හැඹිලි දැලෙන් වට කළ ත්‍රිකුණාමලයේ සුළුපන්න ධීවරයන්ගේ අවනඩුව

88

වට කරන දැල් විශේෂයකට අයත් වන පර්සීන් දැල හෙවත් හැඹිලි දැල ලොව පිළිගත් කාර්යක්ෂම පන්න ක්‍රමයකි. එය 1996 අංක 02 දරන ධීවර හා ජලජ සම්පත් සංවර්ධන පනතේ විධිවිධාන අනුව බලපත්‍ර නිකුත් කරන අනුමත පන්න ක්‍රමයක් වන නමුත්, මෙම පන්න ක්‍රමය මෙරට මුහුදු කලාපය තුළට නොගැළපෙන්නක් බව පෙනී යන්නේ වසර 35කට ආසන්න කාලයක් පුරා ඊට සුළුපන්න ධීවරයන්ගෙන් එල්ල වන විරෝධය දිනෙන් දින වැඩි වන හෙයිනි.
මෙරට මුහුදු තීරයේ මත්ස්‍ය අස්වැන්න කාර්යක්ෂමව නෙළා ගැනීම සඳහා ‘පර්සීන්’ හෙවත් හැඹිලි දැල් පන්න ක්‍රමය හඳුන්වා දී ඊට අදාළ නියෝග පනවනු ලැබු නමුත්, 1995 පෙබරවාරි 20 වන දිනැති අංක 859/3 දරන අතිවිශේෂිත ගැසට් පත්‍රයෙන් සංශෝධිත 1986 (හැඹිලි) පර්සීන් දැල් පිළිබඳ නියෝග සඳහන් අතිවිශේෂ ගැසට් පත්‍රයෙහි නියෝගයන් තුළ පවතින යම් යම් දෝෂ හැඹිලි දැල්කරුවන් හා සුළුපන්න ධීවරයන් අතර නිතර නිතර හට ගන්නා ගැටුම්වලට හේතුවක් වී තිබේ. වරින්වර නිකුත් කෙරුණු අතිවිශේෂ ගැසට් නිවේදන මගින් හැඹිලි දැල් පන්න ක්‍රමයට අදාළ සීමාවන් ලිහිල් වීම, මෙම තත්ත්වයට බරපතළ ලෙස හේතු වී තිබේ.
ධීවරයන් අතර ගැටුම්
මෙම ගැසට් පත්‍රයෙහි පවතින දෝෂ හේතුවෙන් බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් මසුන් අල්ලන හැඹිලි දැල්කරුවන් හා පාරම්පරිකව අනුමත පන්න ක්‍රම මඟින් මසුන් අල්ලන සුළුපන්න ධීවරයන් අතර බොහෝ කාලයක් පුරා ගැටුම් හටගෙන ඇති බවත්, ඒ හේතුවෙන් ඇතැම් ධීවරයන් මුහුදේ දී අකාලයේ මරුමුවට පත්ව ඇති බවත් ධීවර සංවිධාන රැසක් පෙන්වා දෙයි.ත්‍රිකුණාමලය මුහුදු තීරයේ හැඹිලි දැල්කරුවන් සමඟ ඇති වූ ගැටුම්වලින් පසුගිය වසර පහ තුළ සුළුපන්න ධීවරයන් දෙදෙනකු අතුරුදන් වී ඇත.
හැඹිලි දැල්කරුවන් හා සුළුපන්න ධීවරයන් අතර පවතින ගැටුම් ත්‍රිකුණාමලය, යාපනය සහ මන්නාරම යන දිස්ත්‍රික්ක තුළ උත්සන්නව පවතින බව පෙනී යයි. ඒ එම ප්‍රදේශයේ පවතින භූ විෂමතා ලක්ෂණ අනුව ධීවර දෙපාර්තමේන්තුව විසින් වර්ග කර තිබෙන යාත්‍රා වර්ග හයම යොදා ගනිමින් අනුමත කර ඇති පන්න ක්‍රම 17ම භාවිත කර මසුන් ඇල්ලීමට මෙම ප්‍රදේශයේ ධීවරයන්ට හැකි වීම හේතුවෙනි.
