ප්‍රගීතිකාගේ කවිය වටින්නේ, පුද්ගලික බිඳවැටුම් පරයා යමින් සමාජීය ඛේදය වෙත දක්වන විවෘත අවධානය නිසාවෙනි

28
හත් පෙති මලෙන් අත් හැරුණු පෙත්තක්- ප්‍රගීතිකා ජයසේකර

රැය පුරා අංශුවෙන් අංශුව පිණි පතිත වෙයි. එහෙත් ඒ ඇසට නොපෙනෙයි. මෙසේ පතිත වන පිණි අංශු හෙමිහිට තුරු පත් අග කැටිගැසෙයි. එසේ කැටි ගැසෙනා පිණි කැට රැය අලංකාර කරමින් සඳ පහනින් දිදුලයි. අමාවක වුවද ඒ මැද මෙ පිණි කැට දැකිය හැකිය. එසේ වෙලාවත් සමග හෙට්ටු කරනා පිණි කැට තුරු පත් අගට බර දරාගත නොහෙනා මොහොතේ ඉන් මිදී මිහි මත පතිත වෙයි. පතිත වෙන සැනින් වියලි පස් අතර මැකී යයි.
ඉදින් අප රැයෙහි අසිරිය දකින්නට අවදියෙන් නම්, අපේ සවන් සහ දෙනෙත් සියුම් නම් අපට ඒ අසිරිය විඳින්නට හැකිය. රැයෙහි බිම වැටෙන ඒ පිණි කැට, එතෙක් ඒ බර දරාගෙන සිටි තුරුපත්හී සැහැල්ලු සුසුම් හඬ, වැටෙනා පිණි කැට බාර ගන්නට බලා සිටිනා තණ පත් සහ වියළි පොලව, පින්නේ නැහැවෙමින් රැය ගීතවත් කරනා නිශා නාදයන්- මේ නම් අපේ ජීවිත සනහන නාද-රූප සමුච්චයකි. නිදිබර ගෙරවුමක, අනුරාගී කෙඳිරිල්ලක නද සමග මේ මුසුවන විට සවන්දෙන්නා තුළ මැවෙනා චිත්ත රූප තවත් පොහොසත්ය. ප්‍රගීතිකා ජයසේකරගේ කවි යනු ඉහත කී තුරුපත් මත හෙමිහිට කැටි ගැසෙනා පිණි කැට වැන්න. පාඨකයාට ඇත්තේ ඉවසිලිවන්තව රැයෙහි පිණි අසිරිය විඳින්නාක් වැනිව ඒ විඳගැනුමයි. එය අභ්‍යාසයකි. එහෙත් ඒ මිහිරියාවම දනවන අභ්‍යාසයකි.
ඇගෙ කවියෙහි කුඩා දැරියක සිටින්නීය. ඇය සීරුමාරුවට පිය ඔසවමින් අතීතය කරා සරන්නීය. විටෙක මදක් නැවී දකුණත නළල මත තබා වටපිට විමසන්නීය. ආහ්ලාදයට පත්වන්නීය. විටෙක සියුම් ශෝකී බවකින්, විටෙක මහත් සතුටින් මතක මංපෙත් හී වට පැරණි පත් අහුලන්නීය. එහෙත් ඒ පැරණි පත් බර ය. පැහැපත්ය. චිත්තරූප මවනසුළුය. මේ එම දැරියයි.

නල රැලි වලාකුළු
දෙණිපෙත් සමග දොඩමලු
දැරියකි
වියළි කොළ මල් පෙති
ගවුම් සාක්කුවේ පුරවාගත්….

එම දැරියගේ සැරිසරුමෙහි වත්මන මෙයාකාරය.

නිල් කොල බුදින යන්තර
විස්මලන්තෙක තනිවුණ
පැරණි තුරුපත් රටා පිරිමැද
නිලන හැඟුමක් පලඳින…..

