ස්වර්ණ පුස්තකයකට උපමා කතාවක් : ‘ජීවිතයේ ඔයිල් පැල්ලම්’

19

මා මේ පොත කියවන්නට පටන්ගත්තේ මේ පොත ගැන මගේ සාහිත්‍යකාමී මිතුරන් දැල් වූ අපේක්ෂාලෝකය මැදය. කෘතියේ මද දුරක් කියවන විට නවකතාවේ පෙරබිමට කැඳවා ඇති උපමා-උපමේය කාව්‍යෝක්තිමය භාෂා ශෛලිය මතින් උද්යෝගිකර රසිකයෙකු තනන්නට තතනන කතුවර අධ්‍යාසය පෙනිණ. මේ නවකතාවේ නව නවකතාමයත්වයක් ඇත්නම් එහි ගෞරවය මේ උපමාමය බසින් පිරි භාෂාවට හිමි විය යුතුය. ශානර න්‍යාය පිළිබඳ සිහිකරමින් මගේ ‘ප්‍රබන්ධානන්දය’ නම් කෘතියෙහි අවසානයේ ලියූ වැකියක් යළි ලියන්නට ඉඩ දෙන්න.
‘සෑම විශිෂ්ට නවකතාවක්ම නවකතාව නමැති ශානරයේ උප ශානරයකි.'(296 පිට) මා ඒ රචනයෙහි විමසන්නේ මෑත කාලයේ පළ වූ විශිෂ්ට නවකතා කිහිපයක් නවකතාව තුළ ඊඩිමස්මය ප්‍රතිවිරෝධයකින් නැගී සිටිමින් නවකතාවම මරා නවකතාවක් උපද්දවන සැටියි. ආරියවංශ අබේසේකරගේ -මාතෘකාවක් සොයන වචන අනූතුන්දාහක්-, ලියනගේ අමරකීර්තිගේ -අහම්බකාරක-, මංජුල වෙඩිවර්ධනගේ -මගේ ආදණීය යක්ෂණී-, එච්.බී.ගුණරත්නගේ -හිතුවක්කාරී- වැනි නවකතා නොයෙක් “හිතුවක්කාර” “අරාජිකවාදී” “ප්‍රතිශානරීය” නවකතාමය එළඹුම් මතින් නවකතාව අලුත් කරන සැටි විමසුවෙමි. තරිඳු ශ්‍රී ලොකුගමගේ ලියූ ‘ජීවිතයේ ඔයිල් පැල්ලම්’ ඒ ‘අරාජික නවකතා’ අතර අභිමානයෙන් සිටුවිය හැකි වැදගත් කෘතියකි.
මේ නවකතාවේ එන තේමාත්මක ගම්භිරතාව ගැන අබමලක රේණුවක අවධානයක් නොදක්වන පාඨකයෙකුට වුව මේ නවකතාව ආනන්දනීය නව නවකතාවකියි කියන්නට සිතෙනු ඇත. මා ප්‍රබන්ධානන්දයේදී ලියූවාක් මෙන්ම සියලු විශිෂ්ට නවකතා නවකතාව නමැති ශානරයේම අලුත් උපශානරයක් අලුතින් උපද්දවන සැටි -ජීවිතයේ ඔයිල් පැල්ලම්- ඔස්සේ කියවීමට පුළුවන. මා මෙතැනදී එසේ කියන්නේ නවකතාවේ භාවිත භාෂා ශෛලිය මත පමණක් පදනම් වෙමිනි. ලොකුගමගේ ඔහුගේ කතා සන්දර්භගත භාෂාව නවකතාමය බස ලෙස සංයෝජනය කරන්නේ කතාවේම අමුද්‍රව්‍ය උපමා ලෙස අනමිනි. ඔහුගේ මේ උපමා බස් ඇනිල්ල නිසාම නවකතාවේ නව නවකතාමයත්වය උපදින සැටි ගැන විමසමින් වෙනත් ලිපියක් ලියන්නට වටී. එහෙත් මේ ඒ වෙනුවෙන් ඉඩ නොවේ.
උපමා ක්‍රීඩාශීලීත්වයේ එතෙමින් නවකතාවේ තේමාත්මක ගම්භිරතාව කෙමෙන් වැඩෙන්නේ නවකතාවේ අවසානයට යන විට රසිකයා හොල්මං කරවමිනි. බොහෝ විශිෂ්ට නවකතාවල විවිධ අයුරින් මේ හොල්මන්කාර ගතිය මැවේ. මේ ‘හොල්මංකාර’ මානසිකාරය මැද මට මේ නවකතාව ස්වර්ණ පුස්තකයකියි ලියා තබන්නට සිතක් පහළ විය. ඒ හොල්මංකාර මනසිකාරය රසිකයෙකු තුළ වැඩෙන්නේ නවකතාව අර්ථකථනය මගින් අප මේ මොහොතේ පය ගසා සිටින මහ පොළෝ යථාර්ථයේ ඇති ගැඹුරු භයංකාරය අපේ මනස තුළ පෙරළි කරවන නිසාය. මා නවකතාවේ තේමාත්මක ගම්භිරතාව කීවේ මෙයයි.

