මෝල්වල සියලු සහල් තොග රජය මිල දී ගන්නවා

වැවිලි කර්මාන්ත සහ සුළු අපනයන භෝග සංවර්ධන ඇමති

රමේෂ් පතිරණ

■  දැන් කොහොමද ආණ්ඩුවේ වැඩකටයුතු ?

ඉතාම හොඳින් කෙරීගෙන යනවා. ජනතාව බලාපොරොත්තු වන වෙනස ඇති කරන්න ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා මුල පුරලා තිබෙනවා. ඒ නිසා ජනතාව සතුටින් ඉන්නවා.

■  ඔබ ඔය සුබවාදී කතා කීවාට සහල් ගිනි ගණන් ගිහින්. ඡන්දය දුන් ජනතාවට ඔබ ඔය කියන උත්තර හරි යනවද?

සහල් ගිනි ගණන් ගිහින් කියන එක මම පිළි ගන්නවා. මේ රටේ සහල් මාෆියාව නැති කරන්න අවශ්‍ය කටයුතු පිළිබඳව තීන්දු තීරණ කිහිපයක් ගත්තා. සහල් මෝල් හිමියන් ප්‍රකාශ කරන්නේ, ඔවුන් මිල දී ගෙන ඇති මුළු වී ප්‍රමාණයේම සහල් වෙළඳපොළට නිකුත් කර ඇති බවයි. එහෙම නැති බව අපට පෙනෙනවා. පසුගිය වසර දහය තුළ සෑම වසරක් අවසානයේදීම සහ අප්‍රේල් මාසයේ දී උත්සව අවස්ථාවල සහල් මිල වැඩි වී තිබෙනවා. ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කොට මින් පසු අප්‍රේල් මාසයටත්, දෙසැම්බර් මාසයටත් එසේ මිල වැඩි නොවන පරිදි කටයුතු සැලසීමට වී මිල දී ගන්නන් පිළිබඳව තොරතුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් එකතු කරන්නට කටයුතු කරනවා. ඒ හරහා පැහැදිලි ලෙස ඇස්තමේන්තු සකස් කරගෙන ඉදිරියේ දී එම තත්ත්වය මඟහරවා ගැනීමට බලාපොරොත්තු වෙනවා.

■  හාල්වලට පාලන මිලක් දැම්මේ කරුණු හොඳට හොයලා බලලද?

හාල්වලට පාලන මිලක් දැම්මේ, සහල් මිල රුපියල් එකසිය ගණන්වලට වැඩි වී ගිහින් තිබූ නිසයි. නමුත්, දැන් එම තත්ත්වය යටතේ වී මෝල් හිමියන් නාඩු සහ සම්බා නිකුත් කිරීමට එකඟ වී ඇති නිසා එම සහල් අවශ්‍යතාව සම්පූර්ණ වී ඇති බව පෙනෙනවා. අප වීවලට රුපියල් පනහක මිලක් ලබා දීමට පොරොන්දු වී ඇති නිසා වී මෝල් හිමියන් එම පොරොන්දුව ප්‍රයෝජනයට ගනිමින්, එම මිලට වී මිල දී ගැනීමටත් පෙර සහල්වල මිල වැඩි කළා. ඔවුන්ගේ උත්සාහය වී ඇත්තේ, රටේ කෘත්‍රිම සහල් හිඟයක් මවමින්, රජය මඟින් පිටරටින් සහල් ගෙන්වන බවට ප්‍රකාශයක් කරවා ගැනීමයි. ඒ හරහා රජය මඟින් පිටරටින් සහල් ගෙන්වන බව ගොවීන්ට ඒත්තුගන්වා මහ කන්නයේ දී ගොවීන්ගෙන් අඩු මිලට වී ලබා ගැනීම ඔවුන්ගේ අපේක්ෂාවයි. එම උත්සාහය අප තීරණාත්මක ලෙස පරාජය කරනවා. ජනතාවට සහන සැලසීම සඳහා ඉදිරි දින කිහිපය තුළ මෝල් හිමියන්ගේ ගබඩාවල තිබෙන සියලු සහල් තොග රජය මිල දී ගන්නවා. එසේ මිල දී ගෙන ඒවා සහන මිලට ජනතාවට ලබා දීමට කටයුතු කරනවා.

