අලුත් අවුරුද්දෙදි උත්තර දෙන්න

දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලිය සම්බන්ධයෙන් මතු වූ ඝෝෂාව මැකී යමින් තිබේ. ඒ සිදුවීම්වලට අදාළ බව කියන නිලධාරීහු ද එම තොරතුරු එළියට යාම පිළිබඳව එම ආයතනවල සේවකයන්ට බනිමින්, තර්ජනය කරමින් යහතින් සිටිති. කාගේ හෝ මැදිහත් වීමකින් ඔවුන් සම්බන්ධයෙන් ගැනීමට තිබූ තීන්දු තීරණ හැකිළී ඇත.

 ඒ තත්ත්වය මත හෙළි වූ තොරතුරු සම්බන්ධයෙන් ඔවුන් සේවක සේවිකාවන්ට තර්ජනය කිරීමෙන් නොනැවතී තමන්ට ඇති බලය ගැන ද පුරසාරම් කියන්නට පටන්ගෙන ඇත. ඒ අනුව ඇමති ද, ජනපති ද සිටින්නේ ඔවුන්ගේ අතේය. ලේකම්ට කළ හැකි බම්බුවක් නැත. ඒ නිසා සේවකයන්ට තිබෙන්නේ කළුගල්වල ඔළුව ගසා නොගෙන එම නිලධාරීන් ගනු ලබන ඕනෑම තීරණයකට එකඟව කටයුතු කරන්නටය.

එහෙත්, ක්‍රීඩාව ජනතාවගේය. ක්‍රීඩා කරන්නේ ජනතාවය. ඒ නිසා අපි පැනනැඟී ඇති ගැටලු සම්බන්ධයෙන් ප්‍රශ්න 14ක් පමණ ලිඛිත පිළිතුරු අපේක්ෂාවෙන් ලේකම්වරයාට ඉදිරිපත් කළෙමු. අන්තර්ජාල පහසුකම් යොදා ගනිමින් කරන ලද එම ඉදිරිපත් කිරීම ලේකම්වරයාට ලැබුණු බව ද සැක හැර දැන ගත්තෙමු.

නමුත්, ලංකාවේ දේශපාලන වටපිටාව තුළ ලේකම්වරයා දේශපාලන බලපෑම්වලට යට කර ගැනීමට හැකියාව ඇත. ඒ නිසා අද චෝදනා එල්ල වන නිලධාරීන් සේවක සේවිකාවන්ට තර්ජනය කරමින් පවසන ඔවුන්ගේ අතේ සිටින බව කියන ඇමති සහ ජනපති මේ ගැන කුමක් කියනු ඇද්දැයි අපි බලා සිටින්නෙමු. එන අලු‍ත් අවුරුද්දේ ක්‍රීඩාවට යහපතක් වන පිළිතුරක් ලේකම්වරයාට දිය හැකි වනු ඇද්ද?

පහතින් දැක්වෙන්නේ ‘ලංකා’ පුවත් පත ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයාට ඉදිරිපත් කළ ලිපියය.

2019 – 12 – 24

ලේකම්,

ක්‍රීඩා අමාත්‍යාංශය

මාධ්‍ය හමුවේ දී අවධාරණය කර ගත යුතු කරුණු

අද දින පැවැත්වෙන මාධ්‍ය හමුවට අතිශයින් වැදගත් පෞද්ගලික කටයුත්තක් හේතුවෙන් සහභාගි වීමට නොහැකිය. එම හේතුව මා දන්නා පරිදි ලේකම්තුමා ද දන්නා බව මම විශ්වාස කරමි.

මාධ්‍යයක් හැටියට ‘ලංකා’ පුවත් පත කාරුණිකව ලේකම්වරයාගෙන් පහත සඳහන් ගැටලුවලට පිළිතුරු අපේක්ෂා කරමි.

  1.  ට්‍රැවල් කාඞ් ලෙස නියමිත අනුමැතියක් නැතිව ඩොලර් 25,000 ගණනේ කාඞ් දෙකක් රැගෙන යාම සම්බන්ධයෙන් අදාළ නිලධාරීන්ට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග කවරේද?

  2.  එම කාඞ් පත් දෙකෙන් එක් කාඞ් පතක් වියදම් නොකරම ගෙනැවිත් ඇත. වියදම් කර ඇති කාඞ් පතෙන් ද ඩොලර් 25,000ක් වියදම් වී නැත. ඒ අනුව එම දෙදෙනා අනවශ්‍ය විදිහට විශාල මුදලක් රැගෙන ගොස් තිබේ. මාධ්‍ය මඟින් හෙළිදරව් නොකළා නම් එම මුදලට කුමක් විය හැකි ද යන්න ගැන සාධාරණ සැකයක් ඇති වේ. ඒ ගැන අමාත්‍යාංශය කුමන ආකාරයේ තීරණයක් ගන්නේ ද? එම කාඞ් දෙකෙන් වියදම් කර ඇති මුදල කොපමණ ද?

