ගැල ආයෙත් පෙර තැනට

මෙම ලිපිය උපුටා දැක්වීමට සිදු වූයේ ආණ්ඩුව ගෙන තිබෙන තීරණයක් නිසා ය. ලබන පෙබරවාරි මස 04 වැනි දින පවත්වනු ලබන ජාතික නිදහස් දින රාජ්‍ය උත්සවයේ දී ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ගායනය කිරීමට තීරණය කර තිබීමෙන්ය. නිදහස් දිනය ගැන උත්කර්ෂයට නංවන හැඟීම දෙමළ භාෂාවෙන් කතා කරන අයට ඇති නොවිය යුතු බවට ආණ්ඩුව කල්පනා කරනවා විය හැකිය. එහෙත් අප කල්පනා කරන්නේ, දෙමළ භාෂාවෙන් ගායනා කරන්නේ ‘බලුකිස්ථානය’ පිළිබඳව නොව ලංකාවේ ජාතික ගීය බවයි. සිංහලෙන් තිබෙන එය දෙමළ භාෂාවට පරිවර්තනය කර ගායනා කිරීම නිසා ‘බලුකිස්ථානය’ ගැන ආඩම්බරයක් කාට හෝ ඇති නොවන බව අපගේ වැටහීමය.

ශ‍්‍රී ලංකාවේ වෙසෙන සියලු දෙනාට තමන්ගේම මවු භාෂාවෙන් ජාතික ගීය ගැයීමට ඇති අයිතිය, 2016 නොවැම්බර් 18 වැනි සිකුරාදා ශ්‍රේෂ්ඨාධිකරණය අනුමත කෙළේය.

‘නමෝ නමෝ මාතා’ යනුවෙන් ගැයෙන අපේ ජාතික ගීය තුළ ඇති විශේෂත්වය වන්නේ, එය රට පිළිබඳ අභිනන්දනය ගැන පමණක් ගැයෙන ගීයක් වීමයි. කිසි ජාතියක්, කුලයක්, ඇදහීමක්, ප‍්‍රජාවක් හෝ ආගමක් ඒ මගින් උත්කර්ෂයට නැංවෙන්නේ නැත. එය මුළුමනින්ම නිර්-පාක්ෂික වන අතර, ලංකා මාතාව වන අප රටේ වෙසෙන සියලු දෙනාගේ දේශමාමකත්වයට ඒ මඟින් ආමන්ත‍්‍රණය කෙරේ. මේ ගීය දෙමළ භාෂාවට පරිවර්තනය කළ මුල් අවස්ථාවේ මේ රටේ වෙසෙන දෙමළ ජනතාව එහි ඇති කිසිවකට විරෝධයක් නොපෑවේ එබැවිනි. එසේම, ඉහළම ගෞරවයෙන් යුතුව තම මවු භාෂාවෙන් ඔවුන් එම ගීය එදා පටන් හදවතින්ම ගැයුවේ ද එබැවිනි.

ජාතික ගීය අතීතයේ භාවිත වී ඇති ආකාරයත්, රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නීති ගැනත් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය, 1951 නොවැම්බර් 22 වැනිදා අප රටේ ජාතික ගීය වශයෙන් භාවිතයට ගත් ‘නමෝ නමෝ මාතා’ ගීය මේ රටේ වෙසෙන ඕනෑම කෙනකුගේ මවු භාෂාවෙන් ගායනා කිරීම තුළ කිසි පරස්පරයක් නැති බව කියා සිටියේය. මේ අධිකරණ විනිශ්චයෙන් අදහස් වන්නේ, තමන්ගේ හදවතට වඩාත් හොඳින් හැඟෙන සහ දැනෙන භාෂාවකින් ශ‍්‍රී ලංකාවේ පුරවැසියන් වන ඕනෑම ප‍්‍රජාවකට එය ගායනා කළ හැකි බවයි. මෙම විනිශ්චය තුළ තවත් දෙයක් අවධාරණය කෙරේ. එනම්, අපේ මොන වෙනස්කම් තිබුණත්, අප සියල්ලන්ම එක සමාන වන බවත්, කිසි භාෂාවක්, ජාතියක් හෝ ආගමක්, තවත් භාෂාවකට, ජාතියකට හෝ ආගමට ඉහළින් උසස් කොට නොසැලකෙන බවත් ය.

අවසානයේ දී ගත් විට ජාතික ගීයක් යනු රටක ඉතිහාසය, සම්ප‍්‍රදායය සහ එරටේ වෙසෙන ජනතාවගේ අරගල අභිනන්දනය කෙරෙන ගීයකි. රටක ආණ්ඩුවක් එවන් ගීතයක් තමන්ගේ ජාතික ගීය වශයෙන් තෝරා ගන්නේ එබැවිනි.

අප නිදහස ලැබුවේ 1948දී වුවත්, ආනන්ද සමරකෝන් විසින් රචිත ‘නමෝ නමෝ මාතා’ ගීය 1951දී ජාතික ගීය වශයෙන් සම්මත කර ගන්නා තෙක් අපට ජාතික ගීයක් තිබුණේ නැත. එදා රට පාලනය කළ අගමැති  ඩී. ඇස්. සේනානායකගේ ඉල්ලීම පරිදි මේ ගීතය දෙමළ භාෂාවට පරිවර්තනය කෙරිණි. 1954 පෙබරවාරි 4 වැනිදා යාපනය, වව්නියාව, මන්නාරම, ත‍්‍රිකුණාමලය සහ මඩකලපුව යන ප‍්‍රදේශවල පැවැති නිදහස් සමරු උලෙළවල දී මේ ගීය ගායනා කෙරුණේ දෙමළ භාෂාවෙනි. එදා පටන් එම භාවිතය දිගටම ගෙන ගොස් තිබේ. එය අත්හිටවුණේ, යුද්ධ කාලයේ උතුරේ විශාල භූමි ප‍්‍රදේශයක් එල්.ටී.ටී.ඊ. සංවිධානය යටතට පත් වූ කෙටි කාලයක දී පමණි. මේ කාලයේ දී ඔවුන්ගේ බලප‍්‍රදේශවල ජාතික ගීය ගැයීම නතර කෙරිණි. එහෙත්, මේ පළාත් තම වාසභූමි වශයෙන් සලකා කටයුතු කළ ඒ කාලයේ පවා එල්.ටී.ටී.ඊ. සංවිධානය තමන්ගේම වන වෙනම ජාතික ගීයක් සකසා ගත්තේ හෝ ගායනා කෙළේ හෝ නැත.

