පලස්තීන ඉඩම් අයිතියට එල්ල වන ප්‍රහාර සිහිපත් කරන ‘ඉඩම් දිනය’

68
ඊශ්‍රායලය විසින් පලස්තීනුවන්ගේ භූමිය බලය යොදා අත්පත් කර ගනු ලැබීමට එරෙහිව සෑම වසරකම මාර්තු 30දා ලොව පුරා පලස්තීන ජනතාව ‘ඉඩම් දිනය’ සමරති. 

1976 මාර්තු 30 දින සියොන්වාදී ඊශ්‍රායල ආණ්ඩුව විසින් අනුමත කරන ලද පලස්තීන ඉඩම් රාජසන්තක කිරීමේ නීතියට එරෙහි විරෝධතා අතරතුර නාසරෙත්හි දී ඊශ්‍රායල වෙඩි තැබීම්වලින් පලස්තීනුවන් හය දෙනකු මිය ගිය අතර, සිය ගණනක් තුවාල ලැබූහ.

ඊශ්‍රායලය විසින් පලස්තීනය සතු භූමිය පැහැර ගැනීම හා අඛණ්ඩව සිදු කෙරෙන නීති විරෝධී ජනාවාසකරණය තරම්, ලෝකයේ බහුතරයක් රටවල් විසින් අඩ සියවසකටත් වැඩි කාලයක් තිස්සේ නිරන්තරයෙන් හෙළාදැකීමට ලක් කළ වෙනත් සිදුවීමක් නැත. එසේ වුව ද, එම නින්දිත ක්‍රියාදාමය වැළැක්විය නොහැකි වීම ශිෂ්ටත්වය පිළිබඳ සංකල්පය ද ඒ සඳහා වන යාන්ත්‍රණය ද බරපතළ ලෙස අභියෝගයට ලක් කරයි. ‘ඉඩම් දිනය’ යනු එහි වේදනාව ලොවට හඬ ගා කියන දිනයයි.

ඇමෙරිකා එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ පුර්ණ අනුග්‍රහය යටතේ ඊශ්‍රායලයේ සියොන්වාදී පාලනයන් විසින් කරනු ලබන පලස්තීන ඉඩම් පැහැර ගැනීම සහ ජනාවාසකරණය ලෝකයේ රටවල් එකසිය හතළිහකට වැඩි ප්‍රමාණයක් විසින් ප්‍රතික්ෂේප කර තිබේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් යෝජනා පන්සියයකට වැඩි ප්‍රමාණයක් සම්මත කරනු ලබමින් හෙළාදැක තිබේ

සියලුම පලස්තීනුවන් නියෝජනය කරන බව කියන පළමු දේශපාලන සංවිධානය වන ‘අරාබි ඉඩම් ආරක්ෂා කිරීමේ ජාතික කමිටුව’ වැඩවර්ජනයක් ඉල්ලා සිටියේ ය. ඔවුහු මෙය ‘ඉඩම් දිනය’ ලෙස නම් කර බහුල වශයෙන් විපතට පත් ප්‍රදේශවල පුළුල් විරෝධතා දියත් කළහ. 1970 දශකයට පෙර අරාබි පුරවැසියන්ගේ මහජන විරෝධතා දුර්ලභ වූ බැවින් හා අඛණ්ඩ නොවූ බැවින්, මෙය වැදගත් විය. මෙම සිදුවීම ඊශ්‍රායල දේශසීමාවේ දෙපස අරාබිවරුන් එක්සත් කළේ ය.

