සර්ව පාක්‍ෂික සමුළුව සහ තවත් නරි නාටක!

27
ගෑස් පෝලිම්, තෙල් පෝලිම්වලින් රට අවුල් ජාලයක් වී තිබේ. පෝලිම්වල ඉන්න ජනතාව එකිනෙකා කා කොටා ගන්නා තත්ත්වයක් ද උදා වී ඇත. පෝලිමෙන් පිට පැනපු කෙනකුට විරුද්ධව කෑකෝ ගසති. පෝලිමට පිටින් තෙල් හෝ ගෑස් දුන්න අයිතිකරුවන්ට විරුද්ධව කෑකෝ ගසති. එහෙමත් නැත් නම්, පැය ගණනක් බලා ඉඳලා බඩු නැති වුණා ම කේන්තියට කෑගසති. එන්න එන්න ම තත්ත්වය බරපතළ වන්නේ ය. බොහෝ තැන්වල පෝලිම්වල ඉන්න ජනයා මහපාරවල් හරස් කරගෙන උද්ඝෝෂණය කරති. කඩවත, හෝමාගම ආදී බොහෝ ප්‍රදේශවල එවැනි සිදුවීම් ගණනාවක් ඇති වුණේ ය. පොලිස්පතිවරයා වෙනම ම ලිඛිත දැනුම් දීමක් ද පොලිස් ස්ථානාධිපතිවරුන්ට යවා ඇත. එහි සඳහන්ව ඇත්තේ, ගෑස් බෙදාහරින ස්ථාන හා තෙල් බෙදාහරින ස්ථානවල ගැටුම් ඇති විය හැකි බැවින්, අදාළ ස්ථානවලට පොලිසිය යොදවන ලෙස ය.

දැන් නන්දසේන තවත් විහිළුවකට ලැහැස්ති වන්නේය. ඒ සර්වපාක්‍ෂික සමුළුවක් කැඳවීම ය. ඇත්තට ම මේ යෝජනාව ආවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ය. ඒ ආණ්ඩුව ඇතුළේ අර්බුදය බේරා ගැනීමට ය. මෛත්‍රීට ඕනෑ වුණේ ආණ්ඩුව ඇතුළේ ඉන්න ගමන් මහජන විරෝධය වෙනුවෙන් පෙනීඉන්නවා යැයි පෙන්වීමට ය. ඒ කියන්නේ, ආණ්ඩුව ඇතුළේ අර්බුදයක් බේරා ගන්නට ගෙන ආ යෝජනාවක් ය. දැන් තමන්ගේ ඇතුළේ ප්‍රශ්නය බේරා ගන්න අනෙක් පක්‍ෂවලටත් කතා කරන්නට ලෑස්ති වන්නේ ය.

මේ සියල්ල මැද්දේ මැති ඇමැතිවරු තවමත් සුඛෝපභෝගී වාහන පිරිවරාගෙන, නැත්නම් චොපර්වලින් එහා මෙහා යති. මේවා දකින ජනතාව තව තවත් කෝපයෙන් කෝපයට පත් වෙති. සල්ලි තිබුණත්, තෙල් හා ගෑස් හොයා ගන්න විදියක් නැත. ගෑස් නැව් වෙරළ ආසන්නයේ නවතා ඇති අයුරු රූපවාහිනියෙන් දැකබලා ගත හැකි ය. තෙල් නැව් එනව එනවා කිව්වාට ගොඩබා ගන්න සල්ලි ඇත්තේ නැත. ආපු නැව් සති ගණන් නවතා ඇත්තේ ය. මේ නිසා ම ප්‍රමාද ගාස්තු කෝටි ගණනින් ගෙවන්න සිදු වී තිබේ. ඒ බරත් වැටෙන්නේ ජනතාව මතට ය.

