“අපේ අධ්‍යාපන ක්‍රමය විසින් හොඳ සිංහලයන්, දමිළයන්, මුස්ලිම්වරුන් හා කිතුණුවන් මිසක “හොඳ ශ්‍රී ලාංකිකයන්” බිහිකරන්නේ නැහැ”

43

ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදයේ (SLMMF) 25 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේදී “ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ගේ මාධ්‍ය සහ අනාගතය” යන මැයෙන් වන ප්‍රධාන දේශනය ආචාර්ය එම්. සී. රස්මින්. 2022 මාර්තු 12
මෙම මාතෘකාව මුලින්ම යෝජනා වූ විට, මේ රටේ මුස්ලිම්වරුන්ගේ අනාගතය සමග මාධ්‍ය සම්බන්ධ කිරීම වැදගත් වන්නේ මන්දැයි මම ප්‍රශ්න කිරීමට පටන් ගත්තා. කෙසේ වෙතත්, මම අද මෙම ප්‍රශ්නයට පිළිතුරු දීමට උත්සාහ කරන්නේ නැහැ. ඒ වෙනුවට මම කැමැතියි ප්‍රශ්නය තේරුම් ගන්න. විශේෂයෙන්ම, අද දවසේ මගේ කතාවේ වැඩි කොටසක අවදානය සිංහල – මුස්ලිම් වාර්ගික සබඳතාව ගැනද යොමුවනු ඇති. මෙහිදී, මම කෙටි-සත්‍ය කතා දෙකක් ඔබ හා බෙදා ගැනීමට කැමැතියි.
මින් පළමු කතාව පුළුල් පිළිගැනීමක් සහිත මාධ්‍ය සමූහයක් විසින් 2019 මැයි 25 වැනි දින ප්‍රකාශයට පත් කරන ලද ශ්‍රී ලංකාවේ අතිශය කීර්තිමත් සිංහල දිනපතා පුවත්පතක පළ වූ “ප්‍රමුඛ පුවතක්” පිළිබඳව යි. මෙම සිංහල දිනපතා පුවත්පතේ සංස්කාරකවරයා ප්‍රවීණ මාධ්‍යවේදියෙක්. ඔහු ශ්‍රී ලංකා කර්තෘ සංසදයේ ද ප්‍රධාන සාමාජිකයෙක්.
මෙම ප්‍රධාන ප්‍රවෘත්තියේ මාතෘකාව වූයේ “උතුරු මැදින් ඇල්ලූ සහරාන් කල්ලි පස් දෙනාගේ ගිණුම්වල කෝටි 100ක්” යන්නයි.
මෙම ප්‍රධාන ප්‍රවෘත්තියෙහි දැක්වුණේ “සහරාන් සමඟ සම්බන්ධ බව පෙනීයන මුස්ලිම් සැකකරුවන් පස් දෙනාගේ ගිණුම්වල කෝටි 100ක මුදල් තිබෙන බව පොලිසිය පුවත්පතට කතා කිරීමේදී තහවුරු කරන ලද” බව යි.
ඇත්ත වශයෙන්ම, පස්දෙනාම අත්අඩංගුවට ගනු ලැබ මාස 6 කට ආසන්න කාලයක් සඳහා සිරගත කරන ලද අතර ඇතැමුන්ට ඔවුන්ගේ රජයේ රැකියා අහිමි වුණා. ඒ සෑම අයෙකුටම පාහේ තම තමන්ගේ ප්‍රජාව තුළ මෙන්ම ඉන් ඔබ්බට ද දැඩි සමාජ අපවාදයන්ට මුහුණ දීමට සිදු වුණා. මෙම පුවත විසින් ප්‍රබල රැල්ලක් මතු කෙරුණා.
මෙම පුවතේ නැග ඒම මා අතිශයින් කලකිරීමට පත් කළා. මගේ බොහෝ සිංහල මිතුරන් මෙම ප්‍රවෘත්තියට දැඩි ප්‍රතිචාර දැක්වූ බව මම දුටුවා. ඇතැම් විට ඒ මට ඇති වූ කලකිරීමෙන් ම විය හැකියි.
ශ්‍රී ලාංකේය විකාශන මාධ්‍ය ආයතන විශාල ප්‍රමාණයක් විසින් සිංහල භාෂාවෙන් නිෂ්පාදනය කරන ප්‍රවෘත්ති වාර්තාකරණයන් හරහා මුස්ලිම් ජාතික, මුස්ලිම් පල්ලිය අසල, මුස්ලිම් ගම්මාන, ඉස්ලාමීය ආගමික සිද්ධස්ථාන, ඉස්ලාම් අගමික දහම් පාසල ආදී යෙදුම් ද අපට අසන්නට ලැබුණේ මේ කාලයේ යි. එම වකවානුවේදීම, මුස්ලිම් ගම්මානවල කරන ලද හමුදා සෝදිසි මෙහෙයුම් සජීවී ව විකාශනය කිරීම හරහා ඒවා නාට්‍යකරණයට හා උද්වේගකරණයට පත් කරන ලද අතර එමඟින් සමස්ත මුස්ලිම් ප්‍රජාවම රටේ ජාතික ආරක්ෂාවට බරපතල තර්ජනයක් ලෙස නිරූපණය කෙරුණා.
ප්‍රමුඛ පුවත පිළිබඳ විමර්ශනය
මෙම කාලය තුළ තරුණ නිර්භීත නිදහස් මාධ්‍යවේදීන් දෙදෙනෙකු වන නිරාෂා පියවදනි සහ ෂබීර් මොහොමඩ් මෙම ප්‍රධාන ප්‍රවෘත්තිය වටා ගවේෂණාත්මක වාර්තාකරණයක් ආරම්භ කළා. මට ඔවුන්ගේ සොයාගැනීම් කිහිපයක් ඔබ හා බෙදා ගැනීමට ඉඩ දෙන්න.
