මූල්‍ය අර්බුදය අතහැර 19ට තඩිබෑම

මේ රටේ පහළ වූ අසාර්ථක ම රාජ්‍ය පාලකයා සිරිසේන බවට විවාදයක් නැත. ජනතාවගේ ප්‍රාර්ථනා සියල්ල සුනුවිසුණු කර ලෝකයක් ම රවටා තම පෞද්ගලික අභිමතාර්ථයන් ඉටු කරගෙන චුත වූ ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ රැස්වීමක් කැඳවා ප්‍රකාශ කරන්නේ, ගෝඨාභය රාජපක්‍ෂට තුනෙන් දෙකක බලයක් ලබා දීමට කටයුතු කරන ලෙසය. අද ශ්‍රීලනිපයේ ඇත්තේ, පත් කළ නිලධාරී මණ්ඩලය පමණකි. සිරිසේනම පත් කළ දිස්ත්‍රික් හා ආසන සංවිධායකයන් ද ඔහුට අවනත නැත. රැස්වීම අවසාන වී ඔවුන් ගියේ සිරිසේනගේ මවුපියන්ට ද ශාප කරමිනි. තමා නිර්දේශපාලන යැයි කියා ගෝලයන් ලවා අත්සන් කර වූ ගිවිසුම ද පොහොට්ටුව කඩ කර ඇත. ඇමතිකම් දෙකක් ලැබූ අය හැරුණු විට අනෙක් සියල්ලන් ම ඉන්නේ අසතුටෙනි. ‘පොහොට්ටුව’ ලකුණෙන් තරග කිරීමට ඒ පක්‍ෂයේ අය අරගල කරති. ‘පොහොට්ටුවෙන්’ ශ්‍රී.ල.නි.ප. අය ද තරග කිරීමට ගියහොත්, එය ඔවුන්ගේ දේශපාලනයේ අවසානය වනු ඇත.

ගෝඨාභයට තුනෙන් දෙකක බලයක් ලබා දෙන්න යැයි ඔහු කියන්නේ ගෝඨාභයට ඇති ආදරයකට නොවේ. පොහොට්ටුවේ බොහෝ පිරිසකගේ මතය 19 වැනි සංශෝධනය වෙනස් කළ යුත්තේ, ජනාධිපතිට විධායක බලය ලැබෙන ආකාරයට නොව තව දුරටත් පාර්ලිමේන්තුව ශක්තිමත් වන ආකාරයට බවයි. මොන ආකාරයට බැලුව ද, කිසිදු පක්‍ෂයකට මී ළඟ මහා මැතිවරණයේ දී තුනෙන් දෙකක බලයක් ලබා ගැනීමට නොහැකි බව පැහැදිලි ය. පිටකොන්දක් නැති, වහලකු සේ දේශපාලනයේ නියැළුණු සිරිසේන මේි උත්සාහ දරන්නේ ශ්‍රී.ල.නි.ප.යේ ඉතිරි වී ඇති පණ කෙන්ද ද විනාශ කර දැමීමට ය.

මේ අතර සැලසුමක් නොමැතිකමින්, ආණ්ඩුව දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ පා සිටී. රුපියල් කෝටි 5,000-6,000ක පමණ හිඟ බිල්පත් මුදල් අමාත්‍යාංශයේ හිර වී තිබෙන බව වාර්තා වේ. රාජ්‍ය සේවකයන්ගේ අතිකාල කපාහැරීම ගැන කසුකුසුවක් තිබේ. රාජ්‍ය දෙපාර්තමේන්තු, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩලවල ප්‍රාග්ධන වියදම් සියයට 10කින් කපාහැරීමට ද උපදෙස් දී තිබේ. සැලැසුමක් නොමැතිව බදු වර්ග අඩු කිරීමෙන් ද ආණ්ඩුවට සිදුව ඇත්තේ, පාඩුවකි. දැන් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි වැනි පොහොට්ටුවට ආවැඩූ භික්‍ෂුන්ට සිදුව ඇත්තේ, විදෙස්වල දානපතියන්ගෙන් හිඟමන් ඉල්ලා සිටීමට ය. ඔවුන් දැන් කළ යුතුව ඇත්තේ, පින්කැටවලින් ආධාර සොයා ආණ්ඩුවට ලබා දීම ය. මේ අයට කීමට සිදුව ඇත්තේ, ‘කරපු මෝඩකම් යන්නට සරියේ තවත් මෝඩකම් නොකරන් මරියේ’ යැයි කියා ය.

