විචාරකයින් පවසන්නේ The Overstory මෑතකාලීනව ලොව ලියැවුණු ප්‍රභලතම පරිසරවේදී නවකතාවක් බවයි

21

ප්‍රශ්නය – ඔබ සරලවම කියන්නේ සමකාලීන නවකතාව සොබාවික ලෝකය ගැන ලියන්න දන්නේ නැහැ කියලා.
පිළිතුර – සමකාලීන නවකතාවට තුන්වන නාට්‍යානුසාරීය ගැටුමක් අමතක වෙලා – රිචර්ඩ් පවර්ස්
2018 වසරේ නිකුත් වූ රිචඩ් පවර්ස් නම් ඇමරිකානු ජාතික ලේඛකයා විසින් ලියන ලද The Overstory නම් නවකතාව මෑතකාලීනව ලොව ලියැවුණු ප්‍රභලතම පරිසරවේදී නවකතාවක් බව විචාරකයෝ පවසති. පරිසරය හුදු පසුබිමක් නොකර, එය නවකතාවේ චරිත බවට පත්කරමින් ලියන ලද මෙම නවකතාවට පූලිට්සර් සම්මානය ඇතුළු සම්මාන ගණනාවක් හිමි විය. මෙම සම්මුඛ සාකච්ඡාව එම කෘතියේ කතෘ රිචර්ඩ් පවර්ස් සමඟ ස්ටීව් පෝල්සන් සිදුකරන ලද්දකි.
මිනිස් ලෝකයට වඩා දෙයක් ලියන්න උවමනාවක් ඇතිවුණ බොහෝ නවකතාකරුවො ලියන්නේ සතුන් ගැන. අපිට ඔවුන්ගෙන් යම් ප්‍රමාණයකට දේවල් අවබෝධ කරගන්න පුළුවන්. ඇයි ඔබට ගස් ගැන ලියන්න උවමනා වුනේ?
සත්ව සහනුකම්පනය හඳුනා ගැනීම වඩා පහසුයි කියලා ඔබ කියපු කාරණය ඉතාම ආකර්ෂණීයයි. ඇත්තටම, එහෙම තමයි ස්වාභාවික වරණය විසින් අපට හැඩගස්සලා තියෙන්නේ – අපිට බොහෝ සෙයින් සමාන දේවල්වලට දැඩි ලෙස සංවේදී වීම. එම සහනුකම්පනය මනුෂ්‍ය සීමාවෙන් එපිටට දෙන්නේ බොහොම අකමැත්තෙන්. ඉතින් මම කල්පනා කළා මෙච්චරම තනිකමක් දැනෙන්නේ ඇයි කියන කාරණයේ – ‘වර්ග තනිකම’ කියලා මනෝවිද්‍යාඥයන් හඳුන්වන – හදවතටම බැහැලා බලන්න. අපිට ඕන නම් අපි කෙළින්ම ගැටළුව අතට අරගෙන, ගහක් දිහා බලාගෙන කියන්න ඕන, “මම සාමාන්‍යයෙන් මගේ වර්ගයාට පමණක් දෙන මේ වැදගත්කම මම ඔබට දෙනවා” කියන්න මම වගේ මනුස්සයෙක්ට කොයි වගේ ගුණාංගයන් තියෙන්න ඕනද කියලා.
ගස් ගැන සහනුකම්පනය ඇති කරන එකද ඔබේ අරමුණ වුනේ?
මම හිතන්නේ පොතේ අරමුණ ඒකයි. මේ මහපොළවේ ස්ථාවරව ජීවත් වෙන්න අපෙන් අවශ්‍ය කරන පරිණාමයේ අත්‍යවශ්‍ය පළමු පියවර විදියට මම එය හඳුන්වන්න කැමතියි. මුලින්ම මම හිතුවේ ගස් නවකතාවක චරිත කරලා නවකතාවක් ලියන එක පුදුම සහගත දෙයක් කියලා. ඒක තරමක තාක්ෂණික අභියෝගයක්.
මට මතක විදියට ටොල්කින් (J.R.R. Tolkin) ඒක කළා, ලෝඩ් ඔෆ් ද රිංග්ස් පොතේ එන්ට්ස් කියන චරිත ගෙනල්ලා. ඔබේ ඔළුවේ මේක වැඩකලාද?
