අපේක්ෂා රෝහලේ සිදුවන්නේ මුදල් ජාවාරමක්ද?

8

මෙය කාගේ හෝ පෞද්ගලික ගිණුමක් නොව ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට අනුබද්ධව පවත්වාගෙන යන රජයේම ගිණුමකි. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මහරගම පිළිකා රෝහල වෙනුවෙන්ම පවත්වාගෙන යන ගිණුමකි. මේ ගිණුම ලංකා බැංකුවේ මහරගම ශාඛාවේ පවත්වාගෙන යන්නේ ද එහෙයිනි. මේ ගිණුමට කොපමණ මුදල් ලැබී තිබෙන්නේ ද ආදී ගිණුම පිළිබඳ විස්තර අපේක්ෂා රෝහලේ ගණකාධිකාරිවරියට බලා ගත හැකි අතර, එම මුදල් එතුමියට හෝ රෝහල් අධ්‍යක්ෂ වසන්ත දිසානායක මහතාට හෝ මොහොමඞ් මහතාට හෝ ලබා ගත නොහැකියි. ඒ බව රෝහල් අධ්‍යක්ෂවරයාම පවසන වීඩියෝවක් ඕනෑ ම කෙනකුට බලා ගැනීමට අන්තර්ජාලයේ තිබේ.

මහරගම අපේක්ෂා රෝහලට පරිත්‍යාගශීලීන් ලබා දෙන මහජන ආධාර සම්බන්ධයෙන් මේ වන විට ප්‍රශ්නකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබීම කාගේත් අවධානයට ලක් වන මාතෘකාවක් වී තිබේ. බොහෝ දෙනා මේ ගැන විමසිල්ලෙන් පසුවන්නේ තමන් හසු වූයේ වංචාකාරයන් පිරිසකට ද නැද්ද යන්න නිවැරදිව දැනගැනීම පිණිසයි. එනිසා ව්‍යාකූල වූ ජන-මනස නිරවුල් කිරීමත්, සිදූ වූ සහ සිදු වෙමින් පවතින සිද්ධි දාමය පිළිබඳ නිවැරදි චිත්‍රයක් ප්‍රක්ෂේපණය කිරීමේ සමාජ වගකීමක් අපට තිබේ. මේ සම්බන්ධයෙන් මීට පෙර බොහෝ පුවත් පත් ඔස්සේ ජනතාව නොමඟ යැවෙනසුලු ප්‍රවෘත්ති වාර්තා වුව ද, ‘ෆයිට් කැන්සර්’ (Fight Cancer Team) කණ්ඩායමේ කරුණු පැහැදිලි කිරීම මත එම පුවත් නිවැරදි කළ අවස්ථා ද තිබේ. උදාහරණයක් ලෙස 2019 මැයි 20 ‘දිවයින’ ප්‍රවෘත්තියකින් දැක්වුණේ අපේක්‍ෂා රෝහලට කෝටි 10ක ස්කෑන් යන්ත‍‍්‍රයක් ගැනීමට මුදල් එකතු කිරීමේ ජාවාරමක් සිදු වන බවත්, මහ ජනතාවට එම ජාවාරමට හසුනොවෙන ලෙස රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු ‘දිවයිනට’ සඳහන් කළ බවත්ය.

