ශිෂ්‍යත්ව විභාගයේ අතුරු ප්‍රතිඵල.. අධ්‍යාපනයේ ජාතිකඅරමුණු හා අපි..

15

රටක් ජාතියක් වශයෙන් ගත් කල අපි තරම් ඉච්ඡාභංගත්වයට පත් වෙනත් ජනතාවක් නැති බව මගේ හැඟීමයි. පුරවැසියෙක්, වෘත්තිකයෙක් , සාමාන්‍ය වැඩිහිටියෙක්, දරුවෙක්, කලාකරුවෙක්, ඡන්ද දායකයෙක් හෝ මොකෙක් හෝ ගත් විට අතිශයින් අතෘප්තිකර ය. විකල්ප සෙවීමෙහිලා පෙරට වඩා හරිම වේගවත් ය. ඒ කෙසේද යත් ඉතා කෙටි කලකින් අතිවිශාල බහුතරයකින් පත් කරගත් ආණ්ඩුවක් ඉතා කෙටි කලකින් පෙරළා දැමීමේ තත්ත්වයට පත් වීමට වැඩි කලක් ගත නොවේ. වැඩි දෙනෙක් තම අනාගතය උදෙසා තෝරා ගැනීමට උත්සුක වන වැඩි ම විකල්පය රට හැර යාම ය. ඒ මේ රට හදන්න ම බැරි නිසා යන ස්ථිර අදහසිනි.
කුමන ආණ්ඩුවක් බලයට පැමිණිය ද අද පවතින තත්ත්වයෙන් ගොඩ ඒමට නම් කැපවීම් කළ යුතුම ය. ඒ සඳහා සූදානම් නැතිනම් නැවත කළ යුත්තේ යළිත් ආණ්ඩු පෙරළීම පමණි. කැප කිරීම් සඳහා අවශ්‍ය දියුණු මානව සම්පතක් ය. එවැනි දියුණු මානව සම්පතක් ඇති කළ යුත්තේ අධ්‍යාපනයෙන් ම පමණි. එතකොට අපේ අධ්‍යාපනය දැනට තියෙන්නේ කොතැන ද..? අපි පුරවැසියන් විදිහට නොදන්නා වූද
දියුණු මානව සම්පතක් අරමුණු කරගත් ජාතික අරමුණු හා මූලික නිපුණතාවයෙන් යුත් අධ්‍යාපනයක් අපට ද ඇත..
ජාතික අරමුණු කෙටියෙන් ….
1.ජාතික ඒකාබද්ධතාව, සංස්කෘතික විවිධත්වය ආරක්ෂා කිරීම, ජාතික සමගිය ගොඩනැගීම, එකමුතුකම .
2.ජාතික දායාදයන් හඳුනාගනිමින් වෙනස්වන ලෝකයේ අභියෝගයන්ට ප්‍රතිචාර දැක්වීම.

  1. මානව අයිතීන් ගරු කිරීම, යුතුකම්, වගකීම්, හෘදයාංගම බැඳීම්, සමාජ සාධාරණත්වය, සම්මතයන් හා ප්‍රජාතන්ත්‍රික ජීවන රටාවක් සහිත පරිසරයක් නිර්මාණය කිරීම හා පවත්වාගෙන යාම.

  2. පුද්ගලයාගේ මානසික ශාරීරික සෞඛ්‍ය හා මානව අගයන්ට ගරු කරන තිරසාර ජීවන ක්‍රමයක් ප්‍රවර්ධනය.

  3. සමබර පෞරුෂයක් සඳහා නිර්මාපක හැකියාව, ආරම්භක ශක්තිය, විචාරශීලි චින්තනය , වගකීම හා වගවීම සංවර්ධනය.

  4. ආර්ථික සංවර්ධනයට දායක වන ඵලදායි කාර්ය සඳහා අධ්‍යාපනය තුළින් මානව සම්පත දියුණු කිරීම.

  5. වෙනස්කම්වලට හැඩගැසීමට, ඒවා පාලනය කිරීමට, අනපේක්ෂිත අවස්ථාවන්ට මුහුණ දීමට අවශ්‍ය හැකියාව වර්ධනය කර ගැනීම .

