දණ්ඩන කඳවුරක ජීවිතය – ඇලෙක්සැන්ඩර් සොල්ෂෙනිට්සින්

8

ගුරුවරයකු, සොල්දාදුවකු, නාට්‍යකරුවකු හා නොබෙල් ත්‍යාගලාභී ලේඛකයකු වූ ඇලෙක්සැන්ඩර් අයිසෙවිච් සොල්ෂෙනිට්සින් ලොව පුරා ප්‍රචලිත වූයේ රැඩිකල් ලේඛකයකු ලෙසිනි. එවක සෝවියට් දේශය පුරා පැවැති වහල් කඳවුරු පිළිබඳව ලොවට අනාවරණ වූයේ ඔහුගේ නිර්මාණ තුළිනි. ගුලාග් ආචිපෙලාගෝ, වන් ඬේ ඉන් ද ලයිෆ් ඔෆ් ඉවාන් ඩෙනිසොවිච්, කැන්සර් වෝඞ්, වැනි නිර්මාණ තුළින් ඔහු හෙළිදරව් කළේ ස්ටාලින් පාලන සමයේ සෝවියට් දේශය පුරා පැවැති භීෂණය පිළිබඳවය. ඔහුගේ ලියවිල්ල හේතුවෙන් සොල්ෂෙනිට්සින් සෝවියට් දේශයෙන් පිටුවහල් කිරීමට සෝවියට් පාලකයෝ පියවර ගත්හ.
ඇලෙක්සැන්ඩර් සොල්ෂෙනිට්සින් උපත ලැබුවේ 1918 දෙසැම්බර් 11 වැනිදාවකය. මොස්කව් විශ්වවිද්‍යාලයෙන් ගණිතය පිළිබඳ උපාධිධාරියකු වූ ඔහු පසුව මොස්කව්හි ඉතිහාසය, සාහිත්‍යය හා දර්ශනවාදය පිළිබඳ ආයතනයෙන් වැඩිදුර අධ්‍යාපනය ලැබීය.
දෙවැනි ලෝක යුද සමයේ ඔහු රතු හමුදාවේ අණදෙන නිලධාරියකු විය. එහෙත් ස්ටාලින්ගේ භීෂණය හා ඔහුගේ ක්‍රියාකලාපය විවේචනයට ලක් කිරීම හේතුවෙන් සෝවියට් විරෝධි ප්‍රචාර ගෙන ගිය බවට චෝදනා කළ සෝවියට් පාලකයෝ 1945දී සොල්ෂෙනිට්සින් අත්අඩංගුවට ගෙන මොස්කව්හි ලුබියන්කා සිරගෙදරට ගාල් කළේය. එහිදී කෘාර වධහිංසාවලට ගොදුරු වූ ඔහු පසුව වෙනත් වහල් කඳවුරක් වෙත යැවිණි. එහිද වසර අටක් සිරකරුවකු ලෙස ගෙවන්නට ඔහුට සිදු විය.එහිදී පිළිකාවකට ගොදුරු වූ ඔහුට පිළිකා රෝහලකට ඇතුඵ කෙරුණු අතර එම වාට්ටුවේදී ලත් අත්දැකීම් ඇසුරින් හා සෝවියට් දේශපාලනයේ දූෂිත පැත්ත විවරණය කරමින් ඔහු පිළිකා වාට්ටුව රචනා කළේය.
සොල්ෂෙනිට්සින්ගේ වඩාත් ප්‍රකට නවකතා දෙක අතුරින් එකක් වන්නේ කැන්සර් වෝඩ් නමැති නවකතාවය. එය පිළිකා වාට්ටුව නමින්ද අනෙත් කෘතිය – වන් ඬේ ඉන් ද ලයිෆ් ඔෆ් ඉවාන් ඩෙනිසොවිච් – සිරකඳවුරකදී නමින් දසිංහලෙන් පළවී තිබේ.
