‘රාමනායක පටියේ’ පියා නික්ම ගොස්ය

72
ටත්, රටේ ජනතාවත් පෙළන ධනපති දේශපාලන ක්‍රමයට අභියෝග කළ මිනිසුන්ට තෝරා ගැනීම් රැසක් තිබුණේ නැත. ඔවුහු මේ සමාජ, ආර්ථික, දේශපාලන ක්‍රමය වෙනස් විය යුතු බව කල්පනා කළෝ ය. එය වෙනස් කළ යුතු යැයි කල්පනා කළා පමණක් නොව ඒ සඳහා සක්‍රියව දායක වූවෝ ය. ඒ දායක වීමේ දී ඔවුන් බොහෝ දෙනා තෝරා ගනු ලැබුවේ, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයයි. රෝහණ විජේවීර විසින් 1965 වර්ෂයේ දී ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ කිරීමෙන් අනතුරුව එයට සම්බන්ධ වූ පිරිස් අතර වඩාත් සුවිශේෂී චරිතයක් ලෙසින් පියසේන රාමනායක හඳුන්වා දිය හැකි ය.

1946 මාර්තු මස 18 වැනිදා උපන් පියසේන රාමනායක ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වන්නේ 1968 අගභාගයේ දී පමණය. පැවැති එජාප ආණ්ඩුව 1970දී පරාජයට පත් වී සමගි පෙරමුණු ආණ්ඩුව බලයට පැමිණියේ ය. එසේ වුව ද, ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව එජාප ආණ්ඩුව දියත් කළ දැවැන්ත මර්දනය දිගට ම ක්‍රියාත්මක විය. එම මර්දනය ඉතා දැඩිව එන විට ඊට එරෙහිව නැඟීසිටීමට ගත් තීන්දුවත් සමඟ 1977 අප්‍රේල් අරගලය ඇති විය. ඒ අරගලයේ දී මිද්දෙණිය පොලිස් කොට්ඨාසය භාරව එයට නායකත්වය දෙන ලද්දේ පියසේන රාමනායක විසිනි.

පවතින පිළිවෙළ, යථාර්ථය ලෙස හිස නමා පිළිගැනීමට අකමැති, එය වෙනස් කිරීම සඳහා කොන්දේසි විරහිතව අරගල කළ අභිමානවත් මිනිසකු වූ පියසේන රාමනායක සහෝදරයා පසුගිය දිනෙක දසක සතකුත් අඩක සිය දිවිසැරිය නිම කළේ ය. මේ සටහන, ඔහුට උපහාර පිණිස ය.