මේ ප්‍රවෘත්තිය සමාජ අවධානයට ලක් කිරීම හැරුණු විට එම ප්‍රකාශයේ වගකීම භාර ගන්නා ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා කවුරුන් දැයි අදාළ ප්‍රවෘත්තියෙන් අනාවරණය කර නොතිබිණි. මෙය වරදක් නොවුණත්, මින් පෙනෙන්නේ එය කිසියම් ‘ගරිල්ලා’ ස්වරූපයකට කළ හෙළිදරව්වක් බවයි. එහි කිසිදු සත්‍යතාවක් නොවූ බැවින්, ‘ෆයිට් කැන්සර් ටීම්’ (Fight Cancer Team) සංවිධානය විසින් එම ප්‍රවෘත්තිය මැයි 21 ‘දිවයින’ පුවත් පතින් නිවැරදි කරන ලදී. පසු ගිය අගෝස්තු මස ‘ලංකාදීප’ පුවතක ද දැක්වුණේ ‘පිළිකා ප්‍රතිකාර යන්ත්‍රයකට කියමින් කෝටි ගණනක මුදල් ගැරීමක්’ යනුවෙනි. එම පුවත ද ‘ෆයිට් කැන්සර්’ සංවිධානයේ කරුණු පැහැදිලි කිරීමක් මත 2019 අගෝස්තු 20 වන දා ‘ලංකාදීප’ යළි නිවැරදි කිරීමක් කරමින් සඳහන් කර තිබුණේ, පිළිකා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා විසින් ලබා දුන් තොරතුරක් මත පදනම් වූ එම පුවත සම්බන්ධයෙන් සිදුව ඇති අපහසුතාව පිළිබඳව කනගාටුව පළ කරන බවයි. 2019 අගෝස්තු 20 ‘මව්බිම’ පුවත් පතට ද අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කර තිබුණේ, මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට යන්ත්‍ර මිල දී ගැනීමට යැයි පවසමින් එක්තරා පුද්ගලයකු ‘ෆයිට් කැන්සර් ටීම්’ නමින් ආධාර එකතු කිරීමේ ජාවාරමක යෙදෙන බවත්, මේ වැඩසටහනට තමාගේ කිසිදු  අනුදැනුමක් හෝ සම්බන්ධයක් නැති බවත්ය. මේ මුදල්වලින් සිදු කරන්නේ කුමක් ද යන්න ගැටලු‍සහගත බවත් පවසා තිබිණි. නැවතත් අගෝස්තු 22 ‘මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර යන්ත්‍ර ආරවුල’ මැයෙන් දෙපාර්ශ්වයටම ඉඩ දෙන වාර්තාවක් ‘මව්බිමේ’ පළ කර තිබිණි. එහි දී ‘ෆයිට් කැන්සර්’ කණ්ඩායමේ නායකයා දක්වා තිබුණේ, මේ සමාජ සත්කාරයට රෝහල නියෝජනය කරමින් සම්බන්ධ වූ ප්‍රධාන ම පුද්ගලයා රෝහල් අධ්‍යක්ෂවරයා බවත්, ව්‍යාපෘතිය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ 2019 අප්‍රේල් 01දා ඇති කර ගත් අවබෝධතා ගිවිසුම අත්සන් කරන අවස්ථාවට වසන්ත දිසානායක මහතා ද සහභාගී වූ බවත්ය. අධ්‍යක්ෂවරයා එම අවස්ථාවට සහභාගී වූ ඡායාරූප හා අදහස් දක්වන වීඩියෝ ඕනෑම කෙනකුට දැකබලා ගැනීමට අන්තර්ජාලයේ තිබිය දී අගෝස්තු 22 ‘මව්බිමට’ ප්‍රකාශ කර තිබුණේ “ඔය ව්‍යාපෘතියට මගේ කිසිම සම්බන්ධයක් නෑ. රෝහල දියුණු කරන්න සල්ලි හිඟා කනකොට ලැජ්ජයි” යනුවෙනි.