හැඹිලි දැල්කරුවන් බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කර නාවික සැතපුම් හතට මෙහා ජල තීරයේ මසුන් ඇල්ලීමත්, සිහින් සිදුරු සහිත දැල් භාවිත කිරීමත්, පැය දෙකක් තුළ දී කිලෝ 2,000ක පමණ විශාල මත්ස්‍ය අස්වැන්නක් වෙළෙඳපොළට නිකුත් කිරීමත් හේතුවෙන් මිල පහළ යෑමත්, පැය පහක් පුරාවට මුහුදේ මසුන් අල්ලන සුළුපන්න ධීවරයන් වෙළෙඳපොළට ගෙන එන මසුන් කිලෝ 10ට සාධාරණ මිලක් අහිමිව යෑමත් මේ ගැටුම්වලට හේතු වී තිබේ.
මෑතකදී ඩයිනමයිටයක් අතෙහි පුපුරා යෑම නිසා කුච්චවේලියේ ධීවරයකු මරුමුවට පත් විය. ඩයිනමයිට් අතෙහි පුපුරා යෑම නිසා මැණික් කටුව අසලින් අත අහිමි වූ ධීවරයන් තිදෙනෙක් ද සිටිති. එමෙන්ම බලහත්කාරයෙන් මසුන් ලබා ගැනීම නිසා ඇති වූ ආරවුල් හේතුවෙන් මූලස්ථාන පොලිසියේ හා වරාය පොලිස් ස්ථානයේ පැමිණිලි 10කට වඩා පවතින බවත්, මුහුදට වැඩිම හානිය කරනුයේ කුච්චවේලි, කින්නියා හා පොඩවකට්ටු ප්‍රදේශවල හැඹිලි දැල්කරුවන් බවත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ධීවර සහයෝගීතා ව්‍යාපාරයේ සභාපති ප්‍රියන්ත මලවැන්නගොඩ පෙන්වා දෙයි.
අත්අඩංගුවට ගැනීම් රැසක්
පර්සීන් දැල් නියෝග ගැසට් පත්‍රයේ නියමයන් හා ඒ අනුව ලබා දී තිබෙන බලපත්‍රවල කොන්දේසි උල්ලංඝනය කිරීම හේතුවෙන් නාවික හමුදාව හා ධීවර නිලධාරීන් එක්ව 2019 වසරේ දී හැඹිලි දැල් ධීවරයන් 587 දෙනකු අත්අඩංගුවට ගෙන තිබූ අතර 2020 වසරේ දී 504 දෙනකු ද, 2021 වසරේ ජූලි මස වන විට 301 දෙනකු ද අත්අඩංගුවට ගෙන නඩු 330ක් පවරා රුපියල් මිලියන 13කට ආසන්න දඩ මුදල් අය කරගෙන තිබෙන බව තොරතුරු දැනගැනීමේ පනත හරහා කරන ලද සොයාබැලීම්වල දී තහවුරු විය. නඩු කටයුතුවල දී වරදකරුවන් වූ හැඹිලි දැල් ධීවරයන්ට අයත් නීති විරෝධී ආම්පන්න 107ක් රාජසන්තක කරනු ලැබ තිබේ. ඒ අනුව පෙනී යන්නේ සුළුපන්න ධීවරයන් හා ගැටුම් ඇති කර ගනිමින් මහ සයුරට වින කරන හැඹිලි දැල්කරුවන් මෙම පන්න ක්‍රමය කෙතරම් දුරට අවභාවිත කර ඇති ද යන්න ය.