අමාත්‍යාංශ 15කට අයත් රාජ්‍ය ආයතන 445න් ගෝඨාභය, මහින්ද, චමල් යන රාජපක්‍ෂවරු ආයතන 156ක් හිමි කරගෙන නැත් නම්, බදාගෙන සිටිති. ආණ්ඩුව වෙනුවෙන් දර දිය ඇද්ද ඇමතිවරුන්ට ලැබී ඇත්තේ, ආයතන දෙක තුනකි. පසුගිය රාජපක්‍ෂ පාලනයේ දී ද මේ පවුලට වැඩියෙන් බෙදා ගන්නා තත්ත්වය දකින්නට ලැබිණි. ඔවුනොවුන් අතර ඇති බල අරගලය නිසාවෙන් ම අද රටට ආරක්‍ෂක ඇමතිවරයෙක් ද නැත. රටේ ආරක්‍ෂාවට පළමු තැන දී ඡන්දය දුන් ජනතාවට අද සිදුව ඇත්තේ ආරක්‍ෂක අමාත්‍යවරයකු ද නොමැතිව මුනිවත රැකීමට ය. 19 වැනි සංශෝධනයට අනුව ජනාධිපතිට කිසිදු අමාත්‍යාංශයක් තමා යටතේ තබා ගත නොහැකි ය. ඒ සියල්ල අගමැතිගේ අදහස් විමසා වෙනත් අයට පැවරිය යුතු ය. අමාත්‍යාංශ විෂයයන්ට අයත් කරුණු වෙන් කර දෙන ගැසට් පත්‍රයේ ද ආරක්‍ෂක ඇමතිවරයෙක් නැත. ආරක්‍ෂක විෂයය ගැනෙන රාජ්‍ය අමාත්‍යවරයා වන්නේ චමල් රාජපක්‍ෂ ය. ඒ අනුව වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ රාජ්‍යයේ ප්‍රධානියා ය, සේනාධිනායකයා සහ කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ය. මේ නිසා අද ආරක්‍ෂක අමාත්‍යාංශය යටතට ගැනෙන ආයතන 31ක් පාලනය වන්නේ කා අතින් දැයි නැඟෙන ප්‍රශ්නයකි. ඇමතිවරයෙක් නැති වුණාට අමාත්‍යාංශයක් තිබේ. එහි ලේකම් වන්නේ විශ්‍රාමික හමුදා නිලධාරී, කමල් ගුණරත්න ය.

ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාමික අය විශේෂයෙන් ‘ගජබා රෙජිමේන්තුවේ’ අය විවිධ තනතුරු සඳහා පත් කරනු පෙනේ. මෙහි විශේෂිත ම කරුණ වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවතින පුරප්පාඩු රාශියක් සඳහා ද සේවාමුක්ත හමුදා නිලධාරීන් බඳවා ගැනීමට යාම ය. ගෝඨාභය රාජපක්‍ෂ බලයට ගෙන ඒම සඳහා ක්‍රියාත්මක වූ ‘වියත් මඟ’ සංවිධානයේ අය රාශියකට තනතුරු ලබා දී තිබේ. ඉදිරි මහා මැතිවරණයේ දී ද විවිධ පළාත්වලින් ඒ අය තරග කිරීමට සූදානම් බව ප්‍රකාශ වෙමින් තිබේ. මේ කරුණු කාරණාවලින් පෙනෙන්නේ තමාට කියා පිරිසක් දේශපාලනයේ හා නිලධාරී පැලැන්තියේ ඇති කර ගැනීමට යන උත්සාහයකි. පසුගිය මහින්දගේ යුගයේ දී ද විදුහල්පතිවරුන්ට යුද හමුදා පුහුණුව ලබා දීම ආදී වශයෙන් මිලිටරිකරණයට ලක් කිරීම සිදු විය. යළි එබඳු තත්ත්වයක් දැන් උද්ගත වී තිබේ.

