විපක්ෂයේ සහායෙන් නව මර්දන පනත සම්මතයි ! – හරිනි – සුමන්තිරන් හැර ඔක්කොම එක පැත්තක !

98

පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරවම පාර්ලිමේන්තුවේදී සම්මත වූයේ නීති හදන තැන කටයුතු කරන පිරිසගේ දැනුම සම්බන්ධයෙන්ද බරපතල ප්‍රශ්නයක් මතුකරමිනි.
පුරවැසියන්ගේ පෞද්ගලික දත්ත මංකොල්ලකෑම නැවැත්වීම සඳහා පෞද්ගලික දත්ත ආරක්ෂණ නීතියක් ගෙන ඒම ගැන 2016 වසරේ සිට සාකච්ඡා විය. එය පනත් කෙටුම්පතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ 2022 ජනවාරි මස 20 වැනිදාය. ඒ අග්‍රාමාත්‍යවරයා විසිනි.

නඩු දැමීමේ ඉඩ අහුරයි!

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට ඇත්තේ එය පාර්ලිමේන්තු න්‍යායපත්‍රයට ඇතුළත් කර දින හතක් ඇතුළත පමණි. මෙම පනත් කෙටුම්පත ජනවාරි 20 වැනිදා පාර්ලිමේන්තු න්‍යායපත්‍රයට ඇතුළත් කර තිබුණද, එය රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ පනත් කෙටුම්පත් යන කොටසේ ප්‍රසිද්ධ කළේ 2022 ජනවාරි මස 25 වැනිදාය. නඩු කටයුතු සඳහා ඉදිරිව තිබුණේ දින දෙකක් පමණි.
කෙටුම්පත අධ්‍යයනය කිරීමෙන් පසු ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ජනවාරි 27 වැනිදා ඔන්ලයින් මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළ අතර එහි පිටපත කතානායකට යොමු කළේ 28වැනිදාය. කතානායකගේ පිටපත ද 27 යොමු කළ යුතුය යන තාක්ෂණික කාරණාවට අදාලව නීතිපතිවරයා මූලික විරෝධයක් ඉදිරිපත් කිරීමෙන් පසු පෙත්සම නිෂ්ප්‍රභ කෙරිණි.
ඉන් අනතුරුව ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මෙම පනත් කෙටුම්පතේ එක් එක් වගන්තියේ ඇති ගැටලුකාරී තැන් පෙන්නුම්කර දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඊමේල් ලිපිනවලට පිටු 10කින් සමන්විත සවිස්තරාත්මක ලිපියක් යොමු කළ අතර අග්‍රාමාත්‍යවරයාට, අධිකරණ ඇමැතිවරයාට සහ ජනමාධ්‍ය අමාත්‍යවරයාට වෙන වෙනමද යොමු කළේය. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව ජනමාධ්‍ය අමාත්‍යවරයා ජනමාධ්‍ය සමාජයට පොරොන්දු විය.

හරිනි – සුමන්තිරන් හැර ඔක්කොම එක පැත්තක !

පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පසුගිය 09 වැනිදා ආරම්භ වූ අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අදහස් දක්වමින් ජනමාධ්‍ය සමාජය මෙම කෙටුම්පතට විරෝධය දක්වන බැවින් කෙටුම්පතට පක්ෂයේ විරෝධතාවය සටහන් කරන්නැයි ඉල්ලා සිටියේය. නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා දිගින් දිගටම ප්‍රකාශ කළේ පනත් කෙටුම්පතට විරෝධයක් තිබුණේ නම් අවසාන මොහොත වන තෙක් නොසිට ඉදිරිපත් කළ යුතුව තිබුණු බවයි. පනතේ ගැටලුකාරී තැන් ගැන දිගින් දිගටම ප්‍රශ්න කළත් විපක්ෂයෙන් අදාල වගන්ති පෙන්වමින් ගැටලුකාරී තැන් පෙන්වාදීමක් සිදුවූයේ නැත. යම් තරමකට හෝ පනතේ ගැටලුකාරී තැන් පෙන්වා දුන්නේ හරිනි අමරසූරිය මන්ත්‍රීවරිය සහ එම් ඒ සුමන්තිරන් මන්ත්‍රීවරයා පමණි.
පනත් කෙටුම්පත විපක්ෂයෙන් කතා කළ සෙසු මන්ත්‍රීවරුන් කියවා තිබුණු බවක් ඔවුන්ගේ කතාවලින් පෙනුනේ නැත. පනතේ ඒ ඒ වගන්තිවල ගැටලුකාරී තැන් පෙන්වාදීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට හැකිවූයේ නැත. අඩු තරමේ ජනමාධ්‍ය සංවිධාන ලබා දුන් ලිපියවත් විපක්ෂ මන්ත්‍රීවරුන් කියවා තිබුණු බවක් ඔවුන්ගේ කතාවලින් දිස්වූයේ නැත. කොටින්ම කිවහොත් ආණ්ඩුවෙන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරුදීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට හැකියාව නොලැබිණි.

