ගිය ආණ්ඩුවෙන් මේ ආණ්ඩුව අතට ගත් සිංගප්පූරු ඩීල්

ගෝඨාභය රාජපක්ෂ බලයට එන්නට පෙර ඔහු නියෝජනය කළ පක්ෂයත්, ඒ වෙනුවෙන් පෙනී සිටි අනෙකුත් දේශපාලන පක්ෂත්, ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ ‘දේශමාමක’ ප්‍රජාවත් දිගින් දිගටම කියා පෙනී සිටි සටන් පාඨවලින් රටේ ජාතික සම්පත් විදෙස් රටවලට විකිණීමට එරෙහි වීම ප්‍රධාන තැනක් ගත්තේය. ගෝඨාභය ජනාධිපති වූ විට එවැනි දේ සිදු වීමට කිසිසේත්ම ඉඩ නොතබන බවත්, පසුගිය ආණ්ඩුවෙන් විකුණනු ලැබූ සියල්ල යළි අත්පත් කර ගන්නා බවත් පැවසීය. මහින්ද රාජපක්ෂ විසින් වරෙක පවසා තිබුණේ, ලංකාවේ කිසිදු දේපොළක් මිල දී ගැනීමට විදෙස් රටවලට මැදිහත් නොවන ලෙසයි. ඊට හේතුව වශයෙන් තමන් ඇතුළු කණ්ඩායම බලයට පැමිණි විගස ඒවා යළි අත්පත් කර ගන්නා පෙන්වා දී තිබිණි. ඇතැම් මුද්‍රිත මාධ්‍ය මඟින් මේ බව පිටු පුරා වාර්තා කරනු ලැබීය.

දැන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වශයෙන් පත් වී තිබේ. මහින්ද රාජපක්ෂ අලුත් ආණ්ඩුවේ අගමැතිවරයාය. ජනාධිපතිවරණයට පෙර කියූ පරිදි විදේශයන්ට පසුගිය ආණ්ඩුව පවරා දුන් හම්බන්තොට වරායේ සිට සියල්ල පවරා ගැනීම මේ වන විට ආරම්භ කර තිබිය යුතු වුව ද, දැන් සිදු වෙමින් තිබෙන්නේ එහි අනෙක් පැත්ත ය. තේරෙන භාෂාවෙන් කියනවා නම් පවරා ගන්නවා වෙනුවට මේ ආණ්ඩුවත් විකිණීම ආරම්භ කර තිබේ.

එදා විකිණීම්

මහින්ද රාජපක්ෂ ජනාධිපති වශයෙන් සිටිය දී සහ ගෝඨාභය රාජපක්ෂ ඒ ආණ්ඩුවේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් සිටිය දී ගාලු මුවදොර පිහිටි යුද හමුදා මූලස්ථානය සතු වූ ඉඩම ෂැංග්‍රිලා හෝටල් සමාගමට විකුණා දැමූ බව කාටත් රහසක් නොවේ. 2010 දෙසැම්බර් මස 28 වන දින ඇමෙරිකානු ඩොලර් මිලියන 75කට මෙම ඉඩම විකුණා දමා තිබේ. ඉඩම සම්බන්ධ ඔප්පුවෙහි සඳහන් වන්නේ ‘ෂැංග්‍රිලා හොටෙල්ස් ලංකා ප්‍රයිවට් ලිමිටඞ් ආයතනයට හා එහි උරුමක්කාරයන්ට හා පොල්මඃකාරයන්ට හා අද්මිනිස්ත්‍රාසිකාරයන්ට හා ලැබුම්කාරයන්ට සදාකාලයටම භුක්ති විඳීම සඳහා මෙයින් පවරා දෙන’ බවය. ඉන් පසුව ෂැංග්‍රිල්ලා ඉඩමට ඔබ්බෙන් පිහිටි තවත් අක්කර 10ක් ඉන්දියාවේ ප්‍රකට ව්‍යාපාරයක් වන අයි.ටී.සී. සමාගමට වසර 99කට බදු දුන්නේය. ගොඩබිම පමණක් නොව මහ මුහුද ද පෝට් සිටිය ඉදි කිරීම සඳහා චීනයට විකුණා දැමීය.