එම පස්දෙනාගෙන් එක් සැකකරුවෙකුට බැංකු ගිණුමක්වත් නොමැති බව මෙහිදී අනාවරණය වුණා. තවත් අයෙක් සිය මාසික වැටුපෙන් නිවාස ණයක් ගෙවමින් සිටි අතර ඔහු නිම කරගෙන සිටියේ සිය නිවසින් අඩක්. තවත් අයෙකු වූයේ අනතුරකට ලක් වීම නිසාවෙන් වැසිකිළි කොමෝඩයක් භාවිත කිරීමට වූ නමුත් එවැනි පහසුකමකට ප්‍රමාණවත් මුදල් නොමැති ව ඒ වෙනුවට කැඩුණු පුටුවක් භාවිත කළ පාසල් ගුරුවරයෙක්.
සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ මැයි 24 වැනිදායි. ප්‍රවෘත්තිය පළ වූයේ මැයි 25 වැනිදායි. සැකකරුවන් මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණේ මැයි 27 වැනිදායි. ඒ අනුව මෙම ප්‍රවෘත්තිය පළවී ඇත්තේ අධිකරණ තීන්දුවක් ලබාදී නොමැති මෙන්ම මූලික පොලිස් විමර්ශනයක් හෝ අවසන් ව නොමැති විටෙකදී පැහැදිලි යි.
ප්‍රධාන ප්‍රවෘත්තිය ආශ්‍රිත ගවේෂණය මෙහෙය වූ නිරාෂා පියවදනී පොලිස් ස්ථානාධිපතිවරයා අමතා තිබුණා. ඔහු ප්‍රකාශ කර තිබුණේ තමන් එවැනි තොරතුරක් ලබා නොදුන් බවත්, එම පුවත්පත පොලිසිය උපුටා දක්වමින් වාර්තා කරන ලද්දේ කෙසේදැයි තමන් නොදන්නා බවත්. කෙසේ වෙතත්, ප්‍රවෘත්තිය ලියන ලද ප්‍රාදේශීය වාර්තාකරු කියා සිටියේ ඔහු මෙම ප්‍රවෘත්තිය ලියන ලද්දේ පොලිසිය විසින් ඔහුට ලබා දුන් තොරතුරු මත බවයි. ප්‍රධාන සංස්කාරකවරයාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු ප්‍රකාශ කළේ තමන්ට මෙම ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් කරුණු පරික්ෂාවක් කිරීමට නොහැකි වූ බවයි. නිරවද්‍යතාවය තහවුරු කර නොගෙන තමන් මෙම ප්‍රධාන පුවත පළ කළේ ඇයිද යන්න පිළිබඳ ඔහු එම තරුණ ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ට කියන ලද සෙසු විස්තර ඉදිරිපත් කිරීමට මා බලාපොරොත්තු වන්නේ නැහැ.
සැකකරුවන්ගේ පින්තූර
පුවත්පතෙහි පළව තිබූ සැකකරුවන්ගේ පින්තූරය මම බැලුවා. සැකකරුවන්ගේ ඡායාරූප පහම එකම වර්ණයක පසුබිම් සහිත ඒවා බව පෙනුණා. පසුව අනාවරණය වී තිබුණේ එම ඡායාරූප පොලිසිය විසින් පොලිස් ස්ථානයේදී ලබාගෙන ඇති බවයි.
විමර්ශන ආරම්භ කිරීමටත් පෙර සැකකරුවන්ගේ ඡායාරූප ප්‍රාදේශීය වාර්තාකරුවෙකුට ලබාදීමට පොලිස් ස්ථානාධිපතිවරයාට අවසර ලැබුණේ කුමන නීතිය යටතේදැයි පොලිසියෙන් විමසීමට එම සැකකරුවන්ගේ පවුලේ කිසිවෙකුට ධෛර්යයක් නොපැවතීම කනගාටුදායකයි.
මට මගේ දෙවන කතාව ඔබ හා බෙදා ගැනීමට අවසරයි
මෙය සිදු වුණේ සිකුරාදා දිනක හවස නාරාහේන්පිට දාබරේ මාවතේ මා නිතිපතා යාඥා කිරීමට යන ජාවත්ත මස්ජිදයට යාමට ත්‍රිරෝද රථයට ගොඩ වූ අවස්ථාවේදී යි. අතරමගදී මම දුටුවා සහෝදර මුස්ලිම් මිනිසුන් හා ළමයින් පිරිසක් පාරේ ඇවිදගෙන යනවා. ඒ බොහෝවිට මස්ජිදයට විය යුතු යි. මට අවශ්‍ය වුණා ඔවුන් මම යමින් සිටි මස්ජිදයට ම පයින් යන්නේ නම්, රියදුරාගෙන් ඔවුන්ව රැගෙන යන ලෙසට ඉල්ලා සිටීමට. එසේ කරන්නට ප්‍රථම ත්‍රිරෝද රථයේ වේගය අඩු කළ රියදුරා ත්‍රිරෝද රථයේ වේගය අඩුකර ඔවුන්ට තදින් බැන වැදී මට කිව්වේ “මේ මිනිස්සු නිසා තමයි අපේ රට මේ නරක තත්ත්වයට පත්වෙලා තියෙන්නේ” යනුවෙනු යි. මා ද මුස්ලිම් අයෙකු බව ඔහු දැන නොසිටි බව මම තේරුම් ගත්තා.
