‘මටත් දැන් ඒ පාර මතක නෑ සේකර’ හි, ඇතැම් යෙදුමක් වෙනම ගත් කළ එයද කවියකි

29

‘මටත් දැන් ඒ පාර මතක නෑ සේකර’ – සම්පත් කුරුප්පු ආරච්චි
මේ ගිම්හානයේ උදාහිරු උදයටත් සැඩපරුෂය. වැක්කෙරෙනා සැඩ හිරු කිරණ අතර නළියන දුහුවිලි අංශු අතරින් යකඩ පාත්තයා පිට පිම්මේ කෝච්චිය සොයා යමි. ඩීසල් හඹා යන ජනයා පෝලිම් වලය. මේ ඔවුන්ගේ කීවෙනි දවසදැයි නොදනිමි. එහෙත් ඒ පෝලිම දළු ලන බව දනිමි. ආ වේගයෙන්ම පාත්තයා ස්ටේෂම අසල නිවෙසක ගාල් කරමි. ඔලිම්පික් යා හැකි වේගයකින ස්ටේෂමේ ආරක්ෂක යකඩ වැටෙන් පැන පදිකාවට ගොඩවෙමි. ඔන්න කෝච්චිය ඈතින් මතුවෙයි. ඒ ඉන්දියන් එන්ජිමක් සවිකරගත් චීන පෙට්ටි පෙලකි. එය ඇදි ඇදී ගොස් නතර වෙයි. මම ඊට ගොඩවෙමි. ජගංමයන් සමග හුරතල් වන පිරිස අතරින් ගොස් රාක්කයකටබෑගය ඔබමි. පොත අතට ගනිමි. අද ඒ පොතේ නම ‘මටත් දැන් ඒ පාර මතක නෑ සේකර’ ය.
බහුල ලෙස කාව්‍යාලංකාර භාවිතයට ගැනීමට ඇති ආශාව නිසාවෙන් ඇතැම් කවි පාඨකයාට දුරවබෝධ කරන තරමටම කවිය සංකීර්ණ කර ඇතද සම්පත් කවියාගේ කවි තුළ භාවිතා වන අපූරු යෙදුම් කෙසේවත් මග හැරිය නොහැකිය. ඒ ඇතැම් යෙදුමක් වෙනම ගත් කළ එයද කවියකි. ඒ තරමට ඔහු අතැම් යෙදුම් නිර්මාණත්මකව භාවිතා කරයි.

ප්‍රේමයෙන් ලිහී දුන්හිඳ
සිඹී කළු ගලක පපුතුර..

මේ කවියක මුල් පාද දෙක පමණි. එහෙත් එයම වදන්හී අර්ථය ඉක්මවා පාඨකයාගේ පරිකල්පනය අවදි කිරීමට සමත් ය. පෙමින ලිහෙන දුන්හිඳ සිඹින කලු ගල් පපුතුර හුදු සොබා දහමේ අංගයන් ඉක්මවා මනව ජීවන අරුතද බලවත්ය.

නියඟයට ඉරි තැලුණු
වැවක පපුවක් බදා
ගඟ කුමට නැවතුණිද
හද සොරොව් දොර වසා..?

මේ තවත් එවන් යෙදුමකි. එය සමස්ත කවියෙන් වියෝ කොට ගත් කළ වෙනම රසවිඳින්නට හැකි තරම් සාර්ථක ය.
පංති පරතරය යනු වමේ ශබ්ද කෝෂය තුළ අනිවාර්ය යෙදුමකි. එහෙත් බොහෝ අය විවිධ මානව වැසුම් තුළ එය වසා දමන්නට තැත් දරති. එහෙත් විටින් විට සඟවගත නොහෙන අයුරින් මේ පංති, කුළ ජාති ඈ භේද මතුපිටට පැමිණෙයි. එ භේද මත සිටගෙන ගිනි අවුලනු ලබයි. ලෙයින් දිනුම් මැන බලනු ලබයි. මේ සියල්ලම අවසන මනුෂ්‍යත්වයේ කඩතුරාවකින් වසනු ලැබෙයි.
සම්පත්ගේ පොඩ්ඩේ යනු එවන් තල දෙකක ජීවිත පිළිබඳ සංවේදී කියවීමකි. මේ තල දෙකෙහි තතු ඔහු අපට ගෙනහැර පාන්නේ සමාජ පංති කෙරේ වන පිලිකුල අවදි කරවමිනි.

