බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ රාජ්‍ය අමාත්‍යංශය නැවත පිහිටුවීමට අදාළ විශේෂ ගැසට් නිවේදනයක් පසුගිය 23දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නිකුත් කරනු ලැබිණි.
මේ අමාත්‍යංශයේ ඇමැති ධුරය දරන ලද්දේ ලොහාන් රත්වත්ත විසින් ය.
වැලිකඩ බන්ධනාගාරයට නීතිවිරෝධී ලෙස ඇතුළු වීම සහ අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් දණගස්වා තර්ජනය කිරීමේ චෝදනාව මත එල්ල වූ විරෝධය නිසා ලොහාන් රත්වත්ත ඇමැති ධූරයෙන් ඉවත් විය. ඒ සම්බන්ධයෙන් අදාළ රැඳවියන් විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වේ.
එම සිද්ධියට අදාළ මූලික විමර්ශනය ද මෙතෙක් අවසන්ව නැති බව බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචි මාර්ග තහවුරු කරයි. කෙසේ වෙතත් ලොහාන් රත්වත්තට නැවත අදාළ ඇමැති ධුරය ලබාදෙන්නේ ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා නොවන අතර, ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සැසිවාරය ලබන මාසයේ පැවැත්වෙන නිසා එවැනි තීරණයක් මේ මොහොතේ නොගනු ඇති බවයි.
මෙම රාජ්‍ය අමාත්‍යංශයට බන්ධනාගාර දෙපාර්තමේන්තුව, ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුව, තරුණ වරදකරුවන්ගේ විශෝධන පුහුණු පාසල සහ පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාලය අයත් වේ.