ට්‍රම්පච්චි ජනවාරියේ ගෙදර යයි ද?

එක්සත් ජනපදයේ 45වන ජනාධිපතිවරයා වන ඩොනල්ඞ් ට්‍රම්ප් දෝෂාභියෝගයට ලක් කර තිබෙනවා. එක්සත් ජනපද පාර්ලිමේන්තුවේ හෙවත් කොන්ග්‍රස් සභාවේ මණ්ඩල දෙකක් තිබෙනවා. ඒ අතුරින් නියෝජිත සභාවේ ඡන්ද විමසීම් දෙකකට පසුව ඔහු දෝෂාභියෝගයට ලක් කරනු ලැබුවා. එම ඡන්ද දෙකේ දී ට්‍රම්ප් බලය අපහරණය කළ බවට වූ වගන්තිය 237-197 ලෙස හා කොන්ග්‍රසයට බාධා කළ බවට වූ අනෙක් වගන්තිය ඡන්ද දෙකේ දී 229-198 ලෙස ඡන්ද ලැබ සම්මත වුණා. ට්‍රම්ප් මෙම චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනවා.

නියෝජිත සභාවේ බහුතර බලය තිබෙන්නේ ඩිමොක්‍රටික් පක්ෂයටයි. ට්‍රම්ප් අයත් වන්නේ රිපබ්ලිකන් පක්ෂයටයි. ඊළඟ අදියරේ දී කොන්ග්‍රසයේ උත්තර මන්ත්‍රී මණ්ඩලය හෙවත් සෙනෙට් සභාවේ සහාය ලැබුණොත් ඔහු ධුරයෙන් ඉවත් කරනු ඇති. රාජ්‍ය ද්‍රෝහීත්වය, අල්ලස හා බරපතළ අපරාධ හා වැරැදි සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දෝෂාභියෝගයට ලක් කර දණ්ඩනයට ලක් කළ හැකි බව එක්සත් ජනපද ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා. එහෙත්, මෙම දෝෂාභියෝග ක්‍රියාවලිය අපරාධ විමර්ශනයකට වඩා දේශපාලන ක්‍රියාවලියක් බවට පත් වී තිබෙනවා.

මීට කලින් ජනාධිපතිවරුන් දෙදෙනකු මේ අන්දමින් දෝෂාභියෝගයට ලක් කර තිබෙනවා. ඒ තමයි, ඇන්ඩෘ ජොන්සන් සහ බිල් ක්ලින්ටන්. එක්සත් ජනපදයේ 17වන ජනාධිපතිවරයා වූ ඇන්ඩෘ ජොන්සන් 1868දී බරපතළ අපරාධ සහ වැරැදි සම්බන්ධයෙන් වගන්ති 11ක් යටතේ දෝෂාභියෝගයට ලක් කරනු ලැබුවා. 1998දී බිල් ක්ලින්ටන් දෝෂාභියෝගයට ලක් කරනු ලැබුවේ බොරු සාක්කි දීම හා යුක්තියට බාධා කිරීම යන චෝදනා යටතේයි.

ඓතිහාසික ‘වෝටර්ගේට්’ අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපති රිචඞ් නික්සන් දෝෂාභියෝගයට ලක් කිරීමට පෙර 1974දී ඔහු ඉල්ලා අස්වුණා. වෝටර්ගේට් කියන්නේ දේශපාලන කුමන්ත්‍රණ සම්බන්ධයෙන් ප්‍රසිද්ධ හෝටලයක නමයි. එහි දී තමයි, නික්සන්ගේ පළමු අපරාධකාරී ක්‍රියාවන් සැලසුම් වන්නේ. ඔහු ජනාධිපතිවරණයේ දී තම ප්‍රතිවාදී අපේක්ෂකයාට හානි සිදු කිරීමේ අරමුණින් දුරකථන සංවාදවලට හොරෙන් සවන් දීමටත්, රහස්‍ය ලේඛන සොරකම් කිරීමටත් නිලධාරීන් යොදවා හසුවෙනවා. එය හෙළි කරන්නේ ඔත්තු සේවා නිලධාරීන් ඩිමොක්‍රටික් පක්ෂයේ කාර්යාලයට හොරෙන් ඇතුළු වූ බව දැනගත් ආරක්ෂක නිලධාරියකු විසිනුයි. ඔහු ධුරයෙන් ඉවත් වීම නිසා දෝෂාභියෝගයට ලක් කිරීම හා දණ්ඩනය පැනවීම නතර වෙනවා. ඔහුගෙන් පසු ජනාධිපති ධුරයේ වැඩ භාර ගන්නා ජෙරල්ඞ් ෆෝඞ් නික්සන්ගේ සියලු අපරාධවලට ජනාධිපති සමාවක් ලබාදෙනවා.

