තම දුවා-දරුවන් සමග අනිවාර්යෙන්ම නැරඹිය යුතුම චිත්‍රපටයකි “හයිඩි”

39

ස්විට්සර්ලන්ත ජාතික ලේඛිකාවක් වූ ජොහානා ස්පයිරි ( Johanna Spyri 1827 – 1901 ) විසින් ජර්මන් භාෂාවෙන් රචනා කරන ලද ලෝප්‍රකට ළමා නවකතාවකි Heidi – 1888. මෙය එදා මෙදාතුර ලෝකයේ විවිධ භාෂාවන් රාශියකට පරිවර්තනය වී ඇති අතර මෙම කතාපුවත පාදක කරගනිමින් නිර්මිත ටෙලිනාට්‍ය හා චිත්‍රපට සැලකිය යුතු සංඛ්‍යාවක් තිබේ.
මෙහි නවතම චිත්‍රපටය වනුයේ සම්මානනීය ප්‍රකට ජර්මන් ජාතික සිනමාකරුවකු වන Alain Gsponer විසින් අධ්‍යක්ෂණය කරන ලද Heidi – 2015 නැමති ජර්මන් ළමා චිත්‍රපටය යි. මෙහි තිර රචනය Petra Biondina Volpe විසින් ලියා තිබේ. මෙහි හයිඩිගේ චරිතය ළමා නිළි Aunk Steffen විසින් රඟපාන අතර සීයාගේ චරිතය සම්මානීය නළු Bruno Ganz ( එනම් Downfall- 2004 චිත්‍රපටයේ ඇඩොල්ෆ් හිට්ලර්ගේ භූමිකාව විශිෂ්ට ආකාරයෙන් නිරූපනය කර ඉමහත් ඇගයීමකට ලක්වූයේ මොහු ය ) විසින් රඟපාන අතර Isabella Ottman, Quirin Agrippi , Anna Schinz , Katherina Schutter යනාදී නළු-නිළියෝ සෙසු චරිත රඟපාති.
Heidi ළමා නවකතාව තුළින් නිරූපිත අසිරිමත් ළමා ලෝකය හා සමගින් සමාන්තරව දිවයන ස්විට්සර්ලන්තයේ හිමෙන් වැසීගිය කදුහෙල් ,ඇළ-දොළ හා සතා-සිව්පාවන් යනාදිය චිත්‍රපටය තුළින් එලෙසින්ම විචිත්‍රවත් කිරීමට සිනමාකරුවා මෙහිලා වෙසෙසින්ම සමත්වී ඇත්තේ ය. මෙහි ප්‍රධාන චරිතය නිරුපණය කරන ළමා නිළියගේ ඇතුළු අනිකුත් චරිත නිරූපණය කරන සියල්ලෝම තම චරිතයට උපරිමය සාධාරණය ඉෂ්ඨ කරති.
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ළමා සිනමා කාව්‍යයක් වන මෙම Heidi චිත්‍රපටය මෙරට සුවහසක් දෙමව්පියන් තම දුවා දරුවන් සමගින් එක්ව නැරඹිය යුතූම කලාත්මක චිත්‍රපටයක් වන බව අවසන් වරට සදහන් කරනු කැමැත්තෙමි.
එසේම මෙම චිත්‍රපටය මෙරට සෑම පාසලකම දරුවන් වෙනුවෙන් අනිවාර්යෙන්ම ප්‍රදර්ශනය කළ යුතු ඉතා ඉහළ සිනමාත්මක තත්වයකින් ( A Hilly Cinematic Quality ) ජාත්‍යන්තර ළමා චිත්‍රපටයක් වන්නේමයැ.
●මෙවන් වූ ජාත්‍යන්තර ළමා චිත්‍රපට දරුවන්ට නැරඹීමට සැලැවිය යුත්තේ ඇයි ?
මෙයට සෘජුවම දායකවන කරුණු කාරණා රාශියක් ඇති බව පෙනේ. වර්තමානයේ දරුවා හා ඔහුගේ ලෝකය ඉතා කෘතීම කුටුම්භගත ජීවිතයකට කොටු වී තිබේ . හුදෙක්ම මෙරට දරුවා.
