සාමුහික සිතුවිල්ලක් එකමානී සිතුවිල්ලක් බවට පත්වූ CARNIVAL දෘශ්‍ය කලා ප්‍රදර්ශනය

70

පොදුවේ ගත් විට කලාත්මක ප්‍රකාශන එක් අතකින් සෞන්දර්යාත්මක හැගීමක් මිනිස් මනසේ සහ හදවත්වල ජනිත කරන බව මිනිස් සමාජය විසින් පිළිගත් මතවාදයකි. එහි කිසිම වරදක් නැත. සාහිත්‍ය කෘතියක් කියවීමෙන්, සංගීත කාණ්ඩයකට, ගීතයකට සවන් දීමෙන්, සිනමා පටයක චලනය වෙන රූප රාමු අතරින් ජීවිතය ස්පර්ශය කිරීම හා සිතුවමක් අභියස සිට භාවාත්මක වීම කියන්නේ ප්‍රාථමික ජීවිතයෙන් සංස්කෘතික ජීවිතයකට මාරුවෙන බෙදුම් රේඛාවකි. මා විශ්වාස කරන හැටියට මිනිසුන් අතර යහපත් මිනිස් සම්බන්ධතාවයන් හා ස්ත්‍රීයක් හා පුරුෂයෙක් අතර ඇතිවෙන ප්‍රේම සම්බන්ධතාවයක් පවා උත්කර්ෂයට නැංවී, එය නිර්මාණශීලී ආදර සම්බන්ධතාවයක් බවට පත්වන්නේ, භාෂාව හරහා කියලයි මම හිතන්නේ. එයට කලාව මහත් රුකුලක් වන අතර, මිනිස් හා ප්‍රේම සම්බන්ධතාවයන් යනුම භාෂාත්මක ගොඩනැංවීමක් කියන සාධකය ගම්‍යමාන වෙනවා.
ප්‍රාග් ඓතිහාසික යුගයේ සිටම ආදී මානවයා තමන්ගේ ප්‍රාථමික මනසට දැනුණු දේවල් ගස්වල කෙටුම්පත් කලා. ගස්වල තමන්ට දැනුනු දේවල් සටහන් කරගන්න කලින්, ආදී මානවයා තොල් අතරින් ජප කිරීම් වගේ දේවල් කලා යැයි සඳහන් වෙනවා. එය Castillo, Chau vet, Lascaux වගේ ගුහා ලෙන් චිත්‍ර වල සාක්ෂි ලෙස සටහන් වෙනවා. සොබාදහම අනෙකා කරගෙන යම් යම් දේවල් ගස් ගල් හා ගුහාවල සටහන් තැබූ ආදී මානවයා සංස්කෘතිය හා සොබාදහමේ වෙනස හඳුනා ගත් පසු, සොබාදහම විසින් දෙනලද දෙය හා, මිනිසා සංස්කෘතික සත්වයෙක් බවට පත්වූ පසු ඇතිවූ වෙනස කලාත්මක දේවල් තේරුම් ගැනීමට Eco fact හා artifact කියන සංකල්පයන් ඉතාමත් වැදගත් සාධකයකි, Eco fact කියන්නේ සොබාදහම විසින් මිනිසාට දෙන දෙය සමග මිනිසා කරන දේවල් සහ, සංස්කෘතිය කියන සාධකය මිනිසාට මුණගැසුණු පසු, මිනිසා විසින් නිෂ්පාදනය කරන දේවල් Artifact ලෙස හඳුන්වනවා. ඉන්පසු මිනිසා විසින් සංස්කෘතිකමය සන්දර්භයක් මත කරන ලද කලාත්මක දේවල් Artifact ගණයට අයත් වෙනවා.