මීට දින කිහිපයකට ඉහත නැවතත් එනම් දෙසැම්බර් 10 වනදා මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වසන්ත දිසානායක මහතා ෆේස්බුක් සටහනක් තබමින් අවධාරණය කර තිබුණේ, මහරගම අපේක්ෂා රෝහලට විකිරණ යන්ත්‍ර ලබා ගැනීමට යැයි කියමින් මුදල් එකතු කරන ජාවාරමක් පවතින බවත්, දැනටමත් රුපියල් කෝටි 14ක් පමණ මහජන ආධාර එකතු වී ඇතැයි ආරංචි ලැබී ඇති බවත්, එම මුදල් අපේක්ෂා රෝහලේ ගිණුමට නොලැබෙන බවත්, මේ මුදල් යන්නේ කොහේ දැයි පරීක්ෂණයක් කිරීමට ජනාධිපතිවරයාගේ සහ ආරක්ෂක ලේකම්වරයාගේ අවධානය යොමු කරන ලෙසත්ය. වෛද්‍ය වසන්ත දිසානායක මහතා ගැන විශ්වාසය තබමින් ප්‍රකෝප වූ මහජනයා ද ‘ගනු කඩුව එනු සටනට’ සේ ඇවිස්සෙමින් තිබෙන අතරේ රෝහල් අධ්‍යක්ෂවරයා දෙසැම්බර් 12 දින ප්‍රවෘත්ති සාකච්ඡාවක් ද කැඳවා රට ම දැනුම්වත් කළේ මේ එකතු කරන මුදල් අපේක්ෂා රෝහලේ ගිණුමකට නොලැබෙන බවයි.

රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා මෙහිදී ‘ෆයිට් කැන්සර්’ කණ්ඩායමේ නායකයා මුස්ලිම් ජාතිකයකු බවත්, ඔහු හිටපු සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න සමඟ එකතු වී තමා අපේක්ෂා රෝහලෙන් ඉවත් කිරීමට කටයුතු කළ බවත් මෙහි ලා වෙසෙසින් සඳහන් කිරීම නිසා මේ ප්‍රශ්නය දේශපාලන කඳවුරු දෙක අතර බයි-ටොයි ප්‍රශ්නයක් දක්වා ඉදිරියට වර්ධනය වෙමින් තිබේ. මෙයින් ඉතා ඕනෑකමින් ඉල්ලන්නේ ‘ෆයිට් කැන්සර්’ කණ්ඩායම් නායක මොහොමඞ්ගේ ජාතිය, ආගම, දේශපාලනය හෝ රට තුළ තිබෙන රාජිත විරෝධය මේ ප්‍රශ්නයේ දී ප්‍රමුඛ කර නොගන්නා ලෙසයි. එසේ වන සෑම අවස්ථාවකම වෙන්නේ මෙහි ඇති කේන්ද්‍රීය ප්‍රශ්නය අපට මඟහැරී යාමයි.