වලව්වේ පොල් කඩන මැටි ගෙදර කොල්ලා
සෙල්ලමේ එකම දවසකට රජ කෙරුවා
හාමුගේ කණට ඒ වචන ගිනි තිවුවා,
බස්තමෙන් පිට පැලුණු පොඩ්ඩෙ රජු දිව්වා…

පීඩිතයා හට රජවීම යනු සිහිනයකි. අවම තරමින් ඔහුට කුලීනයන් ඉදිරිපිට සෙල්ලමක හෝ රජවිය නොහැකිය. පාසල්හී පෙරහැර සංවිධානය කරනා අවස්ථාවල ළමා බෙර වයන්නන් ලෙස කුළ පදනමින් ළමයින් තේරූ අත්දැකීම් මට තිබේ. මෙය තවමත් අපේ යථාර්තයයි. කථකයා හට මේ කුල භේදයෙහි මායිම් පහදා දෙන්නේ මවයි.

ඔසරිපොට කම්මුලේ කඳුළුවල අලවලා
පැලැන්තිය ඔපදමන ඉතිහාසගත කතා
ඒ අතරෙ උඹල පයිසයක්වත් නොවටිනා
සමීකරණය අම්මා හෙමි හෙමි හෙමින් විසඳුවා

කවියා සිය කවිය ගොඩ නගනුයේ පීඩිතයා තුළ වන මනුෂ්‍යත්වය ඔප් නැංවෙන ආකාරයටය. වංශක්කාර ගෙදර මවගේ මරණය පොඩ්ඩේගේ ජීවිතය සළිත කරවයි.

කරුවලේ වෙඩිල්ලක් වගෙ ආවෙ පොඩ්ඩේ
කොහෙන්දෝ හොයාගෙන ගෙනත් සිද්ධාර්ථේ
වළව්වට ළංවෙද්දි උලමකුගෙ සද්දේ
බැරිම තැන ඌ අම්ම අත් දෙකට ගත්තේ

සම්පත්ගේ කවි චිත්තරූප ගුණයෙන් පොහොසත්ය. ඔහු ඒ සිදුවීම් පෙල පාඨක මනසට දැඩිව කා වද්දයි.
ඔහුගේ නිර්මලා සහ හිතමිතුරු වැහි යන කවි දෙකම ස්නේහයේ අඳුරු මුළු සොයා දිගුවන ආලෝක දහරකි. එය සීමා ඉක්මවා යන මිනිස් හැඟුම් දහරාවන ස්පර්ශ කිරීමට දරනු ලබනා තැතකි. ජීවිතය යනු සරල රේඛාවක ගමනක් නොව විවිධ උච්චාවචනයන් සහිත චාරිකාවක් බව ඔහුගේ කවිය අපට ඉඟි කරයි. කන්තෝරු කුස්සියේ තේ හදන නිර්මලාගේ ජීවන පුවත හමුවේ තම ආත්මය අවදිවන කථකයා තම ජීවිතයේ ගිලිහී ගිය තානය අල්ලා ගන්නට තැත් දරයි.
එම්බාම් කරමි ආදරය නමින් එන කවිය තමන් රහසින් පෙම්බැඳි යුවතිය ගේ මලසිරුර එම්බාම් කරන්නට සිදුවන අවමංගල සාප්පුවක සේවකයකුගේ සිතුවිලි මුදා හැරීමකි.

‍ෆෝමලින් ගඳ කුටිය මිස නැත ප්‍රේමයට තැනු උයන් අප හට
කාට ඉක්මන් වුණත් සොඳුරිය නුඹ කපන්නේ හරිම හෙමිහිට
රෝස පෑ තොල් පිපුණු සියපත් වගේ නොසැලී බලා හිටියට
මාව තේරුම් ගන්න පුළුවන් ගෑනු එන්නෙත් මෙහෙට ඉඳහිට

ටිම්රාන් කීර්ති කවියා මීට පෙර කදිමට ඇල්ලූ නිලයක් සම්පත් නැවත අල්ලයි. ටිම්රාන්ගේ කවිය ඉක්මවා යන්නට නොහැකි වුවද සම්පත්ගේ කවියද පාඨක සිත්හී තදට සලකුණු තබන්නට සමත් ය.
ජීවිතයෙහි එකම අරමුණ වී ඇත්තේ දිළිඳුකමින් මිදීමය. එය අදවන විට අන් කවරදාටත් වඩා දරුණු ය. කරදිය වළල්ලෙන් පිටට ලැන ගැනීම යනු ඒ මිදීමේ මාර්ගයෙහි ඉහලම පලයයි. එහෙත් මේ හඹා යාම බොහෝ විට ඉතුරු කරනුයේ කඩතොලු පමණි. සම්පත් මේ රුදු අරගලය සහ එහි කටුක පල විවරණය කරයි.

කටුමැටි ප්‍රේමයක කපරාරුව සොයා
එමිරේට්ස් කුරුල්ලෙක් සඳලතා ගෙන ගියා

එසේ වෙන්ව යන ජීවිතයෙහි තැවරුණ පෙම ඔහු සිත්තම් කරනුයේ මෙලෙසිනි.

