ලොව මවිත කරන කියුබානු වෛද්‍ය සේවය

46
1959 සිට කියුබානු සෞඛ්‍ය සේවය ලාභ සඳහා වූ අරමුණුවලින් බැහැරව හැමටම පොදුවේ හා නොමිලේ සැපයීම නව විප්ලවීය රජයේ ප්‍රමුඛතාවක් විය. එම නිසා රජය හොඳ පොදු සෞඛ්‍ය සේවයක් සැපයුමට අදාළ ආර්ථික සාධක සැලකිල්ලට ගෙන, වාර්ෂික අයවැයෙන් විශාල මුදලක් සෞඛ්‍ය සඳහා වෙන් කිරීමට පෙළඹුණි.

රෝග නිවාරණය පෙරදැරිව නව සංකල්පයක් වූ ‘පවුලේ වෛද්‍යවරයා’ සමඟින් කියුබානු ජනතාවට අනෙකුත් සංවර්ධනය වන්නාවූ රටවලට වඩා උසස් සෞඛ්‍යාරක්ෂක තත්ත්වයක් භුක්ති විඳීමට ඉඩ ප්‍රස්තාව ලැබුණු අතර කියුබානු ජනතාවගේ සෞඛ්‍ය මට්ටම ඉතා දියුණු යයි සැලකෙන රටවල් හා සැසඳිය හැකි මට්ටමක තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය, පැන් ඇමෙරිකන් සෞඛ්‍ය සංවිධානය, ලෝක බැංකුව හා ලොවම  පිළිගත් වෛද්‍ය හා විද්‍යා සඟරා වන ‘ද ලන්සෙට්‘, ‘ද නිව් ඉංග්ලන්ඩ් ජර්නල් ඔෆ් මෙඩිසින්’ පවා කියුබානු වෛද්‍ය සේවා ප්‍රශංසා කරන අතර එවන් වූ ක්‍රමයක්, ආදර්ශයක් හා මාර්ගෝපදේශයක් ලෙස ගනිමින් අනෙකුත් තුන්වන ලෝකයේ රටවල්ද අත්හදාබැලීම වටනේ යැයි නිර්දේශ කර තිබේ.

විප්ලවීය වෙනසක් යනු කෙබඳු එකක්දැයි වටහා ගැනීමට වුවමනා නම්, කියුබාවේ සෞඛ්‍ය සේවය ඒ සඳහා පෙන්විය හැකි හොඳම උදාහරණයකි. ජනතාව උදෙසා වන ජනතාව විසින් ගොඩනගනු ලබන පාලනයකට කෙතරම් දෙයක් කළ හැකි ද!

සම්පත්වලින් අඩු බව හා සංකීර්ණ භූ දේශපාලන ග්‍රහණයට නතුව 1960 සිට වසර 60 කට අධික කාලයක් තිස්සේ තවමත් පවතින ඇමෙරිකානු ආර්ථික සම්බාධක මධ්‍යයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයෙන් මුළු ලොවටම ආදර්ශයක් වීමට කියුබාවට හැකි වූයේ කෙසේද?

සම්පත්වලින් අඩු බව හා සංකීර්ණ භූ දේශපාලන ග්‍රහණයට නතුව – 1960 සිට වසර 60 කට අධික කාලයක් තවමත් පවතින ඇමෙරිකානු ආර්ථික සම්බාධක පැවතියද, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මුළු ලොවටම ආදර්ශයක් වීමට කියුබාවට හැකි වූයේ කෙසේද? රටේ මුළු ජනගහනයටම අග්‍රගන්‍ය සෞඛ්‍ය සේවාවක් ලබා දීමට හැකියාවක් ඇති මෙම සෞඛ්‍ය සේවයේ විශේෂිත ලක්ෂණ මොනවාද? ලෝක ජනගහනයෙන් සියයට 0.001 ක්වූ ජනතාවක් ජාත්‍යන්තර සෞඛ්‍ය සහයෝගිතාවයේ ප්‍රමුඛත්වය ගන්නේ කෙසේද? යන කරුණුත්‍රය ඉදිරියට සලකා බලමු. පළමුකොට රෝග නිවාරණ ක්‍රියාවලිය හා ඒ සඳහා අතිවිශාල සේවක පිරිසක් යෙදවීමත්  අනතුරුව සෞඛ්‍ය ක්‍රමයේ කාර්යක්ෂමතාව හා ජාත්‍යන්තර අවධානයට ලක් වීමත් සොයමු.