නොනිමි අසාධාරණයට එරෙහිව

මෙම දිනයේ සිට සෑම වසරකම පලස්තීනුවන් ඉඩම් දිනය සමරන්නේ දිවි පිදූ විරෝධතාකරුවන් අනුස්මරණය කිරීමට සහ පලස්තීන ඉඩම් ඓතිහාසිකව හා අඛණ්ඩව නීති විරෝධී ලෙස ඊශ්‍රායලය විසින් අත්පත් කර ගනු ලැබීමේ නොනිමි අසාධාරණය ලොවට මතක් කර දීමට ය. සෑම වසරකම මාර්තු 30 දින පවත්වනු ලබන ‘ඉඩම් දිනය’ පලස්තීන පුරවැසියන්ට සහ ලොව සෑම තැනකම සිටින පලස්තීන ඩයස්පෝරාවට වැදගත් දිනයකි. මෙම දිනය අතීත සිදුවීම සිහිපත් කරනවා පමණක් නොව, එය පලස්තීන විප්ලවයේ ආත්මය සමරයි.

1967දී නැඟෙනහිර ජෙරුසලම සහ ගාසා තීරය ඇතුළු බටහිර ඉවුර නීති විරෝධී ලෙස අත්පත් කර ගත් දා සිට, ඊශ්‍රායලය විසින් අත්පත් කර ගනු ලැබ තිබෙන පලස්තීන භූමිය තුළ ඉඩම් රාජසන්තක කිරීමේ බහුවිධ ක්‍රියා සමඟ ඊශ්‍රායල පදිංචිකරුවන් මෙම ප්‍රදේශවලට ගෙන ඒමට පටන් ගත්තේ ය.
අද වන විට ඇස්තමේන්තු කර ඇත්තේ ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරමින් ජනාවාස 230කට අධික ප්‍රමාණයක 6,00,000කට වැඩි ඊශ්‍රායල ජාතිකයන් ජීවත් වන බවයි. ඊ’ඔිැකැප සහ ණැරුප භ්ඩදඑ හි ඊශ්‍රායල සංවිධාන විසින් නිකුත් කරන ලද මෑත වාර්තාවලින් හෙළි වූයේ, රාජසන්තක කර ඇති පලස්තීන ඉඩම්වලින් ‘දූනම්’ මිලියන දෙකකට වඩා (එක් දූනම් එකක් වර්ග මීටර් 1,000කට සමානය) ජනාවාස පිහිටුවීමට ඊශ්‍රායල රජය සමත් වී ඇති බවයි.
1948දී ඊශ්‍රායලය උපත ලබන විට එම භූමියේ ජීවත්වූ මිලියන එකහමාරක පලස්තීන පදිංචිකරුවන්ගෙන් 1976 වන විට ඊශ්‍රායලය අත්පත් කර ගත් භූමිය තුළ ජීවත් වූයේ 20%ක් පමණි. ඔවුන්ට ජීවත් වීමට සිදු වූයේ ඇඳිරි නීතිය, වසා දැමූ මුඩුක්කු, විශේෂ බලපත්‍ර, අත්අඩංගුවට ගැනීම්, ඔවුන්ගේ පදිංචිය යළි තහවුරු කිරීම තහනම් කිරීම් හා ඇතුළු වීමට සහ පිටතට යාමට අවකාශයක් නැති හමුදා පාලනයක් තුළයි.