ඔහු දිගින් දිගටම කියා සිටියේ “අපි කිසිම වෙලාවක තම්බිලා (මුස්ලිම්වරුන්) විශ්වාස කරන්න හොඳ නෑ”, “අපි මේ මිනිස්සු මරන්න ඕනේ” යනුවෙනු යි. “අපේ මිනිස්සු මුන්ට මේ තරම් නිදහසක් දීලා තියෙන එකේ වැරැද්ද” යනුවෙන් ඔහු කියද්දී මා ප්‍රතිචාර දැක්වූයේ නැහැ. අපි මලලසේකර මාවත (මා ගමන් කරමින් සිටි මස්ජිදයට ආසන්න ප්‍රදේශයක්) පසු කරන අතරතුර තවත් මුස්ලිම්වරුන් කිහිප දෙනෙකු ඔවුන්ගේ මෝටර් රථවලින් මස්ජිදයට යමින් සිටිද්දී අපට හමුවුණා. රියදුරු දිගින් දිගටම තම කෝපය ප්‍රකාශ කළා. “බලන්න, මුන් යන විදිහ; තව ටික දවසකින් උන් අනිවාර්යයෙන් ම අපේ රට අල්ලගන්නවා, ඒක තමයි උන්ගේ මස්ජිදෙන් උගන්වන්නේ”.
ටික වේලාවකට පසු, අපට කුඩා දරුවන් සමඟ ඇවිද යන තවත් මුස්ලිම්වරුන් කිහිප දෙනෙකු පෙනුණා.
“මේ ISIS උන්”
මට දැඩි අපහසුතාවයක් දැනුණා. ඒ ඔහු මට කියමින් සිටි දේ නිසා නොවේ, මා ද මුස්ලිම් ජාතිකයෙකු බව ඔහුට වැටහුණහොත් කුමක් සිදුවේද යන බිය නිසයි. මම මස්ජිද් ප්‍රදේශයට ළඟා වීමට පෙර බැස යා යුතු බවට තීරණය කර පසුව එසේ කළා.
මම යාච්ඤා කර මස්ජිදයෙන් පිටතට පැමිණියා. සුපුරුදු සිකුරාදා සෙනග එහි සිටියා. ඒ අතරේ කවුරුන් හෝ “සර්” කියා මගේ අතින් අල්ලාගත් බව මට දැනුණා. ඒ අර රියදුරු මයි.
ඔහු කීවේ මොනවාදැයි ඔබට අනුමාන කරන්නට පුළුවන්ද?
“ඔබතුමා (සර්) ත්‍රීවීල් එකෙන් බහිනකොට මට දැනුණා මොකක් හරි අවුලක් කියලා; මගේ හිත ටිකක් කලබල වුණා; ඔබතුමා (සර්) මුස්ලිම් කෙනෙක් වෙන්න පුළුවන් බව මට දැනුණා. මම ඔබතුමා (සර්) පස්සෙන් එන්න පටන් ගත්තා. මගේ අනුමානය හරි – ඔබතුමා මස්ජිදයට ඇවිදගෙන යන බව මට පෙනුණා. මගේ හැසිරීම ගැන මට ලොකු කලකිරීමක් දැනුණා. වුණ දේට මට සමාවෙන්න කියන්න ඕනෙ.”
මම ඔහුගේ මුහුණ දෙස බැලුවා. ඔහු නැවත කීවේ “සමාවෙන්න සර්” කියායි.
දැන් අපි හැමෝම වෙනුවෙන් ප්‍රශ්න පහක් මට තියෙනවා.

  1. මාධ්‍යවේදීන් සහ ත්‍රිරෝද රථ රියදුරු ක්‍රියා කළ ආකාරය අනුව මෙය පුද්ගලයන් කිහිප දෙනෙකුගේ ප්‍රශ්නයක් ලෙස සැලකිය හැකිද?
  2. සිංහල සංස්කාරක, ප්‍රාදේශීය වාර්තාකරු සහ පොලිස් ස්ථානාධිපතිවරයාගේ හැසිරීම ඔවුන් නියෝජනය කරන මහා ප්‍රජාවේ හැසිරීම වශයෙන් සාමාන්‍යකරණය කළ හැකිද?
  3. මිනිසුන් එකිනෙකාට දක්වන ප්‍රතිචාර, යම් ආකාරයකින්, ඔවුන්ගේ ආගම නිසා යැයි උපකල්පනය කිරීම සාධාරණද?
  4. වෛරී ප්‍රකාශ ප්‍රවර්ධනය කරන සියලුම මුස්ලිම් සහ සිංහල ජනතාව ජාතිවාදීන් යැයි උපකල්පනය කිරීම සාධාරණද?
  5. එසේ නම්, මේ සියලු ගැටලුවලට මූලික හේතුව කුමක්ද?

මගේ මතය අනුව නම් ප්‍රශ්න කිරීමට ලක් විය යුත්තේ ක්‍රමයයි.
අදෘශ්‍යමාන දේශපාලන ව්‍යාපෘතියක ගොදුරු බවට මුස්ලිම් ජනතාව සහ සිංහල සමාජය පත්වී තිබෙනවා. එය සිය පැවැත්ම වෙනුවෙන් වෙනත් ප්‍රජාවක් කෙරෙහි වෙනස් කොට සැලකීම, වෛරය, සැකය, වැරදි වැටහීම සහ නොඉවසීම ප්‍රබල ලෙස ඉල්ලා සිටින ව්‍යාපෘතියක්. මේ දේශපාලන ව්‍යාපෘතිය තුළ මාධ්‍යයට එතරම් නිදහසක් නැහැ. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු නව ආකාරයක මුස්ලිම් විරෝධී ආඛ්‍යානයක් අවශ්‍ය වූයේ ද එම දේශපාලන ව්‍යාපෘතියටම යි.
