තෙල් නිධි විකුණා තෙල් ණයට ගන්නා මහදැනමුත්තාගේ ක්‍රමය

31
ගෑස් හිඟයට උත්තරය විදුලි උදුනය. විදුලිය කැපීමට උත්තරය ජෙනරේටරය විය. ඉන්ධන හිඟයට පිළියම තෙල් නිධි විකිණීමය. මේ ප්‍රශ්න පත්තරයේ උත්තර වැල මහදැනමුත්තා සිහිගන්වයි. මහදැනමුත්තා ජනප්‍රවාදයක් බව අපි දනිමු. නමුත්, ඉහත ප්‍රශ්න සහ විසුළුකාරී උත්තර මේ වන විට රටේ යථාර්ථයයි. අර්බුදය යනු ප්‍රශ්න මවන උත්තර පත්‍රයකි. අර්බුදය විසඳිය හැක්කේ එහි හේතුව සොයා ගැනීමෙනි. ගැටලුව තේරුම් ගැනීම යනු විසඳුම අඩකින් සම්පූර්ණ වීමකි.

වසර 74ක් යනු මිනිසකුගේ සාමාන්‍ය ආයු කාලයට ආසන්න කාලයකි. එවන් අඛණ්ඩ අසමත් ආර්ථික ප්‍රතිපත්තිවල අයිතිකාර එක් කණ්ඩායමක්, “අපට දෙකක් බැරි වුණා ඉතිරි තුනේ හදනවා යැ”යි කියයි. “නෑ, අපිට පහක්ම දෙන්න මැජික් පොල්ල අපේ අතේ…” යනුවෙන් වසර හැත්තෑහතරේ තවත් වගඋත්තරකාර කණ්ඩායමක් පවසයි. මේ දෙගොල්ලන්ටම ඇත්ත ප්‍රශ්නය තේරුම් ගන්නට වුවමනාවක් නැත. ඔවුහු ප්‍රශ්නය වගා කර වවාගෙන කති.

මන්නාරම් ද්‍රෝණියේ තෙල් පවතින බව, බොහෝ දුර සිට පැවැත එන කතාබහකි. ආණ්ඩු පාලන ගණනාවක්ම “අපට තෙල් ඇතැ”යි පවසමින් ජනතාව උද්දාමයට පත් කළේ ය. සාම්ප්‍රදායික ආණ්ඩු හා විපක්ෂය එම උද්දාමය තම මඩියට ඡන්ද පුරවන යන්ත්‍රයක් කොට ගත්තේ ය. දැන් මඩිය ද වියළී ගොස් රට ද බරපතළ අර්බුදයක ය. විසඳුම කුමක් ද?

තෙල් හිඟ වූයේ ඩොලර් නැති නිසා ය. ඩොලර් නැති වූයේ අපනයනය විනාශ වූ නිසා ය. අපනයනය බිඳවැටුණේ නිෂ්පාදන ආර්ථිකය වැට්ට වූ නිසා ය. නිෂ්පාදන ආර්ථිකය වැට්ට වූයේ වැරැදි ආර්ථික ප්‍රතිපත්ති නිසා ය. ලාභය පසුපස දුවන තරගය සහ හොරකම රජයන සමාජය නිසා ය.
මන්නාරම් ද්‍රෝණියේ තෙල් පවතින බව, බොහෝ දුර සිට පැවැත එන කතාබහකි. ආණ්ඩු පාලන ගණනාවක්ම “අපට තෙල් ඇතැ”යි පවසමින් ජනතාව උද්දාමයට පත් කළේ ය. සාම්ප්‍රදායික ආණ්ඩු හා විපක්ෂය එම උද්දාමය තම මඩියට ඡන්ද පුරවන යන්ත්‍රයක් කොට ගත්තේ ය. දැන් මඩිය ද වියළී ගොස් රට ද බරපතළ අර්බුදයක ය. විසඳුම කුමක් ද? සාම්ප්‍රදායික ධනපති විපක්ෂය බර කරත්තවල රථ පෙළපාළි යනු ඇත. ආණ්ඩුව විදුලිය කපනු ඇත. ජලය කපනු ඇත. මහජන උපයෝගිතා කොමිසම නම් මොකක් දෝ එක “අද විදුලිය කැපීමක් නැත, එහෙත්, විදුලිය අඩාළ වනු ඇතැ”යි පවසනු ඇත. නැති නම් “අද පැය 24ක් විදුලිය කැපීමට අනුමැතිය ලබා දුන් බව” පවසනු ඇත. මහජනතාව අම්මාමෝ මතක් කරමින් බැණවදිමින් ඇත.
සැබෑ විසඳුම සඳහා පළමුව නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනඟන ප්‍රතිපත්ති අවශ්‍ය ය. පාලකයා ව්‍යවස්ථාවෙන්ම එම ප්‍රතිපත්ති රැකීමට වග විය යුතු ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පුළුල් ජනතාවාදී එකක් වන්නේ එවිට ය. එවන් පාලනයක් දැන් පවතින ‘නියෝජිත ආණ්ඩු ක්‍රමය’ වෙනුවට ‘සෘජු මහජන නියෝජන පාලනයක්’ බවට පත් වේ. සැබැවින්ම මහජන නියෝජිතයාට එවන් ව්‍යවස්ථාවකින් ලබා දෙන්නේ ‘බල වරමකි’. එනම් රට ගොඩනඟන ප්‍රතිපත්ති ‘බලාත්මක කිරීමේ සහ ආරක්ෂා කිරීමේ’ වරමයි. මහජන නියෝජිතයා එය ඉටු නොකරන්නේ නම්, වහාම ඔහු ආපසු කැඳවීම, ඉවත් කිරීමේ බලය ව්‍යවස්ථාවෙන්ම තහවුරු වෙයි. එවිට “අපිට දෙකක් වැරැදුණා ඉතිරි තුන දෙන්න යැ”යි බදාගෙන සිටින්නට නොහැකි ය. බැරි නම් ගෙදර යා යුතු ය. එමෙන්ම එහි පාලන කල්ලි කණ්ඩායම් නැත. සිටින්නේ ජනතාව අතුරින් පත් වුණු නියෝජිතයන් පමණි. සැබෑ පාලකයා වන්නේ ජනතාව ය. එවන් බලයක් පිහිටුවීම අර්බුදය විසඳීමේ අත්තිවාරමයි.
ඒ සඳහා එම ජනතා බලය රට ගොඩනැංවීමේ සාමුහික ප්‍රයත්නයක් බවට පත් කළ යුතුයි. එවිට රට බංකොළොත් කර රට සතු තෙල් නිධිය වෙනත් පිරිසකට ගවේෂණයට භාර දී ණයට තෙල් ඉල්ලා ගන්නා කොමිස්කාර පාලනයන් අහෝසි වනු ඇත. ජනතාවට සමීප නිවැරැදි උත්තරය එයයි. එම ක්‍රියාව ඔස්සේ රට ගොඩනැඟීම අර්බුදයට ස්ථීර, දිගුකාලීන විසඳුමයි. වැදගත් වන්නේ ඒ සඳහා ජනතාවගේ විශ්වාසයයි, කැමැත්තයි, වුවමනාවයි පමණි. ඒ හැර අර්බුදයට අතරමඟ විසඳුම්, අර්ධ විසඳුම් නැත●
 
 

Previous article
Next articleඥානසාර උන්නාන්සෙට..,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here