නැදුන්ගමුවේ හස්තියා ගැන පශ්චාත් මරණ පරීක්ෂණයක්

38
නැදුන්ගමුවේ රාජා ලෙස ප්‍රකට දළ ඇතාගේ අභාවය සිදු වී මේ වන විට දෙසතියක් ඉක්ම ගොස් තිබේ. මෑත ඉතිහාසයේ ශ්‍රී ලාංකිකයන් අතර වඩාත් ආදර ගෞරවයට පාත්‍ර වූ සත්වයා ලෙස මෙම හස්තියා හැඳින්වීමේ වරදක් නැත. අසල්වැසි ඉන්දියාවේ උපත ලබා අවුරුදු පහක පමණ කුඩා ඇත්පැටවකු ලෙස මෙරටට ගෙනැවිත් වසර හැටනමයක් ජීවත් වූ නැදුන්ගමුවේ හස්තියාගේ අභාවය පිළිබඳව ශෝක නොවුණු කෙනකු නැති තරම් ය.

ශ්‍රී ලංකාවේ මුල් බැසගත් ප්‍රධාන ආගමික විශ්වාස දෙක වන බෞද්ධ සහ හින්දු ඇදහීම්වල ප්‍රමුඛ සංස්කෘතික සංකේතයක් ලෙස අලියා හෝ ඇතා යොදා ගැනේ. එවැනි පසුබිමක මෙසේ විශාල ජනප්‍රසාදයක් ලබා සිටි ඇතකු මරණයට පත්වීම ජාතියක් ශෝකයට පත් කරන්නට සමත් වීම විමතියට කරුණක් නොවේ. නමුත් ඒ ආදරය, ගෞරවය සහ භක්තිය මේ මොහොතේ ද ගැටලු රැසකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවේ හීලෑ අලි ගහනයේ යහපත වෙනුවෙන් යොමු කරවා ගැනීමට නොහැකි වීම කනගාටුවට කරුණකි. එබැවින්, මේ නැදුන්ගමුවේ පශ්චාත් මරණ පරීක්ෂණය ඒ අත්‍යවශ්‍යතාව මුදුන් පමුණුවා ගනු පිණිස ය.

 

2006 වසරේ සිට 2021 වසර වන තෙක් වූ වසර 15න් වසර 11ක් ම දළදා පෙරහැරේ කරඬුව වැඩම කරවීමට නැඳුන්ගමුවේ දායක විය. නමුත්, විශ්‍රාම ගත යුතු වයසේ සතකු ඒ ආකාරයෙන් තව දුරටත් යම්කිසි කටයුත්තකට යොදා ගැනීම පිළිබඳව නැදුන්ගමුවේ හස්තියාගේ මරණය පිළිබඳව කඳුළු සැලූ බොහෝ දෙනකු විවාද කළේ නැත.

ශ්‍රී ලංකාවේ අපට ගෘහාශ්‍රිතකරණය කෙරුණු අලින් සමඟ ඇත්තේ, ඉතා දිගු ඓතිහාසික සම්බන්ධයකි. අම්පාර, ලාහුගල මඟුල් මහා විහාරයේ දක්නට ලැබෙන අනුරාධපුර යුගයේ මධ්‍ය භාගයට අයත් සඳකඩපහණේ දක්නට ලැබෙන ඇතා පිට ඇත්ගොව්වා සිටින ආකාරය නිරූපිත කැටයම ඊට හොඳම සාක්ෂියකි. එකල විවිධ කටයුතු සඳහා අලි-ඇතුන්ගේ ශ්‍රමය යොදා ගත් නමුත්, කාලීනව එම තත්ත්වය වෙනස් වී ඔවුන් බොහෝ දුරට ශ්‍රී ලංකාවේ ප්‍රකට බෞද්ධාගමික ස්ථාන කිහිපයක වාර්ෂික පෙරහැරවලට සීමා විය.