නිකිතා කෘෂේව් බලයට පත්වීමෙන් පසු සොල්ෂෙනිට්සින් සියලු චෝදනාවන්ගෙන් නිදොස් කොට නිදහස් කිරීමට ඔහු පියවර ගත්තේය. නිදහස ලද ඔහු ද්වීතිය පාසලක ගුරුවරයකු ලෙස සේවය කළේය. දිවාකාලයේ උගැන්වීමේ නිරත වූ ඔහු රාත්‍රි කාලයේ රහසිගතව තම ලේඛන කාර්යයේ නිරත විය. පසුකලෙක නොබෙල් ත්‍යාගය හිමි වූ අවස්ථාවේ එහි සිය දේශනය කරමින් සොල්ෂෙනිට්සින් ප්‍රකාශ කළේ තමා ලියූ කිසිවක් කිසි දිනෙක ප්‍රකාශයට පත් කිරීමට නොහැකි වෙතැයි 1961 වන තෙක්ම තමා සිතූ බවයි.
ඔහු ලියූ වන් ඬේ ඉන් ද ලයිෆ් ඔෆ් ඉවාන් ඩෙනිසොවිච් නමැති කෘතිය ඉතා ජනප්‍රියත්වයට පත් වූ අතර කෘෂෙව් පාලන සමයේ එය පාසල් අතිරේක කියවීම් පොතක් ලෙසද භාවිත විය. එම කෘතිය තුළින් සෝවියට් දේශයේ සිරකඳවුරුවල සැබෑ තත්වය බටහිර ලෝකයාට හඳුනා ගන්නට හැකි විය.
කෘෂෙව් පාලනය අවසන් වීමත් සමඟ සොල්ෂෙනිට්සින් යළි කේජීබීයේ තාඩනපීඩනවලට ලක්වූයේය. ඔහුගේ කෘති වාරණය කෙරිණි. 1969 වසරේ සෝවියට් ලේඛක සංගමයෙන් ඔහු නෙරපා හැරුණද 1970දී ඔහුට නොබෙල් සාහිත්‍ය සම්මානය හිමිවූයේය.
1958-1967 අතර කාලයේ සෝවියට් සිරකඳවුරු පිළිබඳ සත්‍ය තොරතුරු හා තම අත්දැකීම් පාදක කරගනිමින් ඔහු විසින් රචිත ගුලාග් ආචිපෙලාගෝ කෘතිය භාෂා 35කට පරිවර්තනය වූයේය. එහි පිටපත් මිලියන 30ක් මේ වන විට අලෙවි වී තිබේ. ඇන් ඉන්සිඩන්ට් ඇට් ක්රෙචෙටොව්කා ස්ටේෂන්, මාට්රියෝනාස් ප්ලේස්, ෆො ද ගුඞ් ඔෆ් ද කෝස්, ද ෆස්ට් සර්කල්, ද ලව් – ගර්ල් ඇන්ඞ් දි ඉනසන්ට්, රෙඞ් වීල්, කැන්සර් වෝඞ්, ප්‍රසියන් නයිට්ස් ඔහු විසින් රචිත නවකතාය. 1983දී ඔහු ටෙම්පල්ටන් ත්‍යාගයෙන්ද පිදුම් ලැබීය.
ජීවිතයෙන් වැඩි කාලයක් පිටුවහලේ සිටි සොල්ෂෙනිට්සින්හට 1990දී සෝවියට් පුරවැසිභාවය හිමි වූ අතර 1994දී ඔහු රුසියාවේ වාසයට පැමිණියේය. ඔහු මියගියේ 2008 මාර්තු 03 වැනිදාවකය. ඒ වන විට 89 වැනි වියේ පසු විය.
– ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා (fb)

Previous article‘ඔබ හිතන් ඉන්නා හීන ලෝකය ඔයාකාර වුණත්, පයගහන් ඉන්න වෙන්නේ නම් මේ ලෝකේ’ – ‘Humanscape’
Next articleවිචාරකයින් පවසන්නේ The Overstory මෑතකාලීනව ලොව ලියැවුණු ප්‍රභලතම පරිසරවේදී නවකතාවක් බවයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here