එන්ට්ස්ලා මගේ අනුප්‍රාණයේ මහා මූලාශ්‍රයක් වුනා. කෝප ගන්නේ හෙමින්, ක්‍රියාකරන්නේ හෙමින්, ඒත් ඔවුන් කෝපගන්න විට, ක්‍රියා කරන විට, ඔබට ඕන වෙනවා ඔවුන් ව ඔබේ පැත්තේ තියාගන්න.
මේ පොත ලියන්න ඔබ පර්යේෂණ විශාල ප්‍රමාණයක් කරලා තියෙනවා. ශාඛ විද්‍යාවේ ඔබව වඩාත් පුදුමයට පත් කළ දේවල් විදියට ඔබ හඳුන ගත්තේ මොනවද?
ලියන්න පටන්ගන්න කලින් මම ඒ ගැන වැඩිය දේවල් දැනගෙන හිටියෙ නැහැ. මගේ ජීවිතෙන් වැඩි කාලයක් මම ගතකරලා තිබුනෙ ශාඛ අන්ධතාවයෙන්. ගස් සමාජශීලියි, ඔවුන්ට මතක තියෙනවා, ඔවුන් එකිනෙකාට ආමන්ත්‍රණය කරගන්නවා. ඔවුන් එය වාතය හරහාත්, පොළව යටිනුත් කරනවා. උදාහරණෙකට, කෘමීන් විසින් ආක්‍රමණය කරන ලද ශාඛයක් එය විසින්ම කෘමිනාශක නිපදවනවා. ප්‍රහාරයට ලක්වන ගස විසින් නිපදවන මෙම රසායනිකයේ වැඩි ප්‍රමාණය වාතයට නිකුත් වෙනකොට ඒ අහල පහල තියෙන ගස්වලට ඒක අහුවෙනවා.
ඒ කියන්නේ ඔවුන් අනිත් ගස්වලට කියනවා, “බලාගෙනයි, මට ප්‍රහාරයක් එල්ල වෙලා කෘමීන්ගෙන්, ඕගොල්ලොත් සූදානම් වෙලා හිටියොත් හොඳයි” කියලා?
ඔව්. මේක හුවමාරු ප්‍රතිශක්තීකරණ පද්ධතියකට සමාන කරන මිනිස්සු ඉන්නවා. වනාන්තරය සුපිරි ජීවියෙකු බවට පත්කරන්නට ස්වාභාවික වරණය විසින් මෙම රසායනික යාන්ත්‍රණය එකට එකතු කරලා තිබීම ගැන හිතීම පවා පුදුමයි. ගසකට රසායනික සංඥාවන් නිපදවන්න පුළුවන්. ඒකෙන් ගුවන් හමුදාවකට සංඥා යවන්න පුළුවන්. දැනටමත් ගහේ ඉන්න කෘමීන්ගේ ජාතියේ තවත් කෘමීන්ව දැනුවත් කරන්න පුළුවන්. එතකොට උන්ට ඇවිල්ලා ගහේ ගොදුරක් වෙන්න පුළුවන්. ඊටපස්සේ පොළව යටින් කරන සන්නිවේදනය හරිම මනස්කාන්තයි. ගස් සහ දිලීර එක්ව එකිනෙකාට අන්‍යෙන්‍ය වශයෙන් ප්‍රයෝජනවත් සහවී සම්බන්ධතා හදනවා. ඒක ඇත්තටම පිස්සු හැදෙන වැඩක්. මේ සමහර දිලීර ඔවුන්ගේ සූතිකා වලින් කුඩා පාශයන් (තොණ්ඩු වැනි) හදනවා.ඒවයින් බිම ඉන්න අපෘෂ්ඨවංශී සත්තුන්ව අල්ල ගන්නවා. දිලීර මේ සත්තුන්ව ආහාරයට අරගෙන ගස්වලට ඒ පෝෂණය පෙරළා ලබාදෙනවා. දිලීරවලට පුළුවන් බොහෝ දුර තියෙන ශාඛ පවා එකිනෙකාට සම්බන්ධ කරන්න, ඒ වගේම ගස් සහ වෙනත් සත්ව විශේෂ සම්බන්ධ කරන්නත්. ඒක අදහා ගන්නත් බැහැ.
මට දැනෙන්නේ හරියට ඔබ “ශාඛ බුද්ධිය” ගැන කතා කරනවා වගේ. අපිට ඒ වචනය පාවිච්චි කරන්න පුළුවන්ද?