2008 මැයි මස 28 වැනි දින එවකට නාවික හමුදාපති ලෙස සිටි අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ඔහුගේ පෞද්ගලික ආරක්‍ෂක නිලධාරියාව සිටි එච්. ඒ. ඩී. එන්. සම්පත් මුණසිංහ (එන්. ආර්. එක්ස්. 0945) යන අය විසින් පුද්ගලයන් පස්දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධව පරීක්‍ෂණයක් පවත්වන ලෙස ඉල්ලා තිබේ. මේ බව දැනගත් ‘නේවි සම්පත්’ හමුදාවෙන් පලා ගොස් 2009 ජුනි මස 10 වැනි දින එවකට යුද හමුදාපති ලෙස සිටි සරත් ෆොන්සේකාට භාර වී පාපොච්චාරණයක් කර තිබේ. කරන්නාගොඩ ෆොන්සේකා කෙරෙහි ද්වේශයෙන් පසුවන බවත්, සරත් ෆොන්සේකා ඝාතනය කිරීමට තමාට උපදෙස් ලැබුණු බවත්, තමා එය ප්‍රතික්‍ෂේප කිරීම නිසා වෙනත් අය විසින් කරන ලද පැහැර ගැනීම් හා අතුරුදන් කිරීම් තමන් වෙත පවරා අත්අඩංගුවට ගැනීමට සූදානම් බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.

ඉන් පසු සරත් ෆොන්සේකා ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂගේ උපදෙස් පරිදි ‘නේවි සම්පත්’ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබේ. ඉන් පසු පුරා වසරක කාලයක් එනම්, 2010 ජුනි මස 09 වැනි දින දක්වා ඔහු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ සිට තිබේ. දීර්ඝ විමර්ශනයකින් පසු ඔහු ඇප මත මුදාහැර තිබේ.

ඩබ්ලිව්. ජේ. ජේ. කරන්නාගොඩ 2009 අගෝස්තු 28 වැනි දින කරන ලද පැමිණිල්ල අනුව නේවි සම්පත්ගේ කාමරය නාවික හමුදා නිලධාරීන් විසින් පරීක්‍ෂාවට ලක් කරනු ලැබ තිබේ. එහි දී සැකකටයුතු ලියැවිලි, හැඳුනුම් පත්, විදේශ ගමන් බලපත්, චෙක්පත් ආදිය රාශියක් සොයාගෙන තිබේ. මේ පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වූ පොලිස් පරීක්‍ෂණ කණ්ඩායම කොටුව නාවික හමුදා කඳවුරට ගොස් භාර ගත් ලේඛන හා භාණ්ඩ දේ.කු. 100/09හි ඇතුළත් කර ‘නේවි සම්පත්’ අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ පවත්වන බව අධිකරණයට දන්වා තිබේ.

මෙම නේවි සම්පත් විවාහ වී සිටින්නේ, දේශපාලන චරිතයක් වන රාජා කොල්ලුරේගේ දියණිය වන උදිතා කොල්ලුරේ සමඟ ය. ඔහු මේ චෝදනාවලින් ගලවා ගැනීම සඳහා වෙනම ම මෙහෙයුමක් ක්‍රියාත්මක වී ඇති අතර, ප්‍රබල මාධ්‍ය මෙහෙයුමක් ද දියත් වී තිබේ. මෙම රජය විසින් රාජා කොල්ලුරේට ආණ්ඩුකාර ධුරයක් ද ප්‍රදානය කර තිබේ.

මේ නඩුව සම්බන්ධව අත්අඩංගුවේ පසු වූ පුද්ගලයන් කීප දෙනෙක් පසුගිය දා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ හමු වී ඇත. ඔහුගේ උපදෙස් මත අජිත් ප්‍රසන්න නම් විශ්‍රාමික හමුදා නිලධාරියා විසින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන ලදී. මේ අය ප්‍රකාශ කළේ මේ අතුරුදන් කිරීම් සඳහා ගෝඨාභය රාජපක්‍ෂ මත වරද පැටවෙන ලෙස ප්‍රකාශ කරන්නේ නම්, ඔවුන් නිදහස් කරන බව දැනට පලා ගොස් සිටින නිශාන්ත සිල්වා සහ අපරාධ පරීක්‍ෂණ නිලධාරීන් තමන්ට දැන් වූ බව ය.

මේ මුළු සිද්ධිය පුරාවට ගෝඨාභය රාජපක්‍ෂගේ නම කොතැනකවත් ගෑවී නැති බව පෙනේ. මුල් පැමිණිල්ලේ ද එසේ නැත. මේ විත්තිකරුවන්ට මේ කතාව පසුගිය වාරවල දී අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කිරීමට ඉඩ තිබිණි. එසේ අධිකරණයට ප්‍රකාශ නොකර දැන් මාධ්‍ය හමුවල කීමෙන් මේ අය බලාපොරොත්තු වන්නේ කුමක් ද? මෙය යහපාලන ආණ්ඩුව කාලයේ දී සිදු වූවක් ද නොවේ. පැමිණිල්ල කර ඇත්තේ, කරන්නාගොඩය. ඒ 2008දීය. දැන් ජනාධිපති වශයෙන් මුක්තිය ඇති හෙයින්, ගෝඨාභයට යම් චෝදනාවක් එල්ල කළ ද, එය විභාග කළ නොහැකි ය.