දෝෂ සහිත ගැසට් පත්‍රය
1987 ජනවාරි 19 වන දිනැති අංක 437/46 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයෙහි පළ කරන ලද 1986 (හැඹිලි) පර්සීන් දැල් පිළිබඳ නියෝග මාලාවේ 13 වන නියෝගයෙහි සඳහන් වන්නේ කිසිම තැනැත්තකු විසින් අගල් 3/8ට වඩා කුඩා ප්‍රමාණයේ ඇස් සහිත හැඹිලි දැලක් භාවිත නොකළ යුතු බවයි. 2011 වසරේ නිකුත් කරනු ලැබූ දෙපාර්තමේන්තු චක්‍රලේඛ 01/2011 යටතේ ආලෝක ධාරා රහිතව හැඹිලි දැල් ක්‍රියාත්මක කිරීමට අවසර ලබා දුන් අතර, ඒ අනුව අමාත්‍යාංශය විසින් ගන්නා ලද ප්‍රතිපත්තිමය තීන්දුවක් යටතේ ධීවර දෙපාර්තමේන්තුව විසින් හැඹිලි දැල් සඳහා වන ඇස් ප්‍රමාණය අඟල් 1 1/2කට වඩා වැඩි විය යුතු යැයි නියම කෙරිණි.
එහෙත් ගැසට් පත්‍රයෙහි සඳහන් පරිදි කිසිවකු හෝ එම ඇස් ප්‍රමාණය සහිත දැලක් සඳහා බලපත්‍රය ඉල්ලා සිටියහොත්, එය ප්‍රතික්ෂේප කළ නොහැකි වන්නේ අධිකරණයක දී අභියෝගයකට ලක් වීමට ඉඩ ඇති බැවිනි. එම තත්ත්වය වැළැක්වීමට නම් දෝෂ සහිත ගැසට් පත්‍රය සංශෝධනය විය යුතු ය.
නීති විරෝධී ක්‍රියා
උතුරු මුහුදු තීරයේ නාවික සැතපුම් 10ක් වෙරළාසන්නයේ දැල් එළීමත්, නාවික සැතපුම් හතක් බටහිර, නැඟෙනහිර හා දකුණු මුහුදු තීරයේ වෙරළාසන්නයේ දැල් එළීමත් මෙමඟින් තහනම් කරනු ලැබුවේ මෙම පන්න ක්‍රමය හේතුවෙන් අක්වෙරළ කලාපයේ මසුන්ට හානි වීමත්, විශාල මසුන් ප්‍රමාණයක් එකවර වෙළෙඳපොළට යෑමෙන් මිල පහළ ගොස් සුළුපන්න ධීවරයන්ගේ ආර්ථිකය කඩාවැටීමත් සිදු වන බව ඒත්තු ගිය හෙයිනි. නමුත්, මෙකී නියෝග උල්ලංඝනය කරමින් ඇතැම් ධීවරයන් නීති විරෝධීව මසුන් ඇල්ලීමට පෙළැඹීමට ප්‍රධානතම හේතුව වූයේ කලින් කලට පැමිණි ධීවර ඇමැතිවරුන් මෙම නියෝග එහා මෙහා කරමින් ගැසට් පත්‍ර නිකුත් කිරීම හේතුවෙනි.
1996 නොවැම්බර් 07 වන දිනැති අංක 948/25 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය හරහා නිකුත් කරනු ලැබූ ධීවර මෙහෙයුම් නියෝග මාලාවට අනුව මෙරට ධීවරයන්ට මසුන් ඇල්ලීමට අවසර හිමි වන පන්න ක්‍රම සඳහා ධීවර දෙපාර්තමේන්තුව මඟින් සෑම ධීවරයකුම අවසර පත්‍රයක් ලබා ගත යුතු ය. 2011 මාර්තු 23 වන දින නිකුත් කරනු ලැබු 1698/13 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය හරහා 2001 ධීවර (ගාස්තු අවලංගු කිරීමේ) නියෝග හේතුවෙන් 1986 හැඹිලි දැල් නියෝග මාලාවේ 5 වන නියමය බල රහිත විම නිසා ගාස්තුවක් නොමැතිව හැඹිලි දැල් බලපත්‍ර සීමාවකින් තොරව ලබා ගැනීමට ධීවරයන් පෙළැඹීම ද මෙම තත්ත්වය ඇති වීමට වක්‍රව බලපා ඇති බව පෙනී යන්නේ ය.