සොබාදහමේ හා සංස්කෘතියේ වෙනසත් සමග කලාත්මක ප්‍රකාශන බොහෝ වෙනස්කම්වලට භාජනය වුනා. මානව ඉතිහාසයේ මුල්ම කෙටුම්පත්කරණය ලෙස සැලකෙන්නේ චිත්‍රය කියන කලාත්මක ශානරයයි. සංස්කෘතියේ හා සොබාදහමේ වෙනසත් සමග චිත්‍ර කලාව ඉතාමත්ම බැරෑරුම් කලාත්මක ප්‍රකාශනයක් බවට පත්වුනා. සැන්ද්‍රෝ බෝත්තිසේල්ලි Sandro Botticelli, පීටර් පෝල් රුබෙන්ස් Peter Paul Rubens, ලියනාඩෝ ඩා වින්සි Leonardo da Vinci, අන්තෝනියෝ රෑන්ඩො Antonio Rando, මයිකලාංජලෝ Michelangelo වැනි ශිල්පීන්ගේ චිත්‍ර කලා ප්‍රකාශනයන් දේව වාක්‍යයක් බවට පත්වී තිබුණු කාලපරිච්ඡේදය වෙනස්කරමින් උපස්ථිතිවාදය impressionism යනුවෙන් චිත්‍ර සම්ප්‍රදායක් බිහිවිය. එම චිත්‍ර සම්ප්‍රදාය බිහිවෙනවාත් සමග එතෙක් පැවිති ච්ත්‍ර කලාව, මූර්ති කලාව මෙන්ම අනෙකුත් කලා සම්ප්‍රදායන් වලට තිබු සාම්ප්‍රදායික දේව වාක්‍යයන් දෙදරා ගියේය. මෙම පෞරාණික ආගමික මතවාදයන්වලට අභියෝග කල පුරෝගාමීන් අතර, මුලින්ම සිටින්නේ ක්ලෝඩ් මනේ Claud Monet, එඩ්ගාර් ඩෙගාස් Edgar Degas, කැමිලි පිසාරෝ Camille Pissarro වගේ චිත්‍ර ශිල්පීන්ය. නූතනවාදී චිත්‍ර කලාව ලෝකයට හඳුන්වා දෙමින් එහි ගෞරවය ඉතිහාසයට එක්කරන්නේ ක්ලෝඩ් මනේ ඇතුළු උපස්ථිතිවාදී මෙම චිත්‍ර ශිල්පීන්ය. මෙම පුරෝගාමීන්ගේ මැදිහත්වීමත් එක්ක අධිපතිවාදී මතවාද ලෝකය පුරා වෙනස් වෙමින්, නූතන කලාත්මක ප්‍රකාශන බොහෝ සේ බිහිවි, අදටත් එය ලෝකයේ ව්‍යාප්ත වෙමින් පවතී.
කාර්මීකරණයේ ප්‍රතිනිෂ්පාදනයත් සමග ලෝකයේ බෝහෝ කලාත්මක ප්‍රකාශන මෙන්ම, චිත්‍ර කලාවද ඉතාමත්ම සීග්‍රයෙන් වෙනස් විය. මේ තත්වයත් සමග ආත්මීයව බැදී තිබුණු මහා සම්ප්‍රදායේ චිත්‍ර කලාව අනු පිටපත් Photo Copy බවට පත්විය. අද අප ජීවත් වන්නේ තාක්ෂණික ධනවාදී ගෝලීයකරණය වූ ලෝකයක් තුලය. මේ ලෝකය තුල මිනිසුන්ගේ සිතුම් පැතුම් මෙන්ම, කලාත්මක ප්‍රකාශන ද බොහෝ වෙනස්කම්වලට භාජනය වී ඇති අතර, යතාර්ථය මායාවක් බවට ඌනනය වී ඇත. එම නිසා නූතන කලාවේ මධ්‍ය ලක්ෂ්‍යය වන්නේ යථාර්ථයක් ලෙස පෙනෙනා මායාව නිසා, මෙම බියකරු