තාක්ෂණික දියුණුවත් සමග අලි-ඇතුන් යොදවා සිදු කරන ලද කටයුතු නවීන බර වාහන සහ යන්ත්‍රසූත්‍ර මගින් සිදු වේ. ගෘහාශ්‍රිත අලි ගහනය නඩත්තු කිරීම සඳහා පුළුල් වශයෙන් යොදා ගැනුණු අලි ගාල් මගින් වන අලින් ඇල්ලීමට විශාල ජනතා විරෝධයක් එල්ල වීම නිසා එය තහනම් කෙරිණි. ලෝකයේ සත්ව අයිතිවාසිකම් පිළිබඳ සංවාදය වේගයෙන් පුළුල් වීමත් සමග ගෝලීය සන්දර්භය තුළ රටක් ලෙස අපට ද එයින් මිදී සිටීමට නොහැකි විය. මේ හේතු නිසා අලි-ඇතුන්ගෙන් මෙහෙවර සිදු කරවා ගැනීම අභාවයට ගියත්, සංස්කෘතික සංකේතයක් ලෙස අලි-ඇතුන් යොදා ගැනීමට එමගින් බාධාවක් වූ බවක් පෙනෙන්නට නැත. මහනුවර යුගයේ ආරම්භ වූ ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික පෙරහැර මංගල්‍යය සඳහා මේ දක්වාම අලි-ඇතුන් යොදා ගැනීම ඊට කදිම නිදසුනකි. පසුකාලීනව කැලණි, බෙල්ලන්විල, ගංගාරාම, කතරගම වැනි මෙරට ප්‍රමුඛ සහ අනන්‍ය සංස්කෘතික උත්සව කිහිපයකට අලි-ඇතුන් භාවිත විය.

වාණිජ අරමුණු පෙරට ඒම

ශ්‍රී ලංකාවේ වනවාසී හෝ ගෘහාශ්‍රිත යන ඕනෑම අලියකු, ඇතකු සම්බන්ධයෙන් බලපැවැත්වෙන්නේ 2009 අංක 22 දරන වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක (සංශෝධන) පනත ය. එය වනසතුන් සහ වෘක්ෂලතා සහ ඒවායේ වාසභූමි වාණිජ ලෙස සහ වෙනත් ආකාරයකට අනිසි ලෙස ප්‍රයෝජනයට ගැනීම වැළැක්වීම සඳහා වන පනතක් බව පැහැදිලිව සඳහන් කර තිබේ. නමුත්, මේ වන විට මෙරට ගෘහාශ්‍රිත අලි-ඇතුන්ගේ භාවිතය සංස්කෘතික කටයුතුවල සිට වාණිජ්‍ය කටයුතු දක්වා ශීඝ්‍රයෙන් විතැන් වෙමින් පවතී. ක්‍රමයෙන් පරිහානියට යමින් තිබූ අලි-ඇතුන්ගෙන් බර වැඩ කරවා ගැනීම සහ සංචාරකයන් අලින්ගේ පිට මත රැගෙන යෑම වැනි ක්‍රියා වක්‍රාකාරව නීතිගත කිරීම සඳහා ගැසට් පඩංගු නිකුත් වන්නේ ඒ අනුවය. 2021 අගෝස්තු මස 19 වන දින අංක 2241/41 දරන ගැසට් නිවේදනය මඟින් 2021 අංක 1 දරන වනසත්ව හා වෘක්ෂලතා (හීලෑ අලින්ගේ ආරක්ෂාව, සුබසාධනය හා ලියාපදිංචිය විධිමත් කිරීමේ) නියෝග කඩිමුඩියේ ප්‍රකාශයට පත් වන්නේ ඒ සඳහාය.
මේ ආකාරයෙන් සංස්කෘතිය අභිබවා වාණිජ්‍ය පරමාර්ථ මුලට පැමිණීම නිසා අලි-ඇතුන්ගේ පෝෂණය, සෞඛ්‍යය සහ සුබසාධනය කබලෙන් ළිපට වැටෙන බව අප අවධාරණය කර ගත යුතු ය. පාරම්පරික අලි හිමිකරුවන් වෙනුවට වර්තමානයේ අලි මුදලාලිලා පිරිසක් බිහි වී ඇති අතර, ඔවුන්ට ලාභය විනා සතුන්ගේ පෝෂණය, සෞඛ්‍යය සහ සුබසාධනය හෝ සත්ව අයිතිවාසිකම් අදාළ වන්නේ නැත. නොබෝදා මරණයට පත්වූ නැදුන්ගමුවේ හස්තියා බෝධිසත්වයකු ලෙස හැඳින් වූ පිරිස අතර, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර ද සිටීම පිළිබඳව ලියුම්කරුට ඇති වුණේ විමතියකි. නමුත්, අප ඉහත කී ආකාරයේ අලි මුදලාලිලා මෙවැනි බෝසත් සතුන්ගෙන් වැඩ ගන්නේ මරව-මරවා බවට ඉතිහාසය ඕනෑ තරම් සාක්ෂි සපයයි.