■  අපි අහන්නේ, අඩු මිලට වී අරගෙන ගබඩා කරගෙන ඇති අයට රුපියල් හැටපහකට පමණ සහල් විකිණීමේ හැකියාව තිබියදී, රුපියල් අනූඅට දක්වා පාලන මිලක් නියම කර ඔවුන්ගේ ලාභය වැඩි කර දුන්නේ ඇයි කියලයි.

අපි ආණ්ඩුව බාර ගන්නා විටත් සහල් මිල එකසියදහය පන්නලයි තිබුණේ. පැවැති තත්ත්වය යටතේ අප උත්සාහ කළේ රුපියල් දහයකින් සහල් මිල අඩු කොට රුපියල් අනූඅටේ උපරිම මිලට යම් කිසි සහනයක් යටතේ ජනතාවට සහල් ලබා දීමටයි. එයටත් සහල් මෝල් හිමියන් අනුගත වූ බවක් පෙනෙන්නට නැති නිසා මෝල්වල ඇති සියලු සහල් තොග ඉදිරි දෙසතිය තුළ රජය මඟින් මුදල් ගෙවා මිල දී ගන්නවා. එසේ ලබා ගන්නා සහල් ජනතාවට අඩු මිලට ලබා දෙනවා.

■  තිරිඟු පිටි ආනයන බද්ද රුපියල් තිස්හයකින් අඩු කිරීමෙන් ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ මොනවාද? පාන් මිල රුපියල් හැටපහට වඩා අඩු වෙලා නැහැ. බදු අඩු කිරීමේ වාසිය පාරිභෝගිකයාට ලැබී නැහැ නේද?

අපේ අරමුණ වූයේ, ඒ මඟින් සහල් මිල අඩු කර ගැනීමයි. නමුත්, එම සහනය ජනතාවට ලබා දීමට කල් මඳි වුණා. තවම අපේ ආණ්ඩුව පිහිටුවා මාසයයි. ඇණවුම් කළ තිරිඟු පිටි තොග තවම ලැබී නැහැ. අප බලාපොරොත්තු වූ වාසිය ජනතාවට නොලැබුණේ ඒ නිසයි.

■  තිරිඟු පිටිවල බදු අඩු කර ඇති නිසා වී ගොවීන්ගේ අස්වැන්න තුට්ටු දෙකට කොල්ලකන්න මෝල් හිමියන්ට ඉඩ ලැබෙන්නේ නැද්ද?

එම බදු සහනය ලබා දුන්නේ, යම් කිසි කාලයකට පමණයි. ජනවාරි පහළොවෙන් පසු ඒ සහනය අවසන් වෙනවා. මෙරට ප්‍රධාන වගාව වන වීවල අස්වැන්න අම්පාර දිස්ත්‍රික්කයෙන් නෙළා ගන්නේ ජනවාරි අවසන් සතියේ සහ පෙබරවාරි මාසයේයි. ඒ වන විට පිටිවලට බදු සහනය දී ඇති කාලය අවසන් වෙලා.

■  ආණ්ඩුව බදු අඩු කිරීමෙන් ජනතාවට සහන සැලසී ඇත්තේ, කුමන ක්ෂේත්‍රවලින්ද?

බදු අඩු කිරීමේ වාසිය ආහාර මිල අඩු වීම හරහා ජනතාවට මේ දක්වා නොලැබුණත්, අප බලාපොරොත්තු වන්නේ ඉදි කිරීම් ක්‍ෂේත්‍රවල පුනර්ජීවයයි. කර්මාන්ත ක්ෂේත්‍රවල වාසිය දැනට ජනතාවට දැනෙන්නට නැතත්, ඉදිරියේ දී එය හොඳින්ම දැකගත හැකියි. ඉදිරියේ දී තොග සහ සිල්ලර වෙළඳුන් මඟින් වැට් බදු අඩු කිරීමට පෙර මිල හා පසු මිල සඳහන් බිල් පතක් පාරිභෝගිකයන්ට ලබා දීමට කටයුතු කරනවා. හාල් හැරෙන්නට අයහපත් කාලගුණික තත්ත්වය නිසා උඩරට එළවළු මිලත් වැඩි වී ඇති බව අප දන්නවා. එසේම ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අයහපත් කාලගුණික තත්ත්වය නිසා බොම්බයි ලූනු මිල වැඩි වී තිබෙනවා. ඒ හැර අනෙක් භාණ්ඩවල මිලෙහි විශාල වැඩි වීමක් නැහැ. ඒවා සාධාරණ මිලට ජනතාවට ලැබෙනවා.

