ස්වාභාවිකත්වය හා මුසු වූ වර්ණ රේඛා හෝ හැඩතලයේ චමත්කාරය

54

ස්ටැන්ලි කිරින්දේ නම් වූ අපූර්ව ගණයේ සිත්තරා අප අතරින් වෙන්ව ගොස් පසුගිය පෙබරවාරි 13 වැනි දිනට වසර අටකි. මෙම ලිපිය ඒ නිමිත්තෙනි.
ස්ටැන්ලි කිරින්දේ නම් සිත්තරා දුම්බර මිටියාවතේ, මාතලේ, දීගල ග්‍රාමයේ දී 1930 අප්‍රේල් 24 වැනි දින මෙලොව උපත ලැබී ය. මෙම ගම්පියස තම මවගේ ගම්පියස වූ අතර, මොහුගේ නම වූයේ සරත්චන්ද්‍ර මද්දුම බණ්ඩාර වික්‍රමසිංහ මුදියන්සේලාගේ කිරින්දේ ය. ඔහුගේ අදහසට අනුව එය විය යුතුව තිබුණේ, කිරින්දේ මුදියන්සේලාගේ වික්‍රමසිංහ මද්දුම බණ්ඩාර සරත්චන්ද්‍ර ය. පියාගේ ගම ගම්පොළට ආසන්න කිරින්ද ය. එබැවින්, මොහු හැඳින්වූයේ ස්ටැන්ලි කිරින්දේ නමින් ය.
තම මෑණියන් සමඟ ගමේ පන්සලට ගිය සෑම විට ම කුඩා කිරින්දේගේ සිත ගියේ ඒ අවට ඇති බිතුසිතුවම්වලට, බෞද්ධ මූරතිවලට සහ චමත්කාරජනක අවට පරිසරයට ය. මේවායින් තම නිසග හැකියාවන් ටිකෙන් ටික පෝෂණය කර ගත් කිරින්දේගේ සිතුවිලි සහ මනෝභාවයන් සෞන්දර්යාත්මක රසයෙන් උද්දීපනය වීමෙන් කුඩා කල සිට ම චිත්‍ර කලාව කෙරෙහි ඔහුගේ සිත ඇදි ගියේ ය.
කුඩා ස්ටැන්ලිගේ මුල් පාසල වූයේ මහනුවර, ශාන්ත ස්කොලාස්ටිකා කන්‍යාරාමයයි. ඔහුට වයස අවුරුදු 9දි එනම්, 1939දී අකුරු කිරීම සඳහා ඔහු මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට ඇතුළු විය. මෙය ධනේශ්වර ප්‍රභූ පැලැන්තියට අයත් වන දේවස්ථාන පාසලක් විය.
1920දී ත්‍රිත්ව විදුහලේ විදුහල්පති ලෙස පැමිණි ෆ්‍රේසර් (Frazer) දේවගැතිතුමා කලාවට ලැදියකු විය. මොහු විශේෂ ප්‍රියබවක් දැක්වූයේ උඩරට කලා ශිල්පවලට ය. පසුව උඩරට ගෘහනිර්මාණ කලාවට අනුව ත්‍රිත්ව විද්‍යාලයිය දෙව්මැඳුර ෆ්‍රේසර් විදුහල්පතිතුමාගේ උපදෙස් පරිදි ගොඩනැඟෙන්නට විය. ත්‍රිත්ව දෙව්මැඳුරේ බිතුසිතුවම් ඇන්දේ ද, එහි ම චිත්‍ර කලා ආචාර්යවරයකු ලෙස සේවය කළ ඩේවිඩ් පේන්ටර් මහතා ය. මෙම සියලු ම චිත්‍ර ක්‍රිස්තු ධර්මයේ තේමා වුවත්, ලාංකීය මානවයාගේ හැඩරුවට හා තත්කාලීන ලාංකීය සමාජයේ සුන්දරත්වයට හානි නොවන ලෙස ඩේවිඩ් පේන්ටර් ත්‍රිත්ව දෙව්මැඳුරේ චිත්‍ර සියල්ල ඇඳ අවසන් කර ඇත. ත්‍රිත්ව විද්‍යාලයිය චිත්‍ර කලා පන්තියේ ද යුරෝපීය චිත්‍ර ශිල්පීනගේ චිත්‍ර එල්ලා තිබූ අතර, ස්ටැන්ලි දරුවාට මේවා නිතර නිතර ඇස ගැටෙන්නට විය. ස්වාභාවිකත්ව චිත්‍රවලට නෙත හා මනස හුරු වු කිරින්දේ සිසුවාගේ මුල් ම චිත්‍ර කලා ගුරුවරයා වූයේ හැරී හාඩ් මහතා ය. හත්වනි පන්තිය දක්වා මෙම ගුරුවරයා යටතේ නිදහස්ව චිත්‍රකර්මය උගත්තත්, එයින් එහාට මෙම කලාව ඉගෙන ගැනීමට ඔහුටු ගුරුවරයකු නොවී ය. ආත්මශක්තිය දැඩිව වඩා ගත් ඔහු ස්වෝත්සාහයෙන් චිත්‍ර ඇඳීම දිගින්දිගට ම කරගෙන ගියේ ය.