ස්වර්ණ පුස්තකයකට උපමා කතාවක් : ජීවිතයේ ඔයිල් පැල්ලම්.

-ජීවිතයේ ඔයිල් පැල්ලම්- නම් නවකතාව අපේ සාහිත්‍ය රාජ්‍යයේ “ස්වර්ණ පුස්තකය” නම් සම්මානය දිනූ කෘතියක් නොවේ. ඒ නිසා මගේ සටහනේ එන සිරස්තලය බැලූ බැල්මටම සාවද්‍ය එකකි. නියම ස්වර්ණ පුස්තකවලට සම්මාන නොලැබී යාම පිළිබඳ උපමා කතාවක් ලෙස කෙනෙකු -ජීවිතයේ ඔයිල් පැල්ලම්- නවකතාව සිහි කරන්නේ නම් මගේ සටහනේ ඉහත සිරස්තලය රූපකාත්මකව නිවැරදි එකකි. එහෙත් මා -ජීවිතයේ ඔයිල් පැල්ලම්- ඔස්සේ හඹායන්නේ ඒ සම්මාන මානය නොවේ. අනෙක් අතට මා “දක්ෂතම නිර්මාණකරුවා” සොයන බැරෑරුම් සාහිත්‍යකාර මෙහෙයුමක යෙදෙන්නෙකු නොව සාහිත්‍ය ප්‍රිය රසිකයෙකු පමණක් නිසා මේ වසරේ විශිෂ්ටතම නවකතාව මෙයයි කියා නිගමන දෙන විනිශ්චයකාර සුදුසුකම්ද මට ඇත්තේ නැත. එහෙත් මා -ජීවීතයේ ඔයිල් පැල්ලම්- නවකතාවේ අවසාන පිටු කිහිපයේ සිටිද්දී මේ නවකතාව ස්වර්ණ පුස්තකයකියි ලියා තබන්නට හදිසි සිතක් පහළවිය.
මා මේ නවකතාව ස්වර්ණ පුස්තකයක් බව කියන්නේ -නවකතාව- නමැති සාහිත්‍ය ශානරය සමග තරිඳු ශ්‍රී ලොකුගමගේ කළ විප්ලවීය සංවාදයේ ප්‍රතිඵලය වන – ජීවිතයේ ඔයිල් පැල්ලම්- මා මෙතෙක් හඳුනන නවකතා කලාව තුලනාත්මකව කියවා බලමිනි. මේ නවකතාව – අපේ සමකාලීන සමාජ ලෝකය – අපේ මහපොළොවේ යථාර්ථය- එම යථාර්ථය ආරක්ෂා කරවන දම්වැල් පුරුක් වන රසික අපට ඇස් දෙකට ඇන ඇන පෙන්වන, අපේ දේශපාලන යථාර්ථයේ ඇති භයංකර බව, අද්භූත බව, විකාරරූපීත්වය, කොමඩිමය බව ආදිය සනිදර්ශනාත්මකව පැහැදිලි කරන උපමා කතාවක් මෙනි.
මෙහි එන උපමාමය බස, රසිකයා නවකතාමය සංචාරයේ ගෙන යන පරණ කාරයක් මෙනි. “යමක් මගින් වෙනත් යමක් කීම” කියා ඉතා කෙටියෙන් කිව හැකි -උපමා උපමේය භාවිතය- නමැති සාහිත්යික ක්‍රමෝපාය ගැන අප කවුරු කවුරුත් ඕනෑ තරම් අසා ඇත. මේ නවකතාව පිටු 354කින් යුතු එකකි. කතාව කියන්නට(ලියන්නට) -උපමාව- භාවිතා නොකර රචකයා සෘජු කථනයෙන් මේ කතාව ලියුවේ නම් මේ පොතේ පිටු ගණන මීට වඩා දස ගුණයක් වුව අඩු විය හැකිය. මෙම උපමාබාහුල්‍යය කතාවේ ප්‍රවෘත්තිමය රසයට වංගු දමන තැන්ද තිබේ.