ක්‍රමක්‍රමයෙන් උතුරු, නැඟෙනහිර පළාත් හමුදාව යටතට පත්වීමත් සමඟම එම පළාත්වල ජාතික ගීය වාදනය කිරීම යළි ඇරඹිණි. අනතුරුව නිදහස් උත්සවයක දී රට පුරාම ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගැයුණේ, 2016 පෙබරවාරි 4 වැනිදාය. එය අප අතිශයින් ප‍්‍රීතියට පත් විය යුතුව තිබුණු දිනයකි. මන්ද යත්, කිසිදු බලහත්කාරයකින් තොරව තමන්ගේම භාෂාවෙන් සියලු ජනතාවට තමන්ගේ මවුබිමේ ජාතික ගීය ගැයීමේ අවස්ථාව එදා ලැබුණු බැවිනි.

1949 නිදහස් දින සැමරීමේ උත්සවයේදී
ජාතික ගීය සිංහල හා දෙමල ද්විභාෂාවන්ගෙන් ගැයීම සඳහා පළකළ දැන්වීම

අවාසනාවකට මේ ආණ්ඩුවට පසමිතුරු, නොමඟ ගිය ‘සිංහ හදවත්’ සහිත ඇතැම් පිරිස් සියලු ශ‍්‍රී ලාංකිකයන් එක්තැන් කළ ඒ උසස් ක්‍රියාව ගැන ප‍්‍රශංසා කරනවා වෙනුවට එය විවේචනය කිරීමට පටන් ගත්හ. එතැනින් නොනැවතුණු ඔවුහු ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද අධිකරණයට ඉදිරිපත් කළහ.

එබැවින්, මේ අධිකරණ විනිශ්චය මඟින් අප රටේ සමාජ නිර්මිතය සකස්ව ඇති විවිධ ප‍්‍රජාවන් භේදභින්න කළ දීර්ඝකාලීන වාර්ගික යුද්ධයෙන් පසුව එම ජාතීන් අතර සම්බන්ධතා සුවපත් කිරීමේ ක්‍රියාවලියට විශාල රුකුලක් දී තිබේ.

1948 සිට 1951 දක්වා අපේ රටට ජාතික ගීයක් නොතිබුණු බව ද මෙහි දී අමතක නොකළ යුතු ය. 1948දී අප නිදහස ලබා ගත්තත්, මේ කාලය මුළුල්ලේම අප ගායනා කෙළේ බි‍්‍රතාන්‍යයන්ගේ ජාතික ගීයයි. ‘සිලෝන්’ වශයෙන් එදා හැඳින්වුණු ලංකාවේ ජාතික ගීය වශයෙන් ‘නමෝ නමෝ මාතා’ ගීතය යොදා ගත යුතු බවට කැබිනට් යෝජනාවක් ඉදිරිපත් කෙළේ ශ‍්‍රීමත් ඊ. ඒ. පී. විජේරත්න විසිනි. ඒ 1951 අගෝස්තු මාසයේදීය. ඒ අනුව 1951 නොවැම්බර් 22 වැනිදා එය රටේ ජාතික ගීය වශයෙන්, කැබිනට් මණ්ඩලය ඒකමතිකව සම්මත කර ගත්තේ ය.

අනතුරුව මෙය ජාතික නිදහස් දින උත්සවයක දී මුල් වරට නිල වශයෙන් ගායනා කෙරුණේ 1952 පෙබරවාරි 4 වැනිදා ය. දැන්, මේ වසරේ පෙබරවාරි 4 වැනිදා රටේ සියලු ජන කොටස් එක තාලයකට එකාවන්ව විවිධ වචනවලින් මේ ගීය වාදනය කළහ. ඒ සියල්ලන් අභිනන්දනය කෙළේ මරකත මාණික්‍යයක් වන් අපේ දේශයයි.

නොවැම්බර් මාසය ශ‍්‍රී ලාංකිකයන්ට විශේෂ වැදගත්කමක් ගෙන දෙන මාසයක් යැයි හැඟේ. ‘නමෝ නමෝ මාතා’ අපේ ජාතික ගීය වශයෙන් සම්මත කර ගත්තේ 1951 නොවැම්බර් මාසයේදීය. ඊ ළඟට එම ජාතික ගීය තම තමන්ගේ භාෂාවලින් ගායනා කිරීමට ඕනෑම ජන ප‍්‍රජාවකට ඇති අයිතිය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පිළිගන්නා ලද්දේ ද මේ නොවැම්බරයේ ය. එම ජාතික ගීයෙන් එක්සත් කෙරෙන ජනතාව කඩා ඉහිරවීමට කිසිවෙක් යත්න නොදරතියි අපි විශ්වාස කරමු.

2016 නොවැම්බර් 21 වැනිදා ‘ඬේලි මිරර්’ පුවත් පතේ පළ වූ Let the National Anthem Unite Us නමැති කතුවැකියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි.

Leave A Reply

Your email address will not be published.

sixteen − thirteen =