සිරිසෝම තඩිබාපු තැන්වලින් පවා මෘදු
පේමයේ හැඟීමක් ඉපදුණා..

එහෙත් ජීවිතය සුන්දර නැත. එහි මං මාවත් වැටෙනුයේ අපේක්ෂා කරනා අයුරින් නොවේ.

ඒ දවස් යට ගිලී ලෝකයේ කුහරයක
නුහුරු නුපුරුදු තැනක මතු වුනා
අරාබිය බිය මකා ළෙංගතුව ළංවෙද්දි
මලබාරි කුමරෙකුට සිරිසෝම පැරදුනා..

ඉදින් ඇරඹෙනුයේ සිහින බිඳී ගිය පසුව එළඹෙන ගොරබිරම් රැයයි. ඒ මිනිසත්කම නොහඳුනන අඳුරයි. සම්පත් මෙහිදී භාවිතා කරනා ව්‍යංගාර්ථවත් බස කදිමය.

වරිච්චි එක්ක මුළු ජීවිතම කඩාගෙන
ගඩොල් ගෙඩි එකින් එක වැතිරුණා
ටයිල් පොළොවක නුහුරු සීතලට ගුලි වෙද්දි
පොඩි දෝණි මහ රෑක පොඩි වුණා

මරණ දැන්වීමක් නැතිනම් මගහරින යථාර්තය නම් කවිය වෙනත් ලෝකයක් සොයා ගිය පුතකු වෙත පියකු යවනා ලිපියකි. ඒ මව මියගිය පුවත් දැන්වීමටය.

කොම්පියුටරේ පලු දෙකට නවාගෙන
අම්ම ඊයෙත් හිටිය මහපාර බලාගෙන
උඹ තුරුලු වුනා නම් ස්කයිප් උණුහුමට
උන්දැ මියැදෙන්නෙ අද තුන් හිතම පුරෝගෙන

මේ කවිය මගින් සම්පත් පියකුගේ වියෝ දුක සිත්තම් කරයි. සැබෑවකි, නොරට යන දරුවන් නැති සොව දෙමවුපියන් පාගා දමන්නකි. එහෙත් මෙසේ පවුල් බිඳී විසිර යාම යනු බරපතල සමාජ ගැටළුවක් බව අප අමතක නොකල යුතුය. අපට හිමි ලෝකය මෙහි තිබුණේ නම් කිසිවකුත් විදෙස්ගත වනනට මෙතරම් දඟලන්නේ නැත. සම්පත් පියාගේ භාව ලෝකය කනින අතරේ මේ අවබෝධයත් ගෙන ආවා නම කදිමය.
නූතන පුරවැසියා යනු අපූරු සත්වයෙකි. ඔහු තමන් මත පතිත ඉරණම සහ එහි හේතු හොඳින්ම දනියි. එහෙත් ඉන් ගැලවීමට සටන් කරනු වෙනුවට හේ එහිම ගැලෙයි එය වින්දනය කරයි. සම්පත් අහිංසක පුරවැසියා වෙනුවට අප හමුවේ ඉන්නා මේ නරුම ජීවියා මැනවින් විවරණය කරයි.
මේ අප අද දවසේ කළ යුතුම කාර්යයකි. ඔහු ඒ කවිය නම් කරන්නේ ආතල් නම් කඩන්නෙපා සෑර් යනුවෙනි.

වකුගඩු දෙකම දියවෙන
පෝලිමේ කෙළවරක මියැදෙන
පොළොන්නරුවේ වහබොන
ගොවියෝ තමයි අපි
ඇයි තොපිට කැහිල්ලද?

දියසෙන් ගෙනෙන්නට කතිර මැස්ම මැසුවෝ මේ පුරවැසියෝය. ඔවුන්ගේ උදාන ගීතය මෙයයි.

පාරකට කොන්ක්‍රීට් හලාගෙන
අහුවුනොත් ලොකු කෙල්ල මරාගෙන
ඡන්දෙකට එක එකා කොටාගෙන
මේ ක්‍රමේ අපට ආතල්
තොපි එන්නෙ ඒකටත් කෙළින්නද?

අපට සැබෑමඅභියෝගය වී ඇත්තේ සම්පත් මෙසේ ගෙනහැර පාන දැන දැන අසූචි කන සමාජය වෙනස් කිරීමම නොවන්නේද?

– චූලානන්ද සමරනායක

‘මටත් දැන් ඒ පාර මතක නෑ සේකර’   kbooks.lk  සහ සරසවි පොත් හල් ජාලයෙන් මිලදී ගත හැක
 

Previous articleහීන මල්ල
Next articleජාත්‍යන්තර කාන්තා දිනයට අයිතීන් උදෙසා කාන්තාවෝ උද්ඝෝෂණ ‌පෙළපාලි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here