මුස්ලිම් විරෝධී ආඛ්‍යාන
“මුස්ලිම්වරුන් ආර්ථිකය පාලනය කිරීමට උත්සාහ කරන අතර මුස්ලිම් ජනගහන වර්ධනය සිංහලයන්ට තර්ජනයක්” බවට වන ආඛ්‍යානයක් බොහෝ මාධ්‍ය විසින් ප්‍රවර්ධනය කෙරුණා. මුස්ලිම් ආපනශාලා සිංහල පාරිභෝගිකයින්ගේ ආහාර විෂ කළ බවට, විශේෂයෙන් ආහාර වලට වඳ පෙති මිශ්‍ර කළ බවට චෝදනා එල්ල වුණා. මුස්ලිම්වරුන්ට අයත් සාප්පු සංකීර්ණ සිංහල කාන්තාවන්ගේ සරු භාවයට අහිතකරව බලපාන ද්‍රව්‍ය සහිත ඇඳුම් අලෙවි කරන බව පැවසුණා.
ලංකාවේ මුස්ලිම් ජනතාවට ඕනෑවට වඩා නිදහස ලැබී ඇතැයි කියැවුණා. ඉස්ලාමය කාන්තාවන්ට පීඩාකාරී බවත්, එය අන්තවාදය සහ ප්‍රචණ්ඩත්වය ප්‍රවර්ධනය කරන අතර ඉස්ලාමය මුස්ලිම් නොවන අයට එරෙහිව වෛරය දේශනා කරන බවත් ආදිය තහවුරු කිරීමට රූපවාහිනී වැඩසටහන් කිහිපයක් විකාශය වුණා. මුස්ලිම්වරු සෑම විටම සාපරාධී ප්‍රචණ්ඩත්වයට සහ ත්‍රස්තවාදයට සම්බන්ධ කෙරෙනවා. එයම වෙනත් ඕනෑම ප්‍රජාවක සිදුවුණා නම් සාමාන්‍යකරණය වනවා පමණක් නොව එය සාමාන්‍ය සිදුවීමක් ලෙස ද දකිනු ඇති.
ප්‍රතිඵලය කුමක්ද?
මුස්ලිම් විරෝධී වාගාලාප, ව්‍යාජ පුවත් හා මුස්ලිම්වරුන්ට එරෙහි වෛරී ප්‍රකාශ සාමාන්‍යකරණය වී තිබෙනවා. තම හඬ ඇසෙන්නේ නැතැයි, මාධ්‍ය තුළ නියෝජනය වන්නේ නැතැයි හෝ ප්‍රමාණවත් තරමකට අන්තර්ගත වන්නේ නැතැයි සිතන්නට මුස්ලිම්වරු තල්ලු වී තිබෙනවා. අන්ත දෙක තුළම දහස් ගණන් තරුණ සිත් තුළ අවිශ්වාසය, අනවබෝධය වර්ධනය වී ඇති අතර ඔවුන් තුළ විශ්වාසය නැති වී තිබෙනවා. මුස්ලිම් තරුණයින් විශාල සංඛ්‍යාවක් රිදුම් හා විනාශයන් පිළිබඳ මතකය දරාගෙන සිටිනවා. වාර්ගික මමත්වය සමාජ ජීවිතයේ සෑම අංශයකම ප්‍රධාන සාධකයක් බවට පත්ව තිබෙනවා. මධ්‍යස්ථ හඬ යටපත් ව තිබෙනවා. ඔබ මුස්ලිම්වරුන්ට එරෙහිව කෝපි කඩයක් ආරම්භ කළත් ඉන් ඉහළ ආදායමක් ලැබෙනු ඇති – මුස්ලිම් විරෝධී හැඟීම තරුණ සිත් තුළ ගැඹුරින් මුල් බැස තිබෙනවා. නමුත් මට අවශ්‍ය වන්නේ මේ කිසිවක් ඓන්ද්‍රීයව හෝ පුද්ගල කැමැත්ත මත සිදු නොවන බව පෙන්වා දීමට යි.
අප තේරුම් ගත යුතුව ඇත්තේ මේ සිදුවන සියල්ල අන්තර්ගත ක්‍රමය යි.
මුස්ලිම් ප්‍රජාවේ ප්‍රමාණවත් නොවීම
ඒත් සමගම, අන්තවාදී මතවාදයන්ට ප්‍රතිරෝධය දැක්වීමේ හැකියාවෙන් යුත් විචාර බුද්ධීන් බිහි කිරීමට සමස්ත මුස්ලිම් ප්‍රජාව අසමත් වී ඇති බව ද සටහන් කිරීමට මම කැමතියි. ඉස්ලාමය සාමය සහ සහජීවනය උගන්වන ආකාරය පිළිබඳ ගැටලුවක් නැති නමුත් ඉස්ලාම් ඉගැන්වීම විවිධ තලවලදී ඉගැන්වෙන ආකාරය පිළිබඳ බරපතල ගැටළුවක් තිබෙනවා. තමන් යටත්ව ජීවත් වන බුබුළට හා දේශපාලන ව්‍යාපාරයට ඔබ්බෙන් සිතීමටත්, ක්‍රියා කිරීමටත් තරුණ බුද්ධීන් බලගැන්වීමට මුස්ලිම් ආගමික සහ සිවිල් ආයතන සමත් වී නැහැ.