මෙය කාගේ හෝ පෞද්ගලික ගිණුමක් නොව ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට අනුබද්ධව පවත්වාගෙන යන රජයේම ගිණුමකි. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මහරගම පිළිකා රෝහල වෙනුවෙන්ම පවත්වාගෙන යන ගිණුමකි. මේ ගිණුම ලංකා බැංකුවේ මහරගම ශාඛාවේ පවත්වාගෙන යන්නේ ද එහෙයිනි. මේ ගිණුමට කොපමණ මුදල් ලැබී තිබෙන්නේ ද ආදී ගිණුම පිළිබඳ විස්තර අපේක්ෂා රෝහලේ ගණකාධිකාරිවරියට බලා ගත හැකි අතර, එම මුදල් එතුමියට හෝ රෝහල් අධ්‍යක්ෂ වසන්ත දිසානායක මහතාට හෝ මොහොමඞ් මහතාට හෝ ලබා ගත නොහැකියි. ඒ බව රෝහල් අධ්‍යක්ෂවරයාම පවසන වීඩියෝවක් ඕනෑ ම කෙනකුට බලා  ගැනීමට අන්තර්ජාලයේ තිබේ. එසේ නම්, මේ මුදල් ලබා ගත හැක්කේ කාට ද? ඒ මුදල් ලබා ගත හැකි නෛතික බලය ඇත්තේ, අවශ්‍ය උපකරණ ලබා ගැනීම සඳහා විධිමත් ටෙන්ඩර් කැඳවීමකින් පසුව රජයට පමණි. එනම්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, ආයුර්වේද කොමසාරිස්, අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරී හා අමාත්‍යවරයා විසින් පත් කරන ලද තවත් සාමාජිකයන් තිදෙනකුට පමණි. අරමුදලේ පරිපාලනය, කළමනාකරණය සහ පාලනය සියල්ල සිදු වන්නේ මේ භාරකාර මණ්ඩලය යටතේ වන අතර, නිල බලයෙන් එහි සභාපතිවරයා වන්නේ ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයායි. 1981 අංක 13 දරන පාර්ලිමේන්තු පනතකින් සම්මත කොට ඇති මේ සෞඛ්‍ය සංවර්ධන අරමුදලේ අභිප්‍රාය වන්නේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය සපයන ආයතන සංවර්ධනය කිරීම හා ප්‍රවර්ධනය කිරීමයි. ඒ සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ සහ අත්‍යවශ්‍ය ඖෂධ මිල දී ගැනීමයි. ඊට අරමුදල් සපයා ගන්නා ආකාර අතර පරිත්‍යාගශීලීන්ගේ මෙබඳු මහජන ආධාර ලබා ගැනීම ද ප්‍රධානයි. මන්ද නිදහස් සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යාම සඳහා රජයේ සියලු‍ රෝහල් වෙනුවෙන් අති විශාල මුදලක් වැය කිරීමට රජයට  සිදු වන අතර, මහරගම අපේක්ෂා රෝහලට Linear Accelerator යන්ත්‍රයක් සහ Tomo Therapy යන්ත්‍රයක් ලබා ගැනීමට කෝටි 100ක් වැනි විශාල මුදලක් රජයට දැරීමට අපහසු ය. එනිසා මොහොමඞ් ඇතුළු ‘ෆයිට් කැන්සර්’ කණ්ඩායම කරන්නේ ඒ සඳහා රජයට ආධාර එකතු කර දීමයි. කණ්ඩායම් නායකයා ලෙස මෙහි ලා ඔහුගේ භූමිකාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන සෞඛ්‍ය ලේකම් නිමල් බාලසූරිය සමඟ 2019 අප්‍රේල් 01 දා අත්සන් කළ ගිවිසුම ප්‍රකාරව සෞඛ්‍ය සංවර්ධන අරමුදල යටතේම අපේක්ෂා රෝහල වෙනුවෙන් වෙන් කර ගත් ගිණුමට මුදල් දැමීමට මහජනයා දැනුම්වත් කිරීම පමණයි. මීට පෙර 2018දී මෙම සංවිධානය සහ ‘මනුසත් දෙරණ’ එකතු වී රුපියල් කෝටි 20ක් වටිනා PET Scanner යන්ත‍්‍රයක් පරිත්‍යාග කළේ ද මෙම ගිණුමට ම එකතු කළ ආධාර මඟිනුයි. එක ම ගිණුමකට එකතු කරන මහජන ආධාරවලින් පළමු ව්‍යාපෘතියේ දී මුදල් වංචා කිරීමට නොහැකි බව සහ දෙවන ව්‍යාපෘතියේ දී මුදල් වංචා කිරීමට හැකි බව රෝහල් අධ්‍යක්ෂවරයා සොයා ගත් අපූරු ක්‍රමය හුදු චෝදනාවකට එහා ගොස් රටට තාර්කිකව පැහැදිලි කළ හැකි නම් ඉතා වටී. නමුත්, විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය වැඩි ඉඩක් දුන්නේ රෝහල් අධ්‍යක්ෂවරයාගේ පරස්පර අදහස්වලට විනා ෆයිට් කැන්සර් කණ්ඩායමේ නායකයාගේ පැහැදිලි කිරීමට නොවේ. විකල්ප පුවත් පතක් ඔස්සේ හෝ මෙහි ඇත්ත නැත්ත සමාජගත කිරීමට තීරණය කරන්නේ එබැවිනි.