පාවෙන ඩොලරයේ විස්කම්

හදිසියේ ම මහ බැංකුව ඩොලරය පාවෙන්නට ඉඩහැරියේ ය. රුපියල් 203.00ට තිබූ ඩොලරය අද වන විට රුපියල් 275.00ට ඉහළ ගොස් ය. තව තවත් වේගයෙන් ඉහළ යන්නේ ය. මේ හේතුවෙන් සියලු ම භාණ්ඩ හා සේවාවල මිල ඉහළ ගියේ ය. පාන් රාත්තලේ ඉඳලා ගුවන් ගමන් ටිකට් පත දක්වා සියල්ල ඉහළ ගියේය. හැම දේ ම මිල ඉහළ ගියත්, කිසි කෙනකුගේ ආදායම් ශතපහකින් හෝ ඉහළ යන්නේ නැත. මේ තත්ත්වය ඉහළ, පහළ හැම දෙනාට ම එක සේ දරා ගන්නට බැරි වී ඇත. ඒ නිසා ම කොළඹ හතේ උදවිය පවා දැන් මහපාරට බැස සිටිති. කොහොමත් විදුලිය කපන නිසා පැය හතරක් ගෙවල්වල ඉන්නට ද බැරි ය. හැම කෙනාට ම පාරට බහින්නට වූ තත්ත්වයක් රටේ උද්ගත වී තිබේ. කිසිවකුට නිහඬව පැත්තකට වී බලා සිටීමට පුළුවන්කමක් නැත.

අටපාස් ‘ආර්ථික සභාව’

ඇති වූ මහා දැවැන්ත ආර්ථික අර්බුදයෙන් ගොඩ ගන්නට ජනාධිපතිවරයා කමිටුවක් පත් කළේ ය. ‘ආර්ථික සභාව’ යැයි ද එය නම් කළේ ය. මෙයට පත් කළේ ඇමැතිවරුන් පස් දෙනකු සහ නිලධාරීන් හතර දෙනකි. එනම්, බැසිල් රාජපක්‍ෂ, බන්දුල ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ, රමේෂ් පතිරණ යන අය ය. ආටිගල, කබ්රාල් වගේ නිලධාරීන් ය. නිලධාරීන් හතරදෙනා ම “යස් සර්… ඔව් සර්…” කියන්නෝ ය. ඇමැතිවරුන් පස්දෙනාගෙන්
තුන් දෙනෙක්ම දහයේ විභාගය, ඒ කියන්නේ, ඕලෙවල් විභාගයවත් පාස් නැති අය ය. අනෙක් පැත්තට මෙතෙක් කාලයක් රටේ ආර්ථිකය හොඳට ම බංකොලොත් කරපු අය ම ය. ඒ වට්ටපු කට්ටිය ම ආයෙත් ගොඩ ගන්නත් පත් කළේ ය.
ජොන්ස්ටන්, මහින්දානන්ද වාගේ අයට රටේ ඇති වෙලා තියෙන මේ අර්බුදයෙන් ගොඩ ගන්න තියා තේරුම් ගන්නවත් හැකියාවක් නැත. බැසිල් කියන්නේ, දිගින්දිගට ම ආර්ථිකය වට්ටපු කෙනා ය. ඒ ආර්ථික සභාව පත් කිරීමෙන් ම ගෝඨාභය රාජපක්‍ෂගේ මොළයේ තරම තේරුම් ගත හැකි ය. ‘එක රටක්, එක නීතියක්’ හදන්නට ගලගොඩ අත්තේ ඥානසාර පත් කරපු එකේ දෙවැන්න ය. ඇත්තට ම මොළේ අමාරුවක් නැත්නම්, මේ ජාතියේ වැඩ කරන්නේ නැත.

තමිල්නාඩුව කළ හැටි!

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මහ ඇමැතිවරයා ද ප්‍රාන්තයේ ආර්ථිකය පිළිබඳ උපදේශක සභාවක් පත් කළේ ය. එහි සාමාජිකයන් පස්දෙනෙකි. පස් දෙනා ම ආර්ථික විද්‍යාව පිළිබඳ න්‍යායික හා ප්‍රායෝගික අත්දැකීම් ඇති මහාචාර්යවරුන් ය. එහි සභාපති ලෙස පත් කරනු ලැබුවේ 2019 අවුරුද්දේ ආර්ථික විද්‍යාව පිළිබඳ නොබෙල් සම්මානලාභී එස්තර් ඩුෆ්ලෝ කියන මහාචාර්යවරියයි. තමිල්නාඩුවේ අපේ රටේ වාගේ ආර්ථික අර්බුදයක් ඇති වුණේ ද නැත. එහෙම තියෙද්දිත්, වඩාත් හොඳින් ආර්ථිකය නඟාසිටුවීමට පත් කළ කමිටුව ඉතා ම ඉහළ ය.
මෙච්චර අගාධයකට වැටිලා තියෙද්දිත්, වට්ටපු හාදයන්ව ආර්ථික සභාවට පත් කිරීම ගෝඨාභයගේ මොළයේ තරම ජනතාවට හොඳින් ම තේරුම් ගැනීමේ නිර්ණායකයකි. මේ සභාවට දිගට හරහට විවේචන එල්ල වුණාට පස්සේ ජාමෙ බේරා ගන්න අමුතුම වර්ගයේ කමිටුවක් දැන් පත් කර ඇත්තේ ය. ඒ කමිටුවත් රට ගොඩ ගනීවි ද යන්න ජනතාව බලා සිටිති. ඊ ළඟ ප්‍රශ්නය වන්නේ ඔය මොන කමිටු පත් කළත්, ඒවායෙන් දෙන නිර්දේශ ක්‍රියාත්මක නොකිරීමය. මීට පෙර අත්දැකීම් ඇත්තේ, එලෙසින් ය.

