ප්‍රේමය නිදහස සහ ඇත් සෙන් පිරිවර ඇති, මහා වනාන්තරයක ඉපදුණේ නැති අහිංසකයෙක්, වද වේදනා ජීවිතයෙන් සමුගත්ත දවස !

33

ශ්‍රී දළදා මාලිගාවේ කරඬුව වැඩම කළ නැඳුන්ගමුවේ රාජා හස්තියා අද (07) උදෑසන මිය ගිය අතර කලක් රෝගාතුරව සිටි නැඳුන්ගමුවේ රාජා හස්තියා රෝගීව සිටියදීම පසුගිය වසරේ ශ්‍රී දළදා කරඬුව වැඩම කරවීය.
මියයන විට නැඳුන්ගමුවේ රාජා හස්තියාගේ වයස අවුරුදු 69 ක් වූ නැඳුන්ගමුවේ රාජා හස්තියාගේ වාසස්ථානය වූයේ මීරිගම හර්ෂ ධර්මවිජය යන අයගේ නිවසය.
පහත පලවන්නේ නැඳුන්ගමුවේ හස්තියා මියයාමත් සමඟ මුහුණු පොතෙහි සටහන් වී තිබු කවි කිහිපයකි.
ඔබ ඔබා නළල තොපි වැන්දාට කරඬුවට
මං තමයි දන්නෙ හම ඉරුනු හැටි හෙන්ඩුවට
මගෙ දිවිය අහිමි කර නිවන් සුව පැතුවාට
දිය හැකිද වන්දියක් මගේ ලොව නැසුවාට
වනේ වැඩි බුදු රජුට රැකවරණ සැදුවාට
තොන්ඩු ගෙන අපේ පා සදහටම වෙලන්නට
කිසි දිනෙක අණ දුන්නෙ නැත එ හිමි මහ රජුට
ඒත් තොපි හට නොහැක බුදු ගුණය රකින්නට
දමා ගෙල වට යදම් දැන් සැපද බලපියව්
බලා හෙන්ඩුවෙ රසය කිතිද මට කියපියව්
අඩු ගානෙ නරුමකම ඉතින් අතහැරපියව්
වනේ වන සතුන්ගේ ජීවිතය දීපියව්
මීට නැදුන්ගමුවේ ඇත් වහලා
– චූලානන්ද සමරනායක
ආගම් පල්ලි පන්සල් කෝවිල් නැති
විලංගු දම්වැල් වද හිංසා නැති
හෙණ්ඩුවක් මුරකාරයෙක් නැති
විකුණ විකුණා මිල කෙරෙන්නේ නැති
මිනිස් ඇස ගැසෙන්නේ නැති
වනස්පති රුක් සෙවණ ඇති
සද්දන්ත විල් පොකුණු ඇති
ප්‍රේමය නිදහස සහ ඇත් සෙන් පිරිවර ඇති
මහා වනාන්තරයක ඉපදුණේ නැති
අහිංසකයෙක්
වද වේදනා ජීවිතයෙන් සමුගත්ත දවස !
– උපුල් සන්නස්ගල
ඇත් ගොව්වෙක් කියන මඟක
දම්වැල් පටලන් ඇවිද්ද
තව කාගෙත් ආගමකට
ජීවිතයෙන් වන්දි ගෙව්ව
මහ කැලේක රජෙක් වගේ
ඇවිදින්නට වරම් තිබ්බ
මැරුණම උන් පින් දෙනවා
නිදහස උබෙ උදුරගත්ත!
– චතුර ජයවර්ධන
අති උතුම් දළදාව කුඹුතලෙන් ගෙන ගමන්
බෝ වරක් රැගෙන ගිය අනුහසින් මහ පිනෙන්
තුසිත දෙව්ලොවට ගොස් සුවෙන් උයනේ නදුන්
ඔබ ගිහින් නවතින්න.. ආයුබෝවන් නැදුන්..!
බර යකඩ විලංගුව උනා ඔය පා වලින්
රිසි පරිදි නා සොඳුරු අනෝතත් නිල් විලෙන්
හෙණ්ඩුවට බය නො වී නගා තුඟු කන් තලෙන්
නිදහසේ සමරන්න,. ගිය සතුට මේ ලොවෙන්..!
– නර්මදා රන්ගොඩගේ
නුවර තරමට නිවන දුර නෑ….
මගදිගට හමුවෙනා කවුරුත් කෙරුවාමිස වැඳවැටී පූජා
දැන් උඹට කොයිතරම් වෙහෙසද ඇහුවෙනෑ කවුරුවත් රාජා
දෙපාබැඳි යදමින් මිදී නිදහසේ ඇවිදන් නැතිව බාධා
නුවර තරමට නිවන දුරනෑ එහෙ ගිහින් සැනසෙන්න රාජා
සුබගමන් රාජා…….

  • සමීර මධුසංක 
ආයේ ඇතෙක් වුනොත්….
නමක් නැති
ගමක් නැති
ධාතු නැති
යදම් නැති
කැලේ ඇති
තැනකම ඉපදියන්
දුක.
උඹ කට්ට කාපු එකට..
නැත්නම් උඹත් මට..
ඇතෙක් විතරමයි…
– තුසිත පතිරණ


මම මේ කවිය ලිව්වෙ මීට වසර අටකට ඉස්සෙල්ලා. ඒත් අද උදේම දැනගන්න ලැබුණු නැඳුන්ගමුවෙ ඇත්රාජාගෙ නික්ම යෑම, මට මේ කවිය නැවතත් සිහිපත් කළා. ඇත්රජු සමඟ දුක සැප බෙදාගත්, ඔහුත් සමඟම නිතරම ගමන් බිමන් ගිය එකටම උන් කළු මාමා නම් වූ ඒ ඇත් ගොව්වට අද මෙහෙම හිතෙනවා ඇති…
නික්ම යෑම…..
විසල් මුහුණේ පුංචි නෙතු අග කඳුළු බිඳු ඇත වේළිලා
පෙළහරම පෑ පෙරහැරේ ගිය මගේ පුතු බිම බෑවිලා
කුංචනාදයෙ හඬත් අද නැත කෙඳිරිලිත් යයි නෑසිලා
හොඬය ඔසවා බලාපං පුත එක් වරක් නෙතු මානලා
මගෙම පුතු ලෙස හැදූ නුඹ අද යන්න යනවද මා දමා
පොඩි දොහේ සිට හිටියෙ එකටම කෙලෙස විඳ ගමි දුක මෙමා
යම් දිනේ අප වෙන්ව යනවා ලොවේ සත්‍යය එය තමා
එහෙත් ඇයි නුඹ මුලින් ඇදුණේ මරුව වෙත නොම වී පමා
රිදෙයිදෝ පුත උඹේ බඳ තව ඇන්න පහරට මා එදා
කඳුළු පිරෙනවා දුටිමි නෙතු අග හැඬුව ඒ හෙණ්ඩුව බදා
හිතේ තරහක් තිබෙනු නොදිටිමි සිටිය මට සෙනෙහස පුදා
මතු බවේදී පුතුව ඉපැදී සනසපං මගෙ දිවි සදා
-චන්දන ගුණසේකර – එක්සත් රාජධානිය

Previous articleඅපි හදන රට ගැන…
Next articleමෙක්සිකෝවේ පාපන්දු තරඟයක් අතර ප්‍රේක්ෂකයින්ගේ ගැටුමින් 17 ක් මියයයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here