මුස්ලිම්වරුන්ට වෙනම මාධ්‍ය
SLMMF විසින් මුස්ලිම් ජනතාව වෙනුවෙන් වන වෙනම මාධ්‍ය ආයතනයක් සඳහා බලපෑම් කරමින් සිටින බව මම නිරීක්ෂණය කළා. නමුත් එවැනි මාධ්‍ය ආයතනයක් සඳහා වන ලිඛිත උපායමාර්ගික සැලැස්මක් මා කිසිදා දැක නැහැ. ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ හා ඒ ආශ්‍රිත පද්ධතියේ වර්ධන ස්වභාවය ගැඹුරින් අධ්‍යයනය කළ අයෙකු වශයෙන්, මගේ පෞද්ගලික අදහස නම් එවැනි ආගමික අනන්‍යතාවයක් ඇති මාධ්‍යයක් හරහා පවතින සියලු ගැටලු විසඳිය නොහැකි බව යි. නියත වශයෙන්ම මාධ්‍ය යනු සුළු ජාතීන්ගේ හඬ විස්තාරණය කරන, ධනාත්මක ආඛ්‍යානයක් නිර්මාණය කරන, සියලුම ආකාරයේ අන්තවාදී ප්‍රකාශනවලට ප්‍රතිරෝධී වන හා සුළු ජාතීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ලැදියාව ආරක්ෂා කරන ප්‍රබල මෙවලමක් වන අතර, වෙනම මාධ්‍යයක් සඳහා SLMMF විසින් කරනු ලබන බලපෑම මම සුබවාදී ව දකින්නේ නැහැ. සරලව ම, ඒ වෙනම ජනවාර්ගික-ආගමික අනන්‍යතාවයක් ඇති වෙනම මාධ්‍යයක් මඟින් විරුද්ධවාදී ජනතාවක් එකමුතු කළ හැකි යැයි මා නොසිතන නිසයි.
කෙසේ වෙතත්, SLMMF තවමත් ඔවුන්ගේ ඉල්ලීමෙහි නොසැලී සිටින්නේ නම්, සිංහල මාධ්‍යවල මුස්ලිම්වරුන් පිළිබඳ නිරූපණය වීමේ දුර්වලතා පිළිබඳ ගැටළුව සම්පූර්ණයෙන්ම සිංහල මාධ්‍ය සහ බහුතර සිංහල ජනතාව පිළිබඳ ගැටළුවක් නොවන බව වටහා ගැනීම වැදගත්. මා විසින් විස්තර කරන ලද දේශපාලන ව්‍යාපෘතියත්, මුස්ලිම් තරුණයන් රැඩිකල්කරණය කිරීමේ න්‍යාය පත්‍රය තල්ලු කරගෙන යන අදෘශ්‍යමාන ගෝලීය වැඩසටහනකුත්, තවත් සාධක කිහිපයකුත් ඊට ආංගික ව හේතු වනවා. අද කතාවේදී ඒ ගැන අවධානය යොමු කරන්න මම බලාපොරොත්තු වන්නේ නැහැ.
ධ්‍රැවීකරණය
අප දැනටමත් ජීවත් වන්නේ ධ්‍රැවීකරණය වූ සමාජයක බව තේරුම් ගැනීමට අප අමතක නොකළ යුතුයි. ශ්‍රී ලංකාවේ බොහෝ පුද්ගලයන් ඇති දැඩි වී ඇත්තේ බුබුලක් තුළ යි. අපි එකිනෙකා හඳුනනවා, නමුත් අපි එකිනෙකාව අවබෝධ කරගන්නේ නැහැ. දුර බැහැර ප්‍රදේශයක සෑම මුස්ලිම් ළමයෙකුම මෙන්ම නගරවලද බොහෝ මුස්ලිම් ළමුන් පවා ප්‍රධාන ප්‍රවාහයෙන් විසන්ධි වී හීනමානයෙන් හා ගොදුරු මානසිකත්වයෙන් යුතුව හැදී වැඩෙනවා.
අපේ අධ්‍යාපන ක්‍රමය විසින් හොඳ සිංහලයන්, දමිළයන්, මුස්ලිම්වරුන් හා කිතුණුවන් මිසක “හොඳ ශ්‍රී ලාංකිකයන්” බිහිකරන්නේ නැහැ. එකම විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන, එකම නේවාසිකාගාරවල වසර හතරක් රැඳී සිටින උපාධිධාරීන් එකිනෙකා තේරුම් ගන්නේ නැහැ – බහුතරයක් ඔවුන්ගේ බුබුළ තුළට වී සැප පහසුව සිටිනවා.
මම සිංහල හා හින්දු සිසුන් 45 දෙනෙකුගෙන් ප්‍රශ්න තුනක් ඇසුවා. මුහම්මද් නබිතුමාණන්ගේ (ඔහුට ශාන්තිය හා සමාදානය අත්වේවා) පියාගේ නම කුමක්ද? ඔවුන් දන්නේ නැහැ කිව්වා. නමුත් ඔවුන් සියල්ලන්ම තමන්ගෙ මුස්ලිම් සගයන්ගෙන් වටලප්පන් කා ඇති බව කිව්වා.
ඔබට ශුද්ධ වූ කුර්ආනයේ එක් ඉගැන්වීමක් උපුටා දක්වන්න පුළුවන්දැයි මම ඇසුවා. අපි දන්නේ නැතැයි සියලු දෙනාම කිව්වා. නමුත් ඔවුන් අතරින් බහුතරයක් කිව්වේ ඔවුන් රාමසාන් කැඳ බී ඇති බවයි. හජ් උත්සවය ගැන මට එක් දෙයක් කියන්න පුළුවන්දැයි මම ඇහුවා. ඔවුන් අතරින් බොහෝ දෙනෙක් පැවසුවේ එය රාමසාන් මාසයෙන් පසුව සමරනු ලබන බවයි. ඔවුන්ට මුස්ලිම් මිතුරන් කිහිප දෙනෙකු සිටින බව ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් පැවසුවා. ඔබ මුස්ලිම් සිසුන්ගෙන් ද එම ප්‍රශ්න ඇසුවහොත් ඔබට එම ප්‍රතිචාරය ලැබෙනු ඇතැයි මට විශ්වාසයි.
මුස්ලිම් විරෝධී මතවාදයන්ට අනුබල දෙන අපේ සිංහල මාධ්‍යවේදීන් සහ තරුණයන්ගෙන් වැඩි දෙනෙක් ඒ පීඩාකාරී හා ප්‍රවිචාරක (discriminatory) දේශපාලන ව්‍යාපෘතියේ ම හා සාමය සහ සහජීවනය පවතිද්දී පැවතීමට නොහැකි ක්‍රමයක ගොදුරු බවට පත්ව සිටින බව අප විසින් අවබෝධ කරගත යුතුව තිබෙනවා. ජාතිවාදය සහ වෛරී ප්‍රකාශ ඔවුන්ගේම තේරීමක් නොවේ. අපි මේ ක්‍රමයට විරුද්ධ විය යුතුයි.