ආරම්භය හා මානව ප්‍රාග්ධනය

1959 දී කියුබාවේ මිලියන 6ක ජනගහනයකට සිටියේ වෛද්‍යවරුන් 6,286ක් පමණි. (පුද්ගලයන් 1064කට එක වෛද්‍යවරයෙක්) නමුත් විප්ලවයෙන් පසු ආර්ථික වාසි පතා ඉන් වෛද්‍යවරුන් 1402ක්ම අවුරුදු 3ක් ඇතුළත රට හැර විදේශගත වූහ. එහි ප්‍රතිඵලයක් ලෙස පුද්ගලයන් 1268කට එක් වෛද්‍යවරයෙක් තරම්වූ අර්බුදකාරී සෞඛ්‍ය තත්ත්වයකට රට ඇද වැටුණි. මෙම ප්‍රශ්න හමුවේ සෞඛ්‍ය සේවය සැමටම පොදු නොමිලේ සපයන නිදහස් සෞඛ්‍ය සේවා පද්ධතියක් බවට පත්කිරීමට සැලසුම් සකස් කැරිණ. 1961 දී සෞඛ්‍ය සේවා අමාත්‍යාංශය යටතේ සෞඛ්‍ය ප්‍රතිපත්ති 7ක ව්‍යුහයක් මත පදනම් වී කටයුතු ආරම්භ කෙරිණ.

කියුබානු කාන්තාවක් බ්‍රසීල කාන්තාවකට ප්‍රතිකාර කරන අයුරු

  1. සෞඛ්‍යය ජනතාවගේ අයිතිවාසිකමකි.
  2. සෞඛ්‍යය සේවා සැපයීම රජයේ වගකීමකි.
  3. සෑම පුරවැසියකුටම එක හා සමාන සෞඛ්‍ය සේවාවක් ලබා ගත හැකි වීම.
  4. සෞඛ්‍ය භාවිතාව ස්ථාවර විද්‍යාත්මක පදනමක පිහිටා කටයුතු කිරීම.
  5. සෞඛ්‍ය ක්‍රියාවලිය රෝග වැළැක්වීමේ ක්‍රියාවලියට නැඹුරුවක් තිබීම.
  6. සමාජයේ සියලුම දෙනාගේ සහභාගිත්වය සෞඛ්‍ය සේවා භාවිතයේදී හා සංවර්ධනයේදී යොදවා ගැනීම.
  7. ජාත්‍යන්තර සහයෝගිතාව සෞඛ්‍ය සේවයේ ප්‍රධාන අංගයක් කිරීම.

‘පවුලේ වෛද්‍යවරයා හා හෙදිය’

