20
පහුගිය සතියේ ආන්දෝලනාත්මක සිද්ධිය වූයේ නිමල් ලන්සාගේ භූමිකාව ය. එනම්, ලන්සා හිටපු ගමන් අමාත්‍යාංශයෙන් බඩුමුට්ටු ඉවත් කරගෙන යෑම ය. ඇමැතිකමෙන් අයින් වෙනවා යැයි කතාවක් ද කළේ ය. කොහොම වුණත්, බඩුමුට්ටු සහ කාර්ය මණ්ඩලය ඉවත් කර ගත්ත කතාව ඇත්තක් ය. පුදුමසහගත සිද්ධිය වූයේ ආණ්ඩුව වෙනුවෙන් එය ඇත්තක් බව පැවසූයේ සනත් නිශාන්ත ය.

ඔක්කො ම කරන්නේ ලන්සාගේ හිතවත් කොන්ත්‍රාත්කරුවෙක් ය. ඒ කියන්නේ, පාරවල් හදන එකේ කොමිස් සල්ලි යන්නේ ලන්සාගේ හිතවතාට ය. හිතවතා කියන්නේ, ලන්සා ම බව පොඩි ළමයකුට වුවත් තේරෙන්නේ ය. සනත් නිශාන්තට කේන්ති ගියේ ඒකට ය. එහෙම තමන්ගේ ආසනයේ හදන එක පාරකින්වත් කොමිස් ගන්න ක්‍රමයක් තමන්ට අහිමි වීම ය. ඒ සියල්ල තවත් වටයකින් ලන්සාට ම යෑම ය. ඒ අස්සේ තමන්ගේ ආසනයේ ශ්‍රීලනිපයේ සංවිධායකයා ද පාරවල්වලට මැදිහත් වී සිටීමත් සනත් නිශාන්තට ඌරුජුවල් නඟින්නට හේතුවක් වුණේ ය. එක පාරකින්වත් තමන්ට කොමිස් නොලැබීමත්, ලැබෙන සියල්ල ලන්සා ගැනීමත් ය.

සනත් කිව්වේ, ඒ කරපු වැඩේ කොහොමත් අනුමත කරන්නේ නැති බව ය. ප්‍රශ්න ඇති වෙනවා, ඒත් ඒ ප්‍රශ්නය පිටට දීම වරදක් බව ය. ප්‍රශ්නය ඇතුළේ බේරාගෙන ආණ්ඩුව ආරක්‍ෂා කළ යුතු බව ය. එහෙන් මෙහෙන් ආරංචි වුණ දේ හරියට ම සිද්ධ වුණා යැයි තහවුරු වූයේ මේ උත්තරයෙන් ය. ඒත් එක්ක ම සනත් නිශාන්ත මන්ත්‍රීවරයා නිමල් ලන්සාට බැණවදින හඬපටයක් අන්තර්ජාලයට මුදාහැරිණි. එහි සනත් නිශාන්ත ලන්සාගේ කන පැළෙන්න ගහන කතාවක් කියන්නේ ය. හොඳට ම කේන්ති ගිහිල්ලා ලන්සාට බැණගෙන බැණගෙන යන්නේ ය. බැරි ම තැන ලන්සා දුරකථනය විසන්ධි කරන්නේ ය. ගජමිතුරන් වාගේ පෙන්නාගෙන හිටිය දෙන්නා නයි – මුගටි වාගේ මරා ගන්නේ ය.

