ආර්ථික සුබපැතුමක් !

10

ණය අය කර ගැනීමේ ක්‍රියාවලිය ආණ්ඩුව ප්‍රචාරය කළ පරිදි අත්හිටුවුවහොත්, මුළු පද්ධතියේ ම ක්‍රියාකාරීත්වය අඩාළ වීම සිදු වේ. ආණ්ඩුවේ ප්‍රචාරය නිසා බැංකුවල තිගැස්ම කොතෙක් දැයි හෙළි වූයේ අමාත්‍යවරුන් එම තීරණය පිළිබඳ කරුණු පැහැදිලි කිරීමට දරනු ලැබූ ප්‍රයත්නයෙන්ය. මෙම තීරණය ගෙන තිබුණේ, ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එක්ව බව මුදල් අමාත්‍යාංශ නිවේදනයේ ඉතා පැහැදිලිව දක්වා තිබිණි.

වර්තමාන ආණ්ඩුව බලයට පත් වී කෙටි කාලයක් තුළ ජනප්‍රිය ප්‍රධාන ආර්ථික ක්‍රියාමාර්ග දෙකක් ගනු ලැබීය. ඉන් එකක් වූයේ බදු අනුපාත පහත හෙළීමයි. අනෙක සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් බැංකුවලින් ලබාගෙන ඇති රුපියල් මිලියන 300ක් දක්වා ණය ආපසු අය කර ගැනීම අත්හිටුවීමයි.

ආණ්ඩුව ප්‍රකාශ කළ පරිදි ම මේ ක්‍රියාමාර්ග දෙක මහ පොළොවේ යථාර්ථයක් කර තිබේ ද යන්න වෙනමම විමසා බැලිය යුතු දෙයක්. කෙසේ වෙතත්, මේ දෙකම දැන් උණුසුම් සංවාදවලට ලක් වූ මාතෘකා වී තිබේ. මෙරට තුළ පමණක් නොවේ ජාත්‍යන්තර තලයේ පවා අවධානයට ලක්ව තිබීම විශේෂිතය.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ලබාගෙන තිබෙන රුපියල් මිලියන 300ක් දක්වා ණය ආපසු අය කර ගැනීම අත්හිටුවීම පිළිබඳ නිවේදනයෙන් විශාල කැළඹීමකට ලක් වූයේ මෙරට බැංකු පද්ධතියමය. එළිපිට ප්‍රකාශ නොකළ ද, සියලුම බැංකු ප්‍රධානීහු රාජ්‍ය හෝ පෞද්ගලික අංශය යනුවෙන් භේදයකින් තොරව මෙම තීරණය මඟින් තිගැස්මකට ලක්ව සිටියහ. මේ කියන ණය නියමිත පරිදි මාසිකව ආපසු අය කර ගැනීමකින් තොරව බැංකු පවත්වාගෙන යා නොහැකි නිසාය. බැංකුවල ඉලක්ක සකස් කර තිබෙන්නේ ම ආපසු අය කර ගන්නා මුදල් නැවත ණයට දීම හෝ තැන්පත්කරුවන් ඉල්ලූ විට දීම පදනම් කරගෙනය.

ණය අය කර ගැනීමේ ක්‍රියාවලිය ආණ්ඩුව ප්‍රචාරය කළ පරිදි අත්හිටුවුවහොත්, මුළු පද්ධතියේම ක්‍රියාකාරීත්වය අඩාළ වීම සිදු වේ. ආණ්ඩුවේ ප්‍රචාරය නිසා බැංකුවල තිගැස්ම කොතෙක් දැයි හෙළි වූයේ අමාත්‍යවරුන් එම තීරණය පිළිබඳ කරුණු පැහැදිලි කිරීමට දරනු ලැබූ ප්‍රයත්නයෙන්ය. මෙම තීරණය ගෙන තිබුණේ, ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එක්ව බව මුදල් අමාත්‍යාංශ නිවේදනයේ ඉතා පැහැදිලිව දක්වා තිබිණි. එහෙත්, මාධ්‍ය ඉදිරියේ ඩලස් අලහප්පෙරුම සහ බන්දුල ගුණවර්ධන ඇමතිවරුන්ට යළි යළිත් එය පැහැදිලි කිරීමට සිදු වූයේ මෙම ණය සම්බන්ධ ආණ්ඩුවේ ස්ථාවරයයි.

