ඉතා දුෂ්කර මොහොතක් ! එහෙත් අපි ඔබ අත් නොහරිමු!!

104
සියල්ල ඇනහිටින තත්ත්වයකට රට ගමන් කරමින් තිබේ. විදුලිය, ගෑස්, තෙල් අර්බුද විසින් සියල්ල අඩපණ කර තිබේ. ඩොලරයේ අගය අහස උසට යමින් තිබේ. ආනයන සීමා නිසා අවශ්‍යම දේවල් ගෙන්වන්නේද නැත. රටට කඩදාසි කම්හල් දෙකක්ම පැවැතුණත්, ඉන් එකක් පණඅදින මට්ටමේය. අනික වසා දමා බොහෝ කල් ය. දරු දැරියන්ගේ අධ්‍යාපනය සඳහා අවශ්‍ය පොත්වල සිට සියලු ආකාරයේ පොත් ප්‍රකාශන ද, සමස්ත පුවත්පත් කර්මාන්තය ද සුවිශාල අර්බුදයකට මුහුණපා තිබේ. දැවැන්ත මුද්‍රණ ආයතන පවා තමන්ගේ ප්‍රකාශන එක්කෝ නවතා දමා ඇත. නැතහොත් සීමා කර ඇත. මුද්‍රණ කර්මාන්තය යනු එක් පැත්තකින් ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය සම්බන්ධ ක්ෂේත්‍රයකි. මේ සීමා කරමින්, කප්පාදු කරමින් යන්නේ ඒ අයිතියයි. පුවත් පත් ප්‍රවාහනය සඳහා වන මිල ද, ඉන්ධන මිලත් සමඟ ඉහළ යමින් තිබේ.

මේ සියල්ල මෙසේ සිදුවෙද්දී ආණ්ඩුවක් රටේ නැති ගාන ය. කිසිවෙක් කිසිවක වගකීම භාර නොගන්නා අරාජක තත්ත්වයට රට පත්ව තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් දරා සිටින ප්‍රමුඛ කුලුනු සතරෙන් එකක් ලෙස සැලැකෙන ජනමාධ්‍යයෙහි පැවැත්ම ආරක්ෂා කිරීම රාජ්‍යයෙහි වගකීමක් වුව ද, ඒ පිළිබඳව කිසිදු අවධානයක් නැත. එමෙන්ම මාධ්‍ය සමාජයෙන් ද ඒ පිළිබඳව සාමුහික හඬක් නොනැඟීම අභාග්‍යසම්පන්න තත්ත්වයකි.

පොදු ජනතාව වීදි බසින්නැයි කියන ඕනෑම පිරිසක් සමඟ එක්වීමට සූදානම් ය. පීඩාව ඒ තරමට දරාගත නොහැකි සීමා කරා තල්ලු වී ගොස් අවසන් ය.

කොතරම් දුෂ්කර වුවත්, අපි ඔබ සමග සිටිමු. ඒ සහතිකය අප ඔබ හමුවේ තබන්නේ දැඩි විශ්වාසයෙන් සහ බලාපොරොත්තු සහගතවය.

