රෙස්පෙක්ට්

25

‘රෙස්පෙක්ට්’ කියල සිංහලෙන් ලිව්වට මේක ඉංග්‍රීසි වචනයක්. දැන් නම් මේක හැමෝම දන්න වචනයක් වෙලා ඉවරයි. ඒ “රෙස්පෙක්ට් සර්…” කියන එක පහුගිය දවස්වල හැම තැනම ප්‍රසිද්ධ වුණ නිසා. වචනය ප්‍රසිද්ධ වුණාට ඇත්තට ම අද සමාජයේ කී දෙනෙක් අනෙක් අයට රෙස්පෙක්ට් කරනව ද කියන එක නම්, ප්‍රශ්නයක්. බස් එකේ දී කොන්දොස්තර මඟියාටත්, කඩේක දී වෙළෙන්දා පාරිභෝගිකයාටත්, පුද්ගලයකු අනෙක් පුද්ගලයාටත් මේ කියන ‘රෙස්පෙක්ට්’ කිරීම අද සිදු වෙන්නෙ බොහොම අඩුවෙන්. ඒ වගේම සමහර තැන්වල දී කාට වුණත්, “සර්, මැඩම්” කියලා කතා කරන, ඕනැවටත් වඩා ගරු කරමින් වැඩ කරනවත් අපි දැකල තියෙනවා. ඒක බස් එකේ දී කොන්දොස්තර මඟියාට ‘රෙස්පෙක්ට්’ නොකරනවාට වඩා භයානකයි. මොක ද? ඒක බොරු ‘රෙස්පෙක්ට් කිරීමක්’ නිසා. වැඩේ කර ගන්න කරන රැවටීමක් නිසා.
මේ විදිහට අනෙකාට ගරු කිරීමේ අවුලක් තියෙනවා කියලා පසුගිය දවසක රූපවාහිනී නාළිකාවක සිදු වුණු සිදුවීමකින් හොඳට පැහැදිලි වුණා. ඒ සිදුවීම තමයි, එම රූපවාහිනී වැඩසටහනට සහභාගි වෙලා හිටපු ශිල්පිනියක් වැඩසටහන මෙහෙයවපු නිවේදකයා අහන දේවල්වලට පිළිතුරු දුන් ආකාරය සහ නිවේදකයා ඊට ප්‍රසිද්ධියේම දක්වපු ප්‍රතිචාරය. මේ කියන සිදුවීම තවත් විස්තර කරන්න ඕනෙ නැත්තෙ ඒක සමාජ මාධ්‍ය තුළත්, තවත් තැන්වලත් ඉතාම ප්‍රසිද්ධියක් ලබපු සිදුවීමක් නිසා.
ඒකෙ දී කොටසක් නිවේදකයාගේ පැත්තත්, තවත් කොටසක් අර කියපු ශිල්පිනියගේ පැත්තත් අරගෙන විශාල සංවාදයක් ඇති කර ගත්තා. හැබැයි, ඒ වැඩි දෙනෙක් ඒ ප්‍රශ්නය අල්ලාගෙන තිබුණෙ හරිම තැනින් ද කියන එක ප්‍රශ්නයක්. ඒකෙ දී රංගන ශිල්පිනිය නියෝජනය කරපු හුඟක් අය කිව්වෙ එතැන තියෙන්නෙ පුරුෂාධිපත්‍යය, ලිංගික ඊර්ෂ්‍යාව වගේ දේවල්. එහෙම නැතුව වෙන ප්‍රශ්නයක් නැහැ කියලා. එතැන දීත් පොදු සමාජයේ තියෙන ‘අනෙකාට ගරු නොකිරීම’ කියන ප්‍රශ්නයේම ප්‍රකාශනයක් දකින්න ලැබෙනවා කියල වැඩි දෙනෙක් හිතල තිබුණෙ නැහැ. ඒ සිදුවීමට අදාළව හිතුවම ඒ දෙන්නටම ඒ ප්‍රශ්නය අදාළයි. නිවේදකයා අහන ප්‍රශ්නවලට නුරුස්නා ස්වභාවයකින් නැත්නම් ‘අන්රෙස්පෙක්ටබල්’ ස්වභාවයකින් පිළිතුරු දීම ඇතුළෙත්, ඒකට වැඩසටහන මෙහෙයවපු නිවේදකයා විසින් එම ශිල්පිනිය අපහසුතාවට පත් වෙන ආකාරයෙන් ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශයත් දෙකම ඇතුළෙ තිබුණෙ ඒ ප්‍රශ්නය තමයි.
අනෙකාට ‘රෙස්පෙක්ට්’ නොකිරීම මොන තරම් අශෝභන හැසිරීමක් ද කියල තේරුම් ගන්න මේක හොඳම උදාහරණයක්. ඒ වගේහැම කෙනකුම අනෙකාට ‘රෙස්පෙක්ට්’ කරන සමාජයක් ගොඩනැඟීමත් අපි හැමෝගෙම වගකීමක්.

Previous articleජනජීවිත අඩාල කරමින් ඉන්ධන මිල යළි ඉහළට…
Next articleඅපි හදන රට ගැන…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here