1984 සිට සියලුම කියුබානු සෞඛ්‍ය සේවා පාදක කොට ගත්තේ කියුබාව විසින් ප්‍රථම වරට හඳුන්වාදුන් නව ප්‍රවණතාවක්වූ ‘පවුලේ වෛද්‍යවරයා හා හෙදිය’ යන සංකල්පයයි. මෙම ක්‍රමයේ මූලික සෞඛ්‍යාරක්ෂක කලාපය වූයේ එක් එක් න්‍යෂ්ටික පවුල හා ඔවුන්ගේ සායනික අවශ්‍යතා, බෝවෙන රෝග හා සමාජයීය සෞඛ්‍ය ගැටලුයි. මෙම වෛද්‍යවරයා තම රෝගීන් සිටිනා ප්‍රදේශයේම පදිංචිව සිටියි. උඩුමහල ඔහුගේ නේවාසිකාගාරය වන අතර පහත මාලය වෛද්‍ය සායනයයි.
වෛද්‍යවරයාට රැකබලාගැනීමට පැවරුණු  පවුල් ඒකක 120ක් පමණ වේ. ඔහු ඒ සියලුදෙනාගේම ප්‍රාථමික සෞඛ්‍ය පිළිබඳ වගකිවයුත්තා වන අතර ප්‍රදේශයේ ගර්භණී කාන්තාවන්, ළදරුවන්, මහලු අය ආදී සියලුදෙනාගේම සෞඛ්‍ය අවශ්‍යතා, ප්‍රතිකාර හා සායනික ඉතිහාසය පිළිබඳව මනා දැනුමක් වැටහීමක් ලබා සිටියි. හදිසි ප්‍රතිකාර සඳහා රෝගීන් රෝහල්වලට යා හැකි නමුත් අනෙකුත් සියලු අවශ්‍යතා මෙම වෛද්‍යවරයා හා හෙදිය මගින් සිදු වේ. උදය වරුවේ ලෙඩුන් සායනයට පැමිණෙන අතර, සවස් කාලයේ වෛද්‍යවරයා හා හෙදිය මුල්බැසගත් හා කල්පවතින රෝගවලින් පෙළෙන හෝ වයෝවෘද්ධ රෝගීන් බැලීමට ඔවුන්ගේ නිවසටම පැමිණෙයි. මෙම ක්‍රමය තුළින් රෝගියා හා වෛද්‍යවරයා අතර මනා මානුෂික සම්බන්ධතාවක්ද ඇති වේ.
රෝගියෙකුට විශේෂඥ සේවා අවශ්‍ය වූ විට මෙම වෛද්‍යවරයා  තොරතුරු සායනික වාර්තාත් රැගෙන රෝගීන් කැටුව විශේෂඥ සායනයටද යයි. මෙම පවුලේ වෛද්‍යවරයා හා හෙදිය වෙත සාමාන්‍යයෙන් බාල මහලු රෝගීන් 600කගේ පමණ වගකීම පැවරේ. මෙම ක්‍රමය ස්ථාපිත කරන විට පහත කරුණු සෞඛ්‍ය ප්‍රතිපත්ති ලෙස පිළිගැනිණ.

  1. සෞඛ්‍ය සේවයේ රාජ්‍ය හා සමාජයීය ලක්ෂණය.
  2. සියලුදෙනාටම පහසුවෙන් ලබාගත හැකි නොමිලේ සෞඛ්‍ය සේවය
  3. රෝග නිවාරණය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම.
  4. සමාජ ක්‍රියාකාරිත්වය හා විවිධ සෞඛ්‍ය ක්ෂේත්‍ර එක්ව කටයුතු කිරීම.
  5. සෞඛ්‍ය ප්‍රතිපත්ති කේන්ද්‍රියවත් – සෞඛ්‍ය ක්‍රියාකාරකම් බෙදීයන ලෙසත් ක්‍රියාත්මක කිරීම.
  6. විද්‍යා හා තාක්ෂණික දැනුම හා දියුණුව යුහුසුලුව සෞඛ්‍ය සේවය වෙත ලබාගැනීම.
  7. ජාත්‍යන්තර සහයෝගිතාව.

පොලික්ලිනික් 436ක්

කියුබානු සෞඛ්‍ය දේහයේ කොඳුනාරටිය වන්නේ විශේෂඥ වෛද්‍ය සේවා සහිත සායන වන පොලික්ලිනික් 436ක් හා ඉහත දැක්වූ 15,000ක් පමණ වන පවුලේ වෛද්‍යවරයාගේ සායනයන්ය. පොලික්ලිනික් එකකට ඔවුන් විශේෂඥ සේවා සපයන පවුල් වෛද්‍ය සායන 20ත් 40ත් අතර ගණනක් වේ. මේවා මගින් විශේෂඥ සේවා විශාල ප්‍රමාණයක් සපයන බැවින් රෝහල්වල රෝගී තදබදය බෙහෙවින් අඩු වේ. මෙම විශේෂඥ සේවා අතර එක්ස් කිරණ, අල්ට්‍රසවුන්ඩ්, රුධිර පරික්ෂා, පවුල් සංවිධානය, දන්ත වෛද්‍ය සේවය, මාතෘ, ළමා, හෘද, මානසික අංශ වෙයි. මෙම සායනවලදී ද්විතික සෞඛ්‍ය සේවා සපයන වැඩි රෝග අවදානමක් සහිත පුද්ගලයන්ගේ (ළමා, මහලු, ගර්භණී ආදී) රෝග නිවාරණ හා පාලන කටයුතුත් සනීපාරක්ෂාව, ආහාර, ව්‍යායාම, හා අවදානම් තත්ත්ව මඟහරවා ගැනීම කෙරෙහි අවධානය යොමු කෙරේ.