නාවික හමුදාවට චෝදනා
ධීවර සංවිධාන නියෝජිතයන් බොහෝ දෙනෙකුගේ චෝදනාව වූයේ නීති විරෝධී හැඹිලි දැල් භාවිතය සම්බන්ධයෙන් ධීවර පරීක්ෂකවරුන් හා නාවික හමුදාවද වගකිවයුතු බව යි. ඔවුන් එකඑල්ලේම චෝදනා කරන්නේ නාවික හමුදාවේ මුර යාත්‍රා නිලධාරීන් අල්ලසට යටව තහනම් ආම්පන්න දමන හැඹිලි දැල් ධීවරයන් රකින බව යි. එමෙන්ම ධීවර නිලධාරීන් දැල් ඇල්ලීම සිදු නොකරන බවත්, ඔවුන් අධිකරණයේ දී හැඹිලි දැල්කරුවන්ට වාසි වන සේ කරුණු ගොනු කරන බවත් ධීවර සංවිධාන වරින්වර නඟන චෝදනාවයි.
1987 ජනවාරි 19 වන දිනැති අංක 437/46 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයෙහි පළ කරන ලද 1986 (හැඹිලි) පර්සීන් දැල් පිළිබඳ නියෝගවල තුන්වන නියෝගය සංශෝධනය කරමින්, 1995 පෙබරවාරි 20 වැනිදා අංක 859/3 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කෙරිණි. එමගින් රාත්‍රී පහන් ආලෝක ධාරා සහිත හැඹිලි දැල් භාවිතයට නීත්‍යනුකූල බවක් හිමිව තිබේ. මෙම ලිහිල් කිරීම හේතුවෙන් අවසර පත්‍ර ලබා ගන්නා සුළු ධීවරයන් පිරිසක් රාත්‍රී පහන් ආලෝක ධාරා උපයෝගී කර ගනිමින් මෙන්ම දිවා කාලයේ ද හැඹිලි දැල් වට කොට මත්ස්‍ය සම්පත වැනසීම කනගාටුවට කරුණක් වී තිබේ. රාත්‍රී කාලයේ හැඹිලි දැල් වට කිරීමට අවසරපත් ලබා දීම ප්‍රතිපත්තිමය තීන්දුවක් මත නතර කර ඇතත් ගැසට් නිවේදනය වලංගුව පවතී.
විනාශයට අවසර දීම
මේ හේතුවෙන් කිසියම් ධීවරයකු අවසර පත්‍ර ඉල්ලන්නේ නම්, එය නිකුත් කිරීමට ධීවර දෙපාර්තමේන්තුවේ නිලධාරීහු බැඳී සිටිති. එබැවින්, අවසර පත්‍ර ලබා දීම ධීවර නිලධාරීන් සිදු කරන අතර, 2019 වසර වන විට ධීවර දෙපාර්තමේන්තුව විසින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ පමණක් හැඹිලි දැල් සඳහා අවසර පත්‍ර 203ක් නිකුත් කර තිබේ. ඉන් වැඩිම අවසර පත් ප්‍රමාණය කින්නියා ධීවර පරීක්ෂක කොට්ඨාසයට ලබා දී ඇති අතර, එම ගණන 57කි. දෙවැන්න කුච්චවේලි උතුර ධීවර පරීක්ෂක කොට්ඨාසයට ලබා දී තිබේ. එම ගණන 44කි. බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස හැඹිලි දැල් දමන වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ ද මෙම ධීවර පරීක්ෂක කොට්ඨාස දෙක තුළිනි.
හැඹිලි දැල්කරුවන් නිසා සුළුපන්න ධීවරයන්ට ඇතිව පවතින කනගාටුදායක ඉරණම ගැන පැවැසූ ත්‍රිකුණාමලය සීමාසහිත කුඩා ඔරු බිලිපිති සමුපකාර සමිතියේ සභාපතිවරයා වන හැටඑක් හැවිරිදි ඒ.එච්. සුනිල් ද සිල්වා: “හැඹිලි දැල්කාරයෝ මේ දැල් දමන්න කලින් ඩයිනමයිට් ගහනවා..