එම අරගලයේ දී මිද්දෙණිය පොලිස් කොට්ඨාසය භාරව කටයුතු කිරීම හේතුවෙන් ඔහුට සිරගත වන්නට සිදු විය. සිරගත වුව ද, පක්ෂය සමඟ එක්ව කටයුතු කළ ඔහු, නිදහස් වීමෙන් පසු යළිත් ජවිපෙ පූර්ණකාලීනයකු ලෙසින් වැඩ කළේ ය.
ජනතා විමුක්ති පෙරමුණ විවෘත දේශපාලන ක්‍රියාකාරිත්වයේ නිරතව සිටිය දී, ජේ.ආර්. ජයවර්ධන විසින් 1978දී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන ලදී. එම ව්‍යවස්ථාව හරහා සමානුපාතික ඡන්ද ක්‍රමයක් ද හඳුන්වා දෙන ලදි. එම සමානුපාතික ඡන්ද ක්‍රමය පදනම් කරගෙන පැවැති පළමු මැතිවරණය වූයේ 1981 දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණයයි. එම මැතිවරණයට ඉදිරිපත් වූ පක්ෂ අතර ජනතා විමුක්ති පෙරමුණ ද විය. එම මැතිවරණයේ දී හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඉදිරිපත් වූ පියසේන රාමනායක හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන සභාවට තේරී පත් විය.
පියසේන රාමනායක දිස්ත්‍රික් සංවර්ධන සභාව නියෝජනය කරමින් සිටින අතරවාරයේ හුංගම – දෙණිය පාර සකස් කිරීම සඳහා වූ කොන්ත්‍රාත්තුව  භාර ගත් කොන්ත්‍රාත්කරුවෙක් එය සකස් කොට අවසන් කළේ ය. මෙම පාරේ දිග  කිලෝමීටර් දහයකට ආසන්න වී තිබිණි. කොන්ත්‍රාත්කරුට පාරේ දිග හා පළල පිළිබඳව නිසි අවබෝධයක් ලබා දී ඇති අතර, එම පිළිවෙළට පාර සකස් කිරීම කොන්ත්‍රාත්කරුගේ වගකීම වී තිබිණි.
කෙසේ වෙතත්, පාර සකස් කිරීමෙන් පසු නියමිත පළල සහ දිග පිළිබඳව පියසේන රාමනායක සොයාබැලීමක් කොට ඇත. එහි දී පාරේ නියමිත පළලින් අඩියක් පමණ අඩු බව ඔහුට නිරීක්ෂණය විය. වඩා වැදගත් සිදුවීම වන්නේ ඔහු පාරේ මුල සිට අවසානය දක්වා ටේප් පටියක් ගෙන මැන බැලීමයි. පසුව ඔහුගේ මැදිහත් වීම මත කොන්ත්‍රාත්කරුට ඉතිරි අඩිය ද තාර දමා සකස් කරන්නට සිදු විය. ඉන් පසුව තාරපාර දෙස බැලීමේ දී මුල සිට අග දක්වාම වෙනම ම පටියක් ලෙසින් අදාළ තාරපාරේ අලුතින් සකස් කරන ලද කොටස දිස් විය. එම කොටසට ‘රාමනායක පටිය’ ලෙසින් ජනතාව විසින් නමක් පටබැඳ තිබිණි.
ජනතා විමුක්ති පෙරමුණේ වැඩ කටයුතු වෙනුවෙන් කැප වෙමින් සිටිය දී, ජේ.ආර්.ගේ ආණ්ඩුව විසින් ද යළිත් වරක් ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව දැවැන්ත මර්දනයක් ක්‍රියාත්මක කරමින් පැවැතියේ ය. මේ කාලයේ පක්ෂ නායකත්වය විසින් විවිධ වගකීම් පුද්ගලයන්ට පවරන ලදී. එම වගකීම් දැරූ පුද්ගලයන් අතර පියසේන රාමනායක ද මුල්පෙළේ පුද්ගලයකු විය. ඔහු මධ්‍යම කමිටු සාමාජිකයකු ලෙස කටයුතු කළේ ය. 1983දී පක්ෂය තහනම් කිරීමට දිනකට පෙර රෝහණ විජේවීර සමඟ යාල කැලයට ගිය කණ්ඩායමේ ප්‍රමුඛ සාමාජිකයකු ලෙසින් ද පියසේන රාමනායක කටයුතු කළේ ය. පසුව මර්දනය හමුවේ ගෝණදෙනිය කැලයට පසුබැස ගිය කණ්ඩායමේ සාමාජිකයකු ද වූයේය.
1988-1989 ධවල භීෂණයේ දී එයට නොබියව මුහුණ දී අරගල කළ පියසේන රාමනායක වැලිකඩ බන්ධනාගාරය කඩා එළියට ගත් පක්ෂ සාමාජික කණ්ඩායමේ එක් සාමාජිකයකු ද වූයේ ය. මර්දනයෙන් පසු යළි පක්ෂය 1994දී විවෘත දේශපාලනයට පිවිසි කාලයේ පක්ෂය වෙනුවෙන් දේශපාලන වැඩකටයුතුවල නිරතව සිටි පියසේන රාමනායක 1999 දකුණු පළාත් සභා මැතිවරණයේ දී හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් දකුණු පළාත් සභාවට ද තේරී පත් විය.
රටත්, ජනතාවත් වෙනුවෙන් සිය ජීවිතයේ සියල්ල කැප කළ පියසේන රාමනායකයන් තමන් පිළිගත් අරමුණ වෙනුවෙන් නොසැලී, නොබියව ක්‍රියාත්මක විය. එවන් දේශපාලන මතකයන් රැසක් සමාජයට ඉතිරි කරමින් ඔහු පසුගිය 15 වැනිදා අපෙන් සමුගෙන ගොස් ය. සගය, ඔබට සුබ ගමන්!●
 
 
 
 

Previous articleඇසට්ලයින් ඉන්ෂුවරන්ස් සහ පාසල් ළමුන් ප්‍රවාහණ සංගමය අත්වැල් බැඳගනී
Next articleඅළුපාට හැන්දෑවක පිපුණු කළු ලිලී මලක සුදු සරය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here