කෙසේ නමුත්, අවසානයේ එය ගමන් කර තිබෙන්නේ කිනම් දිශාවකට ද? දැන් එය තිබෙන්නේ, 2020 වර්ෂය වෙනුවෙන් ආණ්ඩුව ඉදිරිපත් කරන ආර්ථික වැඩපිළිවෙළ තුළ බව කියැවේ. එයින් කියැවෙන්නේ මහා මැතිවරණය දිනා ගැනීම සඳහා රට පුරා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් කිසියම් හෝ පිරිසක් දිනාගැනීමේ ඇමකට යොදා ගැනීම අරමුණකය. අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක අජිත් නිවාඞ් කබ්රාල්, ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉහළ ම නිලධාරීන්, වාණිජ බැංකු ප්‍රධානීන් සහ එම බැංකුවල ගණකාධිකාරීවරුන් එක් කර මේ පිළිබඳව දීර්ඝ සාකච්ඡාවක් සතිය මුල දී කර තිබිණි. එහි දී තීරණය කර ඇත්තේ, 2020 වසර තුළ මෙම ව්‍යවසායකයන් බැංකුවලට ගෙවිය යුතු ණය වාරික අය කර ගැනීම මෙම වසර තුළ අත්හිටුවා පොලිය පමණක් අය කර ගැනීමටය.

මේ තුළින් හොඳින් ම පැහැදිලි වන්නේ ආණ්ඩුවේ අරමුණ ව්‍යවසායකයන් ශක්තිමත් කිරීමකට වඩා ආර්ථික ප්‍රසාරණයට ඉවහල් වේ යැයි ආණ්ඩුව හිතන දෙයක් ක්‍රියාවට නඟා ඡන්ද ගැනීමට සූදානම් වන බවයි. මේ සම්බන්ධයෙන් ‘ආණ්ඩුව හිතන දෙයක්’ යන්න යෙදූයේ, ඉතා සැලකිල්ලෙනි. මන්ද, කිසිදු ව්‍යවසායකයෙක් තමන්ට ව්‍යවසාය කරගෙන යාමට අසීරු බව ආණ්ඩුවට දැනුම් දී ආධාර ඉල්ලූ බවක් කිසිම මාධ්‍යයකින් වාර්තා නොවීය. අනෙක් අතට එසේ ඉල්ලා තිබූයේ නම්, ආණ්ඩුව ඒ පිළිබඳව පරීක්ෂා කර බලා ප්‍රමුඛතා සැකැසිය යුතුය. කුමන ක්ෂේත්‍රවල ණය අය කර ගැනීම අත්හිටුවන්නේ ද? ණය අත්හිටු වූ පසු ඔවුන්ට මඟපෙන්වීම් කරන්නේ කෙසේ ද? කොතරම් කාලයක් අත්හිටුවිය යුතු ද? එකිනෙකාගේ අර්බුද අනුව මෙවැනි දේ වෙනස් වේ. ඒ කිසිත් නැතිව මිලියන 300කට අඩු ව්‍යවසායක ණය අය කර ගැනීම අත්හිටුවීම යනු ඡන්ද ඇමකට වැඩි දෙයක් නොවේ.

අනෙක් පැත්තෙන් පවතින්නේ බදු අඩු කිරීමයි. වැට් බදු, ජාතිය ගොඩනැඟීමේ බදු, උපයන විට ගෙවීමේ බදු ආදිය අඩු කළ බව ආණ්ඩුව ප්‍රචාරය කර තිබිණි. මෙම බදු වර්ග ගණනාවක් සංශෝධනය කර තිබූ ආකාරය දෙස බැලීමේ දී පැහැදිලි වූයේ ඉදි කිරීම් ක්ෂේත්‍රයේ වර්ධනයක් ක්ෂණිකව ආණ්ඩුව අපේක්ෂා කළ බවයි. ඒ වර්ධනය පෙන්වා රට තුළ ආර්ථික පිබිදීමක් පිළිබඳව ජාත්‍යන්තරයට තහවුරු කරවීමයි. ඒ මඟින් විදේශ ආයෝජන වැඩියෙන් ගෙන්වා ගැනීම උපක්‍රමය වූ බව පෙනේ. බදු අඩු කිරීම, බඩු මිල අඩු කිරීම වැනි ජනප්‍රිය තීරණ කීපයක් ගැනීම අලුත් ආණ්ඩුවක් බලයට පත් වූ ආසන්නයේම සාමාන්‍යයෙන් අනුගමනය කරන ක්‍රියාමාර්ගයය.