ඔන්න ඒ දැරියට මාවතේ ගීතය සමග අපූ හමුවෙයි. මේ කවිය කිවිඳියගේ පරිකල්පනයෙහි පොහෙසත් බවට දෙස් දෙන්නකි. අපූ ඇයට පවසනුයේ ඔහු අපට සමීප කළ චින්තා ල්ක්ෂ්මී නම් අපේ පරිවර්තිකාව ගැන ය. ඒ නම් අපූරු කියවීමකි. ඇය අපූගේ සංදේශය අවසන් කරනුයේ දුර්ලා එනම් අපූගේ සොයුරිය සහ චින්තා සම්මුඛ කරවමිනි.

බලන් මේ අරුමය
ස්ත්‍රී බවද සාපය
ඇගේ නම දුර්ගා ය
ඔබේ නම චින්තා ය

පැටි විය කවරකුගේ වුව අනාගත දිවියෙහි නොමැකෙන පැල්ලමකි. එය පැහැබර වර්ණයන්ගෙන් මෙන්ම අඳුරු පැහැයන්ගෙන්ද සමන්විත විය හැකිය. පැහැබර වර්ණයන් වැඩි වන්නේ නම් අපි ඒ ළමා විය වර්ණවත් යයි කියමු. මේ කිවිඳිය සිය පැහැබර පැටි විය කණින අයුරයි.

පරණ පොත් පිටු අතර
අදත් හමුවන වට වියළි තෘණ මල්
ඇහි දියෙන් ඇහැරෙමින් හෙමිහිට
කැටුව යයි මා අතීතයකට

ඉදින් මම ඇය සමග පිය මනිමි. ගල් ලෑල්ලේ අකුරු මකන්නට අක්කපාන කොල අරගෙන ගිය, කලු ලෑල්ල කලු කිරීමට දුඹුලු සමග කෙසෙල් මුව රැගෙන ගිය පැටිවියක් උරුම මට අක්කලාගේ පොත් අතර ඇති වියළි තණ මල් හමුවෙයි.

කරල් ඇහිලූ පැටි ගිරා විය
හා පිනුම් ඉපනැලි පවන් රොද
සිනිඳු වුව කෙළි නැටුම් කෙලවර
රිදුම දුන් කාටුවකි මතකය

මේ කිවිඳිය කතකට අභරණක් යැයි කියනා වරලස දිවි සැරිය හා මුසු කරන අයුරයි.

දිගු වරල් සිකි පිල්
හීන දුටු කාලෙක
හිමිදිරි පාන්දර
කොණ්ඩ කරල් ගොතන්නට
ඉවරයක් තිබුණෙ නෑ අම්මට
කුළුඳුලේ අක්කාගෙ දෑතිනි
ගෙතුණේ කරල් දෙකකට

වරලස හා පෙම, පෙම හා බැඳෙන ඉරිසියාව, ජීවිතය ගලා යන තානය ඇය මෙසේ ගොතන්නීය.

අපේ ආදරේ
මුල් දවස් වල
අන් නෙතක රසඳුනක් වූවැයි
නොරිසි විය ඔබ
ගෙතූ වරළට
කලකදි තුනී විය
ඔබේ ඒ අදහස
ඉතින් යළි ගෙතුවෙම්
කෙහෙරැල් හසරැල්

ඉදින් ඇගේ පරිවර්තනය එතැනින් නතර නොවෙයි.

කෙමෙන් කාලය ලිහී
බැඳුම් දුරස් වෙද්දී
කෙස්වලත් දොස්
ඇතැයි වූයෙමි සසල
ඔබ වට නිබඳ ගැවසෙන
ළඳුන් කෙහෙ මෝස්තර
විලසින් මදක් කෙටි කර
ලිහිල් කෙරුවෙමි මුහුළස

කිවිඳිය වරලස කාව්යෝක්තියක් කර නිමවන කවියෙහි අපූර්වත්වය මතුවන්නේ ඇය ඒ කවිය ගෙන යන පරිණතබව තුළිනි. ඇය කෙමෙන් කෙමන් සිය කවිය හරහා ජීවිතයෙහි අරුත ගැන සියුම්ව විමසන්නීය. මිනිස් දිවියෙහි අරමුණ කෙරේ ඇගේ යොමුව පාඨකයාගේ ලෝකය පුළුල් කරයි.