ජනාධිපති ට්‍රම්ප්ට බලය අපහරණය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වන්නේ 2020 ජනාධිපතිවරණයේ දී ඔහුට බාධාකාරී විය හැකි ඩිමොක්‍රටික් පාක්ෂික ජනාධිපති අපේක්ෂකයකු වන හිටපු උප ජනාධිපති ජෝ බිඞ්න් සහ ඔහුගේ පුත්‍ර හන්ටර් බිඞ්න් පිළිබඳ ඔවුන්ට හානිකර තොරතුරු සොයා  ගැනීම සඳහා යුක්රේනයට බලකිරීම සම්බන්ධයෙනුයි. ජනාධිපති බැරැක් ඔබාමා යටතේ 2009 සිට 2017 දක්වා ජෝ බිඞ්න් උප ජනාධිපති ධුරය දැරූ සමයේ හන්ටර් යුක්රේනයේ බලශක්ති සමාගමක රැකියාව කළා. බලපෑම් කිරීම සඳහා යුක්රේනයට එක්සත් ජනපද කොන්ග්‍රසය විසින් වෙන් කර තිබුණු ඩොලර් මිලියන 400ක යුද ආධාර අත්හිටුවීමට හා යුක්රේන ජනාධිපතිවරයාට ලබා දීමට නියමිතව තිබුණු ධවල මන්දිර ජනාධිපති හමුවක් අත්හිටුවීමට කටයුතු කළ බවට ට්‍රම්ප්ට චෝදනා එල්ල වෙනවා. මෙමඟින් ට්‍රම්ප් තම තනතුර පෞද්ගලික දේශපාලන වාසි සඳහා භාවිත කරමින් ජාතික ආරක්ෂාවට හානිකර ලෙස කටයුතු කළ බවට ඩිමොක්‍රටික් පාක්ෂිකයන් චෝදනා කරනවා. මෙම යුද ආධාර යුක්රේනය පාවිච්චි කරන්නේ රුසියාව සමඟ ඇති අර්බුදය සම්බන්ධයෙනුයි.

මේ පිළිබඳ කොන්ග්‍රසය විසින් පවත්වන ලද විමර්ශනයට සහයෝගය දීම ප්‍රතික්ෂේප කිරීම තමයි ට්‍රම්ප්ට චෝදනා එල්ල වන අනෙක් විෂමාචාර ක්‍රියාව.

පසුගිය ජුලි 25දා යුක්රේනයට සපයන යුද ආධාර අත්හිටුවීමෙන් පසු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කිට දුරකථනයෙන් අමතා එක්සත් ජනපද හිටපු උප ජනාධිපති බිඞ්න්ගේ පුත්‍රයාට එරෙහිව තිබෙන දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ඉල්ලා සිටි බව හෙළිදරවු කළේ නම ප්‍රසිද්ධ නොවූ එක්සත් ජනපද බුද්ධි නිලධාරියකුයි. එහි දී එම නිලධාරියා කටයුතු කළේ අකටයුතු නාදකයෙක් හෙවත් ‘විස්ල්බ්ලෝවර්’ කෙනෙක් ලෙසයි. මේ පිළිබඳ පවත්වන ලද විමර්ශන ගණනාවක දී එක්සත් ජනපද රාජ්‍ය  නිලධාරීන් රැසක් සාක්ෂි දුන්නා. එහෙත්, ට්‍රම්ප් පවසන්නේ තමන් හා යුක්රේන ජනාධිපතිවරයා අතර පැවැත්වුණු දුරකථන සංවාදයේ කිසිදු ගැටලුවක් නැති බවයි. ඩිමොක්‍රටික් පක්ෂය තමන් දඩයම් කිරීමට උත්සාහ කරන බව ඔහු ප්‍රතිචෝදනා කරනවා.

මෙහිදී යුක්රේනය පැත්තෙන් කියන්නේ, ජනාධිපතිවරුන් දෙදෙනා අතර දුරකථන සංවාදය සිදු වන විට යුද ආධාර අත්හිටුවීමට ට්‍රම්ප් ගන්නා ලද තීරණය සෙලෙන්සිකි දැන නොසිටි බවයි. එසේම, තමන්ට පීඩනයක් එල්ල නොවූ බව ද යුක්රේන ජනාධිපතිවරයා පවසනවා. එසේම, මෙම යුද ආධාර මුදල පසුව නිදහස් කර තිබෙනවා.

ජනවාරියේ දී එක්සත් ජනපද සෙනෙට් මණ්ඩලයේ දී විභාගයක් සිදු වෙනවා. එහි දී සෙනෙට් මන්ත්‍රීන් අතුරින් තුනෙන් දෙකක බහුතරය ට්‍රම්ප්ට දඬුවම් කළ යුතු බවට ඡන්දය ප්‍රකාශ කළහොත්, ඔහු ධුරයෙන් පහ කරනවා. තුනෙන් දෙකක ඡන්ද නොලැබුණොත්, ට්‍රම්ප්ට දිගට ම ධුරයේ කටයුතු කළ හැකියි. සෙනෙට් සභාවේ බලය තිබෙන්නේ ජනාධිපති ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයටයි.

එක්සත් ජනපද ඉතිහාසයේ කිසිදු අවස්ථාවක ජනාධිපතිවරයකු ධුරයෙන් පහ කිරීම සඳහා සෙනෙට් සභාවේ හෙවත් උත්තර මන්ත්‍රී මණ්ඩලයේ තුනෙන් දෙකේ බහුතර ඡන්දය ලැබී නැහැ. කලින් දෝෂාභියෝගයට ලක් කරන ලද ජනාධිපතිවරුන් දෙදෙනා වන ඇන්ඩෘ ජොන්සන් සහ බිල් ක්ලින්ටන් ද එයින් බේරුණා. මෙහි දී ඇන්ඩෘ ජොන්සන් බේරුණේ අනූනමයෙන්. ඔහුට එරෙහිව සෙනෙට් සභාවේ තුනෙන් දෙකේ බහුතරය අහිමි වුණේ එක් ඡන්දයකින්.

එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා දෝෂාභියෝගයට ලක් කර ධුරයෙන් නෙරපාහරිනු ලැබුවහොත්, ජනාධිපති ධුරයට පත්වන්නේ උප ජනාධිපතිවරයායි. මී ළඟ ජනාධිපතිවරණය නියමිත පරිදි පවත්වන තෙක් උප ජනාධිපතිවරයා ජනාධිපති ධුරය දරනවා. ඒ අනුව, සමහර විට 60 හැවිරිදි මයික් පෙන්ස් මී ළඟ එක්සත් ජනපද ජනාධිපති විය හැකියි.

අජිත් පැරකුම් ජයසිංහ

Leave A Reply

Your email address will not be published.

one + one =