“ලාංකීය කෙටිකතාවේ කම්මැල්ලවීර යනු පුරෝගාමී සළකුණකි”

40

‘සුළු තනි තිත’ – ජයතිලක කම්මැල්ලවීර
මා ස්වයං ලිඛිත වරිතාපදානයක් කරා යොමුවී ඉන්නා බව ඇසූ එක් සුප්‍රසිද්ධ නවකතාකාරියක් මගෙන් මෙසේ විමසා සිටියාය. ‘මං ප්‍රාර්ථනා කරනවා උඹට ඇත්ත ලියන්න දහිරිය ලැබෙන්නය කියලා.’ ඇය විසින් අදහස් කරන ලද්දේ දේශපාලනික කරුණු කාරනා පිළිබඳව යයි මම කල්පනා කළෙමි. එහෙත් ඇය ඉන් අදහස් කළා මගේ ලිංගික දිවිය පිළිබඳවය. ස්වයං ලිඛිත වරිතාපදානයකදී යමකුගේ ලිංගික ජීවිතය පිළිබඳව ‘නිබන්ධනයක්’ අපේක්ෂා කරනු ලබන බව දනිතත් මම ඊට හේතුව කුමක්දැයි නොදනිමි.
මා ඉහත ඡේදය උපුටා ගත්තේ චාලි චැප්ලින්ගේ ස්වයං ලිඛිත අපදානය වූ මගේ දිවි සැරියෙනි. ඒ නවකතාකාරිය චැප්ලින්ගෙන් එසේ අසන්නට හේතුවක් තිබිණි. ඒ චැප්ලින්ගේ දිවිය පුරාම ඔහුගේ කාන්තා ලෝලීත්වය ඉස්මතුව පෙනුන හෙයිනි. එසේම ඔහු කාන්තාවන් සමග විවිධ පැටළුම් ඇතිකරගෙන නඩුහබ වලට පවා පැටළුණු හෙයිනි. එසේම ඔහු පළමුවර විවාහ වූ ලීටා ගේ සිට ඔහු ඇසුරු කළ බොහෝ කතුන් ඔහුට වඩා බොහෝ සේ බාල වූ හෙයිනි. ඔහුගේ අවසන් එමෙන්ම සාර්ථකම විවාහය වූ ඌනා ඔහුට වඩා වසර තිස් ගණනක් බාලය. කෙසේ වෙතත් අතිශූරයෙකු වූ චැප්ලින් වදන් තුළ සැඟවී කදිමට මේ අවස්ථාව මගහැර යයි. එහෙයින් ඔහු විසින් මගහැර යන නැතිනම් තමාට වාසි වන අයුරින් ඔප දමා සඟවන පාර්ශවය අපට දැනගත හැක්කේ ඔහු පිළිබඳව ලියවුණු වෙනත් රචනා තුළිනි.
මෙය අපට පවසන එක් දෙයක් තිබේ. ස්වයං චරිතාපදානයකදී එහි රචකයා හට තමන්ගේ ජීවිතය දෙස අවංකව හැරී බැලීම ඇතැම් අවස්ථාවන්හිදී ඉතාම අපහසු බවයි. විශේෂයෙන්ම ලිංගික ජීවිතය සම්බන්ධයෙන් ගත් කළ මේ අඳුරු අහුමුළු සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහල යයි. අතිශය අව්‍යාජ සේ පෙනෙනා අපදානයන් තුළ පවා මෙසේ මගහැර යන කොටස් අපට දක්නට ලැබෙයි.