රෝ දුකින් මුහුළස
අහිමි යෙහෙළිය දැක
පිදූයෙමි කපා කෙටි කොට
නන්නාඳුනන කෙනෙකුට

කිවිඳිය ජීවිතය යනු පුළුල්ව අවබෝධ කරගත යුතු, එසේම අත නොහැරිය යුතු රස උල්පතක් සේ ගන්නීය. ඇය මෙසේ යෝජනා කරන්නී ජීවිතය වින්දනය කිරීමෙහි චමත්කාරයයි.

නට නට හැඟුම් උතුරන
කෙමියෙන් සියුම් උණුසුම්
තුනු විත පිරී ඉතිරෙන
මොහොතද මධුර අනන්තය
ඉමක් විය හැකිද එය
මට නම් එය අනන්තය

වස්සාන සංවේදනා ගෙන එන්නට උත්සුක වන ඇය ජීවිතයෙහි කොලාජ් සිත්තමක් අපට ගෙන හැර පාන්නීය. ඒ හරහා ඇය අතීතය හා වර්තමානය අතර සරමින් විවිධ අවස්ථා කැණ සුඛ දුක්ඛයන්ගෙන් පිරි මිනිස් ජීවිතය නිරාවරණය කරන්නීය. මේ එවන් එක් වැසි මතකයකි.

ඒ අතරේ මතක් වෙයි
අම්මා එක්ක
කොහෝ හෝ ගිය දවසක
ඇගෙ ඇසේ කඳුලක්
අම්මෙ ඇයි අඬන්නෙ?
පැනයක්
පිස්සුද ළමයො මේ වැහි බින්දු
පිළිතුරක්
හිස ඔසවා බැලුවෙමි
කුඩයේ ඇද්ද සිදුරක්

කිවිඳියගේ කවියෙහි ඇති විශේෂිතම ලක්ෂණය වනුයේ ඇය කවියෙහි කියන දේට වඩා නොපවසා පාඨක පරිකල්පනයට ඉතිරි කරනා කොටස විශාල වීමයි. ඉන් ඇය පාඨකයාට සිය ජීවන අත්දැකීම් තුළින් කවිය වඩාත් පොහොසත් කරන්නට ඉඩ සලසයි. ඇගේ කවිය අපට වටින්නේ ඇය තම කවිය හරහා පුද්ගලික බිඳවැටුම් පරයා යමින් සමාජීය ඛේදය වෙත දක්වන විවෘත අවධානය නිසාවෙනි.
විරිතක් නැති රිදුමක් එවන් කවියකි.

සිහිනයක වත් නොරැඳුණු
ඔබෙ රුව දැක්ම පතමින්
මෙහෙවර පිණිස නික්මෙත
මග දිගට ඇඳි නෙක රූ
විසිතුරු නොවේ හැම විට

මේ විරහව පරයා ඇය තුළ අවදි වන මිනිස් ආත්මයෙහි හඬ යි.

යට ගිලුණු ඇස් ඇති
කෙසඟ මනු රූ
එහෙ මහෙ වැනෙන
අත් පා ඉපල් ඉරටූ
මියෙන් වැගිරෙන කෙළ
වලක්වා ගත නුහුණුව
වෙව්ලන ගැහෙන සිරුරූ
කිලිටි කඩමලු අතරින්
පෙරෙන මුදු තරු කැට ඇස්
රිද්දයි පෙලයි මා සිත
ඔබ නැති දුකට වැඩියෙන්

– චුලානානද සමරනායක

Previous articleපාරමී රණසිංහ ජාතික රූපවාහිනියෙන් හේතු නොදන්වා ඉවත්කරයි
Next articleදිමුත් ටෙස්ට් පිතිකරුවන් අතර 5 වැනි ස්ථානයට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here