  3.  ලංකාවේ ප්‍රධාන මුද්‍රිත මාධ්‍යයක් සිය ක්‍රීඩා පිටුවේ ඩෝබි වෘත්තිය (එය කුලයක් ලෙස ද ව්‍යවහාරයට ගැනේ) පදනම් කරගෙන ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කළ ප්‍රකාශයක් පළ කළේය. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ද පටහැනිය. ඒ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ගය කුමක් ද? (ඔහු එවැනි ප්‍රකාශයක් නොකළ බව සඳහන් කර නැත. එසේ නොකළා නම්, ඒ සම්බන්ධයෙන් සිය වෘත්තිය මෙන්ම ආයතනය ද පිළිකුලට බඳුන් කිරීම සම්බන්ධයෙන් පියවරක් ගැනීමට හැකිය.)

  4.  දැනට සුගතදාස හෝටලයේ නවාතැන් ගැන්වීම නිසා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඩෙංගුවලට ගොදුරු වූ බව පැවසේ. ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තැනූ ටොරින්ටන් ක්‍රීඩාගාරය නිලධාරීන්ට සහ ඔවුන්ගේ පවුල්වලට වෙන් කිරීමට පියවර ගත්තේ කවුද? එහි සිටින නිලධාරීන් කවුද? දැන් හෝ එම පිරිස ඉන් ඉවත් කිරීමට පියවර නොගන්නේ තව දුරටත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සුගතදාස හෝටලයේ ඩෙංගු මදුරුවන්ට ගොදුරු කර දෙන්න ද?

  5.  ඩෙංගුවලට ලංකාවේ දී ම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගොදුරු වෙද්දීත් ඒ ස්ථානය වෙනස් නොකිරීමටත්, පරික්ෂා කිරීමකට හෝ බඳුන් නොකිරීමටත් වගකිව යුත්තේ කවුද? (අමාත්‍යවරයා පරීක්ෂා කරන තුරු පරික්ෂා නොකළ බව පැහැදිලි කරමින් ඔහු කළ ජාතියෙන් සමාව අයැදීමට ගරු කරමි.)

  6.  ක්‍රීඩකයන්ට වායුසමන යන්ත්‍රය භාවිත කිරීමට ඉඩ නොදෙමින්, එහි දුරස්ථ පාලක පවා ඉවත් කිරීමට කටයුතු කිරීම කාගේ උපදෙසක් මත සිදු වූවක් ද? (මුදල් ඉතිරි කිරීමට යැයි පවසන්නේ නම්, ඩොලර් 25,000 ගණනේ රැගෙන යාමට දෙදෙනකුට හැකියාව තිබී ඇත. එයින් ද වියදම් නොකර අවශ්‍යතා පිරිමසා ගැනීමට ද හැකි වී ඇත.)

  7.  ටොරින්ටන් නේවාසිකාගාරවල සිටින නිලධාරීන් වායුසමන යන්ත්‍ර  භාවිත කරනවා ද? කරුණාකර ක්‍රීඩකයන්ට අදාළ එම නේවාසිකාගාරවල අප්‍රේල් මාසයේ සිට ගෙවා ඇති විදුලි බිල් පත් ඉදිරිපත් කරනවා ද? එයින් ඒවායේ වායුසමනය භාවිත කර ඇද්ද නැද්ද යන්න සාමාන්‍ය ජනතාවට දැනගැනීමට හැකියාව ඇත.

  8.  ක්‍රීඩකයන්ට මීටර් 200ක් පමණ ඔවුන්ගේ බඩු බාහිරාදිය ඔසවාගෙන යාමට සිදු වූ බව ඉතා සැහැල්ලු‍වෙන් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ප්‍රකාශ කළ අයුරු අපි දුටිමු. නමුත්, එය සුළු කොට තැකිය නොහැකිය. ඒ සඳහා ඩොලර් 25,000 බැගින් මුදල් ද රැගෙන ගොස් තිබිය දී, කුලීකරුවන් හෝ යොදා ගැනීමට තිබිණ.

  9.  ව්‍යා‍පාරික පංතියේ ගුවන් ටිකට් පත් දෙකකින් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සහ ගණකාධිකාරිවරයා කටාර් හරහා නේපාලයට ගියේ ඇයි ? එය ප්‍රදානයක් නම්, රජයේ ඉහළ නිලධාරියකුට එසේ ප්‍රදානයන් ලැබීමට හැකියාවක් ඇද්ද? අධ්‍යක්ෂ ජෙනරාල්වරයාම මාධ්‍යයට කළ ප්‍රකාශවල දී පැහැදිලි කළේ ක්‍රීඩකයන්ට යම් යම් ගුවන් යානාවල ප්‍රමාදයන්ට මුහුණ දීමට සිදු වූයේ, මේ දිනවල පවතින කාලගුණික බාධාවන් නිසා බව ය. එසේ නම්, දැන දැනම ඒ බාධා සහිත මාර්ගය ක්‍රීඩකයන්ට විවෘත කර තමන් වරප්‍රසාදයක් හෝ ප්‍රදානයක් ලෙස ව්‍යාපාරික ගුවන් ටිකට් පත් ලබාගෙන කටාර් හරහා පැමිණීම වගකීම පැහැර හැරීමක් නොවේ ද? ඔවුන් ක්‍රීඩකයන්ට වඩා නේපාලයට තමන් අවශ්‍ය වන බව සලකා කටයුතු කර නැද්ද?