එහෙයින්ම මේ අව්‍යාජභාවය යන්නද සාපේක්ෂය. බොහෝ විට රචකයා අව්‍යාජ වනුයේ තමන්ට වඩා වාසිදායක වන බිම්කඩවල්හිදීය. එසේම තවත් බොහෝ රචකයෝ තම ජීවිත කතාව තුළ වඩා අවධානය යොමු කරනුයේ තමන් ඉස්මතු කිරීමටය. එවන් චරිතාපදානයක් කෙතරම් රසවත් වුවද වැදගත්කම අතින් පහල බසියි. චරිතාපදානයක් යනු එක ජීවිතයක් සහ ඊට බැඳුන තවත් ජීවිත පමණක් නොව එක් යුගයක්ද විවරණයට ලක් කරන්නකි. රචකයාගේ ඉසියුම් බව මෙන්ම ඔහුගේ දැක්මද අපට වැදගත් වන්නේ එහෙයිනි.
ජයතිලක කම්මැල්ලවීර සිය ජීවන පුවතේ සැලකිය යුතු කොටසක් අනාවරණය කරමින් රචනා කර ඇති සුළු තනි තිත යනු ලංකාව වැනි රටක පුද්ගලයකු ගෙන් අපේක්ෂා කළ නොහැකි අන්දමේ නිර්භයත්වයක් පල කරන්නකි. අප කැමැත්තෙන් මෙන්ම අකමැත්තෙන්ද සර්වාංගය වටාම පටලාගෙන ඉන්නා විවිධ සදාචාර සංස්කෘතික විලංගු හේතුවෙන් කෙනකුට තමන්ගේ ජීවිතය දෙස අව්‍යාජ ලෙස හැරී බැලීම අපහසුය. මේ අපහසුව මට මැනවින් අවබෝධ වූ පුද්ගලික අත්දැකීමක්ද තිබේ. ඒ රටෙහි පරසිදු රංග ශිල්පිණියක සම්බන්ධයෙනි. ඇය එක්තරා යුගයක ලාංකීය සිනමාවේ වාණිජ සහ සම්භාව්‍ය යන අංශ දෙකෙහිම ඉදිරියෙන්ම සිට අයෙකි. එසේම ඇගේ රංග කුසලතාවන්ද විශිෂ්ඨය. මෑත ඉතිහාසයෙහි එක් කාලයක ඇය තදබල පීඩාවකට ලක් කරමින් ඇගේ දේපලද ගිනිබත් කෙරිණි. ඇය ඒ සිදුවීම අලලා ලිපියක් ලියූ අතර මමම එය කියවීමි. ඒ ලිපිය තුළ ඇය වෙත එතෙක් නොදුටු අපූරු ලේඛිකාවකගේ ශක්ය තාවන්ද දුටු මම ඇයට ලිපියක් ලියා දිගටම ලියන්නැයි ඇරයුම් කළෙමි. මා ඊට පෙර හෝ පසුව ඇය පුද්ගලිකව හමුව කතා කර නැත. එහෙත් ලිපිය ලද පසු ඇය එහි සඳහන් මගේ දුරකථන අංකයට ඇමතුමක් ගත්තාය. එහිදී මම ඇයට තම ජීවන පුවත රචනා කරන්නැයි කීමි. ඇය එහිදී මට දුන් පිළිතුර මෙයයි.
අවංකවම මාත් කැමතියි. ඒත් මං අවංකවම මගේ ජීවිත කතාව ලිවුවොත් ඉස්සෙල්ලම මට එරෙහිව නැගිටින්නෙ මගේම ඥාතිවර්ගයා.
ඇය අතිශයින් සාධාරණය. අප වැනි රටක කෙනකුට එසේ අවංකවීම පහසු නැත. කම්මැල්ලවීර ගේ කෘතිය මේ අවංකත්වය අතින් දක්වා තිබෙන දිරිමත් බව අන් බොහෝ අයටද ශක්තියක්ම වනු ඇත.