රෝග නිවාරණ වැඩපිළිවෙළ

රෝග නිවාරණය කියුබානු සෞඛ්‍ය සේවයේ ජීවය වන නිසා, සැම කෙනෙක්ම ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය හොඳ වුවත් නරක වුවත් ඔවුන්ගේ සැබෑ රැකවලුන් වන වෛද්‍යවරුන් විසින් නිරතුරුව සැලසුම්සහගතව පරීක්ෂා කරනු ලබති. මේ ක්‍රමය නිසා වසංගතවේදය හා බෝවෙන රෝග පාලනය කිරීමද  කාර්යක්ෂමව සිදු වේ. මෙම සෞඛ්‍ය ක්‍රමවේදය රෝගීන්ගේ ශාරීරික, මානසික හා සමාජයීය තත්ත්වයනට අදාළව සෞඛ්‍ය ගැටලු විසඳීමට මඟ පාදයි.
උදාහරණයක් ලෙස යම් පෙදෙසක වැඩිපුර ආසාත්මිකතාවයන් වාර්තා වන්නේ නම්, එම ප්‍රදේශයේ සායන මඟින් ඊට විසඳුම් සොයන පර්යේෂණ පවත්වයි. එලෙසින්ම රුධිර පීඩනය, දියවැඩියාව වැනි රෝග සම්බන්ධයෙනුත් වැඩි ප්‍රවණතා ඇති තැනට ප්‍රමුඛත්වය දීම සිදුවෙයි. ඒ අතරම අදාළ ප්‍රදේශයේ සෞඛ්‍ය අධ්‍යාපන කටයුතුද සැලසුම් කරයි. උදා. දුම්පානය කරන්නන් වැඩිපුර වෙසෙන තැනක් නම් දුම්බීමේ විපාක පිළිබඳ කල්පනාවට ගැනීම උදෙසා කලින් කලට වැඩමුළු පැවැත්වීම වැනි දේ සිදු කරයි. ප්‍රාථමික මට්ටමේ පවුලේ වෛද්‍යවරයා හා ද්විතියික මට්ටමේ පොලික්ලිනික් නිර්දේශ මත රෝගීන් විශේෂිත හා ශික්ෂණ රෝහල් හා විශේෂිත ආයතන මධ්‍යස්ථාන වෙත යොමු කරනු ලබයි.
කියුබාවේ ප්‍රධාන රෝහල් 284කි. එනයින් ජනගහනයෙන් 1,000කට ඇඳන් 5.2කි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව එය ලතින් ඇමෙරිකාවේ හොඳම තත්ත්වයි. ප්‍රංශය වැනි දියුණු රටකත් රජයේ රෝහල්වල පවතින්නේ ලෙඩුන් 1000කට ඇඳන් 3.8ක් පමණි. (ප්‍රංශයේ රජයේ, පුද්ගලික නමුත් පොදු ජනයාට, හා පුද්ගලික නමුත් පොහොසතුන්ට පමණක් පවතින රෝහල්වල එකතුවත් 1000කට 6.1කි).