පෝෂණය,  සෞඛ්‍යය සහ සුබසාධනය

ප්‍රදීප් නිලංග දෑල විසින් 2002 වසරේ දී නීති විරෝධීව සෙවණගල ප්‍රදේශයෙන් අල්ලා ගන්නා ලද වයස අවුරුදු එකහමාරක් පමණ වූ වාසනා නම් ඇත්පැටවා 2007 වසරේ දී රත්නපුර, දෑල ඔයේ ගැටගසා සිටිය දී, ඔයේ ජල මට්ටම වැඩි වීමෙන් දියේ ගිලී මිය ගියේ ගෘහාශ්‍රිත අලි-ඇතුන් නිසි පරිදි රැකබලා නොගන්නා බව ලොවටම හඬ ගා කියමිනි.
පින්නවල අලි අනාථාගාරයෙන් කෝට්ටේ රජමහා විහාරයට ලබා දුන් ‘ජය ශ්‍රී’ හෙවත් ‘දිවුලා’ නමින් හැඳින් වූ අලියා 2010 සැප්තැම්බර් මස 9 වන දා මිය ගියේ අධික ලෙස වැඩ ගැනීමේ හා නිසි පරිදි ආහාර හා ජලය ලබා නොදීමේ ප්‍රතිඵලයක් ලෙස ය. මෙම විහාරස්ථානයටම ලබා දුන් ‘ලංකා’ නම් අලියාත් 2012 අප්‍රේල් මස 13 වන දින මිය ගියේ අධික ලෙස වැඩ ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස හා හෙණ්ඩු පහරවලට ලක් වීමේ ප්‍රතිඵලයක් ලෙස බව පරිසර ක්‍රියාකාරීහු අවධාරණය කරති. පන්නිපිටිය දෙව්රම් වෙහෙරේ සිටි ‘සීදේවි’ නමැති අසරණ හස්තියාත් 2014 ඔක්තෝබර් 17 දින අකාලයේ මරණයට පත් වන්නේ මෙවැනි අමානුෂික හිංසනයක ප්‍රතිඵලයක් වශයෙනි.
එසේම විවිධ පුද්ගලයන් සහ විහාරස්ථාන භාරයේ සිටි කෙරමිණියේ ඇතා, වෑවලදෙණියේ ඇතා සහ කපිල අලියා මෙන්ම දළදා මාලිගාවේ සිටි ඒකදන්ත නම් හස්තියා අකාලයේ මරණයට පත් වීම් පිටුපස ද මෙවැනි ශෝකාන්ත සැඟ වී තිබේ. තවද, 2015 වසරේ සිට දීර්ඝ කාලයක් තිස්සේ එකම ස්ථානයක දම්වැලකින් ගැටගසා තැබීමෙන් පාදයේ ඇති වූ තුවාළ නිසා පීඩා විඳි දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ ‘කළණ’ හස්තියා පිළිබඳවත් 2018 වසර අගභාගයේ සාකච්ඡාවට බඳුන් විය. එමෙන්ම තම ජීවිතයේ සැන්දෑ සමය ගත කරමින් සිටි ‘ටිකිරි’ නම් ඇතින්න 2019 වසරේ මහනුවර ශ්‍රී දළදා පෙරහැරේ ගමන් කරවීම ගැන සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහක් ඇති විය.
2021 අංක 1 දරන වනසත්ව හා වෘක්ෂලතා (හීලෑ අලින්ගේ ආරක්ෂාව, සුබසාධනය හා ලියාපදිංචිය විධිමත් කිරීමේ) නියෝග අනුව වයස අවුරුදු හැට ඉක්ම වූ අලියකු වැඩ හෝ වෙනත් ක්‍රියාකාරකමක නොයෙදවිය යුතු බව සඳහන් වේ. නමුත්, පසුගිය දා මරණයට පත් වූ හැටනව වියැති නැදුන්ගමුවේ රාජා 2021 අවසන් මහා රන්දෝලි පෙරහැරේ ද ගමන් කළ බව කිව යුතු ය.
2006 වසරේ සිට 2021 වසර වන තෙක් වූ වසර 15න් වසර 11ක් ම දළදා පෙරහැරේ කරඬුව වැඩම කරවීමට නැඳුන්ගමුවේ දායක විය. නමුත්, විශ්‍රාම ගත යුතු වයසේ සතකු ඒ ආකාරයෙන් තව දුරටත් යම්කිසි කටයුත්තකට යොදා ගැනීම පිළිබඳව නැදුන්ගමුවේ හස්තියාගේ මරණය පිළිබඳව කඳුළු සැලූ බොහෝ දෙනකු විවාද කළේ නැත. ඊට හේතුව පශු වෛද්‍යවරයකු හෝ ලියාපදිංචි පාරම්පරික හස්ති වෛද්‍යවරයකුගේ නිර්දේශ මත එසේ කිරීමට ඉහත නියෝගවලින් ඉඩ සලසා දීම ද?