තම පවුලේ කුටුම්භගත ජීවිතය තුළින් ද තම ඒකාකාරී හා තරගකාරී අධ්‍යාපන තුළින් ද එහිලා මහත්සේ චිත්ත පීඩාවට පත් කරන තරගකාරී විභාග ධාරාව තුළින් ද මහත් සේ හෙම්බත් සිටින බව දෙම්පියන් වන ඔබට මා අමුතුවෙන් කිව යුතු නොවේ. එවන් වූ දරුවකු මෙම සමාජ රාමුව තුළ ගොඩනැගෙන්නේම කෘතීමව හා ඒකාකාරීවයෙන් බව පෙනේ. එලෙස ගොඩනැගෙන දරුවකු තුළන් මනුෂ්‍යත්වය, පරාර්ථකාමීත්වය හා සංවේදීත්වය අපට කිසිවිටෙකත් අපේක්ෂා කර නොහැකි වන්නේ ය. ඒ වෙනුවට එදරුවා තුළින් ප්‍රකට වන්නේ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය , ආත්මාර්ථකාමීත්වය හා අසංවේදීත්වය යි. එවන් දරුවකු මතු අනාගතයේදී තම දෙමව්පියන්ට,පවුලේ අනෙකුත් සාමාජික-සාමාජිකාවන්ට හෝ සමස්තයක් වශයෙන් ගත් කල්හි මුළුමහත් සමාජයටම වැඩදායි චරිතයක් වේ යයි සිතීම පවා ඉතා දුෂ්කර බව පෙනේ. ඒ වෙනුවට නිර්මාණය වන්නේ ආත්මාර්ථකාමීත්ව
තම හිසමුදුනේ තබාගත් කෘතීම චරිතයකි. එම චරිතය තමාගෙන් තොර අන් කිසිවකු පිළිබඳව නොසිතයි .එසේම කිසිදු සංවේදීත්වයක් අන් අයකු කෙරෙහි ද සතාසිව්පාව හා පරිසරය කෙරෙහි ද නොදක්වයි. එවන් පසුබිමකින් අනාගතයේ දී බිහිවන වැඩිහිටියකුගෙනා මෙරට සමාජය අපේක්ෂා කරන්නේ කුමක්ද යන්න පිළිබඳව අප මොහොතකට සිතා බැලිම ඉතා වැදගත් බව මම සිතමි.
අනේක දුක්-කම්කටොළු තුළින් නිර්මිත වර්තමාන න්‍යෂ්ටික පවුල් කුටුම්භය තුළ දෙමව්පියන්ට තම දරුවන්ගේ ජීවිත පෝණය ,ඔවුන්ගේ අධ්‍යාපනය යනාදී මූලික කරුණු කාරණා පිළිබඳව තම අවධානය යොමුකරනවා විනා ඉන් ඔබ්බට කියා විශේෂයෙන් යමක් සිතීමට හෝ කිරීමට නොහැකි වේ. ඒ තත්ත්වයට මෙරට සමාජය හා ආර්ථිකය විසින් දෙමව්පියන් පරිවර්තනය කර තීබේ. තව ටික දොහකින් තම දරුවන්ට යටකී මූලික අවශ්‍යතාවයන්වත් හරිහැටි ඉටුකිරීමට නොහැකි තත්වයකට වර්මාන මෙරටෙහි සමාජ හා ආර්ථික වටපිටාව විසින් දෙමව්පියන් පරිවර්තනය කරනු නොඅනුමානය ති. ඒ පිළිබඳව ඉඟි බිඟි වර්තමානය වනවිට අපගේ දෙනෙත් මානයේ දකින්නට ලෑබේ.
මෙවන් වූ අතිශයින්ම පීඩාකාරී හා තරගකාරී ආත්මාර්ථකාමී සමාජය දේහයක් තුළ අපගේ මනසේ ඒකාග්‍රතාවය හා සන්සුන්භාවය පවත්වා ගැනීමට අතිශයින්ම දුෂ්කර කාර්යයක් බව පෙනේ. එහිලා තම ආගම දහමට අව්‍යාජව ළංවීමත් සම්භාව්‍ය දෙස් විදෙස් කලාව ආශ්‍රය මිශ්‍රණය කිරීමත් ඉතා වැදගත් බව මගේ පෞද්ගලික කියවීමයි. එය මගේ පමණක් නොව සමස්ත යහපත් පුරවැසියන්ගෙන් සමන්විත යුක්තිගරුක සමාජයක් ප්‍රාර්ථනා කරන කොයි කාගේත් කියවීම වන්නේ ය.
එවන් පසුබිමක් තුළ තම දරුවන් සමගින් මෙවන් ජාත්‍යන්තර ළමා චිත්‍රපටයක් නරඹා රසවිඳීම වූ කලී විඩාබර දෙම්පියන්ගේ හා දරුවන්ගේ මනසට “සිහිල්පවන් පොදක්”වනු නොඅනුමානයි.

– පූජ්‍ය ඇතිපොළ මංගල හිමි

Previous articleගෙවලා තියෙන්නෙ බාගයයි – නෞකාවලින් ගෑස් දෙන්නෙ නෑ !
Next articleමොන ප්‍රශ්න තිබුණත් නුවරඑළිය වසන්ත උදානය තියනවමයි – ඇමැති සී.බී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here