                
කලාව කියන්නේ මොකක් ද කියා හරියට ම තේරෙන්නට පටන් ගත්තේ ත්‍රිත්ව විදුහලේ දී බව තරුණ පාසල් සිසුවකු වූ පසුව ස්ටැන්ලි පවසා ඇත.
පසුව 1948දි මොහු විශ්වවිද්‍යාලයට ඇතුළු විය. පසුව තරුණ ස්ටැන්ලි සිය සගයන්ගේ ඉල්ලීම පරිදි වීශ්වවිද්‍යාලයේ ත්‍යාග ප්‍රදානෝත්සවයට සමගාමීව ‘ලෝක ඉතිහාසය’ නමින් චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්වී ය මොහුගේ මෙම පන්ති සගයන් අතර, කීර්තිමත් විදේශ කටයුතු අමාත්‍යවරයකු වූ ලක්‍ෂ්මන් කදිරගාමර් සහ සංස්කෘතික කටයුතු පිළිබඳ ඇමැතිවරයකු වූ ලක්‍ෂ්මන් ජයකොඩි යන මහත්වරු ද විය. මෙම ප්‍රදර්ශනය ඉතා සාර්ථක වු අතර, මෙය බැලූ විදේශීය කාන්තාවක් ඔහුගේ හැකියාව ගැන පැහැදී එකල මහනුවර පදිංචිව සිටි ප්‍රසිද්ධ වෙදැදුරකු වූ වික්‍රමසිංහ වෙදමහතාට මෙම චිත්‍ර ශිල්පියා ගැන ඇය කියා ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස වෛද්‍යවරයා හඳුනා ගත් ස්ටැන්ලි ඔහුගේ ඉල්ලීම පරිදි වෛද්‍යාවරයාගේ බිරිඳගේ ප්‍රතිරූපයක් ද ඇන්දේ ය. එහි තිබූ කලාත්මක බව ගැන පැහැදුණු වික්‍රමසිංහ වෙදමහතා එකල හැටියට රුපියල් 200.00ක මුදලක් තරුණ ස්ටැන්ලිට ගෙව්වේ ය. මෛම ආලේඛ්‍ය චිත්‍රය දැක පැහැදුණු වික්‍රමසිංහ වෙදමහතාගේ සමීප මිතුරකු වූ ජෝර්ජ් කීට් තරුණ ස්ටැන්ලි ඔහු වෙත කැඳවා, තම සතුට ඔහුට ප්‍රකාශ කර දිගට ම අඳින්න යැයි කියමින්, ඔහු ධෛර්යයවත් කර ඇත.