වන අලි ජාවාරමට ඉඩ සැලැසීම

1992 වන විට මෙරට සිටි 347ක පමණ හීලෑ අලි ගහණය මේ වන විට සියයක් පමණ දක්වා පිරිහී ඇත්තේ, එහි ප්‍රතිඵලයක් ලෙස ය. තමන් සතු අලි-ඇතුන්ගේ ශ්‍රමය සූරාගෙන කා ඔවුන් මැරෙන්නට හරින අලි මුදලාලිලා එම හිඩැස පුරවන්නේ මෙරට වනාන්තරවල ජීවත් වෙන කුඩා අලි දරු පැටවුන්ගෙනි.
මවු ඇතින්නට වෙඩි තබා ඇය මරා දැමීම ඇතුළු ඉතා කෲර සහ අමානුෂික ක්‍රම මඟින් ශ්‍රී ලංකාවේ වනාන්තරවල ජීවත් වන අලිපැටවුන් නීති විරෝධී ලෙස අල්ලා මුදලට විකිණීමේ ජාවාරම ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව සිදු කරන ලද ප්‍රථම විද්‍යාත්මක අධ්‍යයනයේ ප්‍රතිඵල ඉකුත් 2020 වසර අග දී ලියුම්කරුගේ ප්‍රධානත්වයෙන් යුත් දෙස් – විදෙස් පර්යේෂණ කණ්ඩායමක් විසින් එළිදැක්වී ය (https://doi.org/10.3897/natureconservation.42.57283).
නමුත්, මේ දක්වා එම ජාවාරම්කරුවන්ට කිසිදු දඬුවමක් ලබා දීමට බලධාරීන් අපොහොසත් වී ඇති අතර, ඉකුත් වසර අග දී ද උඩවලව ජාතික උද්‍යානයෙන් මෙවැනි අලි ජාවාරමක් අනාවරණය විය.
එසේම අලි-මිනිස් ගැටුම්වලට දායක වන බවට චෝදනා ලබන අලි-ඇතුන් ද අල්ලා දැඩි වධහිංසා පමුණුවා හීලෑ කිරීමට දරන ලද පසුගිය සියලු උත්සාහයන් ව්‍යර්ථ විය. මෙවැනි පසුබිමක තේජස, අභිමානය, දළ යුගලේ සුන්දරත්වය ගැන කොපමණ ගුණ වැයුණ ද, නැදුන්ගමුවේ හස්තියාගේ අජීවී නිදර්ශකය සකස් කිරීමට දක්වන උනන්දුව එම සත්වයාගෙන් ඊ ළඟ පරම්පරාවක් නිර්මාණය කර ගැනීමට නොදැක්වූ බව කිඹුල් කඳුළු හෙළන ඊනියා සංස්කෘතික සංරක්ෂකයන් මතක තබා ගත යුතුය.