‘හඬපට එළියට – සළුපට අහසට’

ලන්සාගේ උත්තරය වූයේ තමා ගැන එහෙම කියන්න ගියොත්, තව තව හඬපට එළියට දමන බව ය. තව ගොඩක් අය කියපු දේවල් අඩංගු හඬපට තමන් ළඟ ඇති බව ය. ඒත් එක්ක ම සනත් නිශාන්ත එහෙ ම බැණවදින්නට හේතු දැක්වූයේ ය. ඔහු කියන විදියට පාරවල් විසිපහ බැගින් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට බෙදා දී තිබේ. කොහොම හරි ක්‍රමයකින් පාරවල් පනහක් ම සනත් නිශාන්තට ලැබී ඇත්තේ ය.
ඒ ඔක්කො ම කරන්නේ ලන්සාගේ හිතවත් කොන්ත්‍රාත්කරුවෙක් ය. ඒ කියන්නේ, පාරවල් හදන එකේ කොමිස් සල්ලි යන්නේ ලන්සාගේ හිතවතාට ය. හිතවතා කියන්නේ, ලන්සා ම බව පොඩි ළමයකුට වුවත් තේරෙන්නේ ය. සනත් නිශාන්තට කේන්ති ගියේ ඒකට ය. එහෙම තමන්ගේ ආසනයේ හදන එක පාරකින්වත් කොමිස් ගන්න ක්‍රමයක් තමන්ට අහිමි වීම ය. ඒ සියල්ල තවත් වටයකින් ලන්සාට ම යෑම ය. ඒ අස්සේ තමන්ගේ ආසනයේ ශ්‍රීලනිපයේ සංවිධායකයා ද පාරවල්වලට මැදිහත් වී සිටීමත් සනත් නිශාන්තට ඌරුජුවල් නඟින්නට හේතුවක් වුණේ ය. එක පාරකින්වත් තමන්ට කොමිස් නොලැබීමත්, ලැබෙන සියල්ල ලන්සා ගැනීමත් ය.

එහෙත් හරි වැස්ස – මෙහෙත් හරි වැස්ස!

ලන්සා බඩුමුට්ටු හකුළන්නේ ද මේ හා සමාන ම වූ හේතු නිසා ය. අමාත්‍යාංශයේ ආරංචිවලට අනුව මහාමාර්ගයේ වැඩිපුර හරියක් ව්‍යාපෘති යන්නේ ජොනී හරහා ය. අධිවේගී මාර්ග වාගේ ලොකු ඒවායින් ලන්සාට කිසි වාසියක් නැත්තේ ය. උඩ ම ඉන්න නිලධාරී කිහිප දෙනාත් එකතු වී ඉන්නේ ජොනී එක්ක ය. ලන්සාට සාධාරණව පංගුව බෙදෙන්නේ නැති එක අයින් වෙන්න ප්‍රධාන හේතුව බව අමාත්‍යාංශය පුරා පැතිරෙන ආරංචියයි.
මීරිගම කුරුණෑගල අධිවේගී පාර විවෘත කරන උත්සවයට ලන්සා සහභාගී වූයේ ද නැත. එක පැත්තකින් ඔහු රාජ්‍ය ඇමැතිවරයා ය. අනෙක් පැත්තෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයා ය. එහෙම තියෙද්දීත්, එතැනට ගියේ නැත. ඒ තරමට ම ලන්සා – ජොනී ගැටුම උග්‍ර ය. පහුගිය අඟහරුවාදා ලන්සා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරන්නට ලැහැස්තිව සිටියේ ය. ජොන්ස්ටන්ගේ වංචා, දූෂණ සියල්ල හෙළිදරවු කරමින්, එය කරන්නට ලැහැස්ති වූ බවක් ආණ්ඩුවේ ම අය කියති. ඒත්, බැසිල් මැදිහත්ව එය වළක්වා ඇත. දෙන්නා අතර වුණු කතාබහෙන් වැඩේ පස්සට ගියේ ය. අන්තිමට ලන්සා ආණ්ඩු පක්‍ෂ රැස්වීමට ද සහභාගී වුණේ ය. කරන්නට හිටපු දරුණු ප්‍රකාශය නැවැතුණේ ය.

හරිම බඩු දෙකක්!