ෆයිට් කැන්සර් කණ්ඩායමේ ව්‍යායාමය ගැන රෝහල් අධ්‍යක්ෂවරයා දුර්මතයක් පතුරුවා හැරිය ද, සෞඛ්‍ය සංවර්ධන අරමුදල පිළිබඳවත්, ඊට අනුබද්ධව  අපේක්ෂා රෝහල වෙනුවෙන් විවෘත කර තිබෙන මේ ගිණුම පිළිබඳවත්, එහි නෛතික බලය හා එය නියාමනය වෙන ආකාරය පිළිබඳවත් එතුමා නොදන්නා පුද්ගලයකු නොවේ. පසුගිය අප්‍රේල් 01දා ගලධාරි හෝටලයේ දී සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන් සමඟ මොහොමඞ් මහතා ගිවිසුම අත්සන් කරන අවස්ථාවට ද එතුමා සම්බන්ධ වී සිටියේය. එහෙත්, තමා පතුරවාහරින මේ දුර්මතයට වලංගුභාවයක් ලබා ගැනීම පිණිස ප්‍රකාශ කළේ මේ වංචාව පිළිබඳව මිරිහාන පොලිසියට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති බවයි.

රෝහල් අධ්‍යක්ෂකවරයා විසින් ෆයිට් කැන්සර් කණ්ඩායමේ නායකයා මුස්ලිම් ජාතිකයකු වීම ද ඉතා සූක්ෂ්ම ලෙස තමන්ගේ වාසියට ආයෝජනය කර ගන්නේ ඔහුව සිංහල සමාජයේ බරපතළ සැකයකට ලක් වන ව්‍යාජ චෝදනාවක් ද කරමිනි. එතුමා විශේෂඥ වෛද්‍යවරයකු වුව ද, පිළිගත් වෛද්‍ය ආචාර ධර්මවලට ද තරම් නොවන එම චෝදනාව වන්නේ පාස්කු ප්‍රහාරය සිදු වූ අප්‍රේල් 21 දිනට පසු දිනම එනම්, අප්‍රේල් 22 මොහොමඞ්ගේ ගිණුමට මිලියන 20ක් ලැබී ඇති බවත්, අප්‍රේල් 23 මිලියන 02ක් ලැබී ඇති බවත් ය. මාධ්‍යයට කඩදාසියක් පෙන්වමින් කරුණු දැක්වූ අධ්‍යක්ෂවරයා, ඒ මුදල් ලැබුණේ කුමන ගිණුම් අංකයකට ද? කුමන බැංකුවක කුමන ශාඛාවකට ද යන්න නොකියන්නට තරම් පරිස්සම් වෙයි. මේ ගිණුම මොහොමඞ්ගේ පෞද්ගලික ගිණුමක් නම්, එහි මුදල් ගනුදෙනු ගැන රෝහල් අධ්‍යක්ෂවරයාට දත්ත පත්‍රිකාවක් ලබා ගත හැකි වන්නේ කෙසේ ද? ඇත්ත වශයෙන් ම මේ මුදල් ලැබී ඇත්තේ, මොහොමඞ්ගේ ගිණුමකට නොව සෞඛ්‍ය සංවර්ධන අරමුදල යටතේ මහරගම පිළිකා රෝහල වෙනුවෙන් පවත්වාගෙන යන 71275069 දරන ගිණුමට ය. එහි විස්තර පිළිකා රෝහලේ ගණකාධිකාරීවරියට බලා ගත හැකි බව අපි ඉහතින් ද දක්වා ඇත්තෙමු. මේ මුදල එකවර ලැබී ඇත්තේ අප්‍රේල් 19 පෝය නිවාඩුව සහ 20 , 21 සති අන්ත දින දෙකක් බැවින් එම දිනවල පරිත්‍යාගශීලීන්ගේ තැන්පතු ගිණුම්ගත වෙන්නේ ඊ ළඟ සතියේ වැඩ කරන දිනය 22 වන සඳුදා නිසාය. මේ මිලියන 20 අධ්‍යක්ෂවරයා අඟවන්නට හදන ත්‍රස්තවාදී සංවිධානයකින් ලැබුණ තනි මුදලක් නොව දෙස් විදෙස් ශ්‍රී ලාංකික තැන්පත්කරුවන් 8,648 දෙනකුගෙන් ලැබී ඇති මූල්‍ය පරිත්‍යාගවල එකතුවකි. අප්‍රේල් 23 මිලියන දෙකක් ලැබී ඇත්තේ ද තැන්පත්කරුවන් 741 දෙනකුගෙනි. එබඳු තත්ත්වයක් යටතේ ව්‍යාජ තොරතුරු සම්ප්‍රේක්ෂණය කරමින්, මොහොමඞ් මහතාව ජාතිවාදී ගින්නට තල්ලු‍ කිරීමට උත්සාහ දැරීම රෝහල් අධ්‍යක්ෂවරයාගේ තනතුරට ද නොගැළපෙන්නෙකි.

