බූඩී කේරළ “නෙට්පැක්” ජූරියට…

78

එළඹෙන මාර්තු 18 සිට 25 දක්වා ඉන්දියාවේ තිරුවන්තපුරම් නගරයේ පැවැත්වෙන 26 වෙනි කේරළ අන්තර්ජාතික සිනමා උළෙලේ ජූරි සභිකයෙකු ලෙස කටයුතු කිරීමේ අවස්ථාව ශ්‍රී ලාංකේය චිත්‍රපට අධ්‍යක්ෂක බූඩී කීර්තිසේනට හිමිව තිබේ. ඒ අනුව උළෙලට ඇතුළත් “නෙට්පැක්” (NETPAC) නම් වූ ස්වාධීන ජූරියේ සමාජිකයෙකු ලෙසින් බූඩී උළෙල නියෝජනය කිරීමට නියමිතය. සමාජිකයින් තිදෙනෙකුගෙන් සමන්විත නෙට්පැක් ජූරියේ සෙසු සමාජිකයින් ලෙසින් ඉන්දියානු සිනමා විචාරිකා රෂ්මි දොරයිස්වාමි සහ ඉන්දියානු චිත්‍රපට අධ්‍යක්ෂිකා බොබී ෂර්මා කටයුතු කරනු ඇත.
1994 වසරේදී ආරම්භ වූ කේරළ අන්තර්ජාතික සිනමා උළෙලේ මේ දක්වා ශ්‍රී ලාංකිකයින් 09 දෙනෙකු හට අවස්ථා 10 කදී ජූරි සභිකයින් ලෙස කටයුතු කිරීමේ අවස්ථාව හිමිව ඇත. ඒ අතුරින් ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙකු (තිස්ස අබේසේකර, ප්‍රසන්න විතානගේ, සුමති සිවමෝහන්, අනෝමා රාජකරුණා) උළෙලේ ප්‍රධානතම නිළ අන්තර්ජාතික ජූරියත්, දෙදෙනෙකු (ගාමිණි විජේතුංග, රංජනී රත්නවිභූෂණ) ස්වාධීන ෆිප්රෙස්කි ජූරියත්, සිව්දෙනෙකු (ඈෂ්ලි රත්නවිභූෂණ, ජයන්ත චන්ද්‍රසිරි, ස්වර්ණා මල්ලවාරච්චි, ප්‍රසන්න විතානගේ) ස්වාධීන නෙට්පැක් ජූරියත් නියෝජනය කොට ඇත.
ඒ අනුව බූඩී කීර්තිසේන කේරළ උළෙලේ ජූරියක් නියෝජනය කරන 10 වෙනි ශ්‍රී ලාංකිකයාත් ,එහි නෙට්පැක් ජූරිය නියෝජනය කරන 05 වෙනි ශ්‍රී ලාංකිකයාත් වේ. අන්තර්ජාතික සිනමා උළෙලවල නෙට්පැක් ජූරියට සාමාජිකයින් පත්කිරීම, ශ්‍රී ලංකාවේ බොරලැස්ගමුවේ පිහිටා ඇති ආසියානු-ෆැසිෆික් සිනමා කේන්ද්‍රය හෙවත් නෙට්පැක් ආයතනයේ සම සභාපතිත්වය දරන ඈෂ්ලි රත්නවිභූෂණගේ නිර්දේශය මත සිදුවේ.
බූඩී කීර්තිසේන ජාත්‍යන්තර ජූරි සභිකයෙකු ලෙසින් 2018 වර්ෂයේදී ඉන්දියාවේ හයිද්‍රාබාද්හි පැවති 04 වෙනි ඕල් ලයිට්ස් ඉන්දියා අන්තර්ජාතික සිනමා උළෙලේ නෙට්පැක්-ඉන්දිවුඩ් පැනොරාමා ජූරියත් (Netpac- Indywood Panorama Jury), 2021 වසරේ දකුණු කොරියාවේ පැවති 25 වෙනි බූචොන් අන්තර්ජාතික ෆැන්ටාස්ටික් සිනමා උළෙලේ නෙට්පැක් ජූරියත් (Netpac Jury) නියෝජනය කිරීමට සමත් විය. ඒ අනුව කේරළ නෙට්පැක් ජූරි නියෝජනය, බූඩී කීර්තිසේන අන්තර්ජාතික සිනමා උළෙලක ජූරියක් නියෝජනය කරන තෙවෙනි අවස්ථාව වේ.
ෆිඇප්ෆ් (FIAPF) අනුමැතිය හිමිව ඇති ලොකයේ “තරගකාරී විශේෂිත වෘත්තාන්ත සිනමාපට උළෙල” (Competitive Specialized Feature Film Festivals) 22 අතුරින් එකක් වන කේරළ උළෙල, ඉන්දියාවේ සිව් මහ අන්තර්ජාතික සිනමා උළෙල (ඉන්දියානු-ගෝව, කේරළ කොල්කටා, මුම්බායි) අතුරින් එකක්ද වේ.
සටහන: උදිත ලක්මාල් කහඳවආරච්චි

Previous articleවිනී හෙට්ටිගොඩ කාටුන්, ‘ලංකා’
Next articleලංකා e-paper (2022.03.13)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here