ක්‍රීඩාවට ආදරය කරන විධි

“මේ සමඟ ඇති ලින්ක් දෙකෙන් රටේ Treadmill සහ එක්සසයිස් බයික් විකිණෙන මිල ගණන් තියෙනවා. අලු‍ත්ම ඒවා නැතත් කමක් නැහැ. හොඳින් තිබේ නම්, පාවිච්චි කරපු එකකුත් හොඳයි. අවශ්‍යතාව තිබෙන්නෙ මෙවර දකුණු ආසියාතික මලල ක්‍රීඩා තරගාවලියේ ශ්‍රී ලංකාවේ ඉහළම බලාපොරොත්තුව වී සිටි, එහෙත් නොසැලැකිලිමත් රියැදුරකුගේ වරදකින් අනතුරකට ලක් වූ නිමාලි ලියනආරච්චිටයි. මේක සූරියවැවට ගියාම මෙවර සාග් තුන් ප්‍රයාම ඉසව්වේ රන් සහ ලෝකඩ පදක්කම් දිනූ ක්‍රීඩිකාවන් දෙදෙනා වගේම තවත් අය ප්‍රයෝජන ගනියි. ඔබට කොහොම ද මේකට දායක වෙන්න පුළුවන් කියල කියන්න. ඔබ දන්න අයටත් දන්වා අපි නිමාලි වෙනුවෙන් මේ දේ කර බලමු ද?”

ඉහත තිබෙන්නේ මේ ලියුම්කරු ෆේස්බුක් එකේ තැබූ සටහනක්. මේ සමඟ ඉන්නෙ ඒ සටහනෙ බලාපොරොත්තුව යථාර්ථයක් කරන්න මහන්සි වුණ මිනිස්සු. ධම්මික ප්‍රසාද් ක්‍රීඩා පිටුවක අකුරුවලට, කිසි කෙනකුට අමුත්තෙක් නෙමෙයි. ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නා විදිහට කටයුතු කරලා ආබාධයක් නිසා තාවකාලිකව කණ්ඩායමෙන් ඉවත් වෙලා ඉන්න කෙනෙක්.

සදෙව් කවීශ කියන්නෙත් එහෙම ක්‍රීඩකයෙක්. ජාතික කණ්ඩායමට නාවට අද වෙන කොට විදේශයක ඉඳන් රස්සාව කරන තරුණයෙක්. ඔහු තමයි, නිමාලි වෙනුවෙන් ඉස්සෙල්ලාම ඉදිරිපත් වුණේ. සංජය දිසානායක කියන්නෙත් අමුත්තෙක් නෙමෙයි. ඉස්සර ස්වර්ණවාහිනී රූපවාහිනී නාළිකාවෙන් අපේ ආලින්දයට නිතර ආව ගිය ක්‍රීඩාව වෙනුවෙන් සෑහෙන්න මහන්සියකින් ආවරණ කටයුතු කළ මාධ්‍යවේදියෙක්. අද සංජය ඉන්නෙ ඕස්ටේ්‍රලියාවේ.

මේ තුන් දෙනාගෙම මුහුණු පොත බලද්දි දැනුණ දෙයක් තමයි, දරුවන්ට ආදරණීය පීතෘ හදවත් සහිත මිනිසුන් බව. ඒ ආදරය තමයි මේ පොළොවට වටින්නෙ. පොළොවට වටිනාකම් දෙන මිනිස්සු රකින්න ඕනෑ කියන එකත් ආදරය විසින් දනවන දෙයක්. ඒ ආදරය විසින් ඉටු කරන්නට යැයි පනවන ලද වගකීමක් ඔවුන් ඉටු කරන්නට ඉදිරිපත් වීම ගැන ස්තූතියි කියල විතරක් මඳි. ඒත් වචන දුප්පත්. වෙන හොයා ගන්න මහන්සි වෙනවට වැඩිය රට වෙනුවෙන්ම නිමාලි විතරක් නෙමෙයි, සූරියවැව ක්‍රීඩා කරන ඔක්කොටම ලබා දුන්න සහයෝගයට බොහොම ස්තූතියි.

නිමාලි සුවපත් වෙයි. මේ  කොදෙව්වෙන් එපිට ඇය නැවත නැවතත් ජාතික ධජය ඔසවාවි. ඒ හැම මොහොතකම වෙනදාට වඩා ආඩම්බරයක් මේ තිදෙනාත් නිහතමානීව විඳීවි. එපමණක් නොවෙයි. ඇය සමඟ ලංකාවට දකුණු ආසියාතික තුන් ප්‍රයාම රන් පදක්කම සහ ලෝකඩ පදක්කම දිනා දුන් එරංගා දුලක්ෂි සහ තමාලි උදය කුමාරි ඉන්නෙත් මෙතැන. එපමණක් නොවෙයි වර්තමානයේ ශ්‍රී ලංකාවේ මීටර් 800 ශූරිය ගයන්තිකා අබේරත්න මෙන්ම ජාත්‍යන්තරයට ගිය ඇයගේ සොහොයුරිය නිලංකා සංජීවනී යන දෙදෙනාගේ මුල් පුහුණුකරුවන් වුණෙත් නිමාලි, එරංගා සහ තමාලි පුහුණු කරවන සුජිත් අබේසේකරමයි. ඒ නිසා දක්ෂයන් වවන තවානක් මත තැබෙන මේ යන්ත්‍රවලින් ආඩම්බර වෙන්න අවස්ථා නිමාලිම විතරක් නෙමෙයි තවත් අය ධම්මිකට, සදෙව්ට සහ සංජයට උදා කර දෙන බව සහතිකයි.

ඒ හැම වෙලේම නිමාලි කියන කෘතවේදී ක්‍රීඩිකාව “මං දිනුවා” කියලා ඇයට හැකි වුණ පළමු තත්තපරයේම පණිවිඩයක් දෙන එකත් සහතිකයි. නිමාලිගෙ ඒ ගුණයත් රත්තරන් වටිනවා.

එහෙනම් ආයෙමත් බොහොම ස්තූතියි.

ඒ වාගේම තමන්ට පුළුවන් විදිහට මේ වැඬේදි දායක වෙන්න බලපු හැමෝටම ස්තූතියි. ඒ විදිහට ක්‍රීඩාවට ආදරය කරන්න විදිහක් ඔබට අරගන්න ඉදිරියේ දී අවස්ථාවක් එනු ඇති. එතෙක් ක්‍රීඩාව දිහා බලාගෙන තමන්ගෙම දෙයක් කියලා හිතාගෙන හැමදාම ඉන්න.

■  නිශ්මං රණසිංහ

Leave A Reply

Your email address will not be published.

9 − 4 =