පනතට විරුද්ධ විය යුත්තේ ඇයි?

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රඥප්තිය (අයීසීසීපීආර්) ලෝකවාසී ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිණිස ගෙනඑනු ලැබූවකි. ශ්‍රී ලංකාව එම ගිවිසුමට අනුගත වූයේ පුරවැසියන්ගේ ආරක්ෂාවට බව කීවද, එය බහුල වශයෙන් භාවිත කෙරුණේ ආණ්ඩු විරෝධී පුද්ගලයන් මර්දනයට සහ භාෂණයේ ප්‍රකාශනයේ නිදහස හීන කිරීම සඳහාය. ශ්‍රී ලංකාවේ අලුතින් නීති සම්මත කරද්දී එය මොන තරම් මහජන අයිතීන් ආරක්ෂා කිරීමට දායක වන නීතියක් වුවද ඒ ගැන දෙපාරක් නොව, හතර පස්වරක්ම සැලකිල්ලෙන් බැලිය යුත්තේ ඒ නිසාය.
පුරවැසියන්ගේ පෞද්ගලික දත්ත ‘මංකොල්ලකෑම’ නතර කිරීම විශාල අවශ්‍යතාවක් වුවද ඒ සඳහා නීති සම්පාදනය මගින් හිතුවක්කාරී සහ අමනෝඥ තීන්දු තීරණ ගන්නා, පුරවැසි අයිතීන් මර්දනය කිරීමට බලා සිටින ආණ්ඩුවලට මෙන්ම ඇතැම් රාජ්‍ය ආයතනවලට මෙය දෙපැත්ත කැපෙන පිහියක් බඳු විය හැකිය. එනිසා පෞද්ගලික දත්ත ආරක්ෂා කිරීමට ගෙන එන
නීතිය ගැන පෙර සඳහන් කළ පරිදි සරලව මතුපිටින් බලා තීන්දු තීරණ ගැනීම රිසි නොවේ.
සීතල කාමරවල සිට මෙය කෙටුම්පත් කළ උදවියට මෙන්ම සීතලකාමරවල සිට මෙය අධ්‍යයනය කළ උදවියටද කිසිම ගැටලුවක් නැතැයි හිතෙන මෙම පනත් කෙටුම්පතේ ප්‍රධානම ගැටලු තුනක් හඳුනා ගත හැකිය.
ඉන් පළමු වැන්න නම් ස්වාධීන නොවන ‘දත්ත ආරක්ෂණ අධිකාරියක්’ පිහිටුවීමයි. පනත යහපත් අරමුණෙන් ගෙන ආවා නම් අඩුතරමේ ‘දත්ත ආරක්ෂණ අධිකාරිය’ ස්වාධීන ආයතනයක් ලෙස ගෙන ඒමේ විධිවිධාන ඇතුළත් කළ හැකිව තිබිණි. එසේ නොවීමෙන් මෙහි යහභාවය ගැන බරපතල සැක සංකා මතු කෙරිණි. කෙසේ වෙතත් පනත සම්මත කරද්දී එහි යම් වෙනසක් කෙරුණද එය ස්වාධීන ආයතනයක් බවට එමගින් පත්වන්නේ නැත.
පනත අනුව ‘දත්ත ආරක්ෂණ අධිකාරියට’ පැමිණිලි බාර ගැනීම, විමර්ශනය කිරීම, විභාග කිරීම සහ එක් චෝදනාවකට රුපියල් කෝටියක් (මිලියන 10ක්) බැගින් වන පරිදි දඩ නියම කිරීමේ බලයද ලැබෙයි. අනනුකූලතා දෙකක් නම් කෝටි දෙකක් දක්වා දඩ නියම කිරීමේ හැකියාව එම ආයතනයට තිබෙයි. එකම වරද දෙවරකදී සිදු කරන්නේ නම් මුලින් දඩ මුදල මෙන් දෙගුණයක් නියම කිරීමේ හැකියාව ලැබෙයි. ඇතැම්විට පළමු අවස්ථාවේදී අනනුකූලතා පහක් තිබුණේ නම් උපරිම කෝටි පහක් දක්වා දඩ නියම කළ හැකි අතර එම අනනුකූලතා පහම දෙවැනිවර සිදු කළේ නම් කෝටි 10ක් නියම කිරීමේ බලය අධිකරණයක් නොවන මෙම ආයතනයට ලැබෙයි. පාර්ලිමේන්තුවේ සම්මත කරද්දී ආණ්ඩුවෙන්ම ඊට සංශෝධනයක් එකතු කර දඩ පමණක් නොව කෝටි 10ක් දක්වා වන්දි නියම කිරීමේ බලයද ලබා දුන්නේය.