ඒ වචනය දිගින් දිගටම පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන් වචනයක් වෙලා තියෙනවා, ඒ වගේම නැගීසිටින විද්‍යාඥයන් හිතන්නට පටන්ගෙන තියෙන වචනයක්. බොහෝ සාම්ප්‍රදායික විදයාඥයන් “බුද්ධිය” කියන වචනයෙන් පසුබැස යනවා. බුද්ධිමය නම්‍යශීලි බවින් අප අදහස් කරන්නේ වෙනස් වන පරිසරයකට මුහුණ දෙන විට, සුදුසු නම්‍යශීලි හැසිරීම, සංවේදනය, නියැලීම සහ ඒ අනුව ප්‍රතිචාර දැක්වීම, ගස් ඒවා කරනවා.
 සමහර ගස් අදහාගන්න බැරි තරම් අවුරුදු ගාණක් ජීවත්වෙනවා – අවුරුදු සියගණනක්, දහස් ගණනක්. මට මේ ගැන හිතාගන්න බැහැ.
අඛණ්ඩතම පැරණි තනි ජීවි ශාඛ – බොහෝ අය බ්‍රිස්ටල් කෝන් පයින් ගස් උපුටා දක්වනවා – වසර පන්දාහක් හයදාහක් ජීවත් වෙනවා. නෝර්වේවල තියෙනවා ප්‍රසිද්ධ ගහක් වසර නමදාහක් තිස්සේ මැරි මැරි ආයෙ නැගිටින. එහි මූල පද්ධතියෙන් මූල රිකිලි අයිස් යුගයේ ඉඳන් එනවා. ඇස්ෆන් තුරු ගොමුවල සේරම ශාඛ හැදෙන්නේ වසර ලක්ෂයකට වඩා වැඩි මූල පද්ධතියකින්.
 පූර්ව නූතන මිනිසුන් අතරේ සැබවින්ම ශාඛ යනු ආධ්‍යාත්මික ජීවීන් බව විශ්වාස කළ සවවාදී( Animist) සංස්කෘතීන්ට දිගු ඉතිහාසයක් තියෙනවා. මට ඔබව පේන්නේ ඉතා දැඩි විද්‍යා මතධාරියෙක් විදියට, ඒත් මම කල්පනා කරන්නේ ඔබට කවදා හෝ මේ සවවාදී ලෝක දැක්ම ලැබුණාද කියලා.
(සවවාදය (Animist) – මිනිසා, ගහ කොළ සතා සීපාවා පමණක් නොව කඳු ගල් පර්වත ආදියට පනා ආධ්‍යාත්මිකත්වයක් ඇතැයි විශ්වාස කල ආගමික කොට්ටාශයක් )
The Overstory කියන්නේ ඒ දැඩි විද්‍යා මතධාරිබව බොහෝ ආකාරවලින් පැරණි සවවාදී කතා, ආගමික කතා වැනි පැරණි සත්‍යයන් සමඟ ඡේදනය කරන්න දැරූ උත්සාහයක්. මෙම නවකතාව ලියද්දී මතුවුණ දෑස් අරවන සුලු අභියෝගයට මම දක්වපු ප්‍රතිචාරය මේකයි. අපි දැන් ජීවත් වෙන්නේ මෙම පැරණි මිත්‍යාවන් විද්‍යාවට පෙර බිහිවූ ප්‍රාථමික, අන්ධ විශ්වාස, ලෙස අර්ථ දක්වමින් විසුරුවා හල යුගයක, ඒත් ඇත්ත වශයෙන්ම, එම මිථ්‍යාවන් තුළ ගැබ් වී ඇති දේවල් ඉවත් කරලා ලෝකය දැඩි තාර්කික ආනුභවික ප්‍රවේශයකට පසුබසිනකොට, එම මානසික රාමුව පුද්ගලවාදයේ සංස්කෘතිය, වෙළඳ භාණ්ඩ සංස්කෘතිය සමඟ ඒකාබද්ධ වෙනවා. එහිදී අපි එම අදහස කෙසේ හෝ පුද්ගලික දෙයක් විය හැකි බවට ඇති නියමය අනුගමනය කරනවා. අරුත් උල්පත ඔබටම සාදා ගත හැකි මේ සංස්කෘතිය තුළ අප ජීවත් වන්නේ නම්, එක් එක් පුද්ගලයාගේ මානසික අර්බුදවලින් හෝ ඔවුන්ගේ ගැටුම්කාරී අභ්‍යන්තර දෙගිඩියාව හෝ සමාජ විද්‍යාත්මක හෝ දේශපාලන නියමයන්ගෙන් ඔබ්බට නොයන, සාහිත්‍ය වර්ගයක් විතරයි අපිට ලැබෙන්නේ.