මාධ්‍ය දෘෂ්ටිපථය
ශ්‍රී ලංකාවේ වර්ධනය වන ප්‍රවෘත්ති මාධ්‍ය සහ තොරතුරු ආශ්‍රිත පද්ධතිය අවබෝධ කර ගැනීම SLMMF එකට අතිශයින් වැදගත්.
Verité Research විසින් Reporters Without Boarders සමඟ එක්ව කරන ලද අධ්‍යයනයකින් තහවුරු වූයේ ශ්‍රී ලංකාවේ මාධ්‍ය හිමිකාරිත්වය පවතින්නේ ඉතා සුළු පිරිසක් අත බවයි. මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවල වෙළඳපොල කොටසින් 75%කට වඩා පාලනය වනු ලබන්නේ පුද්ගලයන් පස් දෙනෙකුට වඩා අඩු පිරිසකගෙනි. එම අධ්‍යයනය ම යම් දුරකට ඉස්මතු කරන්නේ ශ්‍රී ලංකාවේ මාධ්‍යයන්ට අතිප්‍රමුඛව හිමිකම් කියනු ලබන්නේ බලයේ සහ ව්‍යාපාරවල සිටින පුද්ගලයින් බවයි. මෙම යථාර්ථය ශ්‍රී ලංකාවට පමණක් ආවේනික නැහැ.
බලයේ සිටින ආණ්ඩුවල – මා අදහස් කරන්නේ සෑම ආණ්ඩුවක ම, දැවැන්ත බලපෑමකට ලක්වන විශාල රාජ්‍ය විකාශන ජාලයක් අප සතුව තිබෙනවා.
මම තවත් අධ්‍යයනයන් දෙකකට අවදානය යොමු කිරීමට බලාපොරොත්තු වනවා – එකක්, නාලක ගුණවර්ධන විසින් ලියන ලද ‘මහජන විශ්වාසය යළි ගොඩනැගීම’යි. දෙවැන්න ජාත්‍යන්තර පර්යේෂණ සහ හුවමාරු මණ්ඩලය (IREX) විසින් ප්‍රකාශයට පත් කරන ලද මාධ්‍ය තිරසාර දර්ශකය (MSI) යි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය ස්වයංපෝෂිත ස්වාධීන ව්‍යවසායයක් ලෙස වර්ධනය වීමට අපහසු බව මේ අධ්‍යයන දෙකෙන්ම නිරීක්ෂණය කෙරුණා. SLMMF සතුව හෝ වෙනම මාධ්‍ය වෙනුවෙන් බලපෑම් කරන වෙනත් පිරිසක් සතුව එවැනි සංකීර්ණ වෙළඳපොලක් සම්පූර්ණ කිරීමට හැකි ප්‍රායෝගික ව්‍යාපාරික සැලැස්මක් තිබේදැයි මට හරියටම විශ්වාස නැහැ.
නිදහස් මාධ්‍යයන්ට බොහෝ දුරට පැවැත්මක් නැත
අපි “නිදහස් මාධ්‍ය” ගැන කතා කරන්නේ “මාධ්‍ය” යන යෙදුම ගැඹුරින් ම දියාරු ව ගොස් ඇති ඇති සන්දර්භයක යි.
“පශ්චාත්-සත්‍ය යුගයේ නිදහස් මාධ්‍ය මිත්‍යාව සහ ව්‍යාජ පුවත්” නමින් ප්‍රකාශනයක් ලියූ ඔස්ට්‍රේලියාවේ වෙසෙන මාධ්‍ය විශාරද ආචාර්ය කාලිංග සෙනෙවිරත්න මහතා උපුටා දැක්වීමට මම කැමතියි. නිදහස් මාධ්‍ය යනු මිථ්‍යාවක් බවත්, රජයේ අපයෝජනයෙන් පුරවැසියන් ආරක්ෂා කිරීමට මාධ්‍යයට තවදුරටත් හැකියාවක් නොමැති බවත් ඔහු තර්ක කරනවා. මෙය දීර්ඝ විවාදයක් අවශ්‍ය විෂයයක් වුණත් අවම වශයෙන් මැතිවරණ, වාර්ගික ආතතීන් ආදී අතිශය වැදගත් කාලවලදී මාධ්‍ය ප්‍රතිචාර දක්වන ආකාරය අපි දැක තිබෙනවා.
ඒ වගේ ම අපේ මාධ්‍ය තුළ නිර්මාණය කෙරෙන සත්‍යය ගැටලු සහගත යථාර්ථයක් වී තිබෙනවා. විනිසුරුවන් හා ජූරි සභාවන් බවට පත් වෙමින් මාධ්‍ය විසින් වෛද්‍ය ෂාෆි පිළිබඳ ප්‍රබන්ධ ගෙතූ ආකාරය අපි දන්නවා. ආණ්ඩුවේ ඇතැම් මන්ත්‍රීවරුන් උපුටා දක්වමින් සහරාන්ට රජය වැටුපක් ලබා දුන් බව ඇතැම් අවස්ථාවක මාධ්‍ය වාර්තා කළා. මේ ගැන පාර්ලිමේන්තුවේ විශාල වශයෙන් කතාබහ කෙරුණා. මේ පිළිබඳව සමාජ මාධ්‍ය තුළ කතාබහක් ඇතිවී තිබෙනවා. ඒ මාධ්‍ය ආයතනය ම ප්‍රකාශ කළේ මෙම චෝදනාව හුදෙක් සත්‍ය නොවන බවයි. මාධ්‍ය ප්‍රචාරණය සහ දුෂ්ප්‍රචාරණය (disinformation) “නිදහස් මාධ්‍ය” කෙරෙහි දරුණු තර්ජනයක් වී තිබෙනවා.
