ආයිබොවන්ඩ ආඬි එකොළහේ මහත්තුරුනි..,

93

තමුන්නහැලාගෙම උකුසු ඇස්වලට අහුවෙනකං මු`ඵ රටම වැරදි මාර්ගෙක යන බව මෙලෝ සැක්කොරයෙකුටවත් මෙච්චර කාලෙකට පෙනුණෙ නැහැ නෙ ආයිබොවන්ඩලා. බුදු සෑර්ගෙ දෙපා මුල හතරගාතෙන් වැතිරිලා එතුමාගේ මහා බල පරාක්කරමයයි, වීරෝදාර හටන්කාමීත්වයයි ගැන පහුණු කාලේ ගහපු පම්පෝරිවල හැටියට නං අපි තේරුං අරං හිටියෙ වැරදුනේ අපට විතර ය කියලයි. මුන්නැහැලා කියන ආකාරෙට එදා සියල්ල දත් මහදැනමුත්තලා වගේ පඬි ටෝක්ස් දීපු ඔහෙලටත් දැන් වැරදිලා වගෙයි නේද?
ඔය මහදැනමුත්තලා විසාල පරීක්සොනයක් කොරල හොයා ගත්තු හරිමග ගැන බුදු සැර්ව දැනුවත් කොරන්ඩ ඔය තරං පත හෝටලේක මහා සද්ද පූජාවකුත් එක්ක මාද්දිය සන්දර්සනයක් පවත්තන්ඩ සිද්ද වුණ එකත් මාර ආතල් වැඩක් කියල හිතෙනවා. කීප වංගියක්ම සිරිසේන උන්නැහැගෙ පැල්කොටේට රිංග රිංගා ආයිබොවන්ඩලාගේ ජාතික පොරකාසනේ කෙටුංපත් කොරන්ඩ මොන තරං කට්ටක් කන්ඩ ඇති ද හිටං. මේ වංගියෙ නං කෝ මේ සිරිසේනයා කියලා සැරින් අඬගහන්ඩ විමලෙ කරදර වෙන්ඩ නැතුව ඇති මයෙ හිතේ. මොකද සිරත් දැන් ෆුල් මඤ්ඤං වෙලා නෙ ඉන්නෙ. හැබැයි විමලයෝ අන්තිම බෝජන සංග්‍රහය දවසෙ බිත්තර ආප්පයි, කෝපියි බුක්ති විඳලා මහ රජ්ජුරුවන්ටත් කොකා පෙන්නල ආපු සිරා ගොයියට උඹලෑ නහය විදින එකනං ගේමක් නොවන බවත් මතක තියාගත්තොත් හොඳා.
රතනත් බුදුන්ට වඩා දෙයියොත් එක්ක ගනුදෙනු කොරල පුරුදු උන්නාන්සෙ කෙනෙක් හංදා පත්තිනිගෙ වරමින් හරි ගේම ගහන එක ෂුවර්. අනිත් අතට සාපි දොස්තරටත් වඩා කාන්තා අවයව ගැන මාර දැනුමක් උන්නාන්සෙට තියන හංදා ජාතික පොරකාසනේ කාන්තා පුරස්නවලට විසඳුම් ඉදිරිපත් කිරීම බාර දෙන්ට ඇත්තෙත් එයැයිටම වෙන්ඩෝනෑ. පුකට පයින් ගහලා එළවල දැම්මත් මැක්කො වගේ සැර්ගෙ නැට්ටෙම එල්ලිලා ඉන්න සූස්තරේ ජාතික පොරකාසෙට එකතු කොරන්ඩ ඇත්තේ වාසු නියාචාරියා වෙන්ඩැති නේද? ගම්මන් ලොක්කගෙ පිවිතුරු හෙළ උරුමෙයි, මහා පඬි ගෙවිඳූ උතුමන්ගෙ යුතුකමෙයි, ජාති-ආගම් බැරියර්වලින් බේරිලා අතාවුල්ලාගේ ජාතික කොංග්‍රසේ කෙසේ නං එකොළොස් ජාති කැඳහැළියට සැට් වුණා ද කියන එකත් මාර පුරස්නයක්.
මක්ක වුණත් ආයිබොවන්ඩලා මුඵ රටම හරි මගට ගන්න තමුන්නැහැලා ආරම්බ කොරපු මේ පුල් සීරියල් පයිට් එකට අපිත් අත්පා හතරින්ම ෂපෝට් කොරන බව දිවුරා පොරකාස කොරනවා. පැරිසුට් එකෙන් ඇවිත් මුදල් ඇමතිකොමට කෙළපු බැසිල්කාරයා තමා, තමුන්නැහැලා හරි ටොප් එකට සවුබාග්ගියේ අග්ගිස්සටම අරං ගිහින් තිබුණ මාත්තුරු බූමිය කාබාසිනියා කොළේ. අර විස්ස සංසෝදනේ වෙලාවේ ඔහෙලා ඔය හාදයාව අපූරුවට කොන්ඩෙම් කොරල දැම්ම හැටි අපිට කවදාවත් අමතක වෙන්නෙ නැහැ. මොන තරන් උපක්කොරමසීලී හා නිර්බීත විදිහට වාසුලා, විමල්ලා, ගම්මන්ලා උරෙන්උර ගැටි ගැටි එදත් අද වගේම මුඵ රටම හරිමගට ගන්ඩ මොන තරං මාරාන්තික පයිට් එකක් දුන්න ද? කොටින්ම කියනවා නං දියවන්නා මන්දිරේ පුටු, මේස, මයික්කරපෝන් විතරක් නෙමේ සුද්ද බයිබලේ වුණත් සාක්කි දෙයි මුල හිටංම රට හරිමගට ගන්න තමුන්නැහැලා දරපු වෑයම ගැන.
අපි ටක්කෙටම දන්නවා ඔය ජාතික පොරකාසනේ සෑර්තුමාගේ අතට පත් වුණ ගමන්ම රන්, රිදී, මුතු, මැණික් වගෙම ඉන්ධන ඉල්ලම් මතුවෙලා, ගෑස්, කිරිපිටි, පෝර, සිමෙන්ති සිට පැනඩෝල් පෙත්ත දක්වා වූ සියලු දෝස දූූරිංබූත වෙලා රට එකම තවුතිසාවක් බවට පත් වෙන විත්තිය. ඒ විතරක් නෙමේ ආයිබොවන්ඩලා අපි පොඩිඋං සන්දියේ ඉගෙන ගත්තු ආඬි හත්දෙනාගේ කතාව ආඬි එකොළහේ කතාව විදිහට සංසෝදනේ වෙන විත්තියත් අපිට ටක්කෙටම කියන්ඩ ඇහැකියි.. හිටං පල්ලා●

විශ්වමිත්‍ර
Previous articleඅපේ පරම්පරාවේ ක්‍රිකට් ඇම්ම විචිත්‍රවත් කළ පුරාවෘත්තයක් – “මට අර්ජුනව දිරවන්නෙ නැහැ”- ෂේන් වෝන්
Next articleපොදුජන හීනෙ..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here