මවුබිම අහිමි වූවන්ගේ ඉරණම

පලස්තීන සංඛ්‍යාලේඛන මධ්‍යස්ථානයේ නවතම වාර්තාවලට අනුව 1948 සිට අද දක්වා ඊශ්‍රායලය ඓතිහාසික පලස්තීනයෙන් 85%ක භූමියක් අත්පත් කරගෙන ඇත. 1947 එක්සත් ජාතීන්ගේ සැලැස්මට අනුව 55%ක් පවරන ලදී. ලෝකයේ පලස්තීනුවන් මිලියන 13.7ක් වන අතර ඉන් 6.2ක් පලස්තීන දේශසීමාවෙන් පිටත සරණාගතයන් ලෙස ජීවත් වෙති. ජාත්‍යන්තර නීතිය මඟින් පිළිගෙන ඇති ආපසු පැමිණීමේ අයිතිය දරන ඔවුන්ගෙන් කිසිවෙක් දේශසීමා තරණය කිරීමට කිසිදා සමත් වී නැත.
පලස්තීනයේ පැවැත්මට සහ කල්පවත්නා සාමයක අපේක්ෂාවන්ට ඊශ්‍රායල ජනාවාස ක්‍රියාකාරකම් විශාල ලෙස හානි කරයි. ඒවා පලස්තීනුවන්ට ඔවුන්ගේ අයිතිවාසිකම් සහ නිදහස භුක්ති විඳීම වළක්වන ඊශ්‍රායල සියොන්වාදී ප්‍රතිපත්තිවල පැහැදිලි ප්‍රකාශනයකි. ජාත්‍යන්තර ප්‍රජාව විසින් නැවත නැවතත් හෙළාදකිනු ලැබුවද, සියොන්වාදී ඊශ්‍රායල ආණ්ඩුවල පූර්ණ දේශපාලන සහ මූල්‍ය සහාය ඇතිව ජනාවාස අඛණ්ඩව ව්‍යාප්ත වෙමින් පවතී.
1976 සිද්ධියෙන් වසර 16කට පසු ‘ඉඩම් දිනය’ පලස්තීනයේ ජාතික නිවාඩු දිනයක් බවට පත් වූ අතර, සෑම තැනකම පෙළපාළි සහ මහා වැඩ වර්ජනයක් සමඟ පලස්තීනුවන් විසින් වාර්ෂිකව සමරනු ලැබේ. එක්සත් ජනපදයේ, යුරෝපයේ රටවල ඇතුළු ලොව පුරා ස්ථානවල පලස්තීනුවෝ ‘ඉඩම් දිනය’ අනුස්මරණය කර ඇති අතර, අද දක්වාම එය අඛණ්ඩව පවතී.

පන්සිය වතාවක් හෙළාදුටු වරදක්!

ඇමෙරිකා එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ පූර්ණ අනුග්‍රහය යටතේ ඊශ්‍රායලයේ සියොන්වාදී පාලනයන් විසින් කරනු ලබන පලස්තීන ඉඩම් පැහැර ගැනීම සහ ජනාවාසකරණය ලෝකයේ රටවල් එකසිය හතළිහකට වැඩි ප්‍රමාණයක් විසින් ප්‍රතික්ෂේප කර තිබේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් යෝජනා පන්සියයකට වැඩි ප්‍රමාණයක් සම්මත කරනු ලබමින් හෙළාදැක තිබේ.
ලෝකයේ විශාල විරෝධයක් තිබියදී, ඊශ්‍රායලයේ සියොන්වාදී පාලනයන් විසින් පලස්තීන ඉඩම් කොල්ලය අඛණ්ඩව සිදු කරනු ලබන්නේ, ඇමෙරිකා එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ආශීර්වාදය සහ අනුග්‍රහය නිසාය. එක්සත් ජනපදය විසින් හතළිස් වතාවකට වැඩි වාර ගණනක දී එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ඊශ්‍රායලයේ සියොන්වාදී පාලනයන්ගේ ඉඩම් කොල්ලය ආරක්ෂා කිරීම සඳහා නිෂේධ බලය භාවිත කරනු ලැබී ය. මෙම පසුබිම තුළ ඊශ්‍රායලයේ ජීවත්වන සාමාන්‍ය ජනතාව විශාල පීඩාවකට පත්ව සිටිති●

සුගත් අධිකාරි
සාමය සහ සහයෝගීතාව පිළිබඳ සංවිධානයේ
විධායක සභික

 
 
 
.

Previous articleවිනී හෙට්ටිගොඩ කාටුන් – ‘ලංකා’ – 2022.03.27
Next article“මං ලියන සෑම පිටපතක් තුළ ම මාගේ පන්තිය නියෝජනය වෙනවා”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here