ජාතිවාදයට එරෙහි අපේ අසල්වැසියා

ඉන්දියානු ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ නව පුරවැසි පනත විසින් එරට ජන ජීවිතය උඩු යටිකුරු කර තිබේ. ඒ 1955 පුරවැසි පනතට සංශෝධනයක් සිදුකරමින් පසුගිය දෙසැම්බර් 12 වෙනිදා ඉන්දීය ජනපතිවරයාගේ අනුමැතිය සහිතව පුරවැසි සංශෝධන පනත (Citizen Amendments Bill) ගැසට් කිරීමත් සමග ඉන්දියාව පුරා විරෝධතා ව්‍යාපාර ක්‍රියාත්මක වන්නට වීම නිසාය.

මෙම පනත් සංශෝධනයට අනුව 2015 වර්ෂයට පෙර පාකිස්ථානය, බංග්ලාදේශය හා ඇෆ්ඝනිස්ථානය වැනි රටවල්වල පැවති වාර්ගික හිංසන නිසා අනවසරයෙන් ඉන්දියාවට සංක්‍රමණය වූ හින්දු, සීක්, ජෛන, බෞද්ධ හා කිතුනු වැනි ජන කොටස් ඉන්දියානු පුරවැසියන් ලෙස සලකන බවට පිළිගන්නා බවට නිවේදනය කර තිබේ. නමුත් ඉහත කී ජනකොටස් වලට අමතරව එලෙස එම කාලය තුළ ඉන්දියාවට සංක්‍රමණය වී ඇති පාකිස්තානයේ අහමඩියාස් හෝ ඇෆ්ගනිස්ථානයේ ෂියා හසාරස් වැනි සුළුතර මුස්ලිම් ජනකොටස් ඉන්දියානු පුරවැසියන් ලෙස පිළි ගැනීම මෙම පනත් සංශෝධනය මගින් බැහැර කර ඇත. ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තය ආශ්‍රිතව ජීවත්වන ජනතාවට මෙම පනත මගින් වැඩි වශයෙන් බලපෑම් සිදුවී තිබේ.

විවිධ අවස්ථාවල ඇතිවූ යුදමය සහ වාර්ගික ගැටුම් හේතුවෙන් බෙංගාලි බස කතාකරන ජන කණ්ඩායම් රාශියක් ඉන්දියාව දෙසට සංක්‍රමණය වී ඇති අතර, මෙලෙස විවිධ අවස්ථාවල ඉන්දියාවට සංක්‍රමණය වූවන් සහ ඇසෑමයේ පුරවැසියන් වෙන්කොට හඳුනා ගැනීම සඳහා 1951 වසරේදී ඇසෑම් ප්‍රාන්තයේ පුරවැසියන් ලියාපදිංචි කිරීමේ ජාතික ලේඛනය හඳුන්වා දුන්නේය. එම ලේඛනය තුළ බංග්ලාදේශය නිදහස් රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට පෙර ඇසෑමයට පැමිණි පුද්ගලයන්ගේ ලැයිස්තුවක්ද වේ.

2019 වසරේදී මෙම ලැයිස්තුව නැවත යාවත්කාලීන කිරීමට ඉන්දීය රජය තීරණය කරනු ලැබීය. ඒ අනුව තමන් 1971 මාර්තු 24 ට පෙර එහි පැමිණි බව ඔප්පු කිරීමට දින 120ක් පමණක් ඇසෑම් වැසියන්ට ලබාදෙනු ලැබීය. එහෙත් නූගත් කමින් හා දිළිඳු කමින් පෙළෙන මිලියන ගණනක ජනතාවට ඔවුන්ගේ පාරම්පරික ඉන්දියානු පුරවැසිභාවය ඔප්පු කිරීමට අවශ්‍ය ලිපි ලේඛන ඉදිරිපත් කිරීමට නොහැකි විය. මෙම තීරණය නිසා ඇසෑමයේ ජීවත් වන ලක්ෂ 19ක පමණ ජනකොටසකට පුරවැසිභාවය අහිමි වී සරණාගත තත්ත්වයට පත්වීමේ අවදානමකට මුහුණ දී ඇති පසුබිමක් නිර්මාණය විය. මෙම නව පුරවැසි පනත පනත ඉදිරිපත් කරනු ලබන්නේ එවැනි තත්ත්වයක් තිබියදීය.

ඉදිරිපත් කළ පනත මගින් 2015 වර්ෂයට පෙර පාකිස්ථානය, බංග්ලාදේශය හා ඇෆ්ඝනිස්ථානය වැනි රටවල් වල පැවති වාර්ගික හිංසන නිසා අනවසරයෙන් ඉන්දියාවට සංක්‍රමණය වූ හින්දු, සීක්, ජෛන, බෞද්ධ හා කිතුනු ජන කොටස්වලට ලියකියවිලි ඉදිරිපත් කිරීමට අපොහොසත් වුවද ඔවුන් සරණාගතයන් ලෙස පිළිගෙන ඉන්දියානු පුරවැසියන් ලෙස සලකන බව පනත මගින් පිළිගෙන ඇත. එහෙත් ලියකියවිලි ඉදිරිපත් කිරීමට අපොහොසත් මුස්ලිම් ජනතාව එයින් බැහැර කර තිබේ. එලෙස එක් ජනකොටසක් වෙනස් කොට සැලකීම ඉන්දියාව පුරා ඇතිවී තිබෙන විරෝධතාවලට හේතු වී තිබේ.