එහෙත්, පහුවදා ප්‍රකාශයක් කළේ ය. එහි දී කිව්වේ, කරුණු හතරක් යටතේ වූ ලිපියක් ජනාධිපතිට යැවූ බව ය. කරුණු මොනවා ද යන්න කිව්වේ නැත. ඔක්සිජන් නැතිව ජීවත් වෙන්න පුළුවන් යැයි කියපු මෝඩ මන්ත්‍රීට තර්ජනයක් කළේ ය. ප්‍රහාර දුන්නොත්, ප්‍රතිප්‍රහාර දිය හැකි බව කිව්වේ ය. ඒ සනත් නිශාන්තට පමණක් නොව අනෙක් සියල්ලන්ට ම ය. ඒ ලියුමේ තියෙන්නේ, ජොන්ස්ටන්ට එරෙහි චෝදනා බව ආණ්ඩුවේ ම අය කියති.
වැඩියෙන් ම ගසා කන්නේ මේ අමාත්‍යාංශයේ බව ඇතුළේ කවුරු කවුරුත් කතා වෙති. ලන්සා කියන්නෙත් ඒක ම ය.
ආසන්නත ම සිද්ධිය මධ්‍යම අධිවේගයේ රඹුක්කන – ගලගෙදර අතුරු කොටස ය. මේ දවස්වල ඇවිස්සී ඇත්තේ, ඒ වංචාව ය. ලන්සා කියන්නේ වංචාවට, දූෂණයට නමගිය චරිතයක් ය. ජොනී කියන්නේ ද ඒ ජාතියේ ඔස්තාද් කෙනෙක් ය. දැන් ගැටුම ඇත්තේ, මෙතැන ය. දෙන්නා ම එක ම ජාතියේ බඩු දෙකක් වීම ය. එකකුට හොරෙන් අනෙකාට යමක් හොරකම් කරන්නට අමාරු ය. කරනවා නම්, හොරකම දෙන්නා එකට ය. නැත් නම්, දෙන්නා ම වැඩේ නැවැත්විය යුතු ය.
දැන් ගැටුම ඇතිව තිබෙන්නේ තනිව ම කන්න යාමෙන් ය. ජොනීගේ වංචා එළියට දමන බවට ලන්සා ව්‍යංගයෙන් තර්ජනය කරන්නේ ඒක ය. සනත් නිශාන්ත ලන්සා එක්ක ප්‍රශ්නය ඇති කර ගත්තේ ද මේකට ය. ඔක්කො ම ලන්සා තනියෙන් කන්න යෑමෙන් ය. ලන්සා ජොනී එක්ක ප්‍රශ්නය ඇති කරගෙන ඇත්තේ ද ජොනී ඔක්කො ම තනියෙන් කන්න යෑම නිසා ය.