සිහිනයෙන් ගැලවීමට එයට අභියෝග කිරීම අත්‍යාවශ්‍ය සාධකයකි. මෙම අභියෝගයට විවිධාකාරයෙන් මුහුණ දෙන සමාජ ක්‍රියාකාරීන්, කලාකරුවන් ලෝකය පුරා විසිරී ඇති අතර, අපේ රටේද යම් සමාජ ක්‍රියාකාරීත්වයන් මේ පවතින සමාජ දේශපාලන අර්බුධයන් හමුවේ දක්නට ලැබීම, ඇත්තටම සුභවාදී ලකුණකි. කලාත්මක ප්‍රකාශන ලෙස ගත්තොත්, අසෝක හඳගමගේ ANTIQUE කඩයක මරණයක් වේදිකා නාට්‍ය, ඇල්බෝරාදා සිනමා පටය සහ ප්‍රගීත් රත්නායකගේ Humanscape චිත්‍ර කලා ප්‍රදර්ශනය මිනිසුන් අතර කතාබහට ලක්වුණු කලාත්මක ප්‍රකාෂනයන්ය. ඒ වගේම සමාජ දේශපාලන වටිනාකමක් ඇති දෘශ්‍ය කලා ප්‍රදර්ශනයක අත්දැකීමක් ගිය මාර්තු 18, 19, 20 යන දින වල Lionel Wendt කලාගාරයෙදී විඳින්නට ලැබුණි. එය 90 දශකයේ ඉපදුනු දෘශ්‍ය කලා ශිල්පීන් අට දෙනෙකුගේ කලා නිර්මාණ ඇතුලත් ප්‍රදර්ශනයක් වන අතර, එය නම්කර තිබුනේ CARNIVAL කියාය. ඔවුන් නම්වලින් ලසන්ත ඈපාසිංහ, හර්ෂණ කුමාරසිරි, මහේෂ් ජයවර්ධන, ඉසුරු චමින්ද, ධනංජය රත්නායක, කසුන් ඉන්දිකැටිහේවගේ, කේ.කේ ටෙරාන් ඉන්දික සහ ඉන්ද්‍රචාපා රුහුණගේ කියන දෘශ්‍ය කලා ශිල්පීන් අටදෙනයි. මා මෙම ප්‍රදර්ශනය නැරඹුවායින් පසුව මේ ශිල්පීන් අටදෙනා සමග මම වෙන වෙනමම ඔවුන්ගේ නිර්මාණ ගැන සහ ඔවුන්ගේ සමාජ දේශපාලන කාරණා ගැන ටිකක් ගැඹුරින් කතා කල අතර, ඇත්තටම ඔවුන්ගේ කලා නිර්මාණ ගැන සහ ඔවුන් දරණ සමාජ දේශපාලන කාරණාවන් තමන්ගේ කලා කෘතියත් සමග සවිඥානික වීම මට සුවිශේෂී අත්දැකීමක් විය. මීට කලින් මම මෙවැනි දෘශ්‍ය කලා ප්‍රදර්ශන බලන්න ගිය අවස්ථාවලදී, එම ශිල්පීන් සමග මම වැඩිය කතාබහ කිරීමට යන්නේ නැහැ, මොකද, කලා ශිල්පියා තමන්ගේ කෘතිය මහජන ප්‍රදර්ශන අවකාශයට මුදාහැරියායින් පසු එය තමන්ට දැනෙන තැනකින් කියවා ගැනීම ප්‍රේක්ශිකාවගේ පූර්ණ අයිතියක් වන නිසාය. එහෙත් මේ මෑතක සිට මම කලා කෘති නිර්මාණය කල, නිර්මාණකරුවා සමග ටිකක් ඒ ගැන කතා කිරීම පුරුද්දක් ලෙස කරනෙමි. එයට මූලික හේතුව නම් අප ජීවත්වන තාක්ෂණික ධනවාදය තුල තාර්කික පැවැත්මක විශිෂ්ඨ ලකුණක් සනිටුහන් කරනවා කියන එක ඉතාමත්ම දුෂ්කර කාර්යක් නිසාත්, එය