සුබවාදී වෙනසක් වෙනුවෙන්

ගෘහාශ්‍රිත අලි-ඇතුන්ගේ පෝෂණය, සෞඛ්‍යය සහ සුබසාධනය තහවුරු කරමින්, එම සතුන් මෙරට ප්‍රමුඛ සහ අනන්‍ය සංස්කෘතික උත්සවවලට පමණක් යොදා ගැනීම සම්බන්ධයෙන් ලියුම්කරුට ගැටලුවක් නැත. නමුත්, ඒ සඳහා අත්‍යවශ්‍ය ප්‍රතිපත්තිමය යොමුවක් සඳහා නැදුන්ගමුවේගේ මරණයෙන් හෝ ලබාගත හැකිව තිබූ ප්‍රවේශය ඊනියා බෞද්ධයන්ගේ ව්‍යාජ හස්ති ප්‍රේමයෙන් යටපත් වූ බව අවධාරණය කළ යුතු ය.
ගෘහාශ්‍රිතකරණය කළ අලි-ඇතුන් ලියාපදිංචි කිරීම සහ බලපත්‍ර අලුත් කිරීම සඳහා විද්‍යාත්මක හා විනිවිද පෙනෙන ක්‍රියාවලියක් සහිත ගෘහාශ්‍රිත අලින් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් බලාත්මක කිරීම ප්‍රමුඛ අවශ්‍යතාවකි. ගෘහාශ්‍රිතකරණය කළ අලි- ඇතුන් සංස්කෘතික, ආගමික හා සංචාරක අරමුණු සඳහා භාවිත කිරීම සීමා කිරීමට මෙමඟින් කටයුතු කළ යුතු ය. 2016 වසරේ දී පැවැත්වුණු වඳ වී යෑමේ තර්ජනයට ලක්ව ඇති වනසතුන් සහ පැළෑටිවල ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ අන්තර්ජාතික සම්මුතියේ (ක්‍ෂඔෑී) දාහත්වන සාමාජික මහා සමුළුවේ දී සහ 2017 වසරේ පැවැති ආසියානු අලි ජීවත් වන රාජ්‍යයන්ගේ සැසිවාරයේ දී යෝජනා කරන ලද ප්‍රමිතිගත ගෘහාශ්‍රිතකරණය කළ අලි ලියාපදිංචි කිරීමේ ක්‍රමවේද සහ යහ පිළිවෙත් ඒ සඳහා යොදා ගැනීමට හැකියාව පවතී.
ඩී.එන්.ඒ. ලියාපදිංචි කිරීම, ගෘහාශ්‍රිතකරණය කළ අලින් සඳහා වන අධීක්ෂණ ක්‍රමවේද, කළමනාකරණ හා සුබසාධන මාර්ගෝපදේශ, සතුන් මඟින් බෝ වන රෝග ඇතුළු රෝග කළමනාකරණය, කාර්ය මණ්ඩලය සහ ඇත්ගොව්වන් පුහුණු කිරීම සහ ධාරිතාව ප්‍රවර්ධනය සහ ගෘහාශ්‍රිතකරණය කළ අලිගහනය කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය කරුණු එහි අඩංගු වේ. මෙරට ගෘහාශ්‍රිතකරණය කළ අලින් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියට එකී කරුණු අන්තර්ගත කිරීමෙන් පෝෂණය, සෞඛ්‍යය සහ සුබසාධනය ආරක්ෂා කර ගනිමින් මෙරට ගෘහාශ්‍රිත අලි ගහනය තිරසාර ආකාරයෙන් පවත්වාගෙන යාමට ද, නීති විරෝධී වන අලි ජාවාරම වළක්වා ගැනීමට ද හැකි වනු ඇත. නමුත්, අවාසනාවට නැදුන්ගමුවේගේ පශ්චාත් මරණ පරීක්ෂණයේ ඒ කිසිවක් අඩංගු වූයේ නැති බව අවසන් වශයෙන් ලියා තැබිය යුතුය●

 

Previous articleඵලදායීතාව…
Next articleUTECH Technologies සමාගමට ආසියා පැසිෆික් රන් සම්මානයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here