ස්ටැන්ලි කිරින්දේ විටින් විට තරගවලට තම චිත්‍ර ඉදිරිපත් කරමින්, ජයග්‍රහණ ද ලබා ඇත. ‘ලංකා කලා සංගමයේ’ 51 වැනි වාර්ෂික ප්‍රදර්ශනයට ඔහු ඉදිරිපත් කළ මිනිස් උඩුකය දැක්වෙන තෙල් සායම් චිත්‍රයට ප්‍රථම ත්‍යාගයත්, ද්‍රව්‍ය බලාගෙන ඇඳි සිතුවමට සම්මානයකුත් හිමි විම මොහුට සතුට ගෙන දෙන්නක් විය. 1949දී එම සංගමයේ ම 52 වැනි වාර්ෂික ප්‍රදර්ශනයට ඔහු ඉදිරිපත් කළ මිනිස් උඩුකය, මිනිස් රූප සම්පිණ්ඩනය දැක්වෙන චිත්‍රවලට ද උසස් සම්මාන හිමි විම ස්ටැන්ලිට නිම්හිම් නැති සතුටක් ගෙන දුන්නේ ය. ඉන් ඔහුගේ ආත්මශක්තිය තව තවත් වර්ධනය විය. එවකට කීර්තිමත් චිත්‍ර ශිල්පීන් කීප දෙනකු විසින් ආරම්භ කරන ලද ‘43 කණ්ඩායම’ සංවිධානය කළ ප්‍රදර්ශනවලට ද මොහු චිත්‍ර ඉදිරිපත් කර ඒවා ද අගැයීමට ලක් වී තිබේ.
 
විශ්වවිද්‍යාල ජීවිතය තුළ ඉතිහාසය විෂයය උගෙන ගෞරව උපාධියක් ලබා 1954දී විශ්වවිද්‍යාලයෙන් පිට වි පන්නිපිටියේ ධර්මපාල විදුහලේ ඉතිහාසය විෂයය උගන්වන ගුරුවරයා බවට පත් විය. වසර දෙකක් එහි ආචාර්යවරයකු ලෙස සේවය කර 1956දී සිවිල් සේවයට එක් විය. පොළොන්නරුව හා බදුල්ල දිස්ත්‍රික්කවල ඉඩම් නිලධාරියකු ලෙස සේවය කර 1969දී සෞන්දර්යය විශ්වවිද්‍යාලයේ සහකාර ලේඛකාධිකාරී ලෙස පත් වු අතර, 1971දී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්‍ෂ ලෙස ද, 1974දී ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහකාර ලේකම් ලෙස ද, 1982දී එහි අතිරේක ලේකම් වශයෙන් ද, 1989දී වෙළෙඳ හා නාවික අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම්වරයා ලෙස ද සේවය කොට 1990දී ඔහු රැකියාවට සමු දුන්නේ ය.
ස්වාභාවික හැඩවලට ප්‍රිය කළ ස්ටැන්ලි කිරින්දේගේ චිත්‍ර කලාව මානව රූප, සත්ව ඉරියවු වටා ගොඩනැඟුණේ ය ඔහු දිය සායමින් සිතුවම් කළ කරණීය මෙත්ත සූත්‍රය, ජයමංගල ගාථා, සිංහල උඩරට වන්නම් සහ සිංහල සාහිත්‍යයේ සම්භාව්‍ය කෘතියක් වන හතරවැනි පරාක්‍රමබාහු රජු කළ කෘතියේ කාව්‍ය රචනා කිහිපයක් ද චිත්‍රයට නැඟීම ඔහුගේ කලා ගමන්මඟේ කලඑළි දැක්මකි.
තෙල් සායමින්, දිය සායමින්, පැස්ටල් කූරෙන් සහ රේඛාවෙන් චිත්‍ර ඇඳීමට දක්‍ෂතාව දැක් වූ ඔහු පොත් කිහිපයක නිදර්ශන චිත්‍ර ද ඇඳ ඇත. ඒ අතර, එච්. ඩී. සුගතපාල සූරීන්ගේ ‘නවමඟ‘ පොත් පෙළ ද වෙයි.
ඔහු තෙල් සායමින් ඇඳි ‘මිනිසුන් සහ යන්ත්‍ර’, ‘පෙත්සම’, ‘රැස්වීම’, ‘වෙළෙඳපොළ’, ‘ලොතරැයි අලෙවිකරු’ යන චිත්‍ර ද ප්‍රකට ඒවා ය.