මා කම්මැල්ලවීරගේ රචනා කෙරේ ඇලුණේ ඔහුගේ කළු සපත්තු කෙටිකතා එකතුව කියවීමත් සමගය. අදටත් මම ඔහුගේ නවකතා වලට වඩා කෙටිකතා වලට ඇළුම් කරමි. ලාංකීය කෙටිකතාවේ කම්මැල්ලවීර යනු පුරෝගාමී සළකුණකි. කතන්දරයක් පැවසීම යන්නෙන් ඔබ්බට යමින් ජීවිතය සහ සමාජය දෙස විවෘත සහ පුළුල් දැක්මකින් බලන්නට ඔහුගේ කෙටිකතා හරහා ලැබෙන ආලෝකය ඉතා ප්රබලය. ඉදින් දැන් ඔහුගේ කෙටිකතාකාර මැදිහත්වීමෙන් දශක ගණනාවකට පසු ඒ කෙටිකතාකරුවා තුළ සැඟව තිබූ නිර්මාණ උල්පත් සුළු තනි තිත හරහා අපට දකින්නට ලැබෙයි. ඔහු ආවේගශීලීත්වයකින් තොරව එහෙත් ඉතා අවංකව සහ හෘදයාංගමව මෙන්ම විවෘතවද තමන්, තමන් වටා රළ නැගුණු සමාජය, මිනිස් සම්බන්ධතා, දේශපාලන වටපිටාව යන මේ සියල්ල දෙස බලයි. එය පරිණත මිනිසකුගේ ආවර්ජනයකි. එසේම තම ජීවිතයෙහි සරතැස ඉවසන, තමන් ලද ගැහැට දෙස උපේක්ෂාවෙන් බලන, තමන් පැටි වියෙහි පටන් ලත් කටුක අත්දැකීම් නොසඟවා පලකරමින් එ දෙස වෛරය නොව පරිණත සමාජාවබෝධයකින් බලනා ආවර්ජනයකි. ලාංකීය සමාජයෙහි එක් වැදගත් කාල පරිච්ඡේදයක සමාජයේ පත්ලෙන්ම මතුව විවිධ අඳුරු අගාධයන්හී ඇද වැටෙමින්, ජීවිතයෙහි ඊළඟ හෝරාව කෙසේ ගෙවන්නදැයි නොදන්නා කාලයක් තුළ අසිරිමත් සේ සැලකිය හැකි මිනිස් ඇසුර ලබමින් හෙමින් හෙමින් නිර්මාණකරුවකු ලෙස ඔහු ඉහලට නැගී එන ආකාරය ඔහු ඉදිරිපත් කරනුයේ හෘදය සංවේදී බසකිනි. මේ කුඩා කොදෙව්ව තුළ ඔහු ලබනා අත්දැකීම් අපට වරෙක ගෝර්කිගේ ළමාවිය මෙන්ම මන්තෝගේ ජීවන වටපිටාවද සිහිපත් කරවයි.
බොහෝ මිනිස්සු තම ජීවිතයෙහි අතිශය කටුක අත්දැකීම් ලබති. එසේම ඒ කටුක අත්දැකීම් පරයා ජීවිතයෙහි ආර්තික සමෘද්ධිය අත්කරගනිති. එ සැණින් සිය අතීතය වලලා දමනා ඔවුහු පෙරලා සමාජ පීඩකයන් බවට පත්වෙති. අපේ දේශපාලන සහ ඉන්බැහැර සමාජයෙහි මෙවන් චරිත විශාල සංඛ්යා වක් දැකිය හැකිය. විකාරය වන්නේ සාර්ථක ජීවන චරිත ලෙස මෙවන් නරුමයන් හුවා දක්වනු ලැබීමය. ඉදින් කම්මැල්ලවීර මේ විකාර සහගත රැල්ල මැද අව්යාථජ මිනිසකු ලෙස නැගී සිටින්නේ සමාජයට වෛර කිරීම වෙනුවට සාහිත්ය හරහා ආලෝකය රැගෙන එන්නකු බවට පත්වෙමිනි. බහුතරයක් සාර්ථවක්තවය ලෙස දකිනා මගින් බැහැරව සාහිත්ය කරුවෙකු ලෙස දුෂ්කර පැවැත්මක් තෝරා ගැනීම යනු නූතන ආරාමවාසී වාණිජ භික්ෂූන්ට සිහිනෙන් පවා සිතන්නට නොහැකි අත්හැරීමකි. කම්මැල්ලවීර ගේ තේරීම ඒ දුෂ්කර මාර්ගයයි. ඒ තෝරා ගැනීමෙන් පසුව ඔහු එහිම ඉදිරියට යන්නේ තෘප්තිමත් මිනිසකු ලෙසිනි. ඔහු සුළු තනි තිත හරහා අනාවරණය කරනුයේ ඒ තෘප්තිමත් මිනිසා නිර්මාණය වීමේ කටුක මගෙහි අසිරියයි.