වර්තමාන බදු අඩු කිරීමේ මූලික ඉලක්කය වී තිබෙන්නේ, රට තුළ තත්ත්වයන්ට වඩා පෙර කී ලෙස ජාත්‍යන්තරයට යම් පණිවුඩයක් දීමයි. නමුත්, ‘පුදන කොටම කාපි යකා’ කීවාසේ ආණ්ඩුවේ මෙම ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ‘ෆිච් රේටින්ග්ස්’ ආයතනය විසින් දක්වන ලද ප්‍රතිචාරය ආණ්ඩුවේ ඇස් නිලංකාර කරවන්නක් වී තිබිණි. ඒ ශ්‍රී ලංකාවේ ණය ගෙවීම් හැකියාව සම්බන්ධයෙන් පවතින තත්ත්වය සෘණාත්මක තත්ත්වයට හෙළීමයි.

‘ෆිච් රේටින්ග්ස්’ ආයතනය මෙම ක්‍රියාමාර්ගය අනුගමනය කරන ලද්දේ රාජපක්ෂවරුන්ගේ පාලනයට විරුද්ධව අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් දියත් කිරීමට නොවේ. බදු අනුපාත පහත හෙළීම මඟින් කෙටිකාලීනව රජයේ බදු ආදායම් පහත වැටීමට තීරණාත්මක බලපෑම් ඇති වන බැවිනි. රජයේ ආදායම් පහත වැටීම නිසා ණය ආපසු ගෙවීම දැන් පවා උද්ගතව තිබෙන දැඩි අසීරුම අර්බුදයක් වන බැවිනි. 2018 වසරේ ද රජයේ ආදායම ඉක්මවා ණය වාරික සහ පොලී ගෙවීමට පමණක් කෝටි 16,000කට ආසන්න ණය ගැනීමට සිදු වී තිබිණි. රජයේ ආදායම් පහත වැටීමෙන් මෙම තත්ත්වය තවත් උග්‍ර අතට හැරේ.

එසේ වූ විට රජයට ණය ලබා දීමේ පොලී අනුපාතික තවත් ඉහළ යයි. ආපසු අය කර ගැනීමේ අවදානම අධික වී තිබෙන බැවිනි. රජයේ ආදායමට වඩා ණය වාරික සහ පොලී ගෙවීමට යන වියදම ඉහළ යාමෙන් ලෝකයට යන පණිවුඩයක් තිබේ. එනම්, ආර්ථික අස්ථාවර බව වැඩි වීම ගැනයි. මෙවැනි රටකට විදේශ ආයෝජකයන් පැමිණීම ඉතා ම සීමා වේ. කෙටිකාලීන ආර්ථික වාසි අපේක්‍ෂා කරන සූදු කෙළීම වැනි කිසියම් ක්ෂේත්‍ර කිහිපයක් සඳහා පමණක් පැමිණීම සිදු වේ. ආයෝජකයන් නොපැමිණීමෙන් රට තුළට ඩොලර් ගලා ඒමත් පහත වැටේ. එසේම ආර්ථික වර්ධනයත්, නිෂ්පාදන කර්මාන්තත් අඩාළ වේ. එවිට අපනයන පහත වැටේ. දුෂ්ට ආර්ථික චක්‍රයක් ලෙස ආර්ථික අර්බුදය ගමන් කිරීමට පටන් ගනී. ෆිච් රේටින්ග්ස් ආයතනය අනතුරු ඇඟවූයේ මෙවැනි පුළුල් පදනමක සිටය.

අනෙක් පසින් ආණ්ඩුව ක්‍රියාමාර්ග තෝරා තිබුණේ, මුරුංගා ගස කපා ඉවත් කළ මෝඩ ගැමියා සේය. තමන් හිටැ වූ මුරුංගා පැළය ලොකු මහත් වී කුළුඳුලේ පීදෙන අයුරු කල්පනා කළ මෝඩ ගැමියා ඒ ගැන අසීමිත සිහින මැවීය. අතු බර වී මුරුංගා කරල් හැදෙන හැටි, ඒ මුරුංගා විකුණා පොහොසතෙක් වන හැටි, තම පොහොසත් බව ගම්මුන්ට කියාපෑම සඳහා කාර් එකක් ගන්නා හැටි හීන දැක්කේය. මේ කාර් එක ගෙදරට ගැනීමට බාධාව වී තිබුණේ පාර පළල් කර ගැනීමය. මුරුංගා ගහ නිසා පාර කැපිය නොහැකිය. කාර් එක ගෙදරට ගැනීමේ බාධකය වී තිබෙන්නේ මුරුංගා ගස බව කල්පනා කළ මෝඩ ගැමියා කළේ එය කපාහෙළීමයි.

