ආදරය බෝ කරන වැඩක්

ඉන්දියාවෙ කල්කටා කියන්නෙ සුන්දර අත්දැකීම් පිරුණු නගරයක්ම නෙමෙයි. හැබැයි අසුන්දර මිනිසුන්ගේ නොතකා හැරීම් පහත්වැඩ ආදි නොයෙකුත් දේ වලින් අසරණ වූ මිනිසුන්ට සුන්දර මිනිසුන්ගෙ ආශිර්වාදය සෙනෙහසද ආදරය දැනෙන විදිහට තැණුන ක්‍රියාමාර්ග පිරුණු තැනක්. ඒ වගෙ තැනකදි ලෝකයේ කාර්ය බහුලම මනුස්සෙක්ගෙ සුන්දරකම පසුගිය දවසක එළියට ආවා. ඒක සුන්දරකම කියනවට වඩා පහසුවෙන් මනුස්සකම කියලා ගත්තොත් සුන්දර මනුස්සකමක්.

කල්කටාවෙ පලායාම, අනාථ දරුවන්, ළමා ජාවාරමට ගොදුරු වූවන්, ලිංගික ශ්‍රමිකයන්ගේ දරුවන් සහ අවදානම් වීදි සහ මුඩුක්කු ළමුන් වෙනුවෙන් සැකසි ළමා නිවාස තියෙනවා. මේවා වඩාත් තේරෙන බසින් සටහන් කරනවනම් අනාථ නිවාස. ඒත් මේ වචනය ඒ පොළවෙ යථාර්තයක් නෙමෙයි. දරුවන්ගෙ අයිතිය භාරගත්තු සමාජයක් කල්කටාවෙ තියෙනවා. ඒ අයට ළමාකම, ඊට අදාළ සුන්දරකම දෙන්න උත්සාහගන්න වටපිටාවක් හදන්න විවිධ සංවිධාන ලෝකයේම උපකාර ලැබෙන විදිහට හදපු ළමා නිවාස කල්කටාවෙ තියෙනවා.

මේ නත්තල හැබැයි ඒ උපකාර කරන මිනිස්සු ගැන යට කරලා එක මනුස්සෙක් ගැන කතා කරන ලෝකයක් හැදුවා. ළමයිත් වෙන නත්තල්වලට වඩා හිනා වුණා. ඒ කල්කටාවෙ විශාලම ළමා නවැතැන් පොළට ආව විශේෂ මනුස්සෙක් නිසා. ලෝකයෙ අද වැඩියෙන්ම අවධානය දිනාගත් ක්‍රිකට් ක්‍රීඩකයා ඔහුයි. ක්‍රිකට් ඉතිහාසය වෙනස් කරන සුවිශේෂි පිතිකරුවා ඔහුයි. වාර්තා පොත දවසින් දවස ඔහුගේ පිත්ත විසින් වෙනස් කරන තැනෙකයි අද තියෙන්නෙ. ඒ නිසාම ඔහු අතිශයින් කාර්ය බහුලයි. විශේෂයෙන් ඒ හැකියාව එන්නෙ අතිශය කැපවීමක් සහිතව ඔහු පුහුණුවීම් කරන නිසා. ඒක ලෝක ප්‍රසිද්ධ කතාවක්.

ඒත් ඔහු මනුස්සකම අත ඇරලා නැහැ කියන පණිවිඩය අරගෙන කල්කටාවෙ ළමා නවාතැනට ආවෙ නත්තල අරගෙන. පොඩි පැටවුන්ට හිත පිරෙන්න මුව පුරා සිනා ඉතිරෙන්න තෑගි අරන් එන විරාට් කෝලිට දරුවන්ට ඉස්සෙල්ලම දෙන්න ඕනි වුණේ ඔවුන් ආත්මීය වශයෙන් නත්තල වෙනුවෙන් විදින සතුටයි. ඒ නිසා ඔහු නත්තල් සීයා වුණා. ළමයි නත්තලට තමන්ව බලන්න ආපු නත්තල් සීයගෙන් තෑගි ගත්තා, සතුටු වුණා. හැබැයි ඒ සාම්ප්‍රදායික සතුටට වඩා ඉහළ සතුටක් දරුවන්ට අන්තිමේ කෝලි ලබා දුන්නා.

නත්තල් සීයගෙ රැවුල ගැලවුණා. හිනාවෙමින් සතුටින් හිටපු මූණුවලට තව හිනාවෙන්න බැහැ. සමහරුන්ට හැඬුණා. ඒත් සතුටට. තමන් සතුටුම නත්තල හමුවෙලා තිබුණා. නත්තල් සීයගෙන් ලැබෙන තෑගි නෙමෙයි නත්තල් සීයා තමයි වටිනම දේ කියන එක ඔවුන් ඒත්තු ගත්තා. අත්වලින් ලැබුණු තෑගි ගිලිහෙන්න දීලා දරුවො දුවලා ගිහිං නත්තල් සීයගෙ ඇඟේ එල්ලු‍ණා.

රොෂාන් මහානාම කියන ලංකාවෙ ක්‍රිකට්වල හිටපු සුන්දරම මනුස්සය තව කිහිප දෙනෙකුත් එක්ක මේ විදිහටම නත්තල් අරගෙන ගිහිං තිබුණා. ඒකත් ලංකාවෙ ක්‍රිකට් ක්‍රීඩකයො ගැන කතා කරන්න ආදරය කරන්න හේතුවක්. නමුත් කෝලි කියන්නෙ අද ක්‍රිකට් ලෝකයම විශ්මයට පත් කරන ක්‍රීඩකයා. ඔහු නත්තල් සීයා වෙනවා කියන එක… කාගෙවත් නිල අයිතියක් නැති දරුවන්ගෙ වගකීම ගත්තු රටක ඒ ක්‍රමය ඇතුලෙ පුරවැසියන් ඒ පීතෘත්වයට මාතෘත්වයට හුරු කරන්න කෝලි ගත්තු පියවර අති විශිෂ්ඨයි. ඒක ඔහුගෙ පිත්තෙන් වාර්තා වන ශතකයක් තරමටම හැඩකාරයි. අලංකාරයි.

ඔහු ඉන්දීය වැඩිහිටියනට තමන්ගෙම දරුවෙක්. දැන් දරුවන්ට තමන්ගෙ කියලා හිතෙන තාත්තා කෙනෙක්. විශිෂ්ඨ ක්‍රීඩකයෙක් වෙනවට වඩා අමාරුයි සුන්දර වගකීම් සහිත ආදරණීය මනුස්සයෙක් වෙන එක. මිනිස්සුන්ට අහිතකර දේ කට රටත් පිරෙන්න සල්ලි දුන්නත් දායක වෙන්නෙ නැහැ කියලා ඔප්පු කරපු කෝලි ආයෙමත් ක්‍රීඩා පිටියෙ දකින ප්‍රතිවාදියා සුනුවිසුණු කරල දාන්න තැත් දරන ව්‍යාඝ්‍රයාට වඩා විශාල මනුස්සයෙක් තමන්ගෙ ජීවිතය තුළ ඉන්න බව ඔප්පු කරල පෙන්නුවා. ඒ මනුස්සකම ක්‍රිකට්වලින් උඹව පැරැද්දුවත් පරද්දන්න අමාරුයි කියන එක ලෝකය කියව ගනියි. ඒක හුරුවුණොත්, අභ්‍යාසයක් බවට පත් වුණොත් ජනප්‍රිය විශිෂ්ට තරු, ආදරණීය මිනිස්සු වෙයි.

ජේ. නරේන්ද්‍ර

Leave A Reply

Your email address will not be published.

one × 4 =