වෘත්තිකයන් පුහුණුකිරීම

කියුබාවේ මිලියන 11ක් වන ජනගහනයට වෛද්‍ය විද්‍යාල 24ක් හා හෙද විදුහල් 40ක් රටතුළ සෑම පළාතකටම විහිදෙන සේ පිහිටුවා තිබේ. සාමාන්‍ය වශයෙන් වසරකට වෛද්‍යවරුන් හෝ වෛද්‍යවරියන් 10,000ක් හෙද නිලධාරීන් 30,000 පමණ අලුතින් බිහි වේ. පවුලේ වෛද්‍යවරයා ලෙස පුහුණු වීම වෛද්‍ය සිසුන්ට අනිවාර්ය වේ. කියුබාව තුළම සියලුම අංශවල විශේෂඥ වෛද්‍යවරුන්ගේ පුහුණුවද කරනු ලැබේ. ආපදා අවස්ථාවන්ට මුහුණදීම සඳහා වූ වෛද්‍යවරුන්ද පුහුණු කරනු ලැබේ.
ප්‍රාථමික පාසල් අධ්‍යාපනයේ සිටම සෑම කෙනෙකුම ස්වභාවික ආපදා අවස්ථාවකදී වගකීමෙන් කටයුතුකිරීම සඳහා පුහුණු කරවනු ලැබේ. නිරතුරුවම අභ්‍යාස මඟින්ද බාල මහලු කවුරුත් ආපදා අවස්ථාවන්ට මුහුණදීමේ පෙරහුරු මඟින් දැනුම යාවත්කාලීන කරනු ලැබේ. මේ නිසා ජනතාවගේ සැම කෙනෙකුටම ප්‍රථමාධාර හා ස්වභාවික ආපදාවකදී ජීවිතය පවත්වාගෙන යෑම ගැන දැනීමක් ඇත. වොෂින්ටන්හි ජාත්‍යන්තර දේශපාලන කේන්ද්‍රයට අනුව මෙහි ප්‍රතිඵලය නම් වෙනත් කිසිම රටක නොවූ විරූ නිවාරණය හා පෙරහුරුවක් තිබීමයි. එම කේන්ද්‍රයට අනුව මෙම කරුණ තවත් තහවුරු වන්නේ පසුගිය දශකය තුළ සිදු වූ භයානක සුළි කුණාටු 16කදී කියුබානුවන්ගේ ජීවිත හානිය අවම මට්ටමක තිබීමයි. ඇමෙරිකාවේදී කුණාටුවකින් ජීවිත හානිවීම කියුබාවට වඩා 15ස් ගුණයකින් වැඩි බව එම කේන්ද්‍රය හුවා දක්වයි.
කියුබාවේ වෛද්‍ය ආචාර්ය මණ්ඩලය 50,000ක් පමණ වේ. ජනතාවගෙන් එක් දහසකට වෛද්‍යවරුන් 9ක් හා හෙද නිලධාරීන් 9ක් වෙති. මේ අනුව කියුබාවේ ජනතාවගෙන් 111කට එක් වෛද්‍යවරයෙක් සිටියි. මෙය ලෝකයේ ඉතාම ඉහළ මට්ටමකි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ප්‍රංශයේ දහසකට සිටින්නේ 3.4කි. ඔස්ත්‍රියාවේ 5.2ක් වන අතර ඇමෙරිකාවේ ඇත්තේ 2.6ක් පමණකි. කියුබාවේ දන්ත වෛද්‍යවරු 20,000ක් හා ඖෂධ නියාමකයෝ 15,000ක් ද සිටිති. එකතුවක් හැටියට ගත් කල සෞඛ්‍ය සේවයේ ලක්ෂ 5ක් පමණ සේවය කරන අතර එය වැඩ කරන මුළු ජනතාවගෙන් 13%කි.

ජෛව තාක්ෂණ සේවය

ප්‍රධාන වැදගත්කමක් ඇති ව්‍යාපෘතියක් ලෙස ජෛව තාක්ෂණය සලකණු ලබයි. එහි මූලික ලක්ෂණ පහත දැක්වේ.