8.ජාත්‍යන්තර ප්‍රජාව අතර ගෞරවය, යුක්තිය, සමානාත්මතාවය , අන්‍යෝන්‍ය ගෞරවය පදනම් වූ ආකල්ප හා කුසලතා පෝෂණය කිරීම.
අපේ තමයි හොඳම රට, හොඳම ජාතිය, හොඳම සංස්කෘතිය, හොඳ ම ආගම, අපි තමයි හොඳටම කළේ හෝ හොඳටම කරන්නේ යනුවෙන් උදම් අනන අපේ ජනතාව මේ අරමුණු ගැන දැනුවත් ද..?
මෙතෙක් අධ්‍යාපනය ලැබූ, දැනට අධ්‍යාපනය ලබන, අධ්‍යාපනය ලබාදෙන අය ,වෘත්තිකයන්, පුරවැසියන් මේ පිළිබඳ දැනුවත් ද ..?
ආණ්ඩු පෙරැළීමට හෝ අනෙකාව පරාජය කිරීමට පෙර මේ අරමුණු වෙනුවෙන් කටයුතු කරන්නේ ද ..යන පැනය රටක මුල් පුරවැසියාගේ සිට අවසන් පුරවැසියා දක්වා හදවත හදවතට තට්ටු කර විමසා බැලිය යුතු නොවන්නේ ද..?
ඉහත ජාතික අරමුණු ඉටු කර ගැනීමට නම් අධ්‍යාපනය තුළින් අනාගත පුරවැසියන් තුළ ගොඩනැඟිය යුතු මූලික නිපුණතා හතක් ද ඇත..
1 සන්නිවේදනය
සාක්ෂරතාව, සංඛ්‍යා , රූපක භාවිතය පිළිබඳ දැනුම.
තොරතුරු තාක්ෂණ ප්‍රවීණත්වය.

  1. පෞරුෂ වර්ධනය.
    නිර්මාණශීලී බව, අපසාරී චින්තනය, ආරම්භක ශක්තිය, ගැටලු නිරාකරණය, විචාරශීලී බව හා විග්‍රහත්මක චින්තනය, කණ්ඩායම් හැඟීම ,පුද්ගල සම්බන්ධතා, නව සොයාගැනීම්, ගවේෂණය හා වර්ගීය කුසලතා.

  2. පරිසරය පිළිබඳ නිපුණතාවය.
    සමාජ – ජාතික උරුම, නීතිය, යුතුකම්, වගකීම්, පුද්ගලික චර්යාව ,බහු වාර්ගිකබව, සමාජ සාධාරණත්වය හා යුක්තිය.
    ජෛව – ගස් වැල්,මුහුද ,ජලය ,වාතය ,ගම, නගරය, මිනිස් ජීවිත සම්බන්ධ අවබෝධය, සංවේදී බව හා සහකම්පනය .
    භෞතික – අවකාශය, ශක්තිය, ඉන්ධන, ද්‍රව්‍ය ආහාර, ඇඳුම්, නිවාස, සෞඛ්‍ය ,නින්ද, විවේකය ඵලදායිව ගත කිරීම, අපද්‍රව්‍ය කළමනාකරණය, මළ පහ කිරීම සම්බන්ධ දැනුවත් භාවය හා සෞඛ්‍ය පුරුදු.

  3. වැඩ ලෝකයට සූදානම් වීම.
    ආර්ථිකය, වෘත්තීය ලැදියා හා අභියෝග, රැකියාවට හැකියාව, හැකියාව ට රැකියා, 5.ආගම හා ආචාර ධර්ම.

  4. ක්‍රීඩාව හා විවේකය ප්‍රයෝජනයට ගැනීම.

7.ඉගෙනීමට ඉගෙනුම.
ස්වාධීනව ඉගෙනීමට අවශ්‍ය ශක්තිය ලබාදීම..
මේ අරමුණු ඉටුකර ගැනීමේ දී නිපුණතා වෙත ළඟාවීමට අවශ්‍ය වැදගත්ම පදනම සහ අවධීන් මොනවා ද..?

  1. මුල් ළමාවිය සංවර්ධනය – උපතේ සිට අවුරුදු 5 දක්වා

  2. ප්‍රාථමික අධ්‍යාපනය _ අවුරුදු 5 සිට 10 දක්වා.