දීර්ඝ කාලයක් තිස්සේ සිටි නිරීක්ෂණයකින් හා තොරතුරු සොයාබැලීමකින් පසු බෞද්ධ භික්ෂුවක් ලෙස මෙම ස්වාධීන මැදිහත් වීම සිදු වන්නේ මේ ව්‍යාපෘතිය කඩාකප්පල් වීමෙන් පීඩා විඳින්නේ අසරණ රෝගීන් වීම නිසා යි. පිළිකා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසන පරිදි වසරකට ශ්‍රී ලංකාවේ පුද්ගලයෝ 15,000ක්‌ පිළිකා රෝග නිසා මරණයට පත් වෙති. බටහිර රටවල තිබෙන තාක්ෂණය ලංකාවේ තිබේ නම්, පිළිකාව දරුණු ලෙස ශරීරය තුළ ඔඩුදිවීමට පෙර  හඳුනාගෙන රෝගීන් විශාල ප්‍රමාණයක් සුව කිරීමේ හැකියාව පවතී. පිළිකාව යනු සුව කළ නොහැකි රෝගයක් නොවේ. මහරගම පිළිකා රෝහල ‘අපේක්ෂා රෝහල’ යැයි නම වෙනස් කළ පමණින් පිළිකා සෛල ශරීරය තුළ වර්ධනය වීම වළක්වාගත නොහැකියි. පිළිකා රෝගියකුට ඇති ප්‍රධානම ප්‍රතිකාරය ඖෂධ සහ විකිරණ ප්‍රතිකාර බව අන් කාටත් වඩා හොඳින් ම දන්නා රෝහල් අධ්‍යක්ෂතුමා ඒ සඳහා අවශ්‍ය අධිතාක්ෂණික උපකරණ ලබා ගැනීමට වෙර දරන ෆයිට් කැන්සර් කණ්ඩායමේ සද්ව්‍යායාමය එක් පුද්ගලයෙක් සමඟ ඇති කර ගත් කෝන්තරයක් මත කඩාකප්පල් කරන්නේ ඇයි ද යන ප්‍රශ්නය පුරවැසියන් ලෙස අපට තිබේ.

පිළිකා රෝගීන් සඳහා අති නවීන ඖෂධ වර්ග හා විකිරණ ප්‍රතිකාර සඳහා නවීන යන්ත්‍රෝපකරණ ප්‍රමාණවත් ලෙස නොමැති නම්, අපේක්ෂා රෝහල යැයි නම වෙනස් වූ පමණින් රෝගීන්ට අපේක්ෂාවක් තබා ගත හැක්කේ කෙසේ ද?