පළමුවෙන් ඇසෑම් ප්‍රාන්තයෙන් ඇරඹුණු මෙම විරෝධතා වලට එරෙහිව රාජ්‍ය මර්දනය ක්‍රියාත්මක වීමත් සමග එය ඉන්දියාව පුරා පැතිරයන විරෝධතා රැල්ලක් බවට පරිවර්තනය විය. නවදිල්ලියේ ජමියා මිලියා ඉස්ලාමියා සහ අගනුවර දිල්ලියේ සිට සැතපුම් 81ක් එපිට පිහිටි උත්තර් ප්‍රදේශ් හී අලිගාර්හ් මුස්ලිම් විශ්ව විද්‍යාලයේ සිසුන්ද පසුගිය සතියේ සම්මත වූ මෝදී ආණ්ඩුවේ නීතියට එරෙහි විණි.

නව නීතියෙන් මුස්ලිම් ජනයා බැහැර කිරීමට එරෙහිව විරෝධය පෑමට ලෝක් සභා ගොඩනැගිල්ල කරා පා ගමනින් යෑමට උත්සාහ ගත් ජමියා මිලියා ඉස්ලාමියා සිසුන්ට දකුණු දිල්ලියේ ජනයාද එක්වූහ. ඔවුන් විසුරුවා හැරීම සඳහා පොලිසිය උත්සාහ ගත් විට ගැටුම් ඇවිල ගිය අතර පුද්ගලික වාහනවලට හා බස් රථවලට විරෝධතාකරුවෝ ගිනි තැබුහ. ජමියා මිලියා විශ්ව විද්‍යාලයට කඩා වැදුණු පොලිසිය එහි පංති කාමර තුළට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරනු ලැබීය. සියයකට අධික සිසුන් පොලිස් ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූ බවට විශ්ව විද්‍යාල පාලනාධිකාරිය පැවසීය. එසේම වාහන ගිනි තැබීමට සිසුන් හවුල් නොවූ බව ද ඔවුන් පවසයි.

කෙසේ වෙතත් ලෝක් සභාව ඉදිරිපිට වූ සිදුවීමේදී පොලිස් අත්අඩංගුවට පත් සිසුන් පසුදින උදෑසන මුදා හැරීමට දිල්ලි පොලිසියට සිදුවිය. ඒ දිල්ලියේ වෙනත් විශ්ව විද්‍යාලවල සිසුන් සහ සිය ගණනක් සමාජ ක්‍රියාකාරීන් දිල්ලි පොලිස් මූලස්ථානය ඉදිරියේ දැක්වූ විරෝධතාවය හේතුවෙනි.

දිල්ලියට සමාන තත්ත්වයක් ඇති වූ උත්තර් ප්‍රදේශ් හී අලිගාර්හ් විශ්වවිද්‍යාලයේ සිසුන්ද පොලිස් බැටන් හා කඳුළු ගෑස් ප්‍රහාරයට ලක්විය. සුළුතර ජනයා වෙනුවෙන් ඉන්දියාවේ තිබෙන විශාලතම විශ්වවිද්‍යාලය වන එහි පිවිසුම් දොරටුව  අසළ සිසුන් දහස් ගණනක් මෝදී ආණ්ඩුවේ වර්ගවාදී නීතියට එරෙහිව උද්ඝෝෂණය කළෝය. සිසු විරෝධතාව ආරම්භ වන විටම එහි කඩා වැදුණු පොලිසිය ප්‍රහාර ආරම්භ කර තිබිණි. අනතුරුව අලිගාර්හ් දිස්ත්‍රික් බලධාරීන් විශ්වවිද්‍යාලය වසා දමන්නට නියෝග කරනු ලැබීය. පසුගිය 22වන දින පමණක් විරෝධතාවලට එල්ල කළ ප්‍රහාර හේතුවෙන් ඇසෑමයේ පුද්ගල මරණ 06ක් වාර්තා විය. මේ අතර විරෝධතා වාර්තා වූ ප්‍රදේශ රැසක ‘නීතිය පවත්වා ගෙන යාම සඳහා’ යයි කියමින් අන්තර්ජාලය අවහිර කිරීමට බලධාරීහු කටයුතු කරනු ලැබීය.

