ගිලුණත් ෆන්…

26

චෝරනාග උන්නාන්සෙ මාතලියත් එක්ක නගර චාරිකාවෙ යද්දි පාර දිගට එක සැණකෙළියයි. මඟ දිගට ම මුලිච්චි වුණු මහපදරංග ට්‍රැෆික් එකට හේතුවත් ඒකමයි කියල උන්නැහැට තේරුං කළේ මාතලියමයි. තරුණ ගැටව් මහපාර අයිනෙ ලොරි, බස් නතර කරං පාර මැද්දටත් පැනලා ජිල්බෝල ගහනවා. මැදි වයසෙ එව්වො ඕමි බලනවා. තව සෙට් එකක් රව රවා තරහෙන් මතුර මතුර එහෙට මෙහෙට කැරකෙනවා. ඒ අස්සෙ පාර අයිනට වෙන්න සෙට් එකක් බඩඉරිඟු තම්බනවා. තව පැත්තක ප්ලේන්ටි දානවා. තව තැනක වඩේ බදිනවා. ඊට ටිකක් එහාට වෙන්න බුලත් විට විකුණනවා. පොඩි පොඩි කඩපිල්වලට වැදිච්ච ඇත්තො දීර්ඝ සාකච්ඡා පවත්තනවා.
“මොකද්ද මෙතන වෙන්නෙ?” කියල චෝරනාග උන්නාන්සෙ අහද්දී, මාතලිය කිව්වෙ, “අලු‍තෙන් පහළ වුණු තෙල් නිධිවලින් ම තෙල් ගහගන්න කට්ටිය වාහන අරන් පෝලිමේ. නිකං ඉන්න එකේ ආතල් එකකුත් ඕනෑ කියල විනෝද වෙන විදිය” කියලය.
“එතකොට ගොරව ගොරව යන සෙට් එක ?” චෝරනාග ඇහැව්වෙ සරම වලාපොට ගහගෙන බැණ අඬගහන ගොබිලෙක් දිහා බලාගෙන.
“කොහෙත් ඉන්නව නෙ ආතල් කඩන සෙට්. එහෙම එකේවුන්.” උත්තරේ කටේ තියන් හිටිය වගේ කිව්වෙ පිටිපස්සෙ සීට් එකේ උන්නු නිලදාරි තැන.
එහෙම කියපු උන්දැ මාතලියට සන් කළේ වාහනේ නවත්තන්න. “‍බලමු හරියට ම විමර්සනෙ කරල.” කියපු උන්දැ කෙළින් ම ගියෙ බැණ අඬගහන ගොබිල ළඟට. ඇඟිල්ල උරුක් කරන් හරිහරියට වාද කරපු නිලදාරි තැන ටික වෙලාවක් යද්දී, බොහොම යාප්පු වෙන ලීලාවකුයි ඈතින් උන්නු මාතලියට පෙනුණෙ. ටික වෙලාවක කතාබහෙන් පස්සෙ සැරවැර උන්දැ කටපියන් පිටිපස්සෙ තිබුණු බුලත් විට කඩේට ගොඩ වෙන හැටියකුයි චෝරනාගට පෙනුණෙ.
ඔළුව පාත් කරන් එතැනින් මාරුවුණු නිලදාරි තැන වාහනෙට ගොඩ වුණේ රටක් රාජ්‍යයක් දිනුවා වගේ හිස කෙළින් කරන්. මාතලියට ඇහැක් ගහං පිටිපස්සෙන් වාඩිවුණු නිලදාරි තැනගෙන් චෝරනාග ඇහැව්වෙ “හැබෑට ම මෙතන ප්‍රශ්නයක් ඇත්තෙම නැද්ද?” කියලයි.
“තෙල් ළිං ප්‍රශ්නෙ ම තමයි. ඒක දැන් සාමාන්‍ය වෙලා. අවුලක් නෑ. ෆන් එකෙන් ම ඒකත් ගොඩ දාගන්න සිරි දූවෙ ඇත්තො සමර්ථයො. පේනව නෙ” කියල නිලදාරි තැන කියන කොට ම චෝරනාග උන්නාන්සෙගෙ ඇස් නතර වුණේ වහල තියෙන කෑම කඩපෙළක.
“කඩ වහල මොක ද? ඒගොල්ලොත් සැණකෙළි බිමේ ද?” කියල ඇහැව්වෙ චෝරනාග.
“මෙහෙ වැසියො වැඩිහරියක් දැන් කඩවලින් කනව අඩුයි. ප්‍රෙෂර්, ෂුගර්, ග‍ෑස් මෙහෙ උන්දලට අටඅනූවක් රෝග පීඩා නෙ. ඒ හින්දා ගෙවල්වල ම හදන් කනවා. බිස්නස් අඩු හන්දා කෑම කඩ වහලා.” ඉස්සර වුණේ මාතලියා.
“ගෑස්” කිව්ව චෝරනාග බොහොම ලයිට් ටෝන් එකකින් ආයෙමත් ඇහැව්වෙ “ඇත්තට ම ප්‍රශ්නයක් ඇත්තෙම නැද්ද?” කියලයි.
ඔළුව පාත් කරපු නිලදාරි තැන කිව්වෙ “පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා. නැත්තෙමත් නෑ. ඒත් ඕනෑ ම ප්‍රශ්නයක් ෆන් එකක් කර ගන්න විදිය සිරිදූවෙ ඇත්තො දන්නවා. දැක්ක නෙ ෆන් විතරක් නෙමෙයි, ඒකෙන් හම්බ කරන් කන හැටිත් උන්දලා දන්නවා. ඒ අතරෙ කුලප්පු වුණු ගොන් නාම්බොත් ඉන්නවා. ඒ හන්දා ඒවා ගැන සංවේග උපදවා ගන්න කාරි නෑ ආයුබොවන්ඩ.” කියලයි.
“එහෙම නො වුණොත් තමා පුදුමෙ. මේ රටේ ඉන්න තරමක් ධනාත්මක චින්තන සෙටුයි, කවුන්සලින් සෙට්වලයි හැටියට වැසියො ධන වෙලා සන්සුන් වෙන්න එපැයි. පඳුරකට පයින් ගැහැව්ව ම විසිවෙන තරං ධනාත්මක චින්තනකාරයොයි, කවුන්සලස්ලයි මෙහෙ ඉන්නවනෙ. ඊට අමතරව අනුන්ගෙ දුක් අහල සන්සුන් කරන්න ම සැදීපැහැදී ඉන්න අයියල අක්කලත් මෙහෙ ඉන්නව නෙ. ඒ හන්දා සිරිදූවෙ දුක් කියන්නෙ ම පට්ට පැණිරහ දේවල්” කියල කිව්වෙ මාතලි.
“හ්ම්” කියපු චෝරනාග උන්නාන්සෙ වැටුණෙ කෙටි නින්දකට●

 

Previous articleසමාජයෙන් ජාතිවාදී අගතිගාමී අදහස් ඉවත් කරන්නට ඕනෙ නම් බෝනික්කාගෙන් පටන් ගමු
Next articleමිනිසෙකුට රටක් විය හැකි ද? – අවලස්සන ඇමෙරිකානුවෝ ගැන කතා නිතර ඇහෙන නිස ලිව්වා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here