“ලංකාව වටහාගැනීමට වුවමනා නම්-, -බයිං ඇන්ඩ් සෙලිං- දෙස බලන්න”රචකයා නවකතාව අරඹන්නටත් පෙර අපට කියයි. මා හඹා ගියේ අපට ලංකාව වටහා දෙන්නට හදන ඔය කතුවර අධ්‍යාසය දිගේ නොවුණද නවකතාව අවසාන වන විට “බයිං ඇන්ඩ් සෙලිං” විෂය කරගත් මේ නවකතාව යනු “කදුළු බිංදු හැඩයේ ලංකා ආකෘතියක්” අතේ තැබූවාක්, හිතේ කෙටුවාක් බඳු විය. මේ නවකතාවේ එන කාර් බයිං ඇන්ඩ් සෙලිං කතන්දරවලට මැදි වන ප්‍රභූ චරිත ඇසුරේ නිරුවත් වෙන ශ්‍රී ලංකා දේශපාලන සිරුර ගැන අපමණක් දේ අපි පුවත්පත් මගින් කියවූවද, රූපවාහිනියෙන් ප්‍රවෘත්ති ලෙස නැරඹූවද නවකතාව මගින් ඇති කෙරෙන ප්‍රජානනය ඒවායින් ඇති කෙරෙන්නේ නැත. අපි රඟපානා පසුතලය පිළිබඳ ප්‍රවෘත්ති අසා කුලප්පු වනවාට වඩා අපේ පසුතලය පිළිබඳ රූපකමය භාවනාවක් වඩන්නට එහි නළුවන්ටම අවකාශ සලසා දීම යනු නවකතාවේ වැදගත් භූමිකාවකි. ජීවිතයේ ඔයිල් පැල්ලම් මේ අද්භූත ලංකාව පිළිබඳ භයංකර රූපකයකි. පාතාලමය ලංකාව පිළිබඳ ප්‍රතිමූර්තියකි.
අපේ රටේ සමකාලීන අභූත-අත්භූත-භයංකර-පාතාලමය බවේ උදාහරණ සජීවීව අත්දකිමින් සිටින මට මේ නවකතාව කියවීම මගේ බයංකර බව බංකරගත කළ අත්දැකීමක් විය. මේ සටහන ලියවෙන්නේ ඒ අභූත බවින්, ඒ බයංකර බවින් අත්මිදෙන “විමුක්තියේ සහෝදරත්වය” සොයන මිනිසෙකු මේ නවකතාවේ ප්‍රිය රසිකයෙකු වූ බව කියන්නටත් එක්කය.
මේ නවකතාව මට මුළුමනින්ම ආගන්තුක විෂයකි. ආගන්තුක වන්නේ මා ඒ විෂය කෙරෙහි ඇති ඇල්ම බැල්මේ තරම නිසාය. “බයිං ඇන්ඩ් සෙලිං” ගැන කාර් රෝදෙක තැවරුණු ගොන්බෙට්ටක තරම් දැනුමක් නැති මා ක්ලැසික් කාර් ගැන තබා වැගන්ආරයක් ගැනවත් මෙලෝ අවධානයකින් සිටියෙකු/ සිටින්නෙකු නොවේ. එවැනි ආගන්තුකයෙකුටත් ඇතුළු විය හැකි නවකතාමය ද්වාරයක් මේ නවකතාවෙහි තිබේ. ඒ දොර නම් අර උපමා පිරි බස පමණක් නොවේ. මේ නවකතාවට ඇතුළු විය හැකි එක දොර පියනක් උපමා කලාත්මක බස් මිහිර නම් අනෙක් දොර පියන තේමාත්මක අදාළත්වයයි. සමකාලීනත්වය පිළිබඳ කෙරෙන දේශපාලනික විමර්ශනයයි.
මේ නවකතාවේ ඒ ඒ සන්දර්භයට උචිත වන සේ උපයුක්ත භාෂාවෙහි සන්දර්භගත කවිතාව, නිර්ප්‍රභූ හද බසක් නිර්මාණය කෙරෙන සැටි ගැන මෙන්ම තේමාත්මක ගම්භිරතාව ගැනත් නවකතාමය නිදර්ශන සමග සංවාදයේ යෙදෙන්නට බොහෝ දේ තිබේ. එහෙත් ෆෙස්බුක් එක යනු එහෙම ඉඩහසරක් නොවන බව මගේ මිතුරන් මට කියා දී ඇති නිසා “ජීවිතයේ ඔයිල් පැල්ලම්”ගැන මිතුරෙකු සමග එකට හිඳගෙන දිගු සංවාදයකට වාඩි වෙන්නට ඉඩක් පෑදෙනු ඇතිය යන අපේක්ෂාව පෙරදැරිව මා දැන් මේ කුඩා සටහන නිමා කළ යුතුය.

– සුදර්ශන සමරවීර
Previous articleලිට්‍රෝ සහ ලාෆ්ස් සමාගම් ගෑස් බෙදාහැරීම නවතා දමයි – නැව් දෙකක් දින 10 සිට මුහුදේ
Next articleපාරමී රණසිංහ ජාතික රූපවාහිනියෙන් හේතු නොදන්වා ඉවත්කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here