පිළිකා රෝගීන්ට දැනට ඇතැම් පරීක්ෂණ කර  ගැනීමට සිදු වන්නේ නවීන  පහසුකම් ඇති පෞද්ගලික රෝහල්වලට විශාල ගාස්තුවක් ගෙවීමෙනි. සියලු‍ සේසත විකුණා පිළිකාව සමඟ ඔට්ටු වෙන ඇතැම් රෝගීන්ට පරීක්ෂණ සඳහා පෞද්ගලික රෝහල්වලට ගෙවීමට තරම් මුදල් නැතිකම නිසා ම මරණය තෝරා ගන්නා අවස්ථා ද තිබේ. ඇතැම් විට රජයේ රෝහලෙන් ප්‍රතිකාර ගැනීමට තම මේසය ඉදිරියට එන රෝගියාට ලැබෙන දින වකවානු අනුව එම වෛද්‍යවරයාම පෞද්ගලිකව චැනල් කර පෞද්ගලික රෝහල්වලින් ශල්‍යකර්ම කර  ගන්නා අවස්ථා ද තිබේ. රෝගියා බලන්නේ තමාට ලැබෙන දිනය එන තෙක් බලා  සිටීම නොව නිවස උකසට තබා හෝ ඉක්මන් ප්‍රතිකාරයකින් රෝගය සුව කර ගැනීමයි. මීට හේතුව රජයේ රෝහල්වල රෝගීන් ‍බහුල වීමත්, යන්ත්‍ර සූත්‍ර කිහිපයකට සීමා වීමත් වැනි ප්‍රමාණවත් පහසුකම් නොමැති වීමයි. ඇතැම් රජයේ වෛද්‍යවරු ද රෝහල්වල පවත්නා මේ තෙරපුම සවස් කාලයේ පෞද්ගලික චැනල් සේවාව ලබා දෙමින් ධනය උපයන ඉල්ලමක් බවට පත් කරගෙන තිබේ. රජයේ රෝහලක සිදු කරන ශල්‍යකර්මයකට වඩා පෞද්ගලික රෝහලකට සේවය ලබා දෙමින් සිදු කරන එක ශල්‍යකර්මයකින් වෛද්‍යවරයකුට තමන්ගේ මාසික චේතනය ද ඉක්මවන මුදලක් ඉපැයිය හැකියි. දෙවිවරු මෙන් සේවය කරන වෛද්‍යවරු අතරේ ඇතැම් වෛද්‍යවරු මෙබඳු මාෆියාවක් ගෙන යන බව ද රහසක් නොවේ. සමාජ මාධ්‍ය අවකාශවල බොහෝ පිරිසක් වසන්ත දිසානායක මහතාට ද චෝදනා කර තිබුණේ, එතුමා ද පෞද්ගලික රෝහල්වලට සේවය සපයන වෛද්‍යවරුන්ගේ පෙළැඹවීම මත මේ ව්‍යාපෘතිය කඩාකප්පල් කරන බවයි. එහෙත්, අප එසේ නොසිතන්නේ පෞද්ගලික කෝන්තර මත පෘථග්ජන මිනිසුන්ගේ ළාමක චෛතසිකයන් ක්‍රියා කරන ආකාරය ගැන හොඳින් ම දන්නා නිසයි. එහෙත්, චේතනාන්විතව නොවුණත් රෝහල් අධ්‍යක්ෂවරයාගේ මෙම කඩාකප්පල්කාරී ක්‍රියාව, රුකුල් දෙන්නේ දැනට මේ පහසුකම් ඇති පෞද්ගලික රෝහල්වල ප්‍රතිලාභ වැඩි කර ගැනීමටයි. එනිසා ජනාධිපතිවරයා හෝ විෂයභාර ඇමතිවරිය හෝ හැකි ඉක්මනින් මේ ගැටලු‍වට මැදිහත්ව ඉච්ඡාභංගත්වයට පත්ව ඇති පරිත්‍යාගශීලීන් වෙනුවෙන් හා ඉදිරියට ආධාර කිරීමට බලාපොරොත්තු වන ජනතාව වෙනුවෙන් ප්‍රකාශයක් කළ යුතුය. ගිණුම සම්බන්ධව දැනට උද්ගතව ඇති සමාජ විචිකිච්ඡාව තුරන් කොට පිළිකා රෝගීන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් මේ ව්‍යාපෘතිය කඩිනම් කර ගැනීමට අවශ්‍ය සහයෝගය දිය යුතුය.

රත්තනදෙණියේ මේධානන්ද හිමි

Previous articleගෙවුණු වසර කොහොමද?
Next articleජාතිවාදයට එරෙහි අපේ අසල්වැසියා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here