නෑ කියා අයිඑම්එෆ් යාම

ඊළඟට ආණ්ඩුව කරන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑම ය. මුල දී කයිවාරු ගැහුවේ, යන්නෙ ම නෑ කියා ය. දැන් කෙළින් ම නියෝජිතයා මුණගැහෙන්නේ ජනාධිපතිව ය. බැසිල් රාජපක්‍ෂ ලබන අප්‍රේල්වල ඇමෙරිකාවේ යන්නේ ද අරමුදලේ අය හමු වෙන්නට ය. ඒ ගමන් පවුලේ අයත් අවුරුද්දට දැකබලාගෙන එන්නේ ය. දැනටමත් අයි.එම්.එෆ්. එක නිවේදනයක් නිකුත් කර ඇත්තේ ය. එහි ප්‍රධාන වශයෙන් ඩොලරය පා කිරීම, වැට් බදු ඉහළ දැමීම, තෙල්, ගෑස්, විදුලිය මිල ගණන් ඉහළ දැමීම යෝජනා කර ඇත්තේ ය. බදු ඉහළ දැමීම හැර අනෙක් කොන්දේසි දෙක ම දැනටමත් සිදු කර අවසන් ය. තව ටික දවසකින් බදු ඉහළ දැමීම ද සිදු විය හැක්කේ ය. ඊ ළඟට කරන්නේ තව තවත් ණය ගැනීම ය.
බැසිල් දැනටමත් ඉන්දියාවට ගොස් ඇත්තේ, තවත් ඩොලර් බිලියනයක ණයක්, ආහාර සහ බෙහෙත් ගෙන්වා ගැනීමට ඉල්ලා ගන්නට ය. ඒවා ගෙන්වන්න වෙන්නේ ඉන්දියාවෙන් ම ය. ගත්ත ණයට පොලියයි, ණයයි, භාණ්ඩවලට යන මුදලයි සියල්ල ම නැවත ඉන්දියාවට ගෙවිය යුතු වන්නේ ය. තෙල් ගන්න ගත්ත ඩොලර් මිලියන පන්සීයට වුණත් ඒක ම ය. පොලියට සියයට 2.5කි. තෙල් ගෙන්වන්න වන්නේ ඉන්දියාවෙන්ම ය. එතකොට නැවත වටයකින් සියල්ල යන්නේ ඉන්දියාවට ම ය. දැනටමත් ආණ්ඩුව චීනයෙන්, ඉන්දියාවෙන්, පකිස්ථානයෙන්, බංග්ලාදේශයෙන්, ඔස්ටේ්‍රලියාවෙන්, රුසියාවෙන් ණය ඉල්ලා ඇත. සමහර ඒවා ලබාගෙන ඇත. හතර වටේට ම ණය වෙන එක හැර වෙන විකල්පයක් බැසිල්ට නැත.
දැනටමත් ඉතිහාසයේ වැඩිම ණය මුදල ගෙන ඇත්තේ, ගෝඨාභයගේ අවුරුදු තුනේ දී ය. මේ අවුරුද්දේ දෙසැම්බර් වන විට ගත්ත මුළු ණය රුපියල් ටි්‍රලියන 21ක් දක්වා ඉහළ යයි. ඉන් ටි්‍රලියන අටක්ම ඒ කියන්නේ, තුනෙන් පංගුවක් ම ණය ගත්තේ ගෝඨාභයයි. අන්තිමට අයි.එම්.එෆ්. එකෙනුත් ණය ගන්න එක ස්ථිර ය. දැනටමත් ඔවුන්ගේ කොන්දේසි සපුරා ඇත්තේ ඒ අරමුණෙන් ය.
ජාතිය අමතා මොන විකාර දෙඩුවත්, දැන් වැඩක් වන්නේ නැත. තව දුරටත් ඔය පිස්සු විකාර අහන්න ජනතාව සූදානම් නැත. පළමු ජාතිය ඇමතීම කවදාවත් අමතක වන්නේ ද නැත. පරිප්පු රුපියල් හැටට දෙනවා. සැමන් රුපියල් සීයට දෙනවා යැයි කිව්වේ පළමු ජාතිය ඇමතීමේ දී ය. අද මුළු රට ම එතුමාගේ ජාතිය අමතන්නේ ඒ කියපු කතා නිසා ය.