මේ අතර පුරවැසි පනතට එරෙහිව බටහිර බෙංගාල මහ ඇමතිනී මම්තා බැනර්ජිගේ මූලිකත්වයෙන් කොල්කටාහි දැවැන්ත රැලියක් පවත්වනු ලැබීය. හැකිනම් තම ප්‍රාන්තය වන බෙංගාලයේදී නව නීති ක්‍රියාත්මක කරන්නැයි භාරතීය ජනතා පක්ෂ නායකත්ව මධ්‍යස්ථානයට ඇය අභියෝග කළාය. ‘මා ජීවත්ව සිටින තාක් කල් මේ පුරවැසි සංශෝධන පනත සහ පුරවැසි ජාතික ලේඛනය ක්‍රියාත්මක කරන්නේ නෑ. ඔවුන්ට අවශ්‍ය නම් අපේ ප්‍රාන්ත රජය විසුරුවා හරින්න පුළුවන්. නමුත් අපි යටත් වෙන්නේ නැහැ’ යයි බැනර්ජි රැලිය අමතමින් පැවසුවාය. මම්තා බැනර්ජිගේ ත්‍රිණාමූල් කොන්ග්‍රසයේ කම්කරුවන් සහ ආධාරකරුවන් දහස් ගණනක් පාගමන අතරතුර පෙළපාළියට එකතු වනු දකින්නට ලැබුණි. පුරවැසි සංශෝධන පනත සහ එන්ආර්සී ඉල්ලා අස්කර ගන්නා තෙක් තම පක්ෂය සිය විරෝධතාවය දිගටම කරගෙන යන බව මම්තා බැනර්ජි පවසන්නීය.

ඉන් අනතුරුව දිල්ලි මහඇමතිවරයා සහ බිහාර් මහඇමතිවරයා ද පුරවැසි සංශෝධන පනතට ඉඩ නොදෙන බව පවසා තිබේ. ඊට අමතරව පන්ජාබ්, චට්ටිස්ගාර් සහ කේරළ මහඇමතිවරු ඒ බව ප්‍රකාශ කර තිබේ.

මෝදිගේ ආණ්ඩුව විසින් ගෙන ආ මෙම පනත සම්බන්ධයෙන් ජනප්‍රිය නළු කමල් හසන් ද සිය විරෝධය ප්‍රකාශ කර තිබේ. පුරවැසි පනතට එරෙහිව මදුරාසි විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන් විසින් ආරම්භ කර තිබෙන උද්ඝෝෂණය හා එක් වෙමින් ඔහු පැවසූයේ මෝදි රජය වේගයෙන් ඒකාධිපතිවාදය දෙසට ගමන් කරන බවය. කැරලි මර්දන හමුදා විසින් ඔහුට විශ්ව විද්‍යාල භූමියට ඇතුළු වීමට ඉඩ දී නැතත්, විශ්වවිද්‍යාල භූමියෙන් පිටත පැවැත්වෙන උද්ඝෝෂණයට ඔහු එක් වී සිටියේය.

මේ වන විට ඉන්දියාවේ විශ්වවිද්‍යාල 33ක් සෘජුවම විරෝධතාවලට සම්බන්ධ වී සිටින අතර ජාතික නීති විශ්වවිද්‍යාල විසින් ඒකාබද්ධව නිකුත් කළ නිවේදනයක එරට අගවිනිසුරුවරයාද සෘජුවම විවේචනයට ලක්කර තිබුණි. ඊට හේතුව වී තිබුණේ පොලිස් මර්දනයට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් විභාග කිරීම අගවිනිසුරුවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබීමයි.

මේ වන විට ඉන්දියාවේ බොහෝ ප්‍රාන්තවල සාමකාමී උද්ඝෝෂණ පවා නීතියෙන් තහනම් කර තිබුණ ද දහස් ගණනක් ශිෂ්‍යයන්, ක්‍රියාකාරීන්, දේශපාලන පක්ෂ පමණක් නොව සාමාන්‍ය ජනතාව ද මෙම උද්ඝෝෂණ රැල්ල සමග එක් වී සිටිති. උත්තර ප්‍රදේශ්, හයිද්‍රාබාද්, පැට්නා, චන්දිගාර්, දිල්ලි ඇතුළු නගර ගණනාවක මෙම උද්ඝෝෂණ ව්‍යාප්ත වෙමින් තිබේ. බොලිවුඞ් නළු නිළියන් සහ චිත්‍රපට නිෂ්පාදකවරුන් ද ඉදිරියේදීී මේ උද්ඝෝෂණවලට එක්වීමට නියමිතය. චිත්‍රපට නිෂ්පාදක ෆර්හාන් අක්තාර් විසින් උද්ඝෝෂකයන්ට සහාය පළ කරමින් නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වෙන්නේ ‘සමාජ මාධ්‍ය ජාලවල පමණක් විරෝධය පළ කළ කාලය අවසන්. අපි වීදියට එනවා..’ යනුවෙනි.

විශ්වජිත් ඒකනායක

Leave A Reply

Your email address will not be published.

thirteen − six =