ආයිබොවන්ඩ ලන්සා..,

96

තමුන්නැහැ අපේ සෑර්ට එවාලා තිබුණු ලියුං කඩදාසිය අපිත් දුටුවා. ජේසුස් වහන්සේ පා ලන්සෝ ඒ ලියුං කඩදාසියෙ ලියවිලා තිබිච්ච වගන්ති දැකලා ප්‍රාතිහාරියක් දැක්කා වගේ අපි උඩුකුරුඤ්ඤං ගැහුවයි කියමුකො. හුදී ජනතාව විඳින දුක්ප්‍රාප්තිය දරාගන්ඩ බැරුව ජනතා පුත්තරයෙක් හැටියට තමුන්නැහැගේ හර්දයසාක්කිය ගැහෙන්ඩ වුණා කියල නෙ සෑර්ට දැනුං දීලා තිබුණෙ.
ඇහුවට හිත අමනාප කොර ගන්ඩ කාරි නැහැ ආයිබොවන්ඩ, ඔහේගේ ඔය හර්දයසාක්කිය ද මොකක් ද කියන එක මෙපමණ කාලෙකට අන්තර්දාන වෙලා තිබුණෙ ඇයි ද කියන කාරණෙත් මේ ගමන්ම තේරුං බේරුං කොරල දුන්න නං නේද වටින්නෙ ? අපි හිතාගෙන උන්නෙං තමුන්නැහැට හර්දයවස්තුව කියල අවයවයක් නැතුව ඇති කියලයි. හොඳයි ලෝක මැවුංකාර දෙයියන්නාන්සෙගෙ නැත්නං තමුන්නැහැගෙ සාන්තුවරය වෙන සාන්ත අන්තෝනි උන්නාන්සෙගෙ පිහිටෙන් හරි මෙලොව උප්පත්තිය ලබන වෙලාවෙ ඔය සරීර කූඩුව ඇතුළෙ හර්දයවස්තුවකුත් පිහිටලා තිබුණ ය කියමුකො. එහෙම වුණත් පොලිටික්කෙක් හැටියට බවුතීස්ම ලබන කොට ඒක උකසට තිබ්බ ය කියල අහල – පහල උදවිය කියන කතාව මුසාවක්, අවලාදයක් වෙන්ඩ නං බැහැ නේ ද ලොක්කා.?
හොඳා… බඩවියත රැකගන්ඩ කොරමයක් නැතුව පොලිටික්කෙක් වෙන්ඩ ගිහින් හර්දයසාක්කිය විකුණ ගත්ත ය කියමුකො. එතකොට ආයිබොවන්ඩ ඔහේගෙ විලිලැජ්ජාව කියන එක නැතිබංග වෙලා ගියේ මක්ක කොරන්ඩ ගෙහුන් ද? ඇස්ටීඇප්කාරයො කුඩු කේස් එකකට ඔහේව හොයාගෙන ඇවිත් මාර පෝරියල් එකක් දීපු දවස නං මේ සම්මතේට අමතක වෙන එකක් නෑ මයෙ හිතේ. එදා රාජපක්ෂ මහරාජයා තකහනියේ හෙලිකොට්ටරේකින් මුන්නැහැගෙ විමානෙට වැඩම කොරපු සීන් එකයි, විලිලැජ්ජාවයි අතර මොකක්දෝ කනෙක්සන් එකක් තියෙන වය කියන්නෙ හැබෑද බොස්? විරුද්ද පක්සවල උං ඔහොම වාචාල කතා පතුරන්නෙ මඩට කියමුකො. ඒ උනාට ලංසො පොහොට්ටුවෙ හාදයොත් එහෙම අසමත්ජාති වැඩ කොරන එක නෙ කාල ඉන්ඩ බැරි.. නැද්ද මං අහන්නෙ ?
ඒක නෙමේ ආයිබොවන්ඩ, අර පාස්කු ප්‍රොහාරයේ මහමොළකාරයා කුදලගෙන ඇවිත් කොළ නැති ගහේ යවන වගට ජේසුවාමි දරුවන්ගෙ නාමයෙන් දිවුරලා නේද අහිංසක කතෝලික බැතිමතුන්ගෙ චන්ද ටික මල්ලට ඔබා ගත්තෙ. දැන් ඒ දිවුරුම කොරල අවුරුදු කීයක් ගත වුණා ද ලංසො ? ඒ මඳිවට කාදිනල් උන්නාන්සෙ රෝමෙ යන එක මොන ජාතියෙන් හරි නතර කොරල දෙඤ්ඤංය  කියලා අපේ අහිංසක සෑර්වත් ඇන්දුව එක නං අන්තිම කැතයි හරියෙ. හොඳටෝ ම කොරගෙන ආපු අපේ සැර්ව හියුමෑන් රයිට් ද මක්ක ද කියන කවුන්සිලේ ඉස්සරහා නිකංම පීචන් කොරල දැම්ම මඳිවට දැන් අර විමලෙල, වාසුලා සෑර්ගෙ එක්කුසේ උපන් ආදරණිය බ්‍රෝට අවලස්සන ඇමෙරිකානුවා කියන්න වගේ ඔටුන්න හිමි කුමාරයාගෙ පිලට හෝයිය කියන්ඩ ද සැට් වෙන්නෙ?
කොයි කා එක්ක මොන කස්තිරං ඇල්ලුවත්  ආයිබොවන්ඩ අර සනතයා ගේම ඉල්ලපු වෙලාවෙ නං තමුන්නැහැ නිකංම සැලැන්ඩර් වුණා නේ ද? හැබැටම ලංසො ඔහේ සනාට ඔය තරංම බය වුණේ මක්ක හන්ද ද? ඔහේට කුඩුපට්ටං වෙන්ඩ ගහන්ඩ තරං මෑන්ට තියෙන බලපු`ඵවන්කාරකොම මොකක් වෙන්ඩ ඇහැකියි කියල ද ලංස ළමය හිතන්නෙ. ඔය නං මොන විදිහකටවත් සනාගෙ තනි හයියට කොරන උඩුබිරුමක් වෙන්ඩ බැහැ ලොක්කා. ෂුවරෙකටම ජොනියගෙ ඉස්පිරිත්තුවල පවර්රෙකට වෙන්ඩ ඕනෑ කියලයි අපිට නං හිතෙන්නෙ. මක්ක වුණත් ලන්සො කමින් කලර් ඊස්නං නොට් ගුඩ් නේ ද?●

 

Previous articleආණ්ඩුව පැන්නීම පමණක් ප්‍රමාණවත් නොවේ !…
Next articleඋදය ගමාච්චි කාටූන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here