■  සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් කොපමණ ප්‍රමාණයක් ලංකාවේ ඉන්නවද?

ඒ පිළිබඳ සංඛ්‍යාලේඛන මේ මොහොතේ මා සතුව නැහැ.

■  ඔවුන් ලබාගෙන ඇති බැංකු ණය බොල් ණයට කපාහරින්නැයි ඉල්ලීම් කළේ කුමන පදනමක් මතද?

මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය සමඟ ඒ ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කරමින් ඉන්නවා. තවම ඒ සඳහා අනුමැතිය ලබා දී නැහැ. ජනවාරි මාසයේ මුල් සතිය හෝ දෙවැනි සතිය වන විට ඒ සඳහා මුදල් ලබා දෙනවා. දැඩි ආර්ථික පීඩනයට පත්ව සිටින සියලු ව්‍යවසායකයන්ගේ ණය සියයට විස්සක තිහක ප්‍රමාණයක් කපාහැරීම පිණිසත්, ඉතිරි ණය ගෙවීම සඳහා වසරක් වැනි සහන කාලයක් ලබා දීම පිළිබඳවත් මහ බැංකු මූල්‍ය මණ්ඩලය සමඟ සාකච්ඡා කරනවා. ඉදිරියේ දී ඔවුන් තීන්දුවක් ගෙන නිශ්චිත කාලයක් ඉක්මනින් ප්‍රකාශයට පත් කරයි. ඒ අතර රාජ්‍ය බැංකු හා මූල්‍ය ආයතන සමඟත් සාකච්ඡා කිරීම අවශ්‍යයි. සමහර පෞද්ගලික බැංකු මීට එකඟ නොවන තත්ත්වයක් තිබෙනවා. ඒ නිසා මූල්‍ය මණ්ඩලය බලාපොරොත්තු වන්නේ ඒ අය සමඟත් සාකච්ඡා කර තීන්දුවක් ගැනීමටයි.

■  ඇත්තටම මේ ණය කපාහරින්නේ ආණ්ඩුව බලයට පත්කිරීම සඳහා මහන්සිවූ ඔවුන්ට කප්පම් දීමක් වශයෙන් නේද?

එහෙම නැහැ. සියලු ව්‍යාපාරිකයන්ට අදාළ කරුණු කාරණා සොයාබලා එම තත්ත්වයන් මත මෙම සහනය ලබා දෙනවා. විශාල පිරිසක් රාජ්‍ය බැංකුවලින් පමණක් නොව පෞද්ගලික බැංකුවලිනුත් ණය ලබාගෙන තිබෙනවා.

■  ආණ්ඩුව බලයට පත්වී මාසයක් යන විට ඡන්දය දුන් අය හොයා ගන්නත් නෑ කිව්වොත්, ඔබ මොකද කියන්නේ ?

එවැනි තත්ත්වයක් නම් නැහැ. අපේ පළාත්වල නම්, ඡන්දය නොදුන් පිරිස ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට අපේ ඡන්දය දෙන්න බැරි වුණා නේ කියලා කනගාටුවට පත් වෙලා ඉන්නවා. ඒ සියලු දෙනා එකතු වෙලා ඊ ළඟ මැතිවරණයේ දී ඡන්දය දෙයි.

■ සංවාද සටහන

  පද්මා වේරගොඩ ආරච්චි

Leave A Reply

Your email address will not be published.

ten + eighteen =