  1. ප්‍රධාන ආයෝජකයා රජය වේ.
  2. කියුබාවේම පුහුණුවූ විද්‍යාත්මක හා තාක්ෂණ නිලධාරීන් උසස්ම ප්‍රතිඵල අපේක්ෂාවෙන් කටයුතු කරයි.
  3. මානව සම්පත් පුහුණුකිරීමේ හා අධ්‍යාපනය ලබාදීමේ වැදගත් ආයෝජනයක් ලෙස.
  4. නව සොයාගැනීම් හා අලුතින් දියුණුකරනු ලබන දේවල ප්‍රමුඛතාවය, ජනතා සෞඛ්‍ය අවශ්‍යතාවයන්ට යුහුසුලුව යොදා ගැනීමට සෞඛ්‍ය සේවය හා මනා සහසම්බන්ධතාවය. (කියුබාව දැනටමත් අල්සෛමර්ස් රෝගයට ප්‍රතිකාරයක් සොයාගෙන එය සායනික පර්යේෂණ මට්ටමේ පවතී).
  5. නව සොයාගැනීම් මඟින් ආනයනික දේ අවම කිරීම හා ජාතික අවශ්‍යතා සපුරා ස්වයංපෝෂිත වීම.
  6. ජාතික අවශ්‍යතාවන්ට හා රට තුළ වෙළඳපොළට ප්‍රමුඛත්වය දීම.
  7. ජෛව රසායනික ද්‍රව්‍යයන්ගේ නිපදවීමේ සියලුම අදියර; පර්යේෂණ, නිෂ්පාදන සැලසුම්, වැඩිදියුණු කිරීම්, නිෂ්පාදනය, වෙළෙඳපොළ වෙත බෙදාහැරීම, පසුවිපරම් ආදී සියලු කටයුතු එකම ආයතනයක් මඟින්ම සිදු කිරීම.
  8. විවිධ ආයතන අතර සහයෝගිතාව.
  9. නවතාවයන් මඟින් ජාත්‍යන්තර තරගකාරීත්වය, උසස් තත්ත්වය, නිෂ්පාදන ධාරිතාවේ දියුණුව, හා වියදම් අඩුකිරීම.
  10. සංවර්ධනය වන්නාවූ රටවල් සමඟ සහයෝගිතාවය ඇතිව පර්යේෂණ වැඩි දියුණු කිරීම, නිෂ්පාදනය හා වෙළඳාම සිදු කිරීම.

කියුබාව තත්ත්වයෙන් උසස් ඖෂධ හා එන්නත් නිෂ්පාදනය කරන අතර එයින් කොටසක් අපනයනය කරයි. රටට අවශ්‍ය බෙහෙත් වර්ගවලින් 65%ක් ඔවුන් තම රට තුළම නිපදවා ගනිති. ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගත් එන්නත් වර්ග 13ක් ඔවුන් රට තුළ නිපදවයි. වසර ගණනාවක් පුරා නොකඩවා කරගෙන යන තාක්ෂණික දියුණුව හා ජෛව තාක්ෂණ ක්‍රමවේදයන් නිසි ලෙස ආයෝජනය තුළින් ඔවුන් දියුණු රටවල් සමඟ තරගකාරී මට්ටමක පසු වේ. ලන්සෙට් වෛද්‍ය සඟරාවට අනුව “කියුබානු ක්‍රමවේදයන් අනෙකුත් අඩු ආදායම් රටවලත් භාවිතා කරන්නේනම් ලෝක ජනගහනයේ සෞඛ්‍ය මට්ටමේ නව පෙරළියක් ඇතිකරනු ඇති අතර ලබා ඇති දියුණුව අතිශය ප්‍රශංශනීයයි”. ඔවුන් අඩු ආදායම් සහිත රටවලට තාක්ෂණික පුහුණුව සපයන අතර සාධාරණ මිලකට ඖෂධ සැපයීම ද සිදුකරයි.
 

Previous articleඋපරිම සිල්ලර මිල සීමාවන් දැඩිව අනුගමනය කිරීමේ වැදගත්කම ලංකා ටයිල්ස් අවධාරණය කරයි
Next articleපුරවැසියන්ගේ අවධානය පිණිසයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here