ජනාධිපතිවරණයක් ඉල්ලීමේ නොදන්නාකම

29
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන්නේ විධායක ජනාධිපති ක්‍රමයකි. එය ඇමෙරිකාවේ හා ප්‍රංශයේ විධායක ජනාධිපතිවරුන්ටත් වඩා බලතල ඇති තනතුරකි. මෙවැනි බලයක් සහිත ධුරයක් ගෙන එනු ලැබුවේ, ජේ.ආර්. ජයවර්ධන විසිනි. එදා ලැබුණු හයෙන් පහක පාර්ලිමේන්තු බලය එයට පහසුවක් විය. එකී බලතල පළමුවරට අඩු කරනු ලැබුවේ, 2015දී ය. ඒ දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමෙනි.

එම බලතල ප්‍රමාණවත් නැති බවක් කිව්වේ ගෝඨාභය රාජපක්‍ෂ ය. වැඩ කරන්න නම් බලය ඕනෑ යැයි කියමින් දහනවය අහෝසි කළේ ය. ඒ වෙනුවට විසිවැනි සංශෝධනය ගෙන ආවේ ය. එයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය පහසුවක් විය. ජේ.ආර්.ගේ බලයටත් වඩා බලයක් ඉන් ලබා ගත්තේ ය. අද වන විට අසීමිත බලතල සහිත විධායක ජනාධිපති ධුරයක් නන්දසේන ගෝඨාභය උසුලන්නේ ය. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් ද ඇත්තේ ය.

බලු නොවටින බලේ!

ඒ සියල්ල තියාගෙන මුළු රට ම මහා අවුල් ජාලාවකට ඇදවට්ටවා ඇත. ගෑස් පෝලිම්, තෙල් පෝලිම්, කිරිපිටි පෝලිම්, විදුලිය කැපීම්වලින් සියලු ජනතාව මහත් පීඩාවකට පත් කර ඇත්තේ ය. ජනතාවගෙන් පළිගන්නා මෙවැනි පාලකයකු තව දුරටත් ධුරයේ තබා ගත යුතු නැත. වහ වහා ම පන්නා දැමිය යුතු ය. ඒ පිළිබඳ කිසිදු විවාදයක් නැත.
එහෙත්, එය කරන්නේ කෙසේ ද යන්න හැම දෙනාට ම ඇති ප්‍රශ්නයකි. මේ විදියට තව දුරටත් ජනතා පීඩනය වැඩි වන්නේ නම්, මහජනතාව වීදි බැහැලා, පාලකයා එලවා දමන්නේ ය. බොහෝ රටවල පසුගිය කාලයේ එවැනි අත්දැකීම් බහුලව දකින්නට හැකි විය. ලංකාවේ ද එවැනි තත්ත්වයක් ඇති වන්නට ඔන්න මෙන්න බවක් නම් පෙනෙන්නට තිබේ. ඒ කියන්නේ, මහජනතාව පාරට බැහැලා, පාලකයන් එලවා දමන තත්ත්වය වැඩි ඈතක නොවේ ය යන්න ය. එය එසේ වේවි ද? නොවේ වි ද යන්න තීරණය වන්නේ අර්බුදය දිග්ගැස්සෙනවා ද නැද්ද යන්න මත ය. මහජනයා වීදි බැස පාලකයා එලවා දැමීම යන්න ද ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකි. ජනතාව විසින් පත් කර ගන්නා ලද පාලකයා ජනතාව වෙනුවෙන් වැඩ කරන්නේ නැත් නම්, ඒ පාලකයා එලවා දැමීමේ අයිතිය ජනතාව සතු වූ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එය පැහැදිලිව සඳහන් කොට ඇත. එනම්, විරෝධය දැක්වීමේ අයිතිය මූලික අයිතිවාසිකමකි; අනුල්ලංඝනීය අයිතියකි.

ධුරය හිස් වන්නේ කෙසේ ද ?