10.  ක්‍රී‍ඩා අමාත්‍යාංශය යටතේ සේවය කරන පුහුණුකරුවන්ට ජයග්‍රහණ ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුකරුවන්ට ලැබෙන ගෙවීම් නොලැබෙන්නේ ද?සිටින සියලුම පුහුණුකරුවන් අතුරින් එවැනි අය කර තිබෙන විශේෂ කුසලතා අගැයීමට ලක් කළ යුතු බව අපේ විශ්වාසය වන්නේය. අමාත්‍යාංශය යටතේ රාජකාරි කරන පුහුණුකරුවන් සහ ක්‍රීඩා නිලධාරීන්ගේ ප්‍රමාණය කොපමණ ද? ඒ අය අතුරින් සාග් පදක්කම් දිනීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණු කර ඇති ප්‍රමාණය කොපමණ ද?

11.  තුන් ප්‍රයාම ඉසව්වේ පුහුණුකරු දීමනා සහ පදක්කම් සඳහා වන පුහුණුකරු දීමනා එක් පුද්ගලයකුට ගෙවා ඇති බව දැනගන්නට ඇත. ඒ තත්ත්වය සොයාබලා දක්ෂයන් පුහුණු කරන සැබෑ පුහුණුකරුවන්ට එම මුදල් ලැබීමට සලස්වන්නේ ද?

12.  වසර ගණනක සිට ක්‍රීඩා අමාත්‍යාංශයේ එකම නිලධාරී කොටසක් කටයුතු කිරීමට හේතුව පළාත් සහ මධ්‍යම රජය ලෙස නිලධාරීන් වෙන් කර තිබීමය. මේ තත්ත්වය වෙනස් කර එක සේවයක් බවට ක්‍රීඩා ක්ෂේත්‍රයේ තනතුරු ගෙන ඒමට කටයුතු කරන්නේ නම්, මීට වඩා ඵලදායක වනු ඇත. එම තත්ත්වය සැලකිල්ලට ගෙන කටයුතු කරනවාද?

13.  දකුණු ආසියාතික තරගාවලිය ආසන්නයේ බදුල්ලේ ජාතික ක්‍රීඩා උලෙළ පැවත්වීම දේශපාලන වුවමනාවකට ක්‍රීඩකයන් අනාරක්ෂිත කිරීමක් ය. මේ තත්ත්වය වසර ගණනක සිට සියලු‍ ඇමතිවරුන්ගේ, ලේකම්වරුන්ගේ සිට ඉහළ නිලධාරීන්ගේ සිට පහළ නිලධාරීන් දක්වාම මා විසින් කතා කර ඇත. මින් ඉදිරියටවත් ජාතික ක්‍රීඩා උලෙළේ සමාප්තිය කෘත්‍රිම ධාවනපථයක් ඇති තැනෙක පමණක් පැවැත්වීමට කටයුතු කරන්නේ ද? (පත් වන ඕනෑම අමාත්‍යවරයකු තමන්ගේ ආසනයේ කෘත්‍රිම ධාවනපථයක් සකස් කර ක්‍රීඩා උලෙළ පැවැත්වීම සම්බන්ධයෙන් විරෝධයක් නැත.)

14.  දකුණු ආසියාතික තරග උලෙළට සහභාගි වූ අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ඔවුන්ගේ රාජකාරි වෘත්තිය කවරේ ද යන්නත්, විභාග කටයුතු සඳහා යැයි සහභාගි වූ අයෙක් සිටී නම්, එහි දී කර තිබෙන රාජකාරිය කවරේ ද යන්නත්, මේ වන විට ඔවුන් කී දෙනෙක් නිරීක්ෂණ වාර්තා ලබා දී ඇද්ද යන්නත් පැහැදිලි කරන්න.

මේ අපට දකුණු ආසියාතික තරගාවලිය හරහා මතු වූ ගැටලු සහ තවත් සුළු ගැටලු කිහිපයකි. ඒවාට පිළිතුරු ලිඛිතව ලබා දෙන්නේ නම්, බෙහෙවින් ස්තූතිවන්ත වෙමි. එසේම මාධ්‍ය හමුවේ දී ද මෙම කරුණු අවධානයට ගන්නේ නම්, බෙහෙවින් ස්තූති වෙමි.

ස්තූතියි

මෙයට – විශ්වාසී

නිශ්මං රණසිංහ

ක්‍රීඩා සංස්කාරක, ලංකා ඉරිදා සංග්‍රහය.

Leave A Reply

Your email address will not be published.

11 − 8 =