SLMMF සතුව හෝ වෙනම මාධ්‍ය වෙනුවෙන් බලපෑම් කරන වෙනත් පිරිසක් සතුව එවැනි වෙළඳපොලක් තුළ “නිදහස්”, “ස්වාධීන” සහ “සාධාරණ” වීමට තරම් උපායමාර්ගික සැලැස්මක් සහ මූල්‍ය ධාරිතාවක් තිබේදැයි පැහැදිලි නැහැ.
ඩිජිටල් මාධ්‍ය නොවන්නේ ඇයි?
ඩිජිටල් මාධ්‍ය තාක්‍ෂණය, මාධ්‍ය අභිසාරීතාව (media convergence), සමාජ මාධ්‍ය හා ස්මාර්ට් ජංගම දුරකථනවල අධික භාවිතය විසින් සම්ප්‍රදායිකව මාධ්‍ය ක්‍රියාත්මක වන ආකාරය වෙනස් කර ඇති බව ද SLMMF සැලකිල්ලට ගත යුතුයි. වර්තමානය වන විට ස්මාර්ට් ජංගම දුරකතනයක් ඇති සෑම පුරවැසියෙක්ම මාධ්‍ය ආයතනයක් බවට පත්ව තිබෙනවා. මාධ්‍ය ආචාර ධර්ම විශාල වශයෙන් අභියෝගයට ලක්ව තිබෙනවා. කෙසේ වෙතත්, SLMMF බලපෑම් කරනු ලබන්නේ ඩිජිටල් ක්ෂේත්‍රය වෙත නොවේ.
SLBC හි ඉස්ලාමීය විකාශය පිළිබඳ ගැටළුව
මේ දිනවල සාකච්ඡාවට බඳුන් වන ප්‍රධාන කරුණක් වන්නේ සංස්කෘතික වශයෙන් සංවේදී මුස්ලිම්වරුන්ගේ මනස හැඩගස්වාලීමට ඇති විභවය, හැකියාව හා කැපවීම අහිමි වී ඇති රාජ්‍ය විකාශනාගාරය, හරියටම කිවහොත් SLBCහි මුස්ලිම් සේවය පිළිබඳව යි.
මුස්ලිම් සේවය බොහෝ දුරට තවත් ආගමික පාසලක් බවට පත්ව තිබෙනවා.
ශ්‍රී ලංකාවේ කිසිඳු මුස්ලිම් ජාතිකයෙකුට රාජ්‍ය විකාශනාගාරය විසින් දිනකට පස් වතාවක් අසාන් වාදනය කිරීම අවශ්‍ය වූයේ නැහැ. SLBCහි අසාන් වාදනය කිරීම තනිකරම දේශපාලන ව්‍යාපෘතියක්. දහස් ගණන් මුස්ලිම්වරු ඒ ගැන සතුටු වුණා. රාජ්‍ය විකාශනාගාරයේ අසාන් වාදනය කළ පළමු රට ශ්‍රී ලංකාව බවට ඔවුන් වර්ණනා කළා.
කෙසේ වෙතත්, අසාන් වේලාව පැමිණි විට අන්‍ය ආගමික වැඩසටහන් කපා හැරෙන අවස්ථා තිබෙන බව මට අවබෝධ වුණා. මේ රටේ සෑම පුරවැසියෙකුම වෙනුවෙන් වන ප්‍රවෘත්ති අසාන් කාලය වේලාවේදී කපා හැරෙනවා. චිත්‍රපට ගීතවලට පෙර සහ පසු යාඥාවට කැඳවීමක් විකාශනය වනවා, මුදල් වෙනුවෙන් ම. දැන් එය මුස්ලිම්වරුන්ගේ අයිතියක් වී තිබෙනවා. කෙසේ වෙතත්, වෙනත් ආගමකට අගෞරවයක් කරමින් සිදු කරන්නේ නම්, SLBCහි අසාන් විකාශනය කිරීම හා එමඟින් භාවාතිශය අභිමානයක් ඇති කිරීම සාධාරණ නැහැ. බහු-වාර්ගික හා බහු-සංස්කෘතික සමාජයක, දේශපාලන බලය නොතකා සෑම ආගමකටම, සංස්කෘතියකටම සමානාත්මතාවෙන් සැලකිය යුතුයි.
මම මීට මාස කිහිපයකට පෙර මුස්ලිම් සේවය වැඩසටහන විශ්ලේෂණය කළා- මුස්ලිම් සේවයේ උදෑසන විකාශය වන වැඩසටහන් වලින් 95%ක්ම අනුග්‍රහයක් සහිතව විකාශය වන බව ඔබ දන්නවාදැයි මට හරියටම විශ්වාස නැහැ. වැඩසටහන්වලින් 80%ක්ම ආගමික කතාවලින් පිරී තිබෙන අතර ප්‍රගතිශීලී මනස සවිබල ගැන්විය හැකි නිෂ්පාදන ගුණාත්මක භාවයෙන් දුර්වල යි. උසස් තත්ත්වයේ ඉස්ලාමීය සංගීතය, නාට්‍ය, සාහිත්‍යය, ඉතිහාසය, සංස්කෘතිය සහ විවිධත්වය මුදලට යටපත් වී තිබෙනවා. පසුගිය වසරේ රාමසාන් සමයේදී මිනිත්තු 47ක් වෙළඳ දැන්වීම් විකාශය වන බව මම දුටුවා – එය ගුවන් කාලය ගසාකෑමක් නොවේද? උදෑසන වැඩසටහනේ පැය 2 හමාරක ගුවන් කාලය තුළ මිනිත්තු 30ක් වේලාව දැන්වීමේ වෙළඳ දැන්වීම් විකාශය කරනවා.