එය එසේ පැවැතියත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයකු බලයෙන් පහ කිරීම සඳහා ජනතාවට අලුතෙන් ජනාධිපතිවරණයක් ගෙන ඒමේ හැකියාවක් ගැන කියැවෙන්නේ නැත. ඒ කියන්නේ, ජනතා උද්ඝෝෂණයක් හරහා වහා ජනාධිපතිවරණයක් කැඳවීමේ හැකියාවක් ව්‍යවස්ථාවේ සඳහන්ව නැත. ව්‍යවස්ථාවේ 38 (1) වගන්තිය මඟින් ජනාධිපතිවරයා විසින් ධුරය හිස් කිරීම පිළිබඳව සඳහන් කර ඇත. එනම්,
38 (1) (අ) ජනාධිපතිවරයා මිය ගියහොත්, එවිට ද;
(ආ) කථානායකවරයා වෙත තමාගේ අත්සනින් යවනු ලබන ලිපියකින් ජනාධිපතිවරයා තම ධුරයෙන් අස්වුවහොත්, එවිට ද;
(ඇ) ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ පුරවැසියකුව සිටීම නතර වුවහොත්, එවිට ද;
(ඈ) ජනාධිපතිවරයා වශයෙන් තෝරා පත්කර ගනු ලැබූ තැනැත්තා ස්වකීය ධුර කාලය ආරම්භ වූ දින සිට (සති දෙකක්) ඇතුළත ධුරයේ කාර්යය භාර ගැනීම හිතාමතා ම පැහැර හැරියොත් එවිට ද;
(ඉ) මී ළඟ අනුව්‍යවස්ථාවේ විධිවිධාන සලස්වා ඇති පරිදි ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් කරනු ලැබුවහොත්, එවිට ද;
(ඊ) ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම නිෂ්ප්‍රභ කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 130 වැනි ව්‍යවස්ථාවේ (අ) ජේදය යටතේ ස්වකීය බලතල ක්‍රියාත්මක කිරීමෙහි ලා තීරණය කරනු ලැබුවහොත් හා වෙනත් යම් කිසි තැනැත්තකු ජනාධිපතිවරයා වශයෙන් යථා පරිදි තෝරා පත් කර ගන්නා ලදැයි තීරණය කළහොත්, එවිට ද ජනාධිපති ධුරය හිස් වන්නේ ය.
මී ළඟ අනුව්‍යවස්ථාවේ කරුණු යන්න 38(2) හි සඳහන් වී ඇත. එනම්,
38 (2) (ආ) මානසික හෝ ශාරීරික දුබලතාවක් හේතුවෙන් ජනාධිපතිවරයාට ඔහුගේ ධුරයේ කාර්යයන් ඉටු කිරීමට නියත වශයෙන් නොහැකි බවට චෝදනා කරන්නා වූ හෝ;
(i)            චේතනාන්විතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමේ වරද;
(ii)           රාජද්‍රෝහී වීමේ වරද;
(iii)          අල්ලස සම්බන්ධ වරද.
(iv)         ස්වකීය ධුරයේ බලතල අයුතු අන්දමින් පාවිච්චි කිරීම සම්බන්ධ විෂමාචාරය හෝ දූෂණය සම්බන්ධ වරද හෝ
(ඪ)       යම් නීතියක් යටතේ චරිත දූෂණය හා සම්බන්ධ වන වරදක්.
කර ඇති බවට චෝදනා කරන්නා වූ ද, එම චෝදනාවෙහි හෝ චෝදනාවල හෝ සම්පූර්ණ විස්තර දැක්වෙන්නා වූ ද, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඒ පිළිබඳව පරීක්‍ෂා කොට බලා වාර්තා කරන ලෙස ඉල්ලා සිටින්නා වූ ද, යෝජනා සම්මතයක් ඉදිරිපත් කිරීමට තමා අදහස් කරන බවට පාර්ලිමේන්තුවේ කවර වූ හෝ මන්ත්‍රීවරයකු විසින් කථානායකවරයා වෙත යවන ලිපියකින් දැන්වීමක් කළ හැක්කේ ය.
ඉහත කරුණු ඇතුළත් යෝජනාව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකක් අත්සන් කර ඇතොත්, කථානායකවරයා අනිවාර්යයෙන්ම භාර ගත යුතු ය. එසේ නොමැතිව නිල බහුතරයක් අත්සන් කර ඇතොත්, කථානායකවරයාගේ අභිමතයට අනුව කටයුතු කළ හැක්කේ ය. එම භාර ගන්නා යෝජනාව මන්ත්‍රීවරුන්ගේ තුනෙන් දෙකක ඡන්දයෙන් අනුමත කොට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කළ යුත්තේ ය.  චෝදනා පරීක්‍ෂා කොට වාර්තාවක් ඉදිරිපත් කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයේ වගකීමකි. ඉන්පසු නැවත චෝදනා සත්‍යය බවට වූ වාර්තාව තුනෙන් දෙකකින්  සම්මත විය යුත්තේ ය. මෙවැනි තත්ත්වයක දී දැනට ඉන්න නන්දසේන ගෝටාභය ඉවත් කළ හැක්කේ ය.