එයට අමතරව ඔහු අතින් නිර්මාණය වු ප්‍රතිරූප චිත්‍ර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රදර්ශනය සඳහා තෝරා ගන්නා ලද අතර, 1979දී ඇමෙරිකාවේ ‘ස්මිත්සොනියන්’ ආයතනය සංවිධානය කළ සංචාරක ප්‍රදර්ශනයක් සඳහා තෝරා ගන්නා ලද ලාංකීය චිත්‍ර කලා කෘති පහෙන් එකක හිමිකරු වූයේ ද මොහු ය.
දියතලාව හමුදා පුහුණු පාසලේ නිලධාරීන්ගේ භෝජන ශාලාවේ ප්‍රදර්ශනය සඳහා 1980දී අඳින ලද ‘ඌව කැරැල්ල’ දැක්වෙන ‘මොසැක්’ චිත්‍රය ද, බටලන්දේ පිහිටි යුද හමුදු පුහුණු කඳවුර සඳහා අඳින ලද තෙල් සායමින් කළ ‘දන්තුරේ සටන’ සිතුවම ද මොහු අතින් නිර්මාණය වූ විශිෂ්ට නිර්මාණ ය.
මෙයට අමතරව කොළඹ සහ මහනුවර ජනාධිපති මන්දිරවල ද, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ද, යුද හමුදා විද්‍යාපීඨයේ ද, ජාතික චිත්‍රපට සංස්ථාවේ ද, පෞද්ගලික කලාගාරවල ද මොහුගේ කෘති දක්නට තිබේ. තවද, කොළඹ, බෞද්ධාලෝක මාවතේ ලංකා සභාවට අයත් ආසන දෙව්මැඳුරේ මරියතුමියගේ යාච්ඤා කුටියෙහි ‘යේසුස් වහන්සේගේ ප්‍රාතිහාර්යය’ දැක්වෙන බිතුසිතුවම ද මොහු අතින් නිර්මාණය වූ විශිෂ්ට කෘතියකි.
එයට අමතරව බංග්ලාදේශය, භූතානය, එක්සත් රාජධානිය, ඇමෙරිකා එක්සත් ජනපදය ආදී රටවල නිත්‍ය ප්‍රදර්ශනය සඳහා ද මොහුගේ කලා කෘති තෝරාගෙන තිබේ. මොහුගේ චිත්‍ර මිල දී ගත් කෞතුකාගාර අතර, ඇමෙරිකා එක්සත් ජනපදයේ බොස්ටන් ලලිත කලා කෞතුකාගාරය සහ සිංගප්පූරුවේ කලා කෞතුකාගාරය ද වෙයි.

2000 වසරේ දී ලංකාවේ සංචාරයක යෙදුණු ඉන්දියානු ජනාධිපති, කේ. ආර්. නාරායනන් මැතිතුමාගේ ආලේඛ්‍ය චිත්‍රයක් නිර්මාණය කිරීමට ස්ටැන්ලිට ආරාධනය කරනු ලැබූ අතර, ඉන්දියානු රාජ්‍ය නායකයකුගේ චිත්‍රයක් ඇඳීමට විදේශිකයකුට ලැබුණු විරල අවස්ථාව ද හිමි කර ගැනීමට ස්ටැන්ලි භාග්‍යවන්ත විය.
1958දී අනුරාධපුර, කලාවැව වලව්වේ පද්මා අයිරාංගනී රත්වත්තේ මෙනෙවිය සමඟ විවාහ වූ ස්ටැන්ලි කිරින්දේ පුතුන් දෙදෙනකුගේ පියෙකි.
සිය රටට මහත් කීර්තියක් අත් කර දුන් මෙම විශිෂ්ට චිත්‍ර ශිල්පියා 2009 පෙබරවාරි මස 13 වැනිදා අත අතරින් සමුගත්තේ ය.
– අලව්වේ චන්දන රණවීර විසිනි

Previous article“අපේ අධ්‍යාපන ක්‍රමය විසින් හොඳ සිංහලයන්, දමිළයන්, මුස්ලිම්වරුන් හා කිතුණුවන් මිසක “හොඳ ශ්‍රී ලාංකිකයන්” බිහිකරන්නේ නැහැ”
Next article“කබ්රාල් ගේ සල්ලි අච්චු ගැහිල්ල ‘අති ධාවන උද්ධමනය‘ ට පාර කැපුවා”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here