පනතේ ඇති තවත් බරපතලම ගැටලුකාරී තත්ත්වයක් නම් මෙම අධිකාරියෙන් නියම කරන දඩ මුදලට එරෙහිව අභියාචනාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන්නේ නම්, ඊට පෙර නියම කළ දඩ මුදල හා සමාන මුදලක් ඇපයක් ලෙස මුදලින් අභියාචනාධිකරණ ලේඛකාධිකාරී හමුවේ තැම්පත් කළ යුතු වීමයි. දත්ත ආරක්ෂණ අධිකාරී පනත් කෙටුම්පතේ පසුගිය වසරේ ප්‍රකාශිත කෙටුම්පතේ එවැනි තත්ත්වයක් නැති නමුත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කෙටුම්පතට එය අලුතින් එකතු කිරීම මගින් පනතේ ගෙන එන්නේ සද්භාවයෙන්ද යන්න තවදුරටත් ප්‍රශ්න කරීමට ලක්විය යුතුය.
පනත් කෙටුම්පතේ ඊළඟ ගැටලුව වන්නේ එහි ඇතැම් ප්‍රතිපාදන මගින් තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ විදිවිධාන හීන කිරීමයි. වෙනත් පනතක් සමඟ අනනුකූලතාවක් ඇතිවුවහොත් දත්ත ආරක්ෂණ අධිකාරී පනත බලපැවැත්වෙන බව සඳහන් කිරීමෙන්ම තොරතුරු පනත අභිබවා මෙම පනත ක්‍රියාත්මක වීම සිදුවෙන බව බැලූ බැල්මටම පෙනෙයි.
තුන්වැනි ගැටලුව වන්නේ ජනමාධ්‍යවේදීන්ගේ කටයුතුවලට දැඩි බාධාවක් මෙම පනතින් සිදුවීමයි. වෙනත් රටවල්වල දත්ත ආරක්ෂණ පනත්වල අදාල පනත ජනමාධ්‍යවේදයට සහ භාෂණයේ ප්‍රකාශනයේ අයිතියට අදාල නොවන බවට විධිවිධාන ඇතුළත් කර තිබේ. නමුත් මෙම පනතේ එවැන්නක් ඇතුළත් කර නැත. පනතේ 35 වගන්තියේ යම් විධිවිධානයක් තිබුණද එමගින්ද අදාලවීම තීරණය කිරීමේ කටයුත්ත ද ස්වාධීනත්වයක් නැති දත්ත ආරක්ෂණ අධිකාරියට පැවරේ. ‘පෞද්ගලික දත්ත’ යන්නට ලබා දී ඇති පුළුල් අර්ථකතනය අනුව යම් නමක් හෝ හැඳින්වීමක් භාවිත කරන්නේ නම් ඔහුගෙන් අවසර ගත යුතුය. උදාහරණයක් ලෙස ‘ඇමැති නාමල් ඊයේ සිංගප්පූරු ගියේය’ යනුවෙන් පළ කරන්නේ නම් ඇමැතිවරයාගෙන් ඊට අනුමැතිය ලබා ගත යුතුය. එලෙස නොගෙන එය පළකළහොත් ඊට එරෙහිව ඇමැතිවරයාට අධිකාරියට පැමිණිලි කිරීමට හැකියාව ලැබෙයි. මේ පනතේ තත්ත්වය ඒ තරම් බරපතලය.
මෙම පනත මේ ආකාරයටම ක්‍රියාත්මක වීමට ඉඩ දුනහොත් අයිසීසීපීආර් පනතට එහා ගොස් පුරවැසි අයිතිවාසිකම් උල්ලංඝණය කරන පනතක් ලෙස මෙය රජයේ ආයතන සහ ආණ්ඩු භාවිත කරනු ඇත.

– තරිඳු ජයවර්ධන
Previous articleජවිපෙ මන්ත්‍රී කණ්ඩායම නිසා හොරුන්ට වැඩ වරදී !
Next articleපවතින සහ පැවැති ආණ්ඩු මිනිසුන්ගෙ ජීවිත දියුණු කළා නම්, කාලීන නිර්මාණ මීට වඩා වෙනස් වෙන්න තිබුණා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here