නැවතත්  විකිණීම ඇරඹෙයි

ඒවා පරණ කතාය. ඒත් මේ කියන්නේ අලුත් කතාවකි. මේ කතාව කරළියට එන්නේ Lanka Business Online වෙබ් අඩවියේ 2019 දෙසැම්බර් 29 වන දින වර්තමාන ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව මෙරට ක්‍රියාත්මක වන පළමු විදෙස් ආයෝජනය ලෙස සිංගප්පූරුවෙන් ඇමෙරිකානු ඩොලර් දෙසියපනහක ආයෝජනයක් ලැබීමට යන බවට වන ප්‍රවෘත්තියක් පළ වීමත් සමඟය. එහි සඳහන් වන අන්දමට කොළඹ බාලදක්ෂ මාවතේ ෂැංග්‍රිලා හෝටලය සහ බේරේ වැව අතර පිහිටි අක්කර තුනහමාරක භූමියක් මහල් තිහක නිවාස ඒකක 700කින් යුතු නිවාස සංකීර්ණයක් සහිත වාණිජ කුලුනක් ඉදි කිරීම සඳහා සිංගප්පූරු සමාගමක් වන ‘පෙරෙනියල් රියල් එස්ටේට් හෝල්ඩිංග්ස්’ නම් සමාගමට ලබා දීමට තීරණය කර තිබේ. පසුව වාර්තා වූ තොරතුරු අනුව ඊට අදාළ කැබිනට් අනුමැතිය ද ලැබී තිබේ.

මෙම ආයෝජනය සඳහා නුදුරේදීම ගිවිසුම් අත්සන් කිරීමත් සමඟ ව්‍යාපෘතිය සඳහා අදාළ භූමිය එම සමාගමට බදු පදනම මත ලබා දීමට නියමිත අතර, එහි දී බදු කුලිය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 43ක මුදල ශ්‍රී ලංකා රජය වෙත ලැබෙනු ඇත. ඉදි කිරීමට නියමිත වාණිජ කුලුන තුළ සිල්ලර සහ ආහාර වෙළඳ සල් සඳහා ද ඉඩකඩ ලබා දීමට නියමිතය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල්, ආර්ථික කටයුතු හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා ලෙස අදාළ සමාගමට ආයෝජන කටයුතු සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් වන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කර ඇත.

පෙරෙනියල් රියල් එස්ටේට්’ සමාගම

‘පෙරෙනියල් රියල් එස්ටේට් හෝල්ඩිංග්ස්’ සමාගම සිංගප්පූරුවේ මූලස්ථානය හා ලැයිස්තුගත කර ඇති ඒකාබද්ධ දේපළ වෙළඳාම් සහ සෞඛ්‍යසේවා සමාගමකි. මෙම සමාගම සිංගප්පූරුවේ, කැපිටල් සිංගප්පූරුව, CHIJMES, AXA Tower,Triple One Somerset, Chinatown වැනි මධ්‍යම ව්‍යාපාරික දිස්ත්‍රික්කය සහ ඕකිඞ් පාර භූමියේ පිහිටි ප්‍රමුඛතම දේපළ සඳහා බහු වාර්ෂික ආයෝජනය කර කළමනාකරණය කරන අතර සෞඛ්‍ය සේවා සේවා හිමිකරුවකු, ක්‍රියාකරුවකු සහ සැපයුම්කරුවකු වශයෙන් චීනය සමග දැඩි සම්බන්ධයක් පවත්වාගෙන යන සමාගමකි.

එසේම සංවර්ධකයකු සහ කළමනාකරුවකු ලෙස බහු වාර්ෂික මහා පරිමාණ මිශ්‍ර-භාවිත සංවර්ධනයන් කෙරෙහි උපායමාර්ගිකව අවධානය යොමු කරන මොවුහු මැලේසියාව, ඉන්දුනීසියාව සහ ඝානාව යන රටවල විශාල වශයෙන් ඉඩම් මිල දී ගැනීමට පෙළඹී සිටිති. සමාගම විසින් 2018 වසරේ ජනවාරි මාසයේ ගනු ලැබූ අධ්‍යක්ෂ මණ්ඩල තීන්දුවකට අනුව ශ්‍රී ලංකාවේ හවුල් ව්‍යාපාරයකට අවතීර්ණ වීමට තීරණය කර තිබේ.

ව්‍යාපෘතියේ ඉතිහාසය

මේ ව්‍යාපෘතිය අලුතෙන් ඉදිරිපත් වූ යෝජනාවක් නොවේ. මෙම ඉඩමේම මේ කියන සමාගම විසින්ම ඉහත කී ව්‍යාපෘතිය සඳහා කැබිනට් පත්‍රිකාවක් මීට පෙර ද ඉදිරිපත් වී තිබේ. ඒ 2018 වසරේ අමාත්‍ය මලික් සමරවික්‍රම විසිනි. එහි දී අදාළ ඉඩම සඳහා ඉදිරිපත් කර ඇති රජයේ තක්සේරුව වූයේ අක්කරයක් සඳහා ඩොලර් මිලියන 13.5ක මුදලකි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඉන්දියානු අයි.ටී.සී.