මෑත මාස කිහිපයක පටන් ‘ලංකා’හි අප ද මේ දුෂ්කර අභියෝගය සමග පොරබදමින් සිටින බව ඔබ නොදන්නවා විය නොහැකිය. එහෙත්, මේ අර්බුදයේ සියලු මූලසාධක පවතින්නේ අපගේ සීමාවලින් බොහෝ එපිටින් ය.
මේ සියලු තත්ත්වයන් හමුවේ ඉහළ ගිය නිෂ්පාදන වියදම ආවරණය වන පරිදි ඉතාම අකමැත්තෙන් වුව ද, පුවත් පතේ මිල ඉහළ දැමීම හැර අප හමුවේ අන් විකල්පයක් නැත. රුපියල් 120.00ක් යනු ඔබට මේ මොහොතේ දැරිය හැකි මුදලක් නොවන බව අප හොඳාකාරවම දනිමු. එහෙත් ලබන සතියේ සිට එම පියවර වෙත යාමට අපට සිදුව තිබේ. ජන සමාජය සතු තොරතුරු දැනගැනීමේ අයිතිය හා අදහස් පළ කිරීමේ අයිතිය ආරක්ෂා කර ගැනීම සඳහා තීරණාත්මක වැදගත්කමක් දරන පුවත් පත් මාධ්‍යය අහෝසි වී යෑම වළක්වා ගනු පිණිස මේ දුෂ්කර අවස්ථාවේ පෞද්ගලිකව බර දැරීමට ජනමාධ්‍ය පරිශීලනය කරන දැනුම්වත් සමාජයට සිදු වී තිබේ. එය ඓතිහාසික කැප වීමකි.
රටම නැවතී ඇත ! රටම අඳුරට ගොස් තිබේ. බැලූ බැලූ අත අර්බුද ය. සියල්ලෙන්ම තැළෙන්නේ මහජනතාව ය. සියලු ප්‍රශ්නවලින් ජනතාව පීඩා වින්දත්, වසර 74ක් තිස්සේ රට විනාශය කරා ගෙන යාමේ තීන්දු තීරණ ගත්තේ මෙතෙක් බලයේ සිටි පාලකයන් ය. ජනතාව පාලකයන් ඡන්දයෙන් පත් කළත්, මෙකී ජනතා විරෝධී තීරණ ගැනීමට ජනතාව සම්බන්ධ වූයේ නැත.
පොදු ජනතාව වීදි බසින්නැයි කියන ඕනෑම පිරිසක් සමඟ එක්වීමට සූදානම් ය. පීඩාව ඒ තරමට දරාගත නොහැකි සීමා කරා තල්ලු වී ගොස් අවසන් ය.
74 වසරක ශාපයෙන් මිදීමට මේ හොඳම අවස්ථාව බව සැබෑ ය. එහෙත්, එය පහසු, සරල, කජු කනවා වැනි කටයුත්තක් නොවන්නේ ය. එය අතිශය බැරෑරුම් හා බරපතළ කටයුත්තකි; විශාල අභියෝගයකි. වඩාම වැඩියෙන් සවිඥානිකව සිදු කළ යුත්තකි. අපට අඳුරේ අතපත ගෑමට නොහැකි ය. වඩා යහපත් සමාජයක් නිර්මාණය කළ හැක්කේ කෙසේ ද යන්න පිළිබඳ දියුණු, විද්‍යාත්මක මඟපෙන්වීමක් අවශ්‍ය ය. අරමුණක් සහිතව දියුණු හා හරවත් සංවාදයක් අවශ්‍ය ය. ඒ වෙනුවෙන් වූ භාරදූර කාර්යභාරයක් අප මත පැටවී තිබෙන අතර, අපි හැකි උපරිමයෙන් අපේ වගකීම ඉටු කිරීමට බැඳී සිටිමු.
ඒ නිසාම කොතරම් දුෂ්කර වුවත්, අපි ඔබ සමග සිටිමු. ඒ සහතිකය අප ඔබ හමුවේ තබන්නේ දැඩි විශ්වාසයෙන් සහ බලාපොරොත්තු සහගතවය.
මේ දුෂ්කර පැයේ අපි ශක්තිමත්ව අත්වැල් බැඳගනිමු. අපේ සාමුහික ශක්තියට, සාමුහික විශ්වාසයට, සාමුහික ධෛර්යයට ජයගත නොහැකි අභියෝගයක් ඇත්තේ නැත●
 
 
 
 
 
 

Previous article“බුද්ධි අංශ ෆේල්, ප්‍රතිසංස්කරණයක් සිදුකළ යුතුයි”
Next articleආයිබොවන්ඩ රනිල්..,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here