අද අපේ රටේ විපක්‍ෂයක් නැත. රටේ ප්‍රශ්න අංක එකට දා ඒ වෙනුවෙන් පෙනී සිටින බුද්ධිමත් විපක්‍ෂයක අවශ්‍යතාව රට හමුවේ පවතී. ඡන්ද පොරොන්දු ඉටු කිරීමට නොහැකි වීම, පාලනයේ දී පවුල ඇතුළේ මතු වී ඇති ගැටුම්, නාමයෝජනා දීමේ දී පොහොට්ටුව හා ශ්‍රීලනිපය තුළ මතු වන ගැටුම්, ආණ්ඩුව මුහුණ පා ඇති බලවත් මූල්‍ය අර්බුදය ආදී දහසකුත් එකක් ප්‍රශ්න පැවැතුණ ද, අද කතා කරන්නේ 19 වැනි සංශෝධනය ඉවත් කිරීම ගැන පමණ ය.

19 වැනි සංශෝධනය වෙනස් නොකළ ද, ආණ්ඩුව ගෙන යාමේ අභියෝගයක් නොපෙනේ. රටේ ජනතාවට යහපාලනය අරහං වූයේ මේ බලපොරය නිසා ම ය. එළැඹෙන මහා මැතිවරණයෙන් සාමාන්‍ය බහුතරයක් ලැබුණ ද, රට පාලනය කිරීම අපහසු නොවේ. විශේෂයෙන් තම සහෝදරයා පූර්ණ බලැති අගමැති ලෙස කටයුතු කරද්දී, ජනාධිපතිවරයාගේ පැත්තෙන් බලතල අඩු වුව ද, ප්‍රශ්නයක් පැනනොනඟී. එහෙත්, 19 වැනි සංශෝධනය වෙනස් කොට තමන්ට අභිමත පාලනයක් ගෙන යනු පිණිස තුනෙන් දෙකක බලයක් ඉල්ලා සිටිනුයේ, කුමකට දැයි දැන් ම ඉඟි පළවෙමින් තිබේ. 19 වැනි සංශෝධනය යටතේ මේ ජනපතිට රට කරගෙන යාම අසීරු යැයි කීම මුසාවකි. ඒ ඊට වඩා දුර ගිය දේශපාලන බල අධිකාරියක් සඳහා කෙරෙන ඉඟියකි. ඒ තත්ත්වය රටට අහිතකර ය.

‘හොඳ හොඳ සෙල්ලම් එළි වෙන ජාමෙට’ යැයි කීවාක් මෙන් ඉදිරි කාලයේ දී ඔබේ දෑස්, දෙකන් පවා විශ්වාස නොකරන නොසිතූ නොපැතූ දේවල් සිදු විය හැකි ය. ඔබේ ඡන්දය ඔබ පෙළන විට ලබාගෙන ඇති ප්‍රජාතාන්ත්‍රීය අයිතීන් අහිමි වන විට ආර්ථික උද්ධමනයෙන් ඔබ දුෂ්කරතා විඳින විට අපේක්‍ෂා කළ සහන නොලැබෙන විට ඔබට අසීමිත වේදනාවන් දැනෙන්නට පුළුවන. අපේක්‍ෂා භංගත්වයට පත් වීමට පුළුවන. මේ පුංචි කාලයට පවුලක් වටා බලය ඒකරාශී වන ආකාරය, මැති ඇමතීන්ට බලය ලැබීමේ දී අමාත්‍යාංශ දීමේ දී පැහැදිලිව පෙනේ.

ලෝකයේ සෑම දෙයකට ම අවසානයක් තිබේ. ජාතිවාදයට ද එසේ ම ය. බලය ලබා ගැනීම සඳහා බොරුව ජාතිවාදයෙන්, ආගම්වාදයෙන් වසා ප්‍රදර්ශනය කරන විට අලංකාර වුවත්, දිගු කාලයක් ගත නොවී සත්‍යය හෙළිදරව් වේ. දැන් අපි සැවොම ඒ සත්‍යයට මුහුණ දෙමින් සිටිමු.

ඩී.බී. ඇල්කඩුව

Leave A Reply

Your email address will not be published.

4 × 2 =