සමාගමට එතැනම අක්කරය දහයක් ලබා දීමේදී අක්කරයක් තක්සේරු කර තිබුණේ ද මේ මුදලටමය. මෙම යෝජනාව සම්බන්ධයෙන් එවකට එක්සත් ජනතා නිදහස් සන්ධානය නැතහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ පිරිස් තරයේ සිය විරෝධය ප්‍රකාශ කළ අතර, පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටත මාධ්‍ය සාකච්ඡා පවත්වමිනුත් ඒ බව ප්‍රකාශ කරනු ලැබීය. 

ටෙන්ඩර්

එදා මලික් සමරවික්‍රම විසින් මේ යෝජනාව ඉදිරිපත් කරද්දී, ඊට විරෝධය දැක් වූ පිරිස අතර සිටි කාංචන විජේසේකර මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් කියා සිටියේ, මෙවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්නේ නම්, එක් සමාගමකට

ඊට අනුමැතිය ලබා දීම වෙනුවට ටෙන්ඩර් කැඳවීමක් මඟින් වැඩි මුදලක් ලබා දෙන සමාගමකට අදාළ ව්‍යාපෘතිය ලබා දිය යුතු බවය. එහෙත්, එදා එසේ කී කාංචන විජේසේකර රාජ්‍ය අමාත්‍යවරයකු වශයෙන් සිටින වර්තමාන ආණ්ඩුව විසින් පෙරෙනියල් රියල් එස්ටේට් සමාගමට මෙම ව්‍යාපෘතිය බාර දෙන්නට තීරණය කරන්නේ ද කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරවය. සමාගමේ ද කිසිදු වෙනසක් නැති අතර, මලික් ගෙන ආ සමාගම ඒ අයුරින්ම ඒ ව්‍යාපෘතියම මේ ආණ්ඩුව හරහා ද ක්‍රියාත්මක කිරීමට සූදානම් වෙයි.

සිංගප්පූරු ‍වෙළෙඳ ගිවිසුම

මේ අනුව පැහැදිලි වන්නේ අන් කිසිවක් නොව මේ ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ සිංගප්පූරු වෙළෙඳ ගිවිසුමම බවයි. පැවැති ආණ්ඩුව සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් කරනු ලබන්නේ, 2018 ජනවාරි 23 වැනි දිනය. ඒ එම වසරේ මැයි මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදිය. ඉතාමත් කඩිමුඩියේ අත්සන් කරනු ලැබූ එම ගිවිසුම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්නේ 2017 දෙසැම්බර් 22 වැනිදාය. ගිවිසුමේ පිටු 1,083කි. 2018 ජනවාරි 02 සහ 09 යන දිනවල සාකච්ඡා කොට මෙම ගිවිසුම නීතිපතිට යොමු කරන අතර, නීතිපති දෙපාර්තමේන්තුවේ සංශෝධනවලට යටත්ව අත්සන් කිරීමට තීරණය කරනු ලබයි. ඒ අනුව 2018 ජනවාරි 16 වැනිදා ඊ ළඟ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන 23 වැනිදා ගිවිසුම් අත්සන් කෙරිණි. මෙම ගිවිසුමේ සඳහන් වන එක් කරුණක් වන්නේ ප‍්‍රපාතන විරෝධී ප‍්‍රතිතෝලන බදු පනත සහ ආරක්‍ෂණ පියවර බදු පනත්වල කරුණු ගිවිසුමේ කරුණුවලට අනුගත කර  ගන්නා බවයි. එහෙත් 2018 ජනවාරි 23වන විට එම පනත් දෙක සම්මත වී තිබී නැත. සම්මත වී නොතිබෙන පනත් දෙකක් පවා ගිවිසුමට ඇතුළත් කිරීමට තරම් නීති විරෝධී අන්දමින් කටයුතු කිරීමට එවකට සිටි ආණ්ඩුව කටයුතු කරනු ලැබීය.