ඔබ සරලවම කියන්නේ සමකාලීන නවකතාව සොබාවික ලෝකය ගැන ලියන්න දන්නේ නැහැ කියලා. ඒක තරමක් බරපතළ ප්‍රකාශයක්.
මම කියන්නේ සමකාලීන නවකතාවට තුන්වන නාට්‍යානුසාරීය ගැටුමක් අමතක වෙලා තියෙන බව. ඒක මීට පෙර අපි අපිටම කියාගත්තු බොහෝ කතන්දරවල හදවත සහ ආත්මය වෙලා තිබුන බව. මනුස්සයෙක් තමන්ට එරෙහිව හෝ මිනිසුන් මිනිසුන්ට එරෙහිව නොවෙයි, මිනිසුන් නොවන අයට අවශ්‍ය සියලු දේ සමඟ එකඟ වීමට උත්සාහ කරන සමස්ත මිනිස් සංහතියේම බලාපොරොත්තු, බිය සහ සිහින.
ඔබගේ පොතෙන් මම ගත්තු එක දෙයක් නම්, ඔබ මෙම විදයාව දැනගත් පසු සහ ගස් යනු කෙතරම් ආශ්චර්යමත් ජීවීන්ද යන්න වටහා ගත් පසු, ඔබට තවදුරටත් ලෝකය ගැන පැරණි ආකාරයෙන්ම බලන්න බැහැ. එමෙන්ම මෙහි සදාචාරාත්මක ඇඟවුමක් තියෙනවා – ඉතා පැහැදිලිවම, ප්‍රාථමික වනාන්තර ලොග් ගත කිරීමේ ගැටළුව, ඒත් ඒක තවත් දුර යන බව පේනවා. මෙය ඔබේ ජීවිතය වෙනස් කළාද?
සියල්ල වෙනස් වුනා. මේ පොත නිසා මම දැන් ජීවත් වෙන්නේ අලුත් තැනක. මම මගේ ජීවිතය රටේ වෙනත් තැනකට මාරු කළා. මම දිගටම ප්‍රාථමික වනාන්තර ගැන කියවනවා. ඒ වගේම ප්‍රාථමික වනාන්තරයක් තුළට ඇවිද යාම, රට පුරා තියෙන නැවත වැවුණු වන ගහනවල ඇවිද යාමට වඩා සාපේක්ෂව කොතරම් වෙනසක් තියෙනවද කියලා හිතනවා. ස්මෝකි කඳුකරයේ නැගෙනහිරදිග ප්‍රාථමික වනාන්තරයේ විශේෂිත දර්ශනීය පැල්ලම් ගැන මම දිගටම කියවනවා. වසර තුනකට පෙර, මෙම නොකැපූ වනාන්තරවල පැල්ලම් ගැන වැඩිදුර සෙවිය යුතුයි කියලා මම තීරණය කළා. විස්තර හොයාගෙන යද්දී මගේ කට ඇරුණා. “මේක මගේ රට,” මම හිතුවා.
ඉතින් ඔබ මහා ස්මෝකි කඳුකරයට ගියා?
ඔව්. මට ඒකෙන් ගැලවෙන්න බැරි වුනා. පොත ලියලා අවුරුද්දකට පස්සේ මම වනාන්තර සීමාවට ආසන්න හරියකින් ගෙයක් මිළදී ගත්තා. දැන් අවුරුදු දෙකක් තිස්සෙ මම ජීවත් වෙන්නේ එහෙ. ඉදිරියට මම දිගටම එහෙ ජීවත් වෙනවා.

– රශ්මික මණ්ඩාවල
Previous articleදණ්ඩන කඳවුරක ජීවිතය – ඇලෙක්සැන්ඩර් සොල්ෂෙනිට්සින්
Next article“සර්වපාක්ෂික සමුළුවට අපි එනවද නැද්ද” – අනුර දිසානායක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here