නිර්මාණශීලී නොවන ආත්මීය පැවැත්මක් නොවන නිසාත්ය. අපි දන්නවා කලාකරුවෙකුගේ අනන්‍යතාවය Identity රඳාපවතින්නේ එකකින් අනෙකාට සුවිශේෂීය වූ අනන්‍යතාවයක වෙනස වෙන්කර හඳුනාගැනීමෙන් කියල. එහෙත් තාක්ෂණික ධනවාදී රාමුවක් තුල විවිධ අනන්‍යතාවයන්, වෙනස්කම් මුහුණක් නැති කේවලත්වය විසින් සමිතික්‍රමණය කරනු ලබන නිසා, අපිට සිද්ධ වෙනවා නිර්මාපකයා ඇත්තටම පෙනී සිටින ස්ථාවරය පරීක්ෂාවට බඳුන් කරන්න. ඒ නිසයි මම කෘතිය වෙනුවෙන් පෙනී සිටින්නා සමග පොඩි කතාබහක් ඇතිකරගන්නේ. ඇත්තටම මේ නිර්මාණකරුවන් අටදෙනා එක්ක මම වෙනමම කතා කරද්දී දැනුන දේ තමයි, ඔවුන්ගේ කලා කෘති, ඔවුන්ගේ ඇත්ත ජීවිතයත් එක්ක බද්ධ වූ තැනින් එම නිර්මාණය කරන්නට ඔවුන් අවංක වී ඇති බව. පොදුවේ ගත් විට ඔවුන් සමග කතාබහ කරද්දී ඔවුන් පවසා සිටි වචන කීපයක් තමයි, විනෝදය, ආශාව, පාරිබෝගික සමාජය, ලිංගිකත්වය වැනි වචන, ඒ වචන ඔවුන් නිකම්ම සිතට නැගෙන වචන ලෙස නෙමෙයි පාවිච්චි කලේ, ඔවුනට ඒ ගැන දේශපාලනික අදහස් තිබුනා, මේ ප්‍රදර්ශනයේ වැදගත්ම දේ තමයි, මෙයට ඔවුන් පාවිච්චි කල CARNIVAL කියන නම, මේ නම ඇතුලට ඔවුන් විවිධත්වයන් එකතුකරගෙන තිබ
ුනත්, ඒ විවිධත්වය තුල එකමානී බවක් තිබුනා CARNIVAL කියන සන්දර්භයෙන් පිට නොයා.
ජීවිතය ප්‍රතිනිර්මාණය වෙන්නේ විවිධත්වය මගිනි. විවිධත්වය ගහනය වූ තැනක, ආකර්ෂණීත්වය වර්ධනය වෙයි. ජීවිතවලට ආකර්ෂණීත්වය වැඩි වූ තරමට මිනිසුන් අතර ආදරය වර්ධනය වෙයි, ආදරය වර්ධනය වූ සමාජ පසුබිමක මිනිසුන්ට ජීවත්වෙනවා කියන හැගීම හදවතට දැනෙයි. මේ ආදර හැගුම් සමාජයක් තුල වපුරන්න කලාකරුවෙකුට හැර, වෙන කිසිවෙකුට බැරි බව අපට ඉතිහාසයෙන්ම පාඩම් කියා දී ඇත. ඉතිං‍ ! 90 දශකයේ මිතුරනි, සහෘදයනි, ආදරයේ බීජ කලාවෙන් වපුරන්න ඔබට තවත් ශක්තිය ලැබේවා………-

– සාලිය ඉඳුරුවිතාන



 

Previous articleවිල් ස්මිත්.සිද්ධිය – “වගකීම භාර ගත යුත්තේ ඔස්කාර් සම්මාන උලෙළ සංවිධානය කරපු අය විසිනි”
Next articleඅර්බුදය හා ඇවිළෙන ජනතා කෝපය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here