කිමිදුම්කරුවන් යොදවලා කොරල් පරය මත මසුන් ඉන්නවා ද කියලා බලලා තමයි, ඩයිනමයිට් පොළොවට වදින්න ගහන්නෙ ඊට පස්සෙ දැල වට කරනවා මැරුණු මාළු ටැංකි දාලා ගන්නවා ගන්න බැරි මාළු දිය යට යනවා මුහුදටත් නැහැ ගොඩටත් නැහැ. ඩයිනමයිට් දැමීමෙන් කොරල් පරය කුඩු වෙලා ඒ ආශ්‍රිත මසුන් මැරිලා බිත්තර විනාශ වෙලා මුහුදට වෙන්නේ විශාල හානියක්. සමහර වෙලාවට නාවික හමුදා මුර යාත්‍රා නොදැක්කා වගේ ඉන්නවා, කෙටියෙන්ම කීවොත්, නාවික මුර යාත්‍රා මේ තහනම් පන්නකාරයන්ගෙන් සල්ලි ගන්නවා. මේ ගැන නැඟෙනහිර නාවික විධානයේ මුර යාත්‍රා සම්බන්ධීකාරකට අපි කෝල් 100කට වඩා අරගෙන කියලා තියෙනවා. බුද්ධි අංශෙ මහත්වරුන්ට කියලා තියෙනවා ධීවර නිලධාරීන්ට කියලා තියෙනවා. අවුරුදු 40ක් රස්සාව කරපු අපිට මුහුද කියලා ඉතිරි වෙලා තියෙන්නේ මඩයි, වතුරයි විතරයි මාළු කිලෝ පහක්වත් අල්ලා ගන්න විදිහක් නැහැයි..” පැවැසීය.
හැඹිලි දැල් සඳහා නියෝග නිකුත් කරනු ලැබුව ද, එක් එක් දිස්ත්‍රික්ක සඳහා ලබා දිය යුතු බලපත්‍ර සංඛ්‍යාව නිශ්චිත නොකිරීමත්, එය ධීවර අමාත්‍යවරයා විසින් තීරණය කරනු ලබන බව ගැසට් පත්‍රයෙහි සඳහන් වීමත් හේතුවෙන් එක් එක් කාලවල දී ධීවර ඇමැතිවරුනගේ අභිමතය පරිදි බලපත්‍ර අඩු වැඩි වශයෙන් ලබා දීම ද මේ තත්ත්වය පාලනය අපහසු වීමට හේතුවකි.
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දුන් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ නීල් සේනාරත්න පැවැසුවේ මුහුදේ වැටලීම් කිරීමට තම නිලධාරීන්ට අවශ්‍ය ප්‍රතිපාදන නැතත්, නාවික හමුදාව හා එක්ව බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් නීති විරෝධීව මසුන් අල්ලන හැඹිලි දැල්කරුවන් ඇල්ලීම අඛණ්ඩව සිදු කර ඇති බව යි.