රාමසාන් හා අනෙකුත් කාලවලදී රුපියල් මිලියන ගණනින් උපයන මුස්ලිම් සේවයේ, එක් නාට්‍යකරුවෙකුට, එක් ලේඛකයෙකුට නාට්‍යයක් වෙනුවෙන් රුපියල් 1000 ක් ගෙවීමට කළමනාකාරීත්වය මෙතරම් මැලි වීම කණගාටුවට කරුණක්. කිසිඳු මුදලක් උපයන්නේ නැති අංශයන් ඔවුන්ගේ නාට්‍ය සඳහා මුදල් ලැබීමට තරම් වාසනාවන්ත වී තිබෙනවා.
තිරසාරත්වය සඳහා SLBC මුදල් ඉපයිය යුතුය යන්නට මම එකඟයි, නමුත් වැඩසටහනේ ගුණාත්මක භාවය ඉහළ නංවා වෙළඳ දැන්වීම් ගාස්තු වැඩි කර ඒ අවශ්‍ය මුදල් ලබා නොගන්නේ ඇයි?
මුස්‌ලිම් සේවය ගැන සොයා බැලීමට කාරක සභා දෙකක්‌ පත්කර තිබෙනවා. එම කාරක සභාවට පත් කරන ලද කිසිවකු විවේචනය කිරීමට මට අවශ්‍ය නැති නමුත් මෙම කාරක සභාවන් මුස්ලිම් ප්‍රජාව වෙනුවෙන් මීට වඩා හොඳ දෙයක් කිරීමට සමත් බව මට හොඳින් ම විශ්වාසයි.
නිම කිරීම
මම මගේ කතාව නිම කරන්නම්.
විකාශන මාධ්‍යවල ඉහළ ජනප්‍රියත්වය සහ බලපෑම සැලකිල්ලට ගෙන, වාර්ගික අසමගිය ඇති කිරීමට තවදුරටත් මාධ්‍ය භාවිත නොවීමට වගබලා ගැනීම වැදගත්.
SLMMF විසින් එහි වාර්ගික-ආගමික මාධ්‍ය ඉල්ලීමේ උපායමාර්ගික දිශානතිය නැවත සලකා බැලිය යුතු යි. හුදකලා වීම සහ විරසක වීම තුළ විසඳුමක් නැහැ. එකම මාධ්‍ය ආශ්‍රිත පද්ධතිය තුළ සිට වැඩ කිරීම, දියුණු වීම සහ වර්ධනය වීමත්, නිර්භය ව, නීත්‍යානුකූල ව, වෘත්තීය ව ජාතික සමගියට හානිකර අන්තවාදී අදහස් වලට ප්‍රතිරෝධය දක්වමින් සියලු වාර්ගික පසුබිම්වල සහෝදර මාධ්‍යවේදීන් සමඟ සමීපව කටයුතු කිරීමත් අතිශය වැදගත්. මුස්ලිම් ප්‍රජාව ශ්‍රී ලාංකේය විවිධත්වයේ වියමනෙහි කොටසක් වශයෙන් සලකමින් මුස්ලිම් ප්‍රජාවේ ස්වභාවය අවබෝධ කර ගැනීමට සෙසු මාධ්‍යවේදීන්ට උපකාරී වීම මුස්ලිම් මාධ්‍යවේදීන්ට වැදගත්. විවාදය ප්‍රති-රාමුගත කර, තම අවශ්‍යතාව ආරක්ෂා කර ගනිමින් ම “ශ්‍රී ලාංකේය අවශ්‍යතාව” වෙනුවෙන් කටයුතු කිරීමට මුස්ලිම් මාධ්‍යවේදීන්ට මේ හොඳ ම කාලයයි.
ඩිජිටල් යුගයේදී, SLMMF එකට ඩිජිටල් ලෙස සිතිය හැකියි – එය ලාභයි, ඵලදායී එමෙන් ම පහසු යි. කෙසේ වෙතත්, වැදගත් වන්නේ වෙනම මාධ්‍යයක් සතුකර ගැනීම නොවේ, ගෝලීය වශයෙන් පිළිගත් මාධ්‍ය ප්‍රමිතීන්ට ගරු කරමින්, සියලු ජනතාවගේ සහ ජාතියේ අවශ්‍යතා සපුරාලීමේ හැකියාව ඇති වෘත්තීය මුස්ලිම් මාධ්‍යවේදීන් බිහි කිරීමයි. මගේ මතය අනුව නම්, මෙය තවත් පැරණි වාර්ගික-ආගමික මාධ්‍යයක් සඳහා ආයෝජනය කිරීමට වඩා අත්‍යවශ්‍ය වන්නක්.
උත්සව, පිළිගැනීම්, රාමසාන් උත්සව, මස්ජිද් විවෘත කිරීම් යනාදිය විශාල බලපෑම් කරන කුඩා පියවර විය හැකියි. කෙසේ වෙතත්, අවශ්‍ය වන්නේ නිරන්තර සංස්කෘතික ඉගෙනීම, හුවමාරු කරගැනීම, බෙදාහදාගැනීම් හා නියැලීම වැනි තිරසාර බලපෑම් සහිත විශාල පියවර යි.
අවසන් වශයෙන්, මුස්ලිම් බුද්ධිමතුන්ගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාවගේ හදවත වන මුස්ලිම් සේවය ප්‍රතිසංස්කරණය කිරීමට කාලය එළඹ තිබෙනවා.

– ආචාර්ය එම්. සී. රස්මින්

Previous articleසපුගස්කන්ද තෙල් පිරිපහදුව තුන්වන වරටත් වසයි
Next articleස්වාභාවිකත්වය හා මුසු වූ වර්ණ රේඛා හෝ හැඩතලයේ චමත්කාරය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here