මේ අරමුණු හා නිපුණතා වර්ධනය සම්බන්ධයෙන් ගත් විට ,මූලික අධ්‍යාපනය අවසන් කර අවුරුදු දහයක් අවසානයේ දරුවා පිළිබඳ මූලික මිනුම් දණ්ඩ කුමක්ද ?
ඒ ශිෂ්‍යත්ව ප්‍රතිඵලයයි ….
ශිෂ්‍යත්ව ප්‍රතිඵල ව සරලව ගත්තොත් ළමයි ලක්ෂ තුනහමාරක් විභාගයට පෙනී සිටින අතර එයින් තුන් ලක්ෂ තිස් දහසක් අසමත්.
විසිදහසක් පමණක් සමත් එම විසි දහසිනුත් ජනප්‍රිය පාසලකට ඇතුළත් වීම සඳහා දළ වශයෙන් දාහකට අඩු ප්‍රමාණයක් තමයි හොඳට ම සමත්..
එසේ නම් රටක මූලික අධ්‍යාපනයෙන් එළියට එන තුන් ලක්ෂ පනස් දහසකින් තුන් ලක්ෂ තිස් දහසක් අසමත් කර, ඉච්ඡාභංගත්වයට පත් කර ඉටු කරගත හැකි ජාතික අරමුණු හෝ ළඟා කර ගත හැකි නිපුණතා කවරේ ද.?
ප්‍රතිඵල ආව ගමන් සිද්ධවෙන්න තිත්ත ඇත්ත කුමක් ද ?..
ළමයාගේ ලකුණු ප්‍රතිශතයක් ලෙස ගෙන අපි තමයි හොඳම පළාත, අපි තමයි හොඳම කලාපය, අපි තමයි හොඳම පාසල ලෙස අනිකා පරාජය කිරීමට අවශ්‍ය දත්ත එකතු කිරීම, සැකසීම හා ඊට අදාළ පෝස්ටර් බැනර් ප්‍රදර්ශනය .
මගේ පන්තියේ තමයි වැඩිම සමත් ළමයි, මගේ පන්තිය තමයි හොඳ ම ලකුණු,එතකොට මන් තමයි හොඳ ම ගුරුවරයා ආදී වශයෙන් යෙදෙන ස්වයං වින්දනය.
කුඩා කල සිට එකට සිටි දරුවන් සහ දෙමව්පියන් සමත් ,අසමත් වශයෙන් දෙපැත්තට බෙදී අනිකා පරාජය කිරීමේ සතුට භුක්ති විඳීම.
තමන්ගේ පරාජයන්ට හේතු ඉදිරිපත් කිරීම හා පන්ති පාසල් කලාප මට්ටමෙන් සොයා බලමින් තම දරුවා අනෙකා සමඟ සංසන්දනය කරමින් උඩ දැමීම හෝ උස්සා පොළොවේ ගැසීම.
සමත් නම් අදාළ ගුරුවරුන් ඇගයීමට කටයුතු කිරීම අසමත් නම් මෙතෙක් උගන්වපු ගුරුවරුන්ට ගැරහීම.
හයෙන් ඉහළ හොඳම ගුරුවරු හොයාගෙන අනෙකාට හොරෙන් ආයෙමත් ඕලෙවල් මංතීරුවට දමා ආරම්භක සංඥාව නිකුත් කිරීම.
පාසල් මට්ටමෙන් ගත්විට දැනට හතරේ සිටින ළමයි පහේ ගුරුවරයාට භාර දී ඊළඟ අවුරුද්ද සඳහා තරඟය පටන් ගැනීම.
එහි භයානකම තත්ත්වය උදේ 7ට පමණ පාසලට එන දරුවා හවස 4 පමණ වන තෙක් මිනිත්තු 10 ක 15 ක උපරිම විවේක කාල එකකට හෝ දෙකකට යටත් ව පන්ති කාමරය තුළ වේගවත් විෂය නිර්දේශය ආවරණය හා හැකිතරම් ප්‍රශ්න පත්‍ර ලියැවීම.( අමතර පන්තිවලට අමතර ව)…
මේ විදියට ආරම්භ වන විභාග ඊට පස්සේ ඕ ලෙවල් ,ඒ ලෙවල් ආදී වශයෙන් අවසන් කර අධ්‍යාපනයෙන් අපේක්ෂිත අරමුණු කුමක්දැයි නොදත් ,හාත්පසින් ම ඒ අරමුණුවලට ප්‍රතිවිරුද්ධ, සංස්කෘතිකව පුද්ගලිකව නොදියුණු, අන් ආගම්වලට, ජාතීන්ට, ගරහන පරිසරය කෙළෙසන නීතිරීති ගරු නොකරන , පෝලිමක ඉන්න දන්නේ නැති, පාර මාරු වෙන්න දන්නෙ නැති, අඹ ගෙඩියක් කපා ගන්න බැරි බොරු සදාචාරයක් මවාගත් කුහක සමාජයක සිට ආණ්ඩු මාරු කරමින් රටක් ගොඩනැගීමට කටයුතු කළ හැකි ද ?..
අඩුම තරමින් මුල් ළමාවිය සංවර්ධනය හා ප්‍රාථමික අධ්‍යාපනය සඳහා ජාතික ප්‍රතිපත්තියක් පිළිබඳ වැඩපිළිවෙලක් යෝජනා කරන ලෙස රට හදන්න පෙරට එන කිසියම් දේශපාලන ව්‍යාපාරයකට බල කිරීම ට අපි එකතු නොවෙමු ද .?
අධ්‍යාපනයෙන් දියුණු මානව සම්පතක්,

දියුණු පුරවැසියෙක් නිර්මාණය නොකරන තාක්, නිර්මාණය නොවන තාක්, බර්ටෝල් බ්‍රෙසෂ්ට් කී පරිදි ,
අමන ජනතාවගෙන් අමන නොවන පාලකයන් බලාපොරොත්තු විය නොහැකියි නේද….?
– මිහිර බණ්ඩාර හේරත්
(ඡායාරූප උපුටා ගැනීම අන්තර්ජාලයෙනි)
Previous articleසර්ව පාක්‍ෂික සමුළුව සහ තවත් නරි නාටක!
Next articleවිදුලි බිල සියයට 20කින් ඉහළට !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here