශයෙන් සැලැකෙන අතර, නවයොවුන් විය එළඹෙන්නේ එතැන් සිටය. නවයොවුන් විය එළැඹීමත් සමඟ ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව ශරීරයේ වෙනස්කම් සිදු වීම ආරම්භ වෙයි. නැතහොත්, එම වෙනස්කම් දැනෙන්නට පටන් ගනියි. ඒ සමඟම ලිංගිකත්වය පිළිබඳ අදහසක් දරුවන් තුළ නිර්මාණය වෙන්නට පටන් ගනියි. ඒ නිසා එය කුමක් ද යන්න වසන් කිරීම හෝ ඒ පිළිබඳ දැනුම ලබා දීම නොසලකා හැරීම විසින් සිදු වන්නේ ලිංගිකත්වය පිළිබඳ නිරවුල් අවබෝධයක් නොමැති, එය තම ජීවිතයට ඔබ්බෙන් ඇති දෙයක් ලෙස සලකන වැඩිහිටියකු ලෙස ඔවුන් සමාජගත වීමයි. එහෙත්, යුරෝපීය අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ දී නවයොවුන් වියට පිවිසෙන දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දීම ආරම්භ කරනුයේ, පාසල තුළ දී ම ය. ඒ අනුව ලිංගිකත්වය යනු කුමක් ද යන්නත්, එහි සමාජීය හා පෞද්ගලික වැදගත්කමත්, ලිංගික කි‍්‍රයාවලිය, උපත් පාලනය, ලිංගික රෝගවලින් ආරක්‍ෂා වන ආකාරය, එහි වැදගත්කම සහ ක්‍රමෝපායයන් යන කරුණු පිළිබඳවත් අධ්‍යාපනයක් ලබා දෙයි. එහෙත්, ඒ අයුරින් මෙරට නවයොවුන් වියට පිවිසෙන දරුවන්ට පාසල් අධ්‍යාපනය තුළ ඇති සෞඛ්‍ය විෂයයෙන් හෝ දැනුමක් ලබා දීම සිදු වේ ද යන්න ගැටලුවකි. දැඩි සංස්කෘතික බැඳීම්, සම්ප‍්‍රදායයන්, සිරිත් විරිත්, වැඩිහිටි ගෞරවය සහ සමාජීය සීමාවලින් යුතු මෙරට ජන සමාජය තුළ ලිංගිකත්වය යන මාතෘකාව ප‍්‍රසිද්ධියේ සහ සාමුහිකව සාකච්ඡා නොකරන මාතෘකාවක් වී තිබේ. ඒ නිසා පවුල් සංස්ථා තුළින් ද නිවැරදි දැනුමක් ලබා නොදෙයි.

ආපසු හැරවුණු හතේ පොත

පාසල් අධ්‍යාපනයට ‘හතේ අපේ පොත’ එක් වන්නේ මෙවැනි වටාපිටාවක් තිබියදීය. එහෙත්, අභයතිස්ස හිමියන් විසින් පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවකින් පසු ඇති වූ කතාබහත් සමඟ අනාවරණය වූයේ එම මාධ්‍ය සාකච්ඡාවටත් පෙර පසුගිය ආණ්ඩු සමයේ දී ම මෙම පොත පාසල්වලට බෙදාහැරීම නතර කර, බෙදාහරින ලද පොත් ද ආපසු එකතු කිරීම ආරම්භ කර ඇති බවයි. ඒ අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ඩබ්ලිව්. එම්. ජයන්ත වික්‍රමනායක විසින් 2019.11.06 වන දින සියලුම මධ්‍යස්ථානාධිපතිවරුන් සහ විදුහල්පතිවරුන් වෙත ලිඛිතව කරන ලද දැනුම් දීමකට අනුවය. මෙම පොත සිසුන් වෙත ලබා දීම නතර කරන ලෙසත්, සිසුන්ට ලබා දී ඇති පොත් ආපසු ලබා ගන්නා ලෙසත්, එසේ ලබා ගන්නා පොත් නැවත අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව වෙත ලබා දීමට කටයුතු කරන ලෙසත් එම ලිපියේ සඳහන්ව ඇත.