මෙම ගිවිසුම යටතේ ශ්‍රී ලංකාව විසින් වසර 12 සිට 15 දක්වා කාලයක් තුළ දී සිය තීරු ගාස්තු රේඛාවලින් 80%ක් ලිහිල් කිරීම සඳහා කටයුතු කර ඇත. මුලින් සඳහන් කළ පරිදි එයින් සුළු ප්‍රමාණයක් හැර තීරු බදු රේඛා 3,719ක් දැනටමත් තීරුබදු රහිත ඒවා වන බැවින්, මුළු තීරුබදු රේඛාවලින් 50%ක් මෙම ගිවිසුම බලාත්මක වන විටම ලිහිල්කරණය වන අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් ආදායම හෝ දේශීය කර්මාන්ත මත හෝ ක්ෂණිකව බලපෑමක් සිදු නොවනු ඇත. ඉන් අනතුරුව තීරු බදු රේඛාවලින් 15%ක් හෝ අයිතම 1,116ක් පළමුවන අවුරුද්දේ සිට හය වන අවුරුද්ද දක්වා වන කාල සීමාවේ දී සමාන වාරිකවලින් ඉවත් කරනු ලබන අතර, තීරු බදු රේඛාවලින් 14.3%ක් හෝ අයිතම 1,064ක් සමාන වන වාරිකවලින් හත්වැනි අවුරුද්දේ සිට දොළොස් වන අවුරුද්ද දක්වා කාලය තුළ දී ඉවත් කිරීම සහ 0.7%ක් හෝ අයිතම 51ක් එකොළොස් වැනි අවුරුද්දේ සිට පහළොස් වැනි වසර දක්වා කාලය තුළ දී ඉවත් කිරීම සිදු කරනු ලැබේ.

රටේ භාණ්ඩ හා සේවා වෙ‍ළෙඳපොළ නිදහස් කිරීමට අමතරව රටේ ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල කරන තවත් කරුණු රැසක් මෙම ගිවිසුම තුළ අන්තර්ගත විය. ඉන් එකක් වන්නේ පැවැති නීති අනුව විදේශිකයන්ට අපේ රටේ සමාගම්වල කොටස් 40%කට වඩා මිල දී ගැනීමට තිබූ නොහැකියාව අවසන් වීමයි. ඒ අනුව මෙම ගිවිසුම මඟින් සිංගප්පූරු ආයෝජකයන්ට ඉහත කී බදු සහන යටතේ විශාල අවස්ථාවක් උදා කරනු ලබයි. එහි ප්‍රතිඵලයක් ලෙස ‘මෑන් පවර්’ සමාගම් මඟින් වඩුබාස්ලා, මේසන් බාස්ලා පවා මේ රටේ සේවයේ යෙදවීමට ඔවුන්ට අවස්ථාව ලැබෙයි.

මෙම ගිවිසුම අත්සන් කිරීමේ කාර්යය සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරනු ලැබූයේථ පැවැති ආණ්ඩුවේ ප්‍රබලයකු වූ මලික් සමරවික්‍රමය. ගිවිසුම අත්සන් කිරීමෙන් පසු සිංගප්පූරු සමාගමක් වන පෙරෙනියල් රියල් එස්ටේට් හෝල්ඩිංග්ස් සමාගම විසින් ඉදිරිපත් කරන ලද ඉහත කී වාණිජ කුලුන ඉදි කිරීම සහ ඊට අදාළව යෝජිත ඉඩම ලබා දීමේ ව්‍යාපෘතිය රැගෙන එන්නේ ද මලික් සමරවික්‍රම විසිනි.

එහෙත්, මෙම ව්‍යාපෘතිය සම්මත කර ගැනීම සඳහා තවත් එක් දෙයක් කර ගත යුතුව තිබිණි. ඒ සිංගප්පූරු සමාගමට ඉඩම පැවරීම සඳහා ඉඩම් පනතේ සංශෝධනයක් කර ගත යුතු වීමයි. ආණ්ඩුව ඒ සඳහා නව ඉඩම් පනතක් ද ගෙන ආවේ ය.

මලික් – රාජපක්ෂ

මහින්ද රාජපක්ෂ විසින් මේ ක්‍රියාත්මක කරමින් සිටින්නේ ද පැවැති ආණ්ඩුව විසින් අත්සන් කරනු ලැබූ සිංගප්පූරු වෙළඳ ගිවිසුමේ කරුණුම ය. එහෙත්, ඒ එදාට වඩා සූක්ෂ්මවය. එදා ඉඩම් පනතක් ගෙන ඒමෙන් කරන්නට ගිය දේ මෙදා කරන්නේ කැබිනට් අනුමැතියක් හරහාය. ඒ අනුව පසුගිය දෙසැම්බර් මස 10 වන දින ඉතාමත් සූක්ෂ්ම කැබිනට් පත්‍රිකාවක් සම්මත කර ගනු ලබයි. එමඟින් ඉහත දී යෝජනා වූ ඉඩම් ප්‍රතිසංස්කරණවලටම සමගාමී අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන සකස් කරගෙන තිබේ.