කරුව – ලේ – ජරමරේ

මේ අතර රටේ ජනතාවගේ ප්‍රධාන ප්‍රශ්නය වී ඇත්තේ, ලයිට් කැපීම ය. “පැය විසිහතරක් ලයිට් දීගන්න බැරි කට්ටිය කොහොම ද රට පාලනය කරන්නේ යැ”යි ප්‍රශ්න කළේ රාජපක්‍ෂ කණ්ඩායමේ අයයි. ඒ විපක්‍ෂයේ ඉන්න විට දී ය. දැන් හැම දා ම ලයිට් කපන්නේ ය. වාහනවලට තෙල් ද නැත්තේ ය. බොහෝ ෂෙඩ් වසා දමා ඇත්තේ ය.
අජිත් නිවාඩ් කබ්රාල් කියන්නේ, තෙල් සංස්ථාවට තෙල් ගන්න ණය දෙන්න එපා කියා ය. ගම්මන්පිල පෙත්තප්පු වාගේ හැම දා ම එක ම දේ කියන්නේ ය. ඔහු හැම දා ම කරන්නේ තමන් සුදනා බව පෙන්වීම ය. මේ අර්බුදය කලින් කිව්වා, පිළියම් යෙදුවේ නැති බව ය. මේකට උත්තරය තෙල් මිල වැඩි කිරීම බව ද ඔහු කියන්නේ ය. තෙල් අර්බුදයට උත්තර හොයන්න හදිසි කැබිනට් රැස්වීමක් පැවැත්වූයේ ය. එහි දී ගෝඨාභය තෙල්වලට සල්ලි ගෙවන්න නියෝග කළේ ය. කියපු ගමන් නැතැයි කියපු සල්ලි ආවේ ය. ඩොලර් මිලියන තිස්පහක් නැවට ගෙව්වේ ය. ප්‍රමාද ගාස්තු ඩොලර් තිස්අට දාහක් ඒ කියන්නේ රුපියල් ලක්‍ෂ හැත්තෑහයක් ද ගෙව්වේ ය.
එතැනත් පෙන්වන්නේ කබ්රාල් – ගම්මන්පිල ගැටුම ය. ගම්මන්පිලට සල්ලි දෙන්න එපා කියන්නේ කබ්රාල් වුණාට පිටුපස්සේ ඉන්නේ බැසිල් ය; මුදල් ඇමැති බැසිල් ය.

දැන් පෙන්වනවා- මණ්ඩලේ කචල්!

පහුගිය කාලය පුරාවට රටට පෙන්වූයේ ගම්මන්පිල – ලොකුගේ ගැටුම ය. විදුලිබල අමාත්‍යාංශයේ හා තෙල් අමාත්‍යාංශයේ ගැටුම ය. එකිනෙකාට චෝදනා කර ගත්තේ ය. ජනතාව ගැටුම බලා සිටියහ. දන්නෙ ම නැතිව තෙලුත් නැතිව ගියේ ය; ලයිටුත් නැතිව ගියේ ය. තව ටික කාලයකින් දෙකේ ම මිල ද ඉහළ නඟින්නේ ය.
ජනතාව ආණ්ඩුවක් දුන්නේ ඇමැතිවරුන්ගේ රණ්ඩු බල බලා ඉන්නට නොවේ ය. ජනතාවගේ ඇත්ත ප්‍රශ්න විසැඳීමට ය. ඒත්, ඒ එක ප්‍රශ්නයක්වත් විසැඳෙන්නේ නැත. තෙල් නැත; විදුලිය නැත; කිරිපිටි නැත; සිමෙන්ති නැත; පාන්පිටි නැත; වාහන නැත; හැම දේ ම නැත. නැත උත්තරය වී ඇත. මේ සිද්ධ වී ඇත්තේ, අර්බුදය උත්සන්න වෙන්න පටන් ගන්නකොට මණ්ඩලේ කචල් වැඩි වීම ය. එකිනෙකා තම තම ඇඟ බේරා ගන්න උත්සාහ දැරීම ය. පරාජයේ වගකීමෙන් නිදහස් වෙන්න උත්සාහ කිරීම ය.
ආර්ථික අර්බුදය තව තවත් වැඩි වෙන බව කාටත් පැහැදිලි ය. ඒ කියන්නේ, මේ ජාතියේ මණ්ඩලයේ කචල් තව තවත් වැඩි වන්නේ ය. ආර්ථික අර්බුදය විසින් දේශපාලන අර්බුදය තවත් වර්ධනය කරනවා ඇත. ජනතාව විසින් මෙය තේරුම් ගන්නවා ඇත. ඒ ක්ෂණයෙන් ආණ්ඩුව පලවාහැරීම ද වේගවත් වනවා ඇත●

ජගදාක්‍ෂි

 
 

Previous articleජනාධිපතිගේ තවත් කොමිසමක් වැඩ අරඹයි !
Next articleතෙල් නිධි විකුණා තෙල් ණයට ගන්නා මහදැනමුත්තාගේ ක්‍රමය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here