මෙසේ ‘හතේ අපේ පොත’ ආපසු කැඳවීම පසුපස ඇත්තේ වෙනමම කතාවකි. ඊට හේතුව අකිල විරාජ් කාරියවසම්ගේ ඡායාරූපය එම පොතට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් වූ විරෝධයකි. එවකට අධ්‍යාපන ඇමතිවරයා වූ අකිල විරාජ්ගේ ඡායාරූපය ඊට ඇතුළත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ පිරිසක් විරෝධය දක්වා තිබේ. පොත ආපසු කැඳවීම දක්වා වර්ධනය වී ඇත්තේ මේ ප්‍රතිවිරෝධයයි.

මෙතැනින් කොතැනටද?

ලිංගිකත්ව අධ්‍යාපනයේ ඇති වැදගත්කම පිළිබඳව අවධාරණය කිරීම සඳහා 2016දී ‘එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල’ සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව ජාතික සමීක්ෂණයක් පවත්වන ලදී. ඒ හරහා පාසල් දරුවන්ගේ ලිංගික නැඹුරුව සහ අධ්‍යාපනය පිළිබඳව අවධානයට ලක් විය. මෙම සමීක්ෂණයේ ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලැබූයේ කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කේ. කරුණාතිලක මහතා ය. මෙම සමීක්ෂණය සඳහා අහඹු ලෙස දිවයින ම ආවරණය වන පරිදි පාසල් 294ක් තෝරා ගනු ලැබූ අතර, 2,776ක් දරුවන් ඊට සම්බන්ධ කර ගනු ලැබීය. ඊට පිරිමි දරුවෝ 1,065ක් සහ ගැහැනු දරුවෝ 1,707 ඇතුළත් වූහ. විදුහල්පතිවරුන් 176ක් ද, ලිංගික අධ්‍යාපන විෂයය භාර ගුරුවරුන් 276ක් ද, මීට අමතරව දෙමාපියන් 990ක් ද මේ සමීක්ෂණය සඳහා දායක කරගෙන ඇත. එම සමීක්ෂණයේ වාර්තාව 2019 මාර්තු මාසයේ දී නිකුත් වූ අතර, එම වාර්තාවට අනුව දරුවන්ට ලිංගිකත්වය පිළිබඳ අධ්‍යාපනයක් ලබා දීම අත්‍යවශ්‍ය බව එමඟින් ද පෙන්වා දී තිබේ. එසේම එම අධ්‍යාපනය ලබා දීමේ ප්‍රමුඛතම කාර්යභාරය පැවරෙන්නේ පාසලක ගුරුවරුන්ට බවත් පෙන්වා දී තිබේ.

එසේ සමාජය තුළ ඇති අර්බුදය විවිධ පර්යේෂණ වාර්තා විසිනුත්, ඒ සම්බන්ධයෙන් ප්‍රාමාණික දැනුම ඇති විද්වතුන් විසිනුත් ඕනෑවටත් වඩා පෙන්වා දී ඇති තත්ත්වයක් තුළ හතේ පොතෙනුත් ඔබ්බට ගිය ලිංගික අධ්‍යාපනයක් අද සමාජයට අවශ්‍ය බව හොඳින්ම පැහැදිලි වේ. ඒ ගැන කතාබහක් සමාජගත කරනවා වෙනුවට සංස්කෘතියට සහ ඇතැම් භික්ෂුන්ගේ ප්‍රකාශවලට මුවා වෙමින් තව දුරටත් ලිංගික අධ්‍යාපනය ලබා දීම සීමා කරන්නට ගියහොත්, ඇති වන්නේ බරපතළ තත්ත්වයකි. විද්‍යාවත්, සංස්කෘතියත් පටලවා ගතහොත් ඇති වන්නේ සමාජය තවත් අවුලෙන් අවුලට පත් වීමකි.

චතුර දිසානායක

Leave A Reply

Your email address will not be published.

19 + three =