ආණ්ඩුව මේ කළේ ද ඊට සමාන දෙයක් නොවේ ද? විදේශ ආයෝජන ගැන හීන දකිමින්, ලැබෙමින් තිබූ බදු ආදායම් පවා අහෝසි කර ගැනීමයි. රටේ ජනතාවට කීවේ වෙනම දෙයකි. ඔවුන්ගේ ජීවන බර අඩු කිරීමට බදු සංශෝධනය කළ බවයි. ආණ්ඩුවක් තම රටේ ජනතාවට බොරු කීව ද, ලෝකයට බොරු කළ නොහැකිය. ෆිච් රේටින්ග්ස් ආයතනයේ නිවේදනයෙන් ප්‍රකාශ කෙරුණේ ඒ බවයි.

මෙයින් ප්‍රකාශ කෙරෙන්නේ ආණ්ඩුව රටේ ආර්ථිකය සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු පළමු ක්‍රියාමාර්ග දෙකම අතිශය අසාර්ථක වූ බවයි. මීට අමතර කතාබහක් මෙරට ආර්ථිකය විෂයයෙහි නැත්තේ ද නොවේ. එය දේශපාලනයට ද බද්ධ වී තිබේ. ප්‍රවීණ ආර්ථික විශ්ලේෂක වින්සන් මර්වින් ප්‍රනාන්දු සමාලෝචනයක යෙදෙමින්, මෙසේ දක්වා තිබිණි: “එහෙත්, මෙවර බලයට පත්ව සිටින්නේ, එකම පක්ෂයේ මෙන්ම එකම පවුලකට සම්බන්ධ දෙදෙනෙකි. ජනපති ගෝඨාභය රාජපක්ෂ මල්ලීය. අගමැති මහින්ද රාජපක්ෂ අයියා ය. එවැනි තත්ත්වයක් තුළ බැලූබැල්මට දේශපාලන ගැටීමක් ඇති වන බවක් නම් පෙනෙන්නට නැත.”

ඔහුගේ විශ්ලේෂණය තුළ දේශපාලන බර තැබීම ආර්ථිකය සම්බන්ධයෙන් අතිශය වැදගත් ය. වැඩි දුරටත් මෙසේ දක්වා ඇත: “එසේම වත්මන් රජයේ ජනාධිපතිතුමා විසින් ‘ජාතික ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් කොමිසමක්’ (භඡඡක්‍) පිහිටුවා තිබෙන අතර, එවැනි කමිටුවක් අගමැති යටතේ පිහිටුවා නැත. එනිසා බැලූබැල්මට ජනාධිපතිගේ සහ අගමැතිගේ කියා ආර්ථික කමිටු හෝ දෙදෙනාගේ කියා වෙනසක් ආර්ථික උපදේශකයන් අතර ද නැති බව පෙනේ.”

කවුරු කෙතරම් සුමට කිරීම සඳහා උත්සාහ කළ ද, මෙරට ආර්ථිකය හා දේශපාලනික ක්ෂේත්‍රය යන දෙකම තිබෙන්නේ කිසිසේත් ම සුබදායී නොවන තත්ත්වයක බව හැම අතින් ම සනාථ වී තිබේ. ආණ්ඩුව අනුගමනය කළ මුල්ම ආර්ථික ක්‍රියාමාර්ග දෙක පවා ලොකු අර්බුදකාරී තත්ත්වයකට එහෙමත් නැත් නම්, හැලහැප්පීම්වලට හේතු වූයේ නිකම්ම නොවන බව නම්, පැහැදිලිය. 2020 වසර උදා වූයේ වචනවලින් නොකියවුණු මෙවැනි සුබපැතීම් පණිවිඩ පොදිබැඳගෙනය.

ඉන්ද්‍රසිරි ජයසුන්දර

Previous article2020 හිතුමතේ වනන්නේ නැතිව හරි පාරට යන්න
Next articleපුරවැසිභාවය පිළිබඳ සංශෝධිත පනතට විරෝධතා: ව්‍යාජ නම් දෙන්නැයි අරුන්දතී රෝයි ජනතාවගෙන් ඉල්ලයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here