සර්වපාක්ෂික නාඩගම

දැන් නන්දසේන තවත් විහිළුවකට ලැහැස්ති වන්නේය. ඒ සර්වපාක්‍ෂික සමුළුවක් කැඳවීම ය. ඇත්තට ම මේ යෝජනාව ආවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ය. ඒ ආණ්ඩුව ඇතුළේ අර්බුදය බේරා ගැනීමට ය. මෛත්‍රීට ඕනෑ වුණේ ආණ්ඩුව ඇතුළේ ඉන්න ගමන් මහජන විරෝධය වෙනුවෙන් පෙනීඉන්නවා යැයි පෙන්වීමටය. ඒ කියන්නේ, ආණ්ඩුව ඇතුළේ අර්බුදයක් බේරා ගන්නට ගෙන ආ යෝජනාවක් ය. දැන් තමන්ගේ ඇතුළේ ප්‍රශ්නය බේරා ගන්න අනෙක් පක්‍ෂවලටත් කතා කරන්නට ලෑස්ති වන්නේ ය.
ඔය ජාතික සමුළු මීට පෙර පවත්වා ඇත. අනෙක් පක්‍ෂ දීපු වැදගත් යෝජනා එකක්වත් ක්‍රියාත්මක කළේ ද නැත. කේක් කෑල්ලක් කාලා, තේ එකක් බීලා, හැමෝ ම සතුටින් විසිර ගියෝ ය. මෙදා සැරේ වෙන්නෙත් ඒ ටික ම ය. අඩුම ගාණේ රටේ ඇති වෙලා තියෙන ඇත්ත ආර්ථික තත්ත්වය ගෝඨාභය රටට කිව යුතුය. අනෙකුත් පක්‍ෂවලට කිව යුතු ය. ආර්ථිකයේ පැතිකඩවල් විස්තර කළ යුතු ය. අනෙකුත් පක්‍ෂවලට යෝජනා දිය හැක්කේ ඒ අනුව ය. ආණ්ඩුව දිගට ම කියන්නේ, අර්බුදයක් නැති බව ය. ඩොලර් ප්‍රශ්නය සුළු ප්‍රශ්නයක් කියන්නේ, එස්.බී. ඒ නිසා ය. එහෙම නම්, අනෙක් පක්‍ෂවලට එන්න කීමෙන් කිසිදු ප්‍රතිඵලයක් නැත. මේ කරන්න හදන්නේ එක පැත්තකින් මෛත්‍රී සැනසීම ය. අනෙක් පැත්තෙන් රටේ ජනතාව තවත් වටයකින් ඇන්දවීමටය.
මින් පැහැදිලි වන්නේ ඇති වී තිබෙන අර්බුදය රාජපක්‍ෂලාට කිසිසේත් ම විසැඳිය නොහැකි බව ය. ඔවුන්ට කළ හැක්කේ තව තවත් ජනතාව පීඩාවට පත් කිරීම ය. පසුගිය හැම ආණ්ඩුවක් ම සිදු කළේ ද එයයි. ගෙවුණු අවුරුදු හැත්තෑහතරක කාලය පුරාවටම කෙරුණේ එයයි. වැරැදි ආර්ථික ප්‍රතිපත්තියක් කරේ තියාගෙන යෑම ය. ඉන් සිදු වූයේ තව තවත් රට කඩාවැටීම ය. එබැවින්, දැන් ජනතාව ඉදිරියේ ඇත්තේ, මේ වැරැදි ක්‍රමය මුළුමනින් ම වෙනස් කිරීමය. වසර හැත්තෑ ගණනක ශාපයෙන් මිදීම ය. ජන පීඩක ආණ්ඩුව පලවාහැරීම ය. ජනතාවට ඇත්තටම සෞභාග්‍යය ගෙන ආ හැකි ජනතා ආණ්ඩුවක් පිහිටුවීම ය●

 
 

Previous articleලංකා e-paper (2022.03.20)
Next articleශිෂ්‍යත්ව විභාගයේ අතුරු ප්‍රතිඵල.. අධ්‍යාපනයේ ජාතිකඅරමුණු හා අපි..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here