කම්මැල්ලවීරගේ ළමා විය ඇලේ දොලේ බැස පීනන, ගහේ වැලේ පල රසවිඳින ආදී වශයෙන් චමත්කාරයට නංවා වහංගු කෙරෙනා පරිකල්පිත ළමාවිය කනපිට හරවා යථාර්තය දක්වාලන්නකි. අනෙක් අතින් ඔහුගේ යෞවන විය යනු මිනිසකු හට මිනිස් ඇසුර හරහා යාමට හැකි දුර දක්වාලන්නකි. තරුණ විය යනු වාමවාදී දේශපාලනයේ හරස්කඩකි. වියපත්විය යනු ඒ සියල්ල දෙස අකම්පිතව බලනා සාර්ථක නිර්මාණකරුවකු මෙන්ම සමාජ මැදිහත්කරුවෙකුගේ සියුම් සිත්තමකි.
කෙසේ වෙතත් කම්මැල්ලවීර සුළු තනි තිත තුළ පවත්වා ගන්නා සංක්ෂිප්ත බව අතහැරිය යුතුව තබුණේ යයි මට සිතෙයි. ඒ ඔහුගේ අත්දැකීම් පරාසය විශාල සමාජ දේශපාලන මෙන්ම සංස්කෘතික යුග පරිණාමයක සාක්ෂි විභාගයක්ද වන බැවිනි. ඔහු පසුකරනා යුගය සහ ඔහු සමග සම්බන්ධවන විවිධ පාර්ශවයන් යනු ලාංකීය දේශපානයේ විශේෂයෙන්ම වාමවාදී දේශපාලනයේ වියවුල නිර්මාණය වූ ආකාරය මෙන්ම වියවුල්සහගත දේශපාලකයන් බිහිවූ ආකාරයද වටහා ගැනීමට මනා කවුළුවකි. එහෙයින් ඔහු තවත් ඒ විවරණය කරන්නට යොමු වුනෙි නම් මේ කෘතියෙහි වැදගත්කම තවත් ඉහල යනු නොඅනුමානය. ඒ ඔහු දැන් පුද්ගලික මිම්මෙන් නොව විවෘත, පුළුල් දැක්මකින් අතීතාවර්ජනයට අවශ්ය පරිණතබව ලබා ඇති හෙයිනි.
කියවීමට ඇවැසි එහෙත් සාක්කුවේ සිදුරු හේතුවෙන් අතට සමීප නොවූ බොහෝ කෘති අතර සුළු තනි තිතද තිබිණි. අවසන එය මට ලැබුණේ කම්මැල්ලවීරගේ අත්සනද සමගිනි. ඉදින් සුළු තනි තිත අන්සතු නොකර තබා ගන්නා පොත් ගොන්න අතර දිගටම මා හා රැඳෙනු ඇත්තේය. අවසන මෙසේ කියමි. කම්මැල්ලවීරයෙනි, මේ නිර්භය ලිවීමට, වීර්යයට, සහ විවෘතබවට ගරු කරමි.

– චුලානන්ද සමරනායක
Previous article“මේ වගේ නස්පැත්තියක් වෙලාවක අපේ අසල්වැසියා ගේම ගැහුවෙ කොහොමද”
Next articleභූමි දර්ශන චිත්‍ර ඇඳීමට විශේෂ ප්‍රියතාවක් දැක් වූ සිත්තරා – ජෝන් කොන්ස්ටබල්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here