සිංගප්පූරු සමාගමට ඉඩම් ලබා දීමේ යෝජනාව මහින්ද රාජපක්ෂ අගමැතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ඉන් අනතුරුවය. එදා මලික්ලා කරන්නට ගිය දේ අද රාජපක්ෂලා සිදු කරමින් සිටිති. වෙනත් කිසිදු වෙනසක් නැත. සිංගප්පූරු සමාගම් මලික් සමරවික්‍රම සමඟ ද වැඩ ය; මහින්ද රාජපක්ෂ සමඟ ද වැඩය. එම සමාගම ව්‍යාපෘතියේ ඉදි කිරීම් ආරම්භ කළ විට නිදහස් වෙළඳ ගිවිසුමේ සඳහන් වන පරිදි විදේශීය ඉංජිනේරුවන් පමණක් නොව පෙදරේරුවන්, වඩුබාස්ලා ඇතුළු සියලුම ශ්‍රමිකයන් රට තුළට පැමිණෙනු ඇත. ව්‍යාපෘතියේ පමණක් නොව රට තුළ වෙනත් ඉදි කිරීම් කටයුතුවල ද ඔවුන්ට සේවය කිරීමේ අවස්ථාව සැලසෙනු ඇත.

අත යට ගනුදෙනුව

කෙසේ වෙතත්, මේ කියන ගනුදෙනුව පසුපස ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක අත යට ගනුදෙනුවක් පිළිබඳ තොරතුරු ද මේ වන විට අනාවරණය වෙමින් තිබේ. අදාළ ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක මුදල සිංගප්පූරුවේ Bank of China හි ගිණුමකට කොටස් වශයෙන් තැන්පත් කිරීමට එකඟතාව ඇති කරගෙන තිබෙන අතර, අදාළ ගිණුම ඒ. කේ. මුදියන්සේ යන නාමය ඇති පුද්ගලයකුගේ වන බව පැවසෙන අතර, එම මුදල් තැන්පත් කිරීම ආරම්භ කර ඇත්තේ පසුගිය වසරේ නොවැම්බර් මස සිට බව ද වාර්තා වේ.

විදේශ ආයෝජන අනවශ්‍ය ද?

රටට විදේශ ආයෝජන අවශ්‍ය නැද්ද? මෙහි දී මතු වන ඊ ළඟ පැනය එයයි. රටක් වශයෙන් ශ්‍රී ලංකාවට විදේශ ආයෝජන අත්‍යවශ්‍ය ය. ඒ ගැන කිසිදු තර්කයක් නැත. එහෙත්, ගැටලුව ඇත්තේ මේවා සිදු වන ආකාරයේය. චන්ද්‍රිකා, රනිල්, මහින්ද, මෛත්‍රී ආණ්ඩු විදේශ ආයෝජන සමඟ කටයුතු කරනු ලැබූයේ, ඉතාමත් පසුගාමී භාවිතයක් පෙන්වමිනි. කුමක් හෝ කූට උපක්‍රමයක් මඟින් ජනතාව රවටමින් රටෙන් කොටසක් විකුණා දැමීම ඔවුන් සියල්ලන්ගේම විදේශ ආයෝජන ගෙන්වා ගැනීමේ ප්‍රතිපත්තිය විය. එසේම බලයේ සිටින ආණ්ඩුව විසින් සිදු කරන එවැනි විකිණීම්වලට එරෙහි වීම බලය ගැනීමට සිටින කණ්ඩායම්වල උපක්‍රමය විය. ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි කණ්ඩායම් එය වඩාත් තීව්‍රව සිදු කළේ ‘දේශප්‍රේමය’ සර්වාංගය පුරාම තවරාගෙනය. එක බිම් අඟලක් විදෙස් රටවලට විකුණන්නේ නැතැයි ඔවුන් දේශපාලන වේදිකාවල හඬතැළීය. එහෙත්, දැන් බලය ගෙන සිටින ඔවුන් ද පරණ පුරුදු පාරටම වැටී ඇත්තේ ‘රට බේරා ගන්නට ඔවුන්ට බලය ලබා දෙන්නට’ අවංකව කටයුතු කළ සුවහසක් ජනතාවට නැවත වරක් තමන් රැවටුණා ද යන්න පිළිබඳ දෙගිඩියාව පමණක් ඉතිරි කරමිනි.

චතුර දිසානායක

Leave A Reply

Your email address will not be published.

8 − four =