ධුරය හිස් වුවත් ජනාධිපතිවරණ නැත

එනමුත්, ජනාධිපති ධුරය හිස් වූ විට පාර්ලිමේන්තුවේ යම් මන්ත්‍රීවරයකු ඒ සඳහා පත්කර ගනු ලැබිය යුත්තේ ය. මෙම නව ජනාධිපතිවරයා පත් කර ගැනීම සඳහා ගත වන අන්තර් කාලය තුළ අගමැතිවරයා විසින් ජනාධිපති ධුරය දැරිය යුත්තේ ය. ඒ වන විට අගමැති ධුරයත් හිස්ව ඇත් නම්, කථානායකවරයා ධුරය භාර ගත යුත්තේ ය. මින් පැහැදිලි වන්නේ ජනාධිපති ධුරය හිස් වු පමණින් නව ජනාධිපතිවරණයක් පැවැත්වෙන්නේ නොමැති බව ය. ධුරයේ ඉන්න ජනාධිපතිට තමන්ගේ අභිමතය පරිදි ජනාධිපතිවරණයක් කැඳවීමේ හැකියාව නැත්තේ ය. අවුරුදු දෙකහමාරකට පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලයක් ජනාධිපතිට ඇත්තේ ය. සජිත් ප්‍රේමදාස කියන්නා සේ ජනාධිපතිවරණයක් පැවැත්විය නොහැක්කේ ය. මේ බව නොදන්නා සජිත් පුරුදු අපරිණතකම පෙන්වන්නේ ය. ඔහුගේ ප්‍රධාන සටන් පාඨය වී ඇත්තේ, වහා ම ජනාධිපතිවරණයක් කැඳවීම ය. ව්‍යවස්ථාවට අනුව එවැන්නක් කිසිසේත් ම කළ නොහැක්කේ ය. මින් පෙනෙන්නේ එක්කෝ සජිත්ගේ නොදන්නාකම ය. එසේ නැත් නම්, සජිත්ට උපදෙස් දෙන කේවට්ටයන්ගේ නොදන්නාකම ය.

කළ හැක්f ක් කුමක් ද?

ජනාධිපතිවරණයක් නොව අවශ්‍ය නම්, පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ බලයක් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට ඇත්තේ ය. එහි 70 වගන්තියට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ යෝජනා සම්මතයකින් සම්මත වන යෝජනාවකට අනුව විසුරුවා හැරිය හැක්කේ ය. විසිවැනි සංශෝධනයට අනුව ඒ සඳහා තුනෙන් දෙකක් අවශ්‍ය නොවන්නේ ය. එහි පැහැදිලිව ඇත්තේ, පාර්ලිමේන්තු යෝජනා සම්මතයක් යන්න ය. එනම්, කළ යුත්තේ, කල් යල් බලා අවශ්‍ය මොහොතේ අවශ්‍ය වේලාවට පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ යෝජනාවක් ගෙන ඒම ය. දැනටමත් කලකිරී ඇති ආණ්ඩුව ඇතුළේ ඉන්නා අයට ඒ වෙනුවෙන් ඡන්දය දිය හැකි ය. ඉන්පසුව ජනතාවට තමන් කැමැති ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට බලය ලැබෙන්නේ ය. ඉන් පිහිටුවනු ලබන අලුත් ආණ්ඩුවෙන් අලුත් කථානායකවරයෙක් පත් කර ගත හැක්කේ ය. වහ වහා ම අලුත් ආණ්ඩුව මඟින් ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගයක් ගෙන ආ හැකි ය. එවිට ඔහුගේ බලතල සියල්ල අත්හිටු වෙන්නේ ය. එදාට ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් කර දැමීමේ හැකියාව ද නිතැතින් ම ලැබෙන්නේ ය. නව ජනාධිපතිවරයකු පත්කර ගැනීමත් ඒ අනුව කළ හැක්කේ ය.

සජිත්ගේ නොදන්නාකම

නොදන්නා සජිත්ට මේ ටික කියා දිය යුත්තේ ය. මේ කිසිවක් ගැන නොදන්නා සජිත් සුපුරුදු තමන්ගේ පෞද්ගලික සිහිනය ගැන පමණක් ම සිතීමෙන් ම කරගෙන ඇත්තේ, මහා මෝඩකමකි. එම ධුරයට තමා කොහෙත් ම ගැළපෙන්නේ නැති බව ප්‍රදර්ශනය කිරීමකි. එවැන්නකුට රට භාර දෙන්නට තමන්ගේ ම පාක්‍ෂිකයන් පවා කැමැති වන්නේ නැත. රට හදන්න කෙසේ වෙතත්, සටන් පාඨය තෝරා ගන්නවත් දැනුමක් නැත්තකු පිළිබඳ දේශපාලනය දන්නා අයට ඇත්තේ කනගාටුවකි; උපහාසයකි. එදා කොළඹට එක්රැස් කළ ජනතාව ඉදිරියේ අත්දෙක ඔසවා ගාම්භීරත්වයෙන් පෙන්වා ඇත්තේ, මේ නොදන්නාකම ය. වහා ජනාධිපතිවරණයක් කැඳවන්නැයි බල කිරීම ම නොදන්නාකම ප්‍රදර්ශනය කිරීමකි. රටේ මතුව ඇති අර්බුදය තුළින් කෙසේ හෝ තමාගේ න්‍යාය පත්‍රය ක්‍රියාවට නංවන්න යෑමේ හදිසියේ මේ වරද්දා ගැනීම කර ඇත. ඉදිරියට තව මොන මොන වරද්දා ගැනීම් කරයි ද යන්න සිතා ගත නොහැකි ය. මේ පිළිබඳව ජනතාව මැනැවින් තේරුම් ගනිමින් සිටින බව නම් එකහෙළා ම කිව හැකි ය●
 

Previous articleමිරිහාන සිදුවීමේ 6 නෙක් සඳුදා දක්වා රිමාන්ඩ්
Next article“බුද්ධි අංශ ෆේල්, ප්‍රතිසංස්කරණයක් සිදුකළ යුතුයි”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here