“අපි සෑම විටම සුළුපන්න ධීවර කර්මාන්තයේ සුරක්ෂිතතාව වෙනුවෙන් නීති විරෝධී ආම්පන්න මුහුදෙන් ඉවත් කරන්න උපරිමයෙන් කටයුතු කරනවා. සෑම වසරකම රාජසන්තක කිරීම් 50කට වඩා කර තියෙනවා. මේක කර්මාන්ත දෙකක් අතර ගැටුමක් නොවෙයි, කර්මාන්තය තුළ ම ඇති වන ගැටුමක්. එක් ධීවරයන් කොටසක් නීති විරෝධී ආම්පන්න දමනවා. තව කොටසක් ඊට එරෙහිව හඬනග`නවා ධීවරයන් කළ යුත්තේ, චෝදනා කරමින් ඉන්නවාට වඩා මේ තත්ත්වය පාලනයට උදව් කිරීම යි”
ධීවරයන් භේද කරන, මහ මුහුදට වින කරන මෙම පන්න ක්‍රමයට අවසර හිමිව තිබෙන දෝෂ සහිත ගැසට් පත්‍රය නිවැරැදි කිරීම වෙනුවට චක්‍රලේඛ හා ප්‍රතිපත්තිමය තීරණ මඟින් හැඹිලි දැල් සඳහා තව දුරටත් අවසර දීම තුළ සුළුපන්න ධීවරයාගේ හෙට දවස සුරක්ෂිත කිරීම කළ නොහැකි බව ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ධීවර සම්මේලනයේ සභාපති පියල් හේමසිරි පවසයි. ඔහු වැඩි දුරටත් මෙසේ ද පැවසී ය:
“මේ ගැසට් පත්‍රයේ සඳහන් වැරැදි නිවැරැදි කිරීමට අමාත්‍යවරයා කටයුතු කරනවා නම්, ධීවරයන් ධීවරයන් අතර පැනනඟින ආරවුල් විසඳාගෙන මුහුද සාමකාමී තැනක් බවට පත් කළ හැකියි. කලින් කලට එන ඇමැතිවරු ගැසට් ගහනවා, කැසට් ගහනවා වගේ. එතකොට අනික් ගැසට් එකට යම් බලපෑමක් වෙනවා ද කියලා සොයාබලන්නේ නැහැ ඒකයි මේ අර්බුදයට අපි දකින හේතුව”

පැලැස්තර වෙනුවට තිරසාර විසඳුමක්
මේ ගැටලුව විසඳා ගැනීම සඳහා 1986 පර්සීන් (හැඹිලි) දැල් නියෝග මාලාවේ ඇතැම් වගන්ති වෙනස් කර නව වගන්ති ඇතුළත් කළ යුතු ය. ඒ පහත කරුණු සම්බන්ධයෙනි.
1) නියෝග මාලාවේ පස්වන වගන්තිය තුළ සඳහන් අවසර පත්‍රය සඳහා වන රුපියල් 20,000ක ගාස්තුව වර්තමානයට ගැළපෙන පරිදි රු.        ලක්ෂයක් හෝ ඊට වැඩි ගණනක් දක්වා වැඩි කිරීම.
2) අංක 1698/13 අති විශේෂ ගැසට් පත්‍රයෙන් සංශෝධිත 2001 ධීවර (ගාස්තු අවලංගු කිරීමේ) නියෝගය හැඹිලි දැල සඳහා බල රහිත           කිරීම
3) 13 වන වගන්තියේ සඳහන් දැල් ඇස ප්‍රමාණය අගල් 1 ½ ලෙස සංශෝධනය කිරීම හා රාත්‍රී පහන් ආලෝකධාරා සහිත දැල් භාවිතය            සපුරා තහනම් කිරීම.
4) අවසර පත්‍ර කොන්දේසි උල්ලංඝනය කරන්නේ නම් එකී අවසර පත්‍රය අවලංගු කර එම උපකරණ රාජසන්තක කිරීම.
5) අවසර පත්‍රය සහිත යාත්‍රාව, දැල හා එන්ජිම එක් අයකුට අයත් විය යුතු අතර එහි ගමන් කරන ධීවරයන් එකම කණ්ඩායමකට අයත් විය           යුතු වීම.
6) දිස්ත්‍රික්කයකට ලබා දෙන බලපත්‍ර ගණන නිශ්චිතවම ගැසට් කිරීම.
සටහන හා ඡායාරූප:
– ලක්මාල් කේ.බදුගේ

Previous articleපලස්තීන ඉඩම් අයිතියට එල්ල වන ප්‍රහාර සිහිපත් කරන ‘ඉඩම් දිනය’
Next articleනැදුන්ගමුවේ